(මෙම වියමන නායකයෙකු සොයන පuzzel එක ලිපි මාලාවේ තෙවැන්නයි)
දේශපාලන ඉතිහාසය කියවද්දී, අපි නායකයෙක් සොයන ජනතාවක් බව පෙනේ.
අපි හැමදාම හොයලා තියෙන්නේ ;
* හඬ නගන නායකයෙක්,
* කෝපයෙන් කතා කරන නායකයෙක්,
* විවේචනයෙන් ජනතාව එක්ක හැඟීම්බරව සම්බන්ධවෙන්න පුළුවන් නායකයෙක්,
* රට බේරගන්න පුළුවන් නායකයෙක්,
නමුත් ප්‍රශ්නය වන්නේ රටක් අසාර්ථකභාවයෙන් මුදවාගත හැක්කේ හඬින්ද ? කැමරාව ඉදිරියේ දක්ෂ ලෙස රඟපෑමෙන්ද, ගමන් විලාසයෙන්ද? නැත්නම් පද්ධතියක් ගොඩ නැගීමෙන්ද?
අපි පසුගිය ලිපියෙන් විමසා බැලුවේ, ජනතාව විසින් නැවත නැවතත් තෝරාගත් වාරිස්මාවෙන් පිරි නායකත්වය(Charismatic Leadership) ශ්‍රී ලංකාව අසාර්ථක රාජ්‍යයක් (Failed State) බවට පත් කලේ කෙසේද කියලයි.
මේ ලිපියෙන් මේ ලිපි මාලාවේ තීරණාත්මක ගැටළුව දෙසට හැරෙමු.
“ එසේ නම් ශ්‍රී ලංකාවට අවශ්‍ය නායකත්වය කුමක්ද?
ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ වීරයෙක්ද? පද්ධතියක් නිර්මාණය කරන නායකයෙක්ද?
ශක්තිමත් බවේ අසාර්ථකත්වය
ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ආචිබොල්ඩ් බ්‍රවුන් විසින් 2015 දී ලියා පළ කළ ‘තද නායකයෙකු පිළිබඳ මිථ්‍යාව’ (Myth of a Strong Leader) උපුටා දක්වමින් විජයානන්ද ජයවීර වරක් මෙසේ සටහන් කර තිබිණි:

“හොඳ නායකයෙක් යනු තද හෝ ශක්තිමත් පාලකයෙක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක වඩා ඵලදායී නායකයන් වන්නේ විනීත ගති පැවතුම් ඇති, විශේෂඥයින්ට කන්දෙන, ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් සමග එකට වැඩ කළ හැකි අයයි. එහෙත් අසහනකාරී සමාජයක් තදබල නායකයෙක් තෝරා ගැනීමට තිබෙන ඉඩ කඩ වැඩි නිසා එහි ප්‍රතිඵලයක් ලෙස ආභ්‍යන්තරික හා බාහිර වශයෙන් ඇතිවිය හැකි හානිය අති විශාල විය හැකිය”.
මෙරට ජනයා ඉතිහාසය පුරාම බලය ලබා දුන්නේ “ ශක්තිමත් ” ලේබලය ගසා ගැනීමට සමත් නායකත්වයටය. ශක්තිමත් නායකයෙක් කියන්නේ රටක් සමාජයක් එක් පුද්ගලයෙකුගේ හඬ, ආකර්ෂණය, හැඟීම්බර බව, රංගනය සහ චාරිස්මාව මත පවත්වාගෙන යන්න උත්සහ කරන නායකයෙකුට.
එය “ ශක්තිමත් නායකයෙක් ” කියන අර්ථයෙන් නොව බලය තමන් වෙත එකතු කර ගන්නා නායකයෙක් කියන අර්ථයෙන්. රටේ මතුවන හැම ප්‍රශ්නෙටම නායකයා මැදිහත් වීමෙන් විසඳුම් ලැබෙනවා කියන අර්ථයෙන්.
ශක්තිමත් නායකයෙක් නිතරම :
* නීතියට හෝ තම කණ්ඩායමේ සෙසු නායකයන්ට වඩා තමන් වැදගත්, තමන් නැතිවම බැරි කෙනෙක් බව පෙන්වයි.
* ආයතන වලට, පද්ධතියට වඩා පුද්ගල බලය ප්‍රමුඛ කර ගනී.
* විවේචනය සහ වචන නිතරම ආයුධයක් ලෙස භාවිතා කරයි.
* ජනතාව නිතර ඔහු කියන දේ විශ්වාස කරමින් ඔහු පසුපස ගමන් කරන පද්ධතියක් නිර්මාණය කරයි.
මෙය කෙටිකාලීනව “ ශක්තිමත් ” වගේ පේනවා. නමුත් දිගුකාලීනන ආයතන බිඳ වැටෙනවා. රාජ්‍ය සේවය දුර්වල වෙනවා. රටේ පුරවැසියන් එහෙයියන් පිරිසක් - දායක සභාවක් බවට පත් වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනය බිඳ වැටෙනවා.
ආර්ථික කඩා වැටීමෙන්, සියල්ල ගැන මහජන විශ්වාසය බිඳ වැටීමෙන් සහ අනාගතය ගැන බියෙන් අද අප අත්විඳින්නේ එයයි.
එසේනම් විසඳුම කුමක්ද?මෙතැනදී අප අළුත් වචනයක් මෙරට දේශපාලන සංස්කෘතිය තුළ හඳුනාගන්න උත්සහ කරනවා.
පරිවර්තනීය නායකත්වය (Transformational Leadership)
මෙම යෙදුම අළුත් සිද්ධාන්තයක් නෙමෙයි. “NGO jargon ” එකකුත් නෙමෙයි. එය රටවල් ගොඩ නැගුනේ කොහොමද කියලා ඉතිහාසයෙන් අප හමුවේ තබන ආකෘතියක්.
පරිවර්තනීය නායකත්වය කියන්නේ:
* ජනතාව උණුසුම් කිරීම වෙනුවට ජනතාව පරිණත කිරීමට පහසුකම් සලසන්නෙක්.
* පුද්ගල බලය වැඩි කිරීමට නොව ආයතන ශක්තිමත් කිරීමට පහසුකම් සලසන්නෙක්.
* කෙටිකාලීන ජය හෝ ජනප්‍රියත්වය නොව දිගුකාලීන සමාජ, ආර්ථික සහ දේශපාලන පරිවර්තනයකට පහසුකම් සලසන්නෙක්.
මෙම නායකත්ව ප්‍රවේශය ලෝකයේ සාර්ථක රාජ්‍යයන් අත්විඳලා තියෙනවා. අපි ඒ ගැන අහලා තියෙනවා. නමුත් අපි ඒක තේරුම් අරගෙන නැහැ.
DENG XIAOPING - වීරයෙක් නොව පද්ධතියක් නිර්මාණය කල නායකයා
DENG XIAOPINGචීනයේ විප්ලවය කලේ Mao Zedong. නමුත් චීනය ලෝක ආර්ථික බලවතා බවට පත්කලේ DENG XIAOPING.
ඔහු:
* වේදිකා වල වීරයෙක් වුනේ නැහැ
* චාරිස්මාවෙන් ජනතාව උණුසුම් කලේ නැහැ.
* සටන් පාධ අළුත් කරමින් රට වටේ ගියේ නැහැ.
ඔහු කලේ : රට හිතන ආකාරය, වැඩ කරන ආකාරය වෙනස් කිරීම. ඒ සඳහා පද්ධතියක් ගොඩ නැගීම.
1978 දී DENG XIAOPING ආරම්භ කල ප්‍රතිසංස්කරණය සහ විවෘත කිරීම (Reform and Opening up) ප්‍රතිපත්තිය චීනයේ දේශපාලන තර්කය වෙනස් කලා. “ආදර්ශය නිවැරදි නම් ජනතාව දුක් වින්දට කමක් නැත”, නම් භාවිතය වෙනුවට “ජනතාවගේ ජීවිතය හොඳින් ගත වනවාද කියන එකයි වැදගත්” කියන භාවිතය ඔහු හඳුන්වා දුන්නා.
“ බළලා කලුද සුදුද කියන එක වැදගත් නැහැ. ඌට මීයන් අල්ලන්න පුළුවන්ද කියන එකයි වැදගත්”
මෙය slogan එකක් නෙමේ. නායකත්ව දර්ශනයක්. පුද්ගලවාදයට එදිරිව ආයතන පද්ධතියක්.
DENG XIAOPING කියවීම වුනේ රටක් දිගුකාලීනව සාර්ථක වෙන්නේ පුද්ගලයෙක් මත නොව ආයතන මත කියන එක. පද්ධතියක් මත කියන එක.
ඔහු එක පාරටම රටම වෙනස් කරන්න ගියේ නැහැ. ඔහු පටන් ගත්තේ Pilot Project වලින්. ඒවායේ ප්‍රතිඵල සහ උගත් පාඩම් මත ඊළඟ පියවර තැබුවා. අසාර්ථක වුණොත් ආපසු හැරුණා. විරුද්ධ මත දරන්නන්ගේ අදහස් වලට, විකල්ප යෝජනා වලට ඔහු නිතරම විවෘත වුණා. පුද්ගලවාදය වෙනුවට සාමුහික නායකත්වය පරිවර්තනයේ පදනම කරගත්තා.
DENG XIAOPING ඔප්පු කලා රටක් බේරෙන්නෙ වේදිකා රංගනයෙන්, ඇඳුම් පැළඳුම්, ආකර්ශණය, හඬ නගා රසවත් කතා කථා කීම, සටන් පාඨ සහ හැඟීම් සළු පිළි පොරවාගත් ජනකාන්ත නායකත්වයෙන් නොව විනයගත, සැලසුම්ගත, දිගුකාලීන පරිවර්තනයකින් කියලා.
ඔහු වේදිකාවල වීරයෙන් වුනේ නැහැ. ඔහුය චාරිසමාවක් නැහැ කියලා විවේචන එල්ල වුණා. නමුත් ඔහු නිර්මාණය කලේ පුද්ගල වන්දනාවක් නොව ශක්තිමත් පද්ධතියක්.
DENG XIAOPING සාම්ප්‍රදායික ජනප්‍රිය දේශපාලන අර්ථයෙන් ශක්තිමත් දේශපාලන නායකයෙක් නෙමෙයි. ඔහුට Mao Zetung ට වගේ දේවත්වයක් තිබුණේ නැහැ. ඔහුට “ජනතාව උණුසුම් කිරීම” කියන දක්ෂතාවය තිබුණේ නැහැ.
DENG XIAOPING ජනතාවගේ හැඟීම් මත රට ගෙන යන්න උත්සහ කලේ නැහැ. ඔහු කළේ - යථාර්ථය මත තීරණ ගන්න එක. ආදර්ශය ඔහු භාවිතා කලේ මෙවලමක් විදියට විතරයි. ඔහුගේ කේන්ද්‍රීය ඉලක්කය වුනේ චීනය දුප්පත්කමෙන් ගොඩ ගන්න එක.
ප්‍රතිඵලය වුණේ චීනයේ මිලියන 700 ක ජනතාවක් දුප්පත්කමෙන් මිදීම. චීනය ලෝකයේ බලසම්පන්නම රාජ්‍ය බවට පත්වීම.
DENG ගිය පසුත් චීනය කඩා වැටුනේ නැහැ.
ඒක තමයි පරිවර්තනීය නායකත්වය.
DENG ජනතාවට මෙහෙම කිව්වේ නැහැ :
“ මට බලය දෙන්න ”
“ මගේ පසුපසින් එන්න ”

ඒ වෙනුවට ඔහු කලේ “ පද්ධතියක් විශ්වාස කරන්න ” ජනතාව හුරුකිරීම.
පරිවර්තනය එක්ක ජනතාව සිතින් කයින් සම්බන්ධ කිරීම.
නමුත්...........ශ්‍රී ලංකාව චීනයක් නොවේ.
DENG XIAOPING සාර්ථක රාජ්‍යයක් ගොඩනැගූ පරිවර්තනීය නායකයෙක් වුණත්, ඔහු role model එකක් වුණත් ඔහු එය කලේ ශ්‍රී ලංකාවට වඩා වෙනස් දේශපාලන ව්‍යුහයක ඉඳලා කියන එකත් අපිට මගහරින්න බැහැ.
එතකොට ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකාවට වඩාත් ගැලපෙන පරිවර්තනීය නායකත්ව ආදර්ශය කුමක්ද යන්නයි.
ජනමාධ්‍ය අධ්‍යයන අංශය
කොළඹ විශ්ව විද්‍යාලය
සබැඳි ලිපි :
නායකයකු සොයන පuzzle එක -02 : ජනකාන්ත නායකත්වය එදිරිව පරිවර්තනීය නායකයෙක් ! | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
නායකයෙකු සොයන අපේ පuzzle එක | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ








