මඩුවන්වෙල මහ දිසාවේ, එම දිසාවේ තනතුර ලබන්නට කලින් රටේ මහත්තයා ය. ඔහුගේ දක්ෂකම නිසාත්, උගත්කම සහ බුද්ධිය නිසාත්, කිසිවකුටවත් නොනැමෙන පෞරුෂය නිසාත් පසුව ඔහුට ඉංග්‍රීසි ආණ්ඩුවෙන් මහ දිසාවේ තනතුර ලැබිණි.
නමුත් තනතුරු හෝ තාන්න මාන්න වෙනුවෙන් ඔහු සුද්දන්ට නැමුණේත් නැත. තමන් ට එරෙහිව යන සුද්දන්ට ද මතක හිටින දඬුවම් දුන් මඩුවන්වෙල රටේ මහත්තයාව යාප්පුවෙන් තබා ගැනීම වඩාත් හොඳම ක්‍රමය ලෙස සැලකූ සුද්දෝ ඔහුට තාන්න මාන්න ලබා දීමට නොපැකිලුණහ.
මහදිසාවේට අධිකරණ බලය සුද්දන් විසින් ලබා දී තිබූ අතර රක්වානේ ඔහු නඩු ඇසූ අධිකරණ ශාලාව පැවති ගොඩනැගිල්ල ඔහු විසින් ම සාදන ලද්දක් බව පැවසේ. රක්වානේ පැරණි මහේස්ත්‍රාත් උසාවිය පැවතියේ එම ගොඩනැගිල්ලේ ය. තවමත් එම ගොඩනැගිල්ල පවතී.

නඩු අසන්නට පැමිණි පසු මහදිසාවේ විවේක ගන්නා ලද නිල නිවස ද ඔහු විසින් තනන ලද්දක් බව පැවසෙන අතර පසුව එහි රක්වාන පොලීසිය ස්ථාපිත කර ඇත. එම ගොඩනැගිල්ලේ බිමට ද මඩුවන්වෙල වලව්වේ බඳුවම වික්ටෝරියා රැජිනගේ රුව සහිත පිඟන් කටු අල්ලා අලංකාර කර තිබේ. අදටත් ඒවා එපරිද්දෙන් ම පවතියි.
මඩුවන්වෙල මහදිසාවේ, රටේ මහත්තයා තනතුර දරන සමයෙහි පටන් ම තම වැයික්කියේ අඩුපාඩු සොයා බලා ඒවා සකස් කිරීමට අමතක කළේ නැත. මඩුවන්වෙල වලව්ව අයත් වූයේ කොලොන්න කෝරළයට ය. කොලොන්න ප්‍රදේශයේ ඇරෑපෝරුව නමින් ගංගාවක් ගලා බසී. මේ ගඟෙන් එගොඩ වෙන්නට ඒ කාලයේ තිබුණේ ඒදණ්ඩකි. මෙම ඒදණ්ඩ වෙනුවට එතැනට පාලමක් දමා දෙන ලෙස මඩුවන්වෙල රටේ මහත්තයා සබරගමුව භාරව සිටි රත්නපුර මහ ඒජන්තවරයා වූ ඉංග්‍රීසි නිලධාරියාට කොතෙක් කීවත් ඔහු එය ඉටු කර දී නැත. මේ පිළිබඳව රටේ මහත්තයා සිටියේ කෝපයෙනි.
දිනක් සුදු ඒජන්තවරයාට රාජකාරී කටයුත්තක් සඳහා කොලොන්න කෝරළයට එන්නට සිදුවී තිබිණි. ඔහු පැමිණි පසු සාදරයෙන් පිළිගෙන සියලු සංග්‍රහ කටයුතු කළ රටේ මහත්තයා ඔහු වැයික්කියේ අවශ්‍ය තැනට දෝලාවෙන් එක්කරගෙන යන ලෙස සිය සේවකයන්ට පැවසීය. එසේම සේවකයන්ට තවත් ඉතා වැදගත් උපදෙසක් රහසේම ලබා දෙන්නට ද රටේ මහත්තයා අමතක කළේ නැත.
දෝලාව"හරියටම ඇරෑපෝරුව ගඟ මැද දි උඹලා එකෙකු ගෙ කකුල ලිස්සලා වැටෙන්න යන්න ඕනෙ. එතකොටම උගෙ අතින් දෝලාව අතඇරෙන්න ඕනෙ. තේරුණානෙ" එසේ උපදෙස් දුන් රටේ මහත්තයා යළි මෙසේද කීය.
"සුද්දට සැකක් ඇති නොවෙන විදිහට මේ වැඩේ කරන්න උඹල වග බලාගන්න ඕනෙ. හැබැයි සුද්‍දට මොකුත් අනතුරක් වෙන්නත් බෑ. තේරුණානේ? සුද්දා වතුරට වැටුණු ගමන්ම උඹලා ඉක්මනට පැනල බේර ගනිල්ලා. ගඟේ වතුර අඩු නිසා මොකුත් වෙන්නෙ නෑ"
"එහෙමයි හාමුදුරුවනේ"
මේ කාරිය ඉතා සීරුවට මාරුවට කළ යුතු බව ඔවුහු දැන සිටියහ. වැඩේ හරියට නොවුණොත් තමන්ට ලැබෙන දඬුවම්වල ස්වභාවය ගැනත් ඔවුන්ට රහසක් නොවිණි. එසේම මේ ගැන රටේ මහත්තයා විපරමින් සිටින බවත් ඔවුහු අත්දැකීමෙන්ම දනිති.
සුදු ඒජන්තවරයා දෝලාවේ නංවාගෙන සේවකයෝ පිටත්ව ගියහ. කොලොන්න කෝරළයේ ඇවිද ගිය ඔවුන්ට ඊළඟට යාමට තිබුණේ ඇරෑපෝරුව ගඟේ ඒදණ්ඩ මතිනි. රටේ මහත්තයා ඔවුන්ට නොදැනෙන සේ විපරමින් සිටියේය.
හරියටම ගඟ මැදදී එක් සේවකයෙකුගේ පය ලිස්සා ඇද වැටෙන්නට ගිය අතර ඔහුගේ අතින් දෝලාව අතහැරිණි. එසැනින්ම දෝලාව තුළ සිටි සුදු ඒජන්තවරයා දෝලාවෙන් ගඟට වැටුණු අතර ඔහු උදව් ඉල්ලා මහ හඬින් කෑ ගැසුවේය. සේවකයෝ ඉක්මනින් ගඟට බැස සුදු ඒජන්තවරයා ගොඩබිමට ගෙනාහ. ඒ මොහොතේම මඩුවන්වෙල රටේ මහත්තයා ද එතැනට පැමිණ තිබිණි.
සුදු ඒජන්තවරයාගේ හිස තුවාල වී තිබිණි.
මඩුවන්වෙල වලව්වයළි ඔහු දෝලාවේ නංවාගෙන වලව්වට ගෙන එන ලෙස රටේ මහත්තයා සේවකයන්ට නියම කළේය. ඉන්පසු තුවාලවලට බෙහෙත් දමා ඔහුට කෑම බීම ආදියෙන් සංග්‍රහ කළ රටේ මහත්තයා,
"ඔය ඒදණ්ඩ සෑහෙන කාලෙකට කලින් මම දැම්මෙව්වේ. ඔතනින් ගමේ මිනිස්සුන්ට එහා මෙහා යන්න ක්‍රමයක් නොතිබුණු නිසා. දැන් ඒදණ්ඩ පරණයි. ඒ හින්දම තමයි ඔතනට පාලමක් දාලා දෙන්න කියලා මම ඔබතුමාට දවස් ගාණක්ම කිව්වේ"
රටේ මහත්තයා කී කල සුදු ඒජන්තවරයා එය සිතට ගෙන හිස සැලීය.

ඔහු පෙරළා රත්නපුරයට ගිය සැනින් ඉටු කළ පළමු රාජකාරිය වුණේ ඇරෑපෝරුව ගඟට උඩින් ගඟ හරහා පාලමක් දැමීමට කටයුතු කිරීම ය. ඒ ගඟට කොලොන්න කෝරළයේ දී පාලමක් ලැබුණේ එලෙසිනි.
කොලොන්න දෙස සිට ගලා එන කිතලබොකු ඔයෙහි අමුණක් සාදා ඒ ප්‍රදේශවලට ජලය බෙදා හැරීමට සුදු පාලකයෝ කටයුතු කළහ. ඒ අමුණ සෑදීමේ දී එම ව්‍යාපෘතිය භාරව සිටි සුදු ජාතික ඉංජිනේරුවාට ඊට තරමක් ආසන්නයේ නිල නිවාසයක් ලබා දී තිබිණි. එහි සිට ඔහු කිතලබොකු අමුණ ව්‍යාපෘතිය වෙත ආවේ ගියේ වලව්ව ඉදිරිපිට පාරෙනි.
විවේකයෙන් සිටින වෙලාවට මිදුලේ සුව පහසු පුටුවක් තබාගෙන පාර දිහා බලා සිටින පුරුද්දක් මඩුවන්වෙල මහ දිසාවේට තිබිණි. මෙසේ සිටින විට පෙර කී ඉංජිනේරුවරයා පුරුදු පරිදි වලව්ව පසුකර ඇවිදගෙන ගියේය. මොහු කවුදැයි මහදිසාවේ දැන සිටියේ නැත. ඔහු කවුරුන් වුණත් තමන් පිළිබඳ කිසි තැකීමක් නැතිව ගිය බැවින් මේ තැනැත්තා කවුදැයි විමසිලිමත් වූ මඩුවන්වෙල මහදිසාවේ ඔහු පසු පසින් ගොස් ඔහුට ළං විය.
"තමුන් කවුද?" මහදිසාවේ ඇසුවේ ඉංග්‍රීසි භාෂාවෙනි.
"කිතලබොකු අමුණ හදන ඉංජිනේරුවා මම"
සුදු ඉංජිනේරුවා පිළිතුරු දුන්නේය.
"බොහොම සන්තෝසයි. යමු මගේ වලව්වට. කෑම ටිකක් කාලා යමු"
"දැන් නම් බෑ. මට ගොඩක් වැඩ තියෙනවා. පස්සෙ දවසක එන්නම්"
එසේ පවසා සුදු ඉංජිනේරුවා යන්නට ගියේය. මහදිසාවේට දැනුණේ ඔහු තමාට විශාල මදිපුංචිකමක් කළ ලෙසිනි.
කේන්තියෙන් ආපසු පැමිණි මහදිසාවේ දෝලාව සූදානම් කරවාගෙන එහි නැගී කෙටි පාරකින් ලෑලි පාලමක් වෙත ගොස් දෝලාව එතැන තබන ලෙස සේවකයින්ට දැන්වීය. සුදු ඉංජිනේරුවා යා යුතු වූයේ මෙම ලෑලි පාලම මතිනි. දෙපයින් ඇවිද ආ ඔහු ලෑලි පාලම ආසන්නයට පැමිණියේය. පාලම මත දෝලාවකි. ඔහු ඉන් මඳක් කෝපවූ අතර එහි ඇතුළේ සිටි පුද්ගලයා හඳුනා ගත්තේද නැත. එය එතැනින් ඉවත් කර තමාට යන්නට ඉඩ සලසා දෙන්නැයි දෝලාව අසල සිටි සේවකයින් සිව් දෙනාට ඔහු පවසා සිටියේය.
"මේ පාලම හැදුවේ මම. මට ඕන නිසයි මෙතන ඉන්නේ. මට මෙතන ඉන්න අයිතියක් තියෙනවා.තමුසෙට ඕනෙ නම් වතුර බැහැලා යනවා"
දෝලාව තුළ වාඩි වී හිඳගෙනම මහදිසාවේ පැවසීය. සුදු ඉංජිනේරුවා ඔහු හඳුනා ගත්තේය. තමන් වලව්වට නොපැමිණීමේ හේතුවෙන් මඩුවන්වෙල මහදිසාවේ තමාගෙන් පළි අරගෙන තිබෙන බව සුදු ඉංජිනේරුවාට වැටහිණි. ඔහු කිසිවක් නොකියා වතුරෙහි බැස ගොස් පාරට ගොඩ වී යන්නට ගියේය.
සුදු ඉංජිනේරුවා තුළ තදබල පසුතැවිල්ලක් ඇතිව තිබිණි. මහදිසාවේ අමනාප කර ගැනීම බොහෝ කරදරවලට මුලක් විය හැකි බව මේ සිදුවීමෙන්ම ඔහු වටහාා ගත්තේය. කෙලෙස මහදිසාවේ හා මිතුරු වන්නෙම්දැයි ඔහු ළතැවිල්ලෙන් යුතුව සිතන්නට විය. මේ බව දිනක් ඔහු තම සේවකයකුට පැවසුවේ ඔහු ලවා මහදිසාවේට දන්වන අදහසින් නොවේ. නමුත් ඔහු මේ බව මහදිසාවේ ට පවසා තිබිණි.

"ඉංජිනේරු මහත්තයා බොහොම දුකින් කල්පනා කර කර ඉන්නවා එදා වලව්වට එන්න බැරි වුණු එක ගැන"
සේවකයා එලෙස පැවසූ විට මහ දිසාවේට සුදු ඉංජිනේරුවරයා ගැන අනුකම්පාවක් ඇති විය. සේවකයන් ලවා ඉතා රසට කිසිදු අඩුපාඩුවක් නැතිව බත් මාළුපිනි, රසකැවිලි ආදිය පිළියෙළ කරගෙන කිතුල් රා වැනිදෑ ද රැගෙන මහදිසාවේ ඉංජිනේරුවාගේ නිල නිවස බලා ගියේය.
ඉන්පසු ඔහුට කෑම බීම පිළි ගන්වා දෙදෙනාම සතුටින් එම කෑම බීම අනුභව කරන්නට වූහ. සියලු තරහමරහ නැති කරගෙන ඉතා හොඳ මිතුදමක් ඉන්පසු ඔවුන් අතර ඇති විය.
ලබන සතියේ යළි හමුවෙමු.
තොරතුරු සපයා ගැනීමේ දී සහයෝගය ලබා දුන් ප්‍රවීන මාධ්‍යවේදී රක්වානේ බුද්ධික තැන්නෙපිට මහතාටත්, පනාමුරේ මහා විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති, පරිසරවේදී සහ ඓතිහාසික පනාමුර හස්තිරාජ පදනමේ සාමාජික ඩී.ඩී. දයාරත්න මහතාටත් ස්තුතියි.
ඡායාරූප - අන්තර්ජාලය
සටහන : ඉන්දු පෙරේරා
සබැඳි ලිපි :
පනාමුරේ කතාව (01 කොටස) : ඇත්ගාල ඉදිවූ පනාමුරේ නින්දගම | ඉන්දු පෙරේරා
පනාමුරේ කතාව (02 කොටස) : ඇතින්නියන් වලව්ව | ඉන්දු පෙරේරා
පනාමුරේ කතාව (03 කොටස) : රටේ මහත්තයාවත් ඇන්දවූ දුම්කොළ වෙළෙන්දා | ඉන්දු පෙරේරා
පනාමුරේ කතාව (04 කොටස) : අඩනිරුවත් ඇඳුම ඇන්දත් කාන්තාවන් නොකෙලෙසුණු අතීත සමාජය | ඉන්දු පෙරේරා
පනාමුරේ කතාව (05 කොටස) : ප්‍රාදේශීය පාලකයන්ගේ ලන්දේසි යුද්ධය | ඉන්දු පෙරේරා
පනාමුරේ කතාව (06 කොටස) : මඩුවන්වෙල කළු කුමාරයා | ඉන්දු පෙරේරා
පනාමුරේ කතාව (07 කොටස) : සුද්දන්ට මතක හිටින පාඩමක් | ඉන්දු පෙරේරා








