leader s

*සෞඛ්‍යය කියන්නේ රෝහල් සංඛ්‍යාලේඛන හෝ කොත්තමල්ලි කෝප්පයක් නෙවෙයි; ප්‍රතිවාදියාගේ වේදනාව ඉදිරියේත් දේශපාලන කණ්ණාඩිය ගලවා රෝගියා තුළ මිනිසෙකු දැකීමේ සැබෑ නායකත්ව සංවේදීතාවයි.


*කැමරාවලට නොපෙනෙන සෝපානයක් ඇතුළේදීත්, ICU ඇඳක් ළඟදීත් මිනිස් දුක හඳුනාගැනීම: සංඛ්‍යා දත්ත පිටුපස හුස්මක් සොයන ජනතාවට නායකත්වයකින් ලැබිය යුතු අව්‍යාජ මනුෂ්‍යත්වය."


(මෙම වියමන “නායකයෙකු සොයන පuzzle එක” ලිපි මාලාවේ දහනම වැන්නයි)

නායකයෙකු සොයන Puzzle එකේ තවත් වැදගත් කොටසක් මේ සතියේ අපි අතට ගනිමු.

ඒ සෞඛ්‍යයයි.

නමුත් මෙවර මම සෞඛ්‍යය ගැන කතා කරන්නේ රෝහල් ගණන, ඖෂධ ප්‍රමාණය හෝ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව ගැන පමණක් නොවේ.

මම සොයන්නේ ඊට වඩා ගැඹුරු දෙයකි.

රෝගී මිනිසෙකු දුටු විට නායකයෙකුගේ හදවතේ පළමුව අවදි වන්නේ කුමක්ද?

ඡන්දයක්ද?

දේශපාලන වාසියක්ද?

නැතිනම් තවත් මිනිසෙකුගේ වේදනාවද?

සමහරවිට නායකත්වයේ මනුෂ්‍යත්වය මැනීමට හොඳම පරීක්ෂණය එය විය හැකිය.

දේශපාලනයේදී අපි බොහෝ විට නායකයෙකු මනින්නේ ඔහුගේ කතාවලිනි.

ඔහු කී දේ.

ඔහු පොරොන්දු වූ දේ.

ඔහු ඉදිරිපත් කළ ප්‍රතිපත්ති.

ඔහු විවේචනය කළ ප්‍රතිවාදීන්.

එහෙත් මට සිතෙන්නේ නායකයෙකුගේ සැබෑ චරිතය බොහෝ විට ඔහු කතා කරන විට නොව, ඔහුට කතා කිරීමට අවශ්‍ය නොවූ මොහොතක පෙනෙන බවය.

ඔහුගේ අතට මයික්‍රෆෝනයක් නැති මොහොතක.

කැමරාවක් නැති මොහොතක.

ඡන්දයක් ඉල්ලන්නට අවස්ථාවක් නැති මොහොතක.

රෝගී මිනිසෙකු ඉදිරියේ ඔහු කරන පුංචි ක්‍රියාවක.

ඒ නිසා සජිත් ප්‍රේමදාසගේ සෞඛ්‍ය සංවේදීතාව පිළිබඳව මට හමුවන කතා කිහිපයක් මේ සතියේ Puzzle එකට එකතු කරන්නට සිතුවෙමි.

 

sajith health
මෙය සජිත්ගේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ සම්පූර්ණ විග්‍රහයක් නොවේ.

එය මනුෂ්‍යත්වය පිළිබඳව සොයන කුඩා ගමනකි.

මන්ද රෝහලක ඇඳක් මත සිටින මිනිසාට දේශපාලන පක්ෂයක් නැත.

ඔහුට අවශ්‍ය වන්නේ ප්‍රතිකාරයකි.

ඔහුට අවශ්‍ය වන්නේ බෙහෙතකි.

ඔහුට අවශ්‍ය වන්නේ උපකරණයකි.

සමහරවිට ඔහුට අවශ්‍ය වන්නේ, “ඔබ ගැන කෙනෙක් බලනවා” යන විශ්වාසය පමණකි.


එතැනින් මේ සතියේ Puzzle එක ආරම්භ කරමු.

පාර්ලිමේන්තුවේ සෝපානයේදී පෙනුණු මනුෂ්‍යත්වය

සමහරවිට නායකයෙකුගේ සැබෑ චරිතය හඳුනාගන්නට ඔහු පවත්වන විශාල දේශපාලන කතාවකට වඩා, ඔහු නොසිතා කරන පුංචි ක්‍රියාවක් ප්‍රමාණවත්ය.

මට එවැනි පුංචි සිදුවීමක් මතකයට එයි.

එය වේදිකාවකදී සිදු වූවක් නොවේ.

මාධ්‍ය ඉදිරියේ පැවැති උත්සවයකදී ද නොවේ.

ඡන්දදායකයන් රැස්ව සිටි ස්ථානයකදී ද නොවේ.

එය පාර්ලිමේන්තුවේ සෝපානයක සිදුවූ කෙටි මොහොතකි.

සජිත් ප්‍රේමදාස සමඟ මහින්ද රාජපක්ෂ එකට සිටි අවස්ථාවක් පිළිබඳව මට අසන්නට ලැබුණු කතාවකි.

දේශපාලනයේදී ඔවුන් එකම පැත්තක සිටියේ නැත.

බලය, ප්‍රතිපත්ති සහ රටේ අනාගතය පිළිබඳ ඔවුන්ගේ දේශපාලන ස්ථාවරයන් අතර වෙනස්කම් තිබුණි.

එහෙත් ඒ කෙටි සෝපාන ගමනේදී සජිත් දුටුවේ “දේශපාලන ප්‍රතිවාදියා” පමණක් නොවේ.

ඔහුගේ අවධානය යොමු වූයේ මහින්ද රාජපක්ෂගේ හැසිරීමේ හෝ ශරීර භාෂාවේ පෙනුණු සෞඛ්‍ය සම්බන්ධ ලක්ෂණයකට බව  මා අසා තිබේ.

වෙනත් අයෙකුට එය නොවැදගත් තත්පර කිහිපයක් විය හැකිය.

එහෙත් සජිත්ට එය එසේ නොවීය.

සෝපානයෙන් පිටතට පැමිණීමෙන් පසු ඒ කාරණය එතැනින් අවසන් කිරීමට ඔහුට හැකියාව තිබුණි.

“ඒ ඔහුගේ ප්‍රශ්නයක්” යැයි සිතා ඉවතට යාමටද හැකියාව තිබුණි.

නමුත් ඔහු එසේ නොකළ බව කියැවේ.

ඔහු ඒ පිළිබඳව වෛද්‍ය විශේෂඥයෙකුගෙන් විමසා, අවශ්‍ය වෛද්‍ය සම්බන්ධතාව ලබාදීමට කටයුතු කළ බව මට අසන්නට ලැබුණි.

මෙහි මට වැදගත් වන්නේ වෛද්‍යවරයා කවුරුන්ද යන්න හෝ රෝගය කුමක්ද යන්න නොවේ.

වැදගත් වන්නේ ප්‍රතිචාරයයි.

දේශපාලනයේදී අපට බොහෝ විට පුරුදු වී ඇත්තේ ප්‍රතිවාදියාගේ දුර්වලකම හඳුනාගෙන එය දේශපාලන වාසියක් බවට පත් කරගැනීමටය.

එහෙත් මෙහි පෙනෙන්නේ ඊට වෙනස් මාර්ගයකි.

ප්‍රතිවාදියාගේ දුර්වලකම දුටු විට එය අවස්ථාවක් කරගැනීම වෙනුවට, ඔහුගේ වේදනාව අඩු කිරීමට උත්සාහ කිරීමය.

එතැනින් මට නායකත්වය පිළිබඳ තවත් ප්‍රශ්නයක් මතුවෙයි.

දේශපාලන ප්‍රතිවාදියෙකු අසනීප වූ විට අප තුළ පළමුව අවදි වන්නේ දේශපාලකයාද?

මනුෂ්‍යත්වයද?

නායකත්වය ගැන අපි දූරදර්ශීභාවය ගැන කතා කරමු.

ප්‍රතිපත්ති ගැන කතා කරමු.

ආර්ථිකය ගැන කතා කරමු.

රට ගොඩනැගීම ගැන කතා කරමු.

නමුත් නායකත්වයේ තවත් අත්‍යවශ්‍ය ගුණයක් තිබේ.

ඒ අනෙකාගේ වේදනාව හඳුනාගැනීමේ හැකියාවයි.

එය ප්‍රතිපත්ති ලේඛනයක ලියා ලකුණු දමා මැනිය නොහැක.

එහෙත් ජනතාව සමඟ ජීවත් වන නායකයෙකුට එය අත්‍යවශ්‍යය.

මන්ද රෝහලකට යන මිනිසෙකු තුළ මුලින්ම දැකිය යුත්තේ “ඡන්දදායකයෙකු” නොවේ.

ඔහු තම වේදනාව සමඟ සිටින මිනිසෙකි.

සැබෑ නායකත්වයේ පරීක්ෂණය වන්නේ ඒ මිනිසා දකින්නට දේශපාලනඥයාට හැකිද යන්නයි.

ගැටඹේ නාහිමිගේ කතාවෙන් පෙනෙන තවත් Puzzle කොටසක්
Puzzle එකක එක් කොටසක් තනිවම විශාල චිත්‍රය පෙන්වන්නේ නැත.

තවත් කොටස් එකතු කළ විට රූපය පැහැදිලි වෙයි.

සජිත් ප්‍රේමදාසගේ සෞඛ්‍ය සංවේදීතාව පිළිබඳව මට හමුවන තවත් කතාවක් ගැටඹේ විහාරයේ නාහිමියන් සම්බන්ධයෙනි.

ගැටඹේ නාහිමියන් විසින් ලියන ලද ස්වයං චරිතාපදානයක මේ සම්බන්ධ සිදුවීමක් සඳහන් කර ඇත.

ගැටබේ නාහිමියන් විසින් ලියන ලද ස්වයං චරිතාපදානයේ මෙසේ  සඳහන්  වේ:
“ගැටඹේ පන්සල් ගේට්ටුවෙන් ඇතුළුවීමට මැලිකමක් දක්වන පක්ෂයක  නායකයෙක් මෑත දිනයක නාහිමියන් බැහැ දැකීමට පැමිණියේය. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාය.  ආ ගිය පුවත් විමසන අතර නාහිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වයේ වෙනසක් දුටු සජිත් ප්‍රේමදාස මහතා එවේලේම දුරකථන ඇමතුමකින් වෛද්‍යවරයෙකු අමතා පිළියම් කිරීම සඳහා කටයුතු කළේය. මේ පා තැබූ  කී දෙනෙකුට  නාහිමියන්ගේ ප්‍රකාශිත සිරුරින් ප්‍රකාශිත සෞඛ්‍ය තත්ත්වය පෙනෙන්නට ඇද්ද? දැන් නාහිමියන් පෙරට වඩා සුවපත්ය”. [දේශපාලනය පංගුපේරු නැති  ගැටඹේ පන්සල].  

මෙයත් පුංචි සිදුවීමකි.

 

WhatsApp Image 2026 09 18 at 8.43.54 AMWhatsApp Image 2026 09 18 at 8.43.54 AM 1

නමුත් පුංචි සිදුවීම්වලින් සමහරවිට විශාල චරිත හඳුනාගත හැකිය.

කෙනෙකුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන “සැප සනීප කොහොමද?” යන ප්‍රශ්නය අසන එක පහසුය.

නමුත් පිළිතුර අසා, යමක් කිරීමට උත්සාහ කිරීම වෙනස් දෙයකි.

මෙහිදී මට තවත් දෙයක් පෙනෙයි.

මහින්ද රාජපක්ෂ දේශපාලන බලයේ ඉහළම ස්ථානයක සිටි අයෙකි.

ගැටඹේ නාහිමියන් ආගමික හා සමාජ ගෞරවයේ ඉහළ ස්ථානයක සිටි අයෙකි.

එහෙත් මෙම කතා දෙක තුළ සජිත්ගේ ප්‍රතිචාරය ඔවුන්ගේ තනතුරු මත තීරණය වූ බවක් නොපෙනේ.

ඔහුට වැදගත් වූයේ ඔවුන්ගේ මනුෂ්‍යත්වය සහ සෞඛ්‍යය ය.

නායකයෙකුගේ සැබෑ සංවේදීතාව පෙනෙන්නේ තමන්ගේ ආදරණීයයන් වෙනුවෙන් කරන දේවලින් පමණක් නොවේ.

තමන් සමඟ එකඟ නොවන මිනිසෙකුගේ වේදනාව දුටු විට ඔහු කරන දෙය තුළිනි.

දේශපාලන වේදිකාවේදී ප්‍රතිවාදියා ඔබේ සතුරෙකු විය හැක.

එහෙත් රෝහල් ඇඳ මත සිටින විට?

ඔහු තවදුරටත් “ප්‍රතිවාදියා” නොවේ.

ඔහු රෝගියෙකි.

ඔහු මිනිසෙකි.

එතැනදී දේශපාලනය අවසන් වී මනුෂ්‍යත්වය ආරම්භ වේ.

නන්දන ගුණතිලකගේ රෝහල් ඇඳ අසල සජිත්

මේ Puzzle එකට තවත් කොටසක් එකතු වන්නේ හිටපු ජවිපෙ නායකයෙකු වූ නන්දන ගුණතිලකගේ අවසන් දින කිහිපය සම්බන්ධ කතාවෙනි.

 

nandana

නන්දන ගුණතිලක බරපතළ ලෙස රෝගාතුර වී රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සජිත්ට ඒ පිළිබඳ තොරතුරක් ලැබුණු බව සඳහන් වේ.


ඔහු නන්දන සමඟ දේශපාලනිකව සමීපව කටයුතු කළ පුද්ගලයෙකු නොවීය.

එහෙත් නන්දන අවංක දේශපාලනඥයෙකු බව තමන් අසා තිබූ බව සජිත් පසුව ප්‍රකාශ කළ බවද සඳහන් වේ.

ඊට පසු ඔහු රෝහලට ගියේය.

නන්දන සාමාන්‍ය වාට්ටුවක සිහිසුන්ව ප්‍රතිකාර ලබමින් සිටිනු දැකීමෙන් පසු ICU ප්‍රතිකාර සඳහා අවශ්‍ය මැදිහත්වීමක් සිදු කළ බවත්, පවුලේ සාමාජිකයන් සමඟ මධ්‍යම රාත්‍රිය පමණ වනතුරු රැඳී සිටි බවත් මෙම සිදුවීම පිළිබඳව වාර්තා වී ඇත.

මෙය දේශපාලනයක්ද?

නැත.

මෙය ඡන්දයක්ද?

නැත.

මෙය මනුෂ්‍යත්වයයි.

විශේෂයෙන්ම, දේශපාලන විරුද්ධවාදියෙකු ලෙස තමන් විවේචනය කළ පුද්ගලයෙකුගේ රෝගී තත්ත්වය ඉදිරියේ පවා මිනිසෙකු ලෙස ක්‍රියා කිරීමයි.

මම දුටු තවත් සිදුවීමක්

මට පෞද්ගලිකව මතක තවත් සිදුවීමක් තිබේ.

පසුගිය වසරේ මොණරාගල පැවැති ප්‍රාදේශීය සභා නවක මන්ත්‍රීවරුන් සඳහා වූ පුහුණු වැඩසටහනකට සජිත් ප්‍රේමදාස මහතා සහ මම ප්‍රධාන සම්පත් දායකයන් ලෙස සහභාගී වීමට නියමිතව සිටියෙමු.

වැඩසටහනට පෙර දින සවස මට සජිත්ගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි.

ඔහුගේ මව අසනීප වී ඇති බවත්, අම්මා ගැන බලන්නට තමන් ආපසු කොළඹ බලා යන බවත් ඔහු මට පැවසීය.

තමන් වෙනුවට වැඩසටහන ඉදිරියට ගෙන යන ලෙසද ඔහු මගෙන් ඉල්ලා සිටියේය.

මට එය දේශපාලන නායකයෙකුගේ ප්‍රමුඛතා පිළිබඳ කුඩා නමුත් වැදගත් පරීක්ෂණයක් ලෙස පෙනුණි.

දේශපාලන වැඩසටහනක් තිබේ.

වැදගත් පුහුණු වැඩසටහනක් තිබේ.

මිනිසුන් රැස්වී සිටිති.

එහෙත් ඒ සියල්ල අතරේ අසනීප වූ මව සිටී.

ඔහු තෝරාගත්තේ මවය.

ඒ මොහොතේ ඔහුට තිබුණේ “වැඩසටහන” නොව “මව” ය.

මෙවැනි සිදුවීමක් මැතිවරණ ප්‍රකාශනයක ලියා ජනතාවට ඉදිරිපත් කළ හැකි ප්‍රතිපත්තියක් නොවේ.

නමුත් නායකයෙකුගේ අභ්‍යන්තර ප්‍රමුඛතා හඳුනාගැනීමට එය ඉඟියක් විය හැකිය.

හුස්මක් දීමෙන් ඔබ්බට

සජිත්ගේ සෞඛ්‍ය සංවේදීතාව ඔහුගේ පෞද්ගලික හැසිරීම්වලින් පමණක් නොව, ඔහුගේ දේශපාලන ක්‍රියාකාරකම්වලින්ද දැකගත හැකිය.

 

husma sajith

ඒ සඳහා “හුස්ම” වැඩසටහන වැදගත් උදාහරණයකි.

රජයේ බලය අතේ නොතිබියදීත් රෝහල්වලට අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ඖෂධ ලබාදීම එහි අරමුණක් විය.

2023දී පාර්ලිමේන්තුවේදී සජිත් විසින් ප්‍රකාශ කළ සංඛ්‍යාලේඛන අනුව, රෝහල් 56කට රුපියල් මිලියන 171.9ක වටිනාකමින් යුත් වෛද්‍ය උපකරණ හා ඖෂධ ලබාදී තිබූ බව සඳහන් විය.


2024 ජනවාරි වන විටද එම රෝහල් 56 සඳහා එම වටිනාකම පිළිබඳ වාර්තා පැවතිණි.

එහෙත් කතාව එතැනින් අවසන් වූයේ නැත.

2025 දෙසැම්බර් මාසයේ මහියංගණ රෝහලට රුපියල් මිලියන 4.65ක වටිනාකමින් යුත් hemodialysis යන්ත්‍රයක් ඇතුළු උපකරණ ලබාදී තිබූ බව සඳහන් වේ.

2026 ජුනි වන විට මහනුවර ජාතික රෝහලට තවත් රුපියල් මිලියන 4.8ක hemodialysis යන්ත්‍රයක් ලබාදීම “හුස්ම” වැඩසටහනේ 77 වැනි අදියර ලෙස වාර්තා වී තිබේ.

එම අවස්ථාවේදී වැඩසටහන සඳහා වැය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 238.8ක් බවද වාර්තා විය.

සංඛ්‍යාවලට අපට එකඟ විය හැකිය.

විවාද කළ හැකිය.

දේශපාලන අරමුණු ගැන ප්‍රශ්න කළ හැකිය.

නමුත් රෝගියෙකුට අවශ්‍ය යන්ත්‍රයක් රෝහලකට ලැබීමේ වටිනාකම දේශපාලන තර්කයකට වඩා වෙනස් තලයක පවතී.

“හුස්ම” යන නම නිසාම මෙහි අර්ථයක් තිබේ.

හුස්මක් යනු ජීවිතයයි.

රෝගියාට ජීවිතය පවත්වාගෙන යාමට උපකරණයක් අවශ්‍ය නම්, බලය නොමැති අවස්ථාවක වුවත් ඒ උපකරණය සොයාදීමට උත්සාහ කිරීම දේශපාලන ක්‍රියාකාරකමකින් ඔබ්බට ගිය මානුෂීය කාර්යයකි.

සෞඛ්‍යය ගැන සජිත්ගේ ප්‍රතිපත්තිය කොහෙද?
මෙයත් වැදගත් ප්‍රශ්නයකි.

මන්ද දේශපාලනයේ මනුෂ්‍යත්වය පමණක් ප්‍රමාණවත් නොවේ.

රටක් පාලනය කිරීමට ප්‍රතිපත්තියක්ද අවශ්‍යය.

සජිත්ගේ සෞඛ්‍ය දේශපාලනය හුදෙක් රෝහල්වලට බෙහෙත් හෝ උපකරණ පරිත්‍යාග කිරීමකට සීමා නොවන බව ඔහුගේ ප්‍රතිපත්ති ලේඛනවලින්ද පෙනේ.

2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන අර්බුදවලට ප්‍රතිචාර වශයෙන් වෘත්තීය සහ තාක්ෂණික සම්පත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබුණි.

මීට පෙර ඉදිරිපත් කළ සෞඛ්‍ය අදහස් අතර ග්‍රාමීය හා නාගරික රෝහල් අතර පරතරය අඩු කිරීම, දිස්ත්‍රික්, ප්‍රාදේශීය හා මූලික රෝහල් සහ ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථාන නවීකරණය කිරීම, පවුලේ වෛද්‍යවරයා සංකල්පය ශක්තිමත් කිරීම, “ළඟම රෝහල මගේ රෝහල” කිරීම සහ විද්‍යුත් රෝගී වාර්තා ක්‍රමය හඳුන්වාදීම වැනි අදහස්ද ඒ අතර තිබිණි.

තවත් වැදගත් යෝජනාවක් වූයේ සෞඛ්‍යය මූලික අයිතිවාසිකමක් කිරීමයි.

2024දී ඉදිරිපත් කළ “Alternative/Practical Path” වැඩසටහනේ සමාජ, ආර්ථික, සංස්කෘතික, අධ්‍යාපනික සහ සෞඛ්‍ය අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් බවට පත් කිරීම පිළිබඳ යෝජනාව ද විය .

එය වැදගත් වෙනසකි.

සෞඛ්‍යය “රෝහල් සේවාවක්” ලෙස පමණක් නොව “ජනතාවගේ අයිතිවාසිකමක්” ලෙස දැකීම.

එදා ඔහු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයෙකි. අද?

සජිත් ප්‍රේමදාස 2001–2004 කාලයේ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබේ.

එම නිසා සෞඛ්‍යය ඔහුගේ දේශපාලන ජීවිතයට අලුත් මාතෘකාවක් නොවේ.

නමුත් අද අපට තිබෙන ප්‍රශ්නය වෙනස්ය.

රෝහලකට ගිය මිනිසාට ප්‍රමාණවත් පහසුකම් තිබේද?

රෝගියාට අවශ්‍ය ඖෂධ තිබේද?

ගමේ රෝහලේ අවශ්‍ය උපකරණ තිබේද?

දුර බැහැර පළාතක මිනිසෙකුට කොළඹට නොගොස් ප්‍රතිකාර ලබාගත හැකිද?

මෙයයි සැබෑ සෞඛ්‍ය ප්‍රතිපත්තියේ පරීක්ෂණය.

“රෝහලට යන්න එපා; කොත්තමල්ලි බොන්න”?

මෙය අද දවසේ දේශපාලන සංවාදය බවට පත්ව ඇති මාතෘකාවකි.

 

hospital bahira

රෝහල්වල ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය පිළිබඳ චෝදනා සහ වාර්තා මැද, රෝහල් වෙත පැමිණෙන බාහිර රෝගීන්ගේ විශාල සංඛ්‍යාව ගැනද සාකච්ඡාවක් තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා ප්‍රකාශ කළේ රෝහල්වලට යන බාහිර රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ බවත්, නිවසේදී විවේකයෙන් සහ කොත්තමල්ලි පානයෙන් සුව කළ හැකි තත්ත්වයන් සඳහා රෝහල් වෙත යාම අවශ්‍ය නොවන බවත්ය.


 

මෙහි දේශපාලන භාෂාවේ වෙනස වැදගත්ය.

රෝගියා රෝහලට පැමිණෙන්නේ ඇයි?

ඔහුට තම රෝගය පිළිබඳ අවබෝධයක් තිබේද?

ඔහුට වෛද්‍යවරයා හමුවීමට වෙනත් පහසු ස්ථානයක් තිබේද?

ඔහුට අවශ්‍ය ඖෂධ තිබේද?

ඔහුගේ ගමේ පරීක්ෂණ පහසුකම් තිබේද?

එසේ නැත්නම් ඔහුට තිබෙන එකම විශ්වාසය රෝහල නම්?

එවිට රෝගියාට දොස් පැවරීමට පෙර සෞඛ්‍ය පද්ධතිය ඔහුට දී ඇති විකල්පය කුමක්දැයි අපි අසන්නට ඕනෑය.

නායකත්වයේ සැබෑ වෙනස මෙතැනයි
රාජ්‍ය පාලනයේදී ජනතාව ඉලක්කමක් බවට පත්කිරීම පහසුය.

බාහිර රෝගීන් මිලියන ගණනකි.

රෝහල් ගණන සිය ගණනකි.

ඖෂධ වර්ග දහස් ගණනකි.

වියදම රුපියල් බිලියන ගණනකි.

දත්ත අවශ්‍යය.

සංඛ්‍යාලේඛන අවශ්‍යය.

නමුත් දත්ත පමණක් ප්‍රමාණවත්ද?

මට නම් එසේ නොසිතේ.

මන්ද එක් එක් ඉලක්කම පිටුපස එක් මිනිසෙකු සිටී.

එම මිනිසා අම්මා කෙනෙකි.

තාත්තා කෙනෙකි.

දරුවෙකි.

වකුගඩු රෝගියෙකි.

පිළිකා රෝගියෙකි.

දුර බැහැර ගමකින් බස් දෙක තුනක නැගී රෝහලට පැමිණි ගොවියෙකි.

උදේ පාන්දර නිවසින් පිටත්වී දරුවා රෝහලට ගෙන ආ මවකි.

රෝහලේ පෝලිමක පැය ගණනක් සිටින මහල්ලෙකි.

ඒ නිසා සෞඛ්‍ය ප්‍රතිපත්තියට දත්ත අවශ්‍යය.

නමුත් ඒ දත්තවලට මනුෂ්‍ය මුහුණක්ද අවශ්‍යය.

ඒකට සහවේදනය – empathy – අවශ්‍යය.

නායකයෙකුට රෝගියාගේ වේදනාව තේරුම් ගැනීමට හැකිද?

ප්‍රතිවාදියාගේ වේදනාව දුටු විට ඔහුගේ දේශපාලන කණ්ණාඩිය ගලවා මනුෂ්‍යයෙකු ලෙස ඔහු දෙස බලන්නට හැකිද?

මෙන්න Puzzle එකේ වැදගත්ම කොටස.

සෞඛ්‍යය යනු රෝහලක් නොවේ.

එය රෝගියාගේ ගෞරවයයි.

එය ප්‍රතිකාරයට ඇති ප්‍රවේශයයි.

එය ඖෂධ ලැබීමේ හැකියාවයි.

එය ගමේ සිටින මිනිසාට නගරයේ සිටින මිනිසාට ලැබෙන අවස්ථාවට සමාන අවස්ථාවක් ලබාදීමයි.

එය රෝගියාට “ඔබ අපට වැදගත්” යන හැඟීම ලබාදීමයි.

 

sajith husma

එතැනදී “හුස්ම” වැඩසටහනේ නම මට නැවත මතක් වෙයි.

හුස්ම යනු මිනිසෙකුට නොමැතිව බැරි දෙයකි.

දේශපාලනයත් එසේම විය යුතුය.

මිනිසුන්ගේ ජීවිතයට අවශ්‍ය හුස්මක් විය යුතුය.

එය ඡන්ද කාලයේදී පමණක් ලබාදෙන හුස්මක් නොවිය යුතුය.

අසරණ මිනිසාට බලය තිබෙන දවසකත්, බලය නැති දවසකත් එකම සංවේදීතාවයෙන් පිළිතුරු දෙන දේශපාලනයක් විය යුතුය.

නායකයෙකු සොයන අපේ Puzzle එකේ අද වියමන අපට එක දෙයක් කියයි.

නායකත්වය යනු රෝගය ගැන කතා කිරීම පමණක් නොවේ.

රෝගියා දැකීමයි.

සංඛ්‍යාව පිටුපස සිටින මිනිසා දැකීමයි.


රෝහලේ පෝලිම පිටුපස ඇති ජීවිතය දැකීමයි.

විරුද්ධවාදියා තුළ පවා මිනිසෙකු දැකීමයි.

අවසානයේ මම අසන්නේ එකම ප්‍රශ්නයකි.

රෝගියෙකු ඉදිරියේදී අපට පෙනෙන්නේ රෝගයද?

නැතිනම් මිනිසාද?

සමහරවිට නායකයකු සොයන Puzzle එක විසඳන්නට අපට අවශ්‍ය අවසාන කොටස එය විය හැකිය.

මන්ද රටක් ගොඩනගන්නට දූරදර්ශී නායකත්වයක් අවශ්‍යය.

ආර්ථිකය ගොඩනගන්නට දක්ෂ නායකත්වයක් අවශ්‍යය.

ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට ශක්තිමත් නායකත්වයක් අවශ්‍යය.

නමුත් මිනිසෙකුගේ වේදනාව දකින්නට මනුෂ්‍යත්වය අවශ්‍යය.

නායකත්වය අවසානයේ මනුෂ්‍යත්වයෙන් වෙන් කළ නොහැක.

ඒ නිසා “කොත්තමල්ලි වෙනුවට ජීවත් වෙන්න හුස්මක්” යන ප්‍රශ්නය, කොත්තමල්ලි ගැන පමණක් නොවේ.

එය අපි සෞඛ්‍යය දෙස බලන ආකාරය පිළිබඳ ප්‍රශ්නයකි.

රෝගියාට අපි දෙන පිළිතුර පිළිබඳ ප්‍රශ්නයකි.

අවසානයේ, අපි දේශපාලනයෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන ප්‍රශ්නයකි.

මට නම් පිළිතුර සරලය.

මිනිසාට හුස්මක්.

ආරක්ෂාවක්.

ගෞරවයක්.

සහ, අවශ්‍ය මොහොතේ ඔහු අසල සිටින මනුෂ්‍ය හදවතක්.


නායකයෙකු සොයන Puzzle එකේ මීළඟ වියමන එතැනින් පටන් ගනී.

(සෙස්ස ලබන සිකුරාදාට…)

 

සැමට උපාධියක් ලැබෙන ශ්‍රී ලංකාවක්? දිස්ත්‍රික් ප්‍රජා විශ්වවිද්‍යාල 25 ක්! මහාචාර්ය  ප්‍රදීප් එන්' වීරසිංහමහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
ජනමාධ්‍ය අධ්‍යයන අංශය – කොළඹ විශ්වවිද්‍යාලය

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

සබැඳි ලිපි :

නායකයෙකු සොයන පuzzle එක (18) : සජිත්ගේ 'Lady' | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

නායකයෙකු සොයන පuzzle එක (17) : සජිත්ගේ පියානෝව සහ පිත්ත | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

නායකයෙකු සොයන පuzzle එක (16) : සජිත්ගේ පාසල | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

නායකයෙකු සොයන පuzzle එක (15) ; සජිත්ගේ කොටියා | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

නායකයෙකු සොයන පuzzle එක - 14 ; සජිත්ගේ ආගම: බුදු දහම රැකීමද? එසේ නැත්නම් ජාතික සමගියද? | මහාචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ

නායකයෙකු සොයන පuzzle එක - 13 ; සජිත්ගේ දේශපාලන දර්ශනය - අන්තිම මිනිසාගේ සිට අවස්ථාවන්ගේ රාජ්‍යය දක්වා | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

 
 
 
නායකයෙකු සොයන පuzzle එක- 09 - ඡන්දදායකයාගේ සිත පාලනය කරන සැඟවුණු අධිරාජ්‍යය | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

නායකයෙකු සොයන පuzzle එක- 08 - මාධ්‍ය දේශපාලන දැන්වීම්: ප්‍රජාතන්ත්‍රවාදයේ සැඟවුණු ඝාතකයා | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

නායකයෙකු සොයන පuzzle එක – (7) අසාර්ථක රාජ්‍යයෙන් ඉදිරියට: පාර්ලිමේන්තුව තුළ දෙවන මහජන මන්ත්‍රණ සභාවක්! | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ


නායකයෙකු සොයන පuzzle එක – 5 : වීරයෙක් නොව, පද්ධතියක් සහ විචාරශීලි පුරවැසියෙක් ගොඩනගන නායකත්වයක් අපට අවශ්‍ය ඇයි? | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

නායකයෙකු සොයන පuzzle එක – 4
ශ්‍රී ලංකාවට “සිතීමට මඟ පෙන්වීමක්” කරන පරිවර්තනීය නායකයෙක්: Lula
මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ


පරිවර්තනීය නායකයෙක්! - නායකයෙකු සොයන පuzzel එක - 3 | මහාචාර්ය ප්‍ර‍දීප් එන්’ වීරසිංහ

නායකයකු සොයන පuzzle එක -02 : ජනකාන්ත නායකත්වය එදිරිව පරිවර්තනීය නායකයෙක් ! | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්