(මෙම වියමන “නායකයෙකු සොයන පuzzle එක” ලිපි මාලාවේ දාහත් වැන්නයි)
දේශපාලන නායකයෙකුගේ අතේ තිබිය යුත්තේ,
බලයේ මුද්‍රාවද?
තමන් සතු බලය විදහා පා ජනතාව බියගන්වන, ආඩම්බර ප්‍රකෝපකාරී ප්‍රකාශ ද ?
මයික්‍රෆෝනයක්ද?
නැතිනම්…
එක් අතක පියානෝවේ යතුරු සහ අනෙක් අතේ ක්‍රිකට් පිත්තක්ද?
මෙය බැලූ බැල්මට දේශපාලනයට අදාළ නොවන ප්‍රශ්නයක් ලෙස පෙනෙන්නට පුළුවන.
එහෙත් මට නම් එය එසේ නොවේ.
මන්ද, නූතන ලෝකය සොයන්නේ දේශපාලනය පමණක් දන්නා නායකයෙකු නොව, ජීවිතය දන්නා නායකයෙකු ය.
බලය දන්නා නායකයෙකු පමණක් නොව,
මිනිසා දන්නා නායකයෙකි.
කෝපය පතුරුවන නායකයෙකු නොව,
මිනිසුන් එක්ක එකට ගමන් කරන නායකයෙකි.
ලෝකයේ බලවත්ම දේශපාලනඥයෙකුත් saxophone එක අතට ගත්තේය

ලෝකයේ බලවත්ම දේශපාලන නායකයන් අතර සිටි Bill Clinton සංගීතයට ආදරය කළ අයෙකි. ඔහුගේ ජීවිතයේ සංගීතයට තිබූ සම්බන්ධතාව හුදෙක් විනෝදාංශයක් නොවීය. ඔහු පාසල් කාලයේ saxophone වාදකයෙකු වූ අතර, සංගීතය ඔහුගේ ප්‍රියතම විනෝදාංශයක් විය.
1992 ජුනි 3 වැනිදා, Democratic Party ජනාධිපති අපේක්ෂකත්වය ලබාගත් දිනට පසුව, Bill Clinton, The Arsenio Hall Show වැඩසටහනට පැමිණ Elvis Presleyගේ “Heartbreak Hotel” saxophone එකෙන් වාදනය කළේය.
ඒ අවස්ථාවේ විවේචකයන්ගෙන් සමහරු එය “ජනාධිපතිවරයෙකුට ගැළපෙන දෙයක් නොවේ” යැයි විවේචනය කළහ. නමුත් සිදුවූයේ වෙනත් දෙයකි;
එම saxophone එක හරහා Clinton මනුෂ්‍යත්වය, සැහැල්ලුව, සහ සෞන්දර්යාත්මක ජීවිතයක් දේශපාලනඥයෙකුට අවශ්‍ය මූලික ගුණාංග බව පෙන්වා දුන්නා.
Clinton පසුව සංගීතය පිළිබඳව කතා කරමින් සඳහන් කළේ, සංගීතය ඔහුට, පුහුණුව සහ ඉවසීම නිර්මාණශීලීත්වය සමඟ එකතු කිරීමටත්, තනි පුද්ගලයෙකු ලෙසත් හොඳ කණ්ඩායම් සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමටත් ඉගැන්වූ බවයි.
පියානෝවේ යතුරු අතරින් ඇසෙන නායකත්වය
මම සජිත් ප්‍රේමදාස පියානෝව වාදනය කරන ආකාරය දැක ඇත්තෙමි.
ගිටාරය අතට ගන්නා ආකාරය දැක ඇත්තෙමි.
විවිධ අවස්ථාවල ගී ගයන ආකාරයද දැක ඇත්තෙමි.
ගායික ගායිකාවන් මුණගැසී කතා බහ කරමින් සිටින ආකාරයද දැක ඇත්තෙමි.
මෙය දේශපාලන නායකයෙකුගෙන් අප සාමාන්‍යයෙන් බලාපොරොත්තු වන දර්ශනයක් නොවේ.
අපට පුරුදු වී ඇත්තේ දේශපාලනඥයා වේදිකාවට නැඟී කතා කරන ආකාරය දැකීමටය.
එහෙත් පියානෝව වාදනය කරන දේශපාලන නායකයෙකු දෙස අප බලන්නේ වෙනත් කෝණයකිනි;
පියානෝව වාදනය කිරීමේදී නායකයෙකු තුළ අද දවසට ගැලපෙන විශිෂ්ට ගුණාංගයක් මතු කර දක්වයි;
ඇහුම්කන් දීම

සංගීතයේ සෑම සටහනක්ම තනිවම විශිෂ්ට විය නොහැක.
එය තවත් සටහන් සමඟ ගැළපිය යුතුය.
එක් වාද්‍ය භාණ්ඩයක් අනෙක් වාද්‍ය භාණ්ඩය යටපත් කළහොත් සංගීතය විනාශ වේ.
දේශපාලනයද එසේමය.
නායකයා සියල්ල තමන්ගේ හඬින් පමණක් පුරවා දැමුවහොත්, රටක් තේරුමක් නැති ඝෝෂාවක් බවට පත්වේ.
සංගීතය නායකත්වයට සමාජ සමගිය, සවන්දීම, ස්වයං සංයමය සහ කණ්ඩායම් හැඟීම වැනි ගුණාංග ලබාදිය හැකියි.
ඒ නිසා පියානෝව යනු හුදෙක් සංගීත භාණ්ඩයක් නොවේ.
එය සවන්දීමේ පාඩමකි.
ලතා වල්පොලගේ නිවසේ පියානෝව

සජිත් ප්‍රේමදාසගේ සංගීත ලෝකය ගැන කතා කරන විට ලතා වල්පොලගේ නම අමතක කළ නොහැක.
ඔහු ලතා වල්පොලගේ උපන්දිනයට ගොස් පියානෝව වාදනය කරමින් සිටින අයුරු අපි දැක තිබෙනවා.
මෙහි දේශපාලනයට වඩා වැදගත් තවත් දෙයක් තිබේ.
පරම්පරාවකට ගෞරව කිරීම
අද ජනප්‍රිය කලාකරුවෙකු හෙට අමතක විය හැකිය.
එහෙත් ජාතියක සංස්කෘතික, මතකය ගොඩනඟන්නේ එවැනි පරම්පරා ගණනාවක කලාකරුවන්ය.
එබැවින් ප්‍රවීණ කලාකරුවෙකුගේ උපන්දිනයකට යාම ඇයගේ ගීතයක් ඇසීම පමණක් නොව ඇයගේ ජීවිතයට ගෞරව කිරීමද නායකත්වයේ සංස්කෘතික සංවේදීතාවකි.
සජිත්ගේ පියා වූ රණසිංහ ප්‍රේමදාස මහතාද ලතා වල්පොල සහ එච්.ආර්. ජෝතිපාල වැනි කලාකරුවන් සමඟ සමීප සබඳතා පවත්වාගෙන ගිය බව අප අසා තිබෙනවා.
ඒ නිසා මෙය හුදෙක් විනෝදාංශයක් පමණක් නොව, පරම්පරාවකින් පරම්පරාවකට පැමිණෙන සෞන්දර්යාත්මක සංවේදීතාවක් ලෙසද කියවිය හැකිය.
ගීතය දේශපාලනයට වඩා විශාලය
අද ලෝකය බෙදී යන්නේ මතවාදවලිනි.
ආගමෙන්.
ජාතියෙන්.
භාෂාවෙන්.
දේශපාලන පක්ෂයෙන්.
සමාජ මාධ්‍යයේ “අපි” සහ “ඔවුන්” යනුවෙන්.
නමුත් ගීතයක් ඇසෙන විට මේ බෙදීම් මකා දමයි .
සංගීතය භාෂා සීමා පසුකරයි.
එය මිනිසාගේ හැඟීම් ස්පර්ශ කරයි.
ඒ නිසා ලෝකයේ බොහෝ නායකයන් සහ ප්‍රසිද්ධ පුද්ගලයන්, සංගීතය තම ජීවිතයේ කොටසක් කරගෙන ඇත.
බිල් ක්ලින්ටන්ගේ සැක්සෆෝනය එයට ප්‍රසිද්ධ උදාහරණයකි. තෝමස් ජෙෆර්සන්, හැරී ටෲමන් සහ කොන්ඩලීසා රයිස් වැනි නායකයන්ටද සංගීතය සමඟ සම්බන්ධතාවක් තිබුණා.
එහෙත් මෙහිදී වැදගත් කරුණක් තිබේ.
සංගීතයට කැමති වීමෙන් පමණක් හොඳ නායකයෙකු බිහි නොවේ.
නමුත් සංගීතය හරහා වර්ධනය කරගන්නා සවන්දීම, සංවේදීතාව, නිර්මාණශීලීත්වය සහ කණ්ඩායම් හැඟීම නායකත්වයට අමතර ශක්තියක් විය හැකිය.
එයයි වැදගත්.
දැන් ක්‍රිකට් පිත්ත අතට ගනිමු
පියානෝවෙන් පසුව සජිත්ගේ අතේ පෙනෙන තවත් සංකේතයක් වන්නේ ක්‍රිකට් පිත්තයි.

මෙය හුදෙක් ඡායාරූපයකට ගැළපෙන උපකරණයක් නොවේ.
ඔහුගේ ක්‍රිකට් පසුබිම දීර්ඝ එකකි.
ශාන්ත තෝමස් විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය යන ක්‍රිකට් සම්ප්‍රදායක් ඇති පාසල්වල අධ්‍යාපනය ලැබූ ඔහු, ලන්ඩනයේ Mill Hill School හි පළමු XI කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩා කර ඇති අතර, 1986 දී එහි නායකත්වයද දැරූ බව සඳහන්.
ඒ නිසා ඔහු ක්‍රිකට් පිත්ත අතට ගන්නේ ඡායාරූපයකට පෙනී සිටීමට පමණක් නොවේ.
ඔහුට ක්‍රීඩාව පිළිබඳ පසුබිමක් තිබේ.
මට ක්‍රිකට් විස්තර විචාරකයෙකු කී කතාව
වරක් ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයෙකු මට අපූරු කතාවක් කීවේය.
“සජිත් ක්‍රිකට් ගහන්නේ තාක්ෂණිකව නිවැරදි ආකාරයට.”
මෙය මට වැදගත් වූයේ ඔහු ක්‍රිකට් ක්‍රීඩා කරනවාද නැද්ද යන්න නිසා නොවේ.
තාක්ෂණිකව නිවැරදි වීම යන වචනය නිසාය.
ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳ පිතිකරුවෙකු වීමට අලංකාර පහරක් පමණක් ප්‍රමාණවත් නැත.
පාදයේ පිහිටීම තිබිය යුතුය.
කාලය හඳුනාගත යුතුය.
පන්දුව කියවිය යුතුය.
අවදානම තේරුම් ගත යුතුය.
අවශ්‍ය විට පහර දිය යුතුය.
අවශ්‍ය විට ආරක්ෂා විය යුතුය.
නායකත්වයද එසේමය.
සෑම පන්දුවකටම හයේ පහරක් ගැසීමට උත්සාහ කරන නායකයෙකුට රටක් පාලනය කළ නොහැක.
කොතැනදී ඉදිරියට යා යුතුද?
කොතැනදී ආරක්ෂා විය යුතුද?
කොතැනදී අවදානම ගත යුතුද?
කොතැනදී බලා සිටිය යුතුද?
ක්‍රිකට් පිත්ත නායකත්වයට කියා දෙන පාඩම එයයි.
පිටියේදී නායකයාට බලය නැත
දේශපාලන වේදිකාවේදී නායකයාට ආරක්ෂකයින් සිටිය හැක.
මයික්‍රෆෝනය තිබිය හැක.
අත්පොළසන් දෙන පිරිසක් සිටිය හැක.
නමුත් ක්‍රිකට් පිටියේදී ඒ කිසිවක් නැත.
පන්දුවට පිත්තෙන් පිළිතුරු දිය යුතුය.
වැරදුණොත් දැවී යා යුතුය.
ඊළඟ පන්දුවට නැවත සූදානම් විය යුතුය.
මේ නිසා ක්‍රීඩාව මිනිසාට පරාජය පිළිගැනීමටද උගන්වයි.
ඒ නිසාම ක්‍රීඩාව යනු ජයග්‍රහණයේ පාඩමක් පමණක් නොවේ.
පරාජයෙන් නැවත නැඟී සිටීමේ පාඩමකි.
පිටියේදී ජනතාව හමුවීම
සජිත් පාසල් දරුවන් සමඟ ක්‍රිකට් සහ පාපන්දු ක්‍රීඩා කරන අවස්ථාද දැක ඇත්තෙමි.

එහිදී කතා කරන්නේ මැතිවරණ ප්‍රතිපත්ති ගැන නොවේ.
ක්‍රිකට් ගැන ය.
පන්දුව ගැන ය.
පිතිකරණය ගැන ය.
ජයග්‍රහණය ගැන ය.
සමහරවිට ජීවිතය ගැන ය.
මෙවැනි අවිධිමත් සම්බන්ධතා නූතන දේශපාලනයේ ඉතා වැදගත්ය.
එහෙත් අපි ඔහුට සිනාසෙමු
අපේ දේශපාලනයේ අපූරු විරුද්ධාභාසයක් තිබේ.
දේශපාලනඥයෙකු ජනතාවගෙන් ඈත්ව සිටින විට,
“ඔහු ජනතාව සමඟ නැත” යැයි අපි කියමු.
ඔහු ජනතාව අතරට ගොස් ගීයක් ගයන විට,
“ඒක දේශපාලන show එකක්” යැයි කියමු.
ඔහු පියානෝව වාදනය කළ විට,
“දේශපාලනඥයෙකුට ඒවා මොකටද?” යැයි අසමු.
ඔහු ක්‍රිකට් ක්‍රීඩා කළ විට,
“රටේ ප්‍රශ්න තියෙද්දී ක්‍රිකට් ගහනවා” යැයි කියමු.
එහෙත් අපට අමතක වන කරුණක් තිබේ.
දේශපාලන නායකයාද මනුෂ්‍යයෙකි.
ඔහුට විනෝදාංශ තිබිය හැක.
ඔහුට කලාවට ආදරය කළ හැක.
ඔහුට සංගීතයට සංවේදී විය හැක.
ඔහුට ක්‍රීඩා කිරීමට හැක.
ඒවා නායකත්වයට විරුද්ධ දේවල් නොවේ.
නිවැරදිව කළහොත් ඒවා නායකත්වය මනුෂ්‍යත්වයට සමීප කරයි.
අපට අවශ්‍ය වන්නේ බියෙන් පාලනය කරන නායකයෙක්ද?
අද ලෝක දේශපාලනය දෙස බලන්න.
බිය.
කෝපය.
වෛරය.
බෙදීම.
“අපි” සහ “ඔවුන්”.
දේශපාලන බලය ලබා ගැනීමට මිනිසුන්ගේ බිය භාවිත කිරීම.
සමාජ මාධ්‍යවල කෝපය විකිණීම.
මෙය නූතන දේශපාලනයේ එක් භයානක ප්‍රවණතාවකි.
එවැනි ලෝකයක අපට අවශ්‍ය තවත් එකම කෝපකාරී නායකයෙකුද?
නැතිනම්…
පියානෝවෙන් සංගීතය හඳුනාගන්නා,
ක්‍රිකට් පිත්තෙන් කණ්ඩායම් හැඟීම හඳුනාගන්නා,
කලාවෙන් මිනිස් හැඟීම හඳුනාගන්නා,
ක්‍රීඩාවෙන් පරාජය හඳුනාගන්නා නායකයෙකුද?
මට නම් දෙවැනි නායකත්වය වැදගත්ය.
සෞන්දර්යය දන්නා නායකත්වය

නූතන ලෝකයේ සාර්ථකත්වය තීරණය කරන්නේ අධ්‍යාපන සුදුසුකම් පමණක් නොවේ.
නිර්මාණශීලීත්වය, විනය, ඔරොත්තු දීමේ හැකියාව, කණ්ඩායම් හැඟීම, චිත්තවේගීය බුද්ධිය සහ සමාජ සම්බන්ධතා වැනි ජීවිත කුසලතාද වැදගත්ය.
ක්‍රීඩාව මේ ගුණාංග වර්ධනය කරයි.
එසේම සංගීතයට සවන්දීම, නිර්මාණශීලීත්වය, නම්‍යශීලීත්වය සහ කණ්ඩායම් කළමනාකරණය වැනි හැකියාවන් සමඟ සම්බන්ධ කළ හැකිය.
එබැවින් සෞන්දර්යය යනු දේශපාලනයෙන් පිටත දෙයක් නොවේ.
සමහරවිට එය දේශපාලනයට අහිමි වී ඇති මනුෂ්‍යත්වය නැවත ලබාදිය හැකි මාර්ගයකි.
පියානෝව සහ ක්‍රිකට් පිත්ත අතර
සජිත් ප්‍රේමදාසගේ පියානෝව සහ ක්‍රිකට් පිත්ත දෙස මම බලන්නේ එවැනි සංකේත දෙකක් ලෙසය.
පියානෝව — සංවේදීතාවය.
ක්‍රිකට් පිත්ත — විනය.
පියානෝව — අන් අයගේ හඬට සවන් දීම.
ක්‍රිකට් පිත්ත — නිවැරදි අවස්ථාවේ නිවැරදි පහර දීම.
පියානෝව — සෞන්දර්යය.
ක්‍රිකට් පිත්ත — තරගකාරීත්වය.
පියානෝව — සමගිය.
ක්‍රිකට් පිත්ත — කණ්ඩායම.
මේ දෙක එකට ගත් විට අපට පෙනෙන්නේ දේශපාලන නායකයෙකුගේ තවත් පැත්තකි.
බලය පමණක් නොව, ජීවිතයද දන්නා නායකයෙකු.
නමුත් මෙහි එක් කොන්දේසියක් තිබේ
පියානෝව වාදනය කළ පමණින් හෝ ක්‍රිකට් පිත්ත අතට ගත් පමණින් කිසිවෙකු හොඳ නායකයෙකු වන්නේ නැත.
එය පැහැදිලිව කිව යුතුය.
නායකත්වයට දැක්ම අවශ්‍යය.
ප්‍රතිපත්ති අවශ්‍යය.
පාලන හැකියාව අවශ්‍යය.
ආර්ථික අවබෝධය අවශ්‍යය.
සමාජ සාධාරණත්වය පිළිබඳ දැක්ම අවශ්‍යය.
එහෙත් නායකත්වය පරිපූර්ණ වන්නේ මිනිස් ජීවිතයේ සෞන්දර්යය හඳුනා ගැනීමේ හැකියාව තිබේ නම් පමණි.
අවසාන ප්‍රහේලිකාව
පසුගිය සතියක අපි සජිත්ගේ “කොටියා” ගැන කතා කළෙමු.
කොටියා අපට ඉගැන්වූයේ නිහඬ ශක්තිය ගැන ය.
අනතුර කලින් දැකීම ගැන ය.
සමතුලිතතාවය ගැන ය.
මෙවර අපට හමුවන්නේ සජිත්ගේ තවත් සංකේත දෙකකි.
පියානෝව සහ ක්‍රිකට් පිත්ත.
එකක් හදවතට කතා කරයි.
අනෙක ශරීරයට කතා කරයි.
එකක් සවන්දීම උගන්වයි.
අනෙක තීරණය උගන්වයි.
එකක් සංගීතය නිර්මාණය කරයි.
අනෙක කණ්ඩායමක් සමඟ ජයග්‍රහණය සොයයි.
එහෙත් මේ දෙකම අවසානයේ කියන්නේ එකම කතාවකි.
මිනිසා සම්පූර්ණ වන්නේ ඔහුගේ බලයෙන් පමණක් නොවේ.
ඔහුගේ සංවේදීතාවයෙන්ය.
ඔහුගේ සෞන්දර්යයෙන්ය.
ඔහුගේ විනයෙන්ය.
ඔහුගේ මනුෂ්‍යත්වයෙන්ය.
එබැවින් අද ශ්‍රී ලංකාවට අවශ්‍ය නායකයා ගැන අපි නැවත සිතා බැලිය යුතුය.
බියෙන් මිනිසුන් එකතු කරන නායකයෙක්ද?
වෛරයෙන් ඡන්ද ලබාගන්නා නායකයෙක්ද?
කෝපයෙන් ජනතාව උද්දීපනය කරන නායකයෙක්ද?
තමන්ට තිබෙන බලය පෙන්වා තර්ජනය කරන නායකයෙක් ද?
නැතිනම්…
පියානෝවෙන් හදවත් සන්සුන් කළ හැකි,
ක්‍රිකට් පිත්තෙන් තරුණයන් සමඟ එකට ක්‍රීඩා කළ හැකි,
කලාවට ගරු කළ හැකි,
ක්‍රීඩාවට ආදරය කළ හැකි,
වෙනස් මත ඇති මිනිසුන් සමඟ එකට ජීවත් විය හැකි රටක් ගොඩනඟන නායකයෙක්ද?
කලාවෙන් සහ ක්‍රීඩාවෙන් මිනිස් ජීවිතය අර්ථවත් කළ හැකි නායකයෙක්ද ?
නායකයෙකු සොයන මේ ප්‍රහේලිකාවේ,
සමහරවිට පිළිතුර සැඟවී ඇත්තේ දේශපාලන වේදිකාවේ නොවේ.
එක් පියානෝවක යතුරු අතරය.
එක් ක්‍රිකට් පිත්තක පහර අතරය.
(සෙස්ස ලබන සතියට)
මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
ජනමාධ්‍ය අධ්‍යයන අංශය – කොළඹ විශ්වවිද්‍යාලය
සබැඳි ලිපි :
නායකයෙකු සොයන පuzzle එක (16) : සජිත්ගේ පාසල | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
නායකයෙකු සොයන පuzzle එක (15) ; සජිත්ගේ කොටියා | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
නායකයෙකු සොයන පuzzle එක - 14 ; සජිත්ගේ ආගම: බුදු දහම රැකීමද? එසේ නැත්නම් ජාතික සමගියද? | මහාචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ
නායකයෙකු සොයන පuzzle එක - 13 ; සජිත්ගේ දේශපාලන දර්ශනය - අන්තිම මිනිසාගේ සිට අවස්ථාවන්ගේ රාජ්‍යය දක්වා | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
නායකයෙකු සොයන පuzzle එක- 08 - මාධ්‍ය දේශපාලන දැන්වීම්: ප්‍රජාතන්ත්‍රවාදයේ සැඟවුණු ඝාතකයා | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
නායකයෙකු සොයන පuzzle එක – (7) අසාර්ථක රාජ්‍යයෙන් ඉදිරියට: පාර්ලිමේන්තුව තුළ දෙවන මහජන මන්ත්‍රණ සභාවක්! | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
නායකයෙකු සොයන පuzzle එක – 5 : වීරයෙක් නොව, පද්ධතියක් සහ විචාරශීලි පුරවැසියෙක් ගොඩනගන නායකත්වයක් අපට අවශ්‍ය ඇයි? | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
නායකයෙකු සොයන පuzzle එක – 4
ශ්‍රී ලංකාවට “සිතීමට මඟ පෙන්වීමක්” කරන පරිවර්තනීය නායකයෙක්: Lula
මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
පරිවර්තනීය නායකයෙක්! - නායකයෙකු සොයන පuzzel එක - 3 | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
නායකයකු සොයන පuzzle එක -02 : ජනකාන්ත නායකත්වය එදිරිව පරිවර්තනීය නායකයෙක් ! | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ







