leader s

(මෙම වියමන “නායකයෙකු සොයන Puzzle එක” නම් ලිපි මාලාවේ දහතුන් වැන්නයි)


“නායකයෙකු” යන්නෙන් අප අදහස් කරන්නේ කුමක්ද?

ඔහු හොඳ කථිකයෙකු වීමද?
විශාල ජන රැලි ගොනු කිරීමද?
නැත්නම් මැතිවරණ ජයග්‍රහණය කිරීමද?

ශ්‍රී ලංකාවේ දේශපාලන සංවාදය තුළ බොහෝ විට අප නායකයන් මනින්නේ පුද්ගල චරිත අනුවය. ඔවුන්ගේ හැඟීම් බර බව , ලස්සනට කතා කිරීම , ජනප්‍රියත්වය, ආකර්ෂණය හෝ පක්ෂ බලය අනුවය.

එහෙත් ලෝක දේශපාලන විද්‍යාව නායකයන් කියවන්නේ වෙනස් ආකාරයකටය.

ඔවුන් අසන්නේ,

“මෙම නායකයාගේ දර්ශනය කුමක්ද?”
“ඔහු ලෝකයේ කුමන දේශපාලන සම්ප්‍රදායට අයත්ද?”
“ඔහුගේ දේශපාලනය රටක් ගොඩනැගිය හැකි බුද්ධිමය රාමුවක්ද?”

පසුගිය සතියේ මෙම ලිපි මාලාවෙන් අපි සජිත් ප්‍රේමදාස නමැති දේශපාලන චරිතය පිළිබඳ කතා කළෙමු.

මේ සතියේ අප විමසන්නේ ඊට වඩා ගැඹුරු ප්‍රශ්නයකි.

සජිත් ප්‍රේමදාසගේ දේශපාලන දර්ශනය කුමක්ද?

ශ්‍රී ලංකාව අසාර්ථක වූයේ මුදල් හිඟ වූ නිසාද?

economic cr
2022 දී ශ්‍රී ලංකාව බංකොලොත් වූ විට බොහෝ දෙනා සිතුවේ එය විදේශ විනිමය අර්බුදයක් බවය.

නමුත් සැබෑ අර්බුදය ඊට වඩා ගැඹුරු විය.

අපට මුදල් හිඟ වූයේ පළමුවෙන්ම අදහස් හිඟ වූ නිසාය.

නව උත්පාදන,  නව නිර්මාණාත්මක  විසඳුම් හිඟ වූ නිසාය.

දශක ගණනාවක් පුරා අපි අන්ත දෙකක් අතර පැද්දුණෙමු.

එක් පැත්තක රාජ්‍යය සියල්ල කළ යුතුයැයි විශ්වාස කළෙමු.

අනෙක් පැත්තේ වෙළඳපොළ සියල්ල විසඳනු ඇතැයි විශ්වාස කළෙමු.

අපි ණය ගත්තෙමු.

අපි පරිභෝජනය කළෙමු.

අපි සහනාධාර බෙදා දුන්නෙමු.

නමුත් අපි ධනය නිර්මාණය කළේ නැත.

අපි තරුණ තරුණියන්ගේ අපේක්ෂාවන් ඉටු කළේ නැත.

අපි ගම්මානයට අවස්ථා දුන්නේ නැත.

අපි නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගුවේ නැත.

අවසානයේ බංකොලොත් වූයේ භාණ්ඩාගාරය පමණක් නොවේ.

දේශපාලන චින්තනයද බංකොලොත් විය.

එබැවින් අද ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නය “කවුද නායකයා?” යන්න නොවේ.

“රට ගෙන යා යුතු දර්ශනය කුමක්ද?” යන්නයි.


වම සහ දකුණ අතර තුන්වන මාවත

සජිත් ප්‍රේමදාසගේ දේශපාලනය තේරුම් ගැනීමට නම් අප යුරෝපය දෙස බැලිය යුතුය.

විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධයෙන් පසු ජර්මනිය දෙස.

ජර්මනිය විනාශ වී තිබුණි.

නගර සුන්බුන් වී තිබුණි.

ආර්ථිකය කඩා වැටී තිබුණි.


konror
එවිට Konrad Adenauer නව දර්ශනයක් ඉදිරිපත් කලා.

ඔවුන් පැවසුවේ,

“වෙළඳපොළ අවශ්‍යය. නමුත් මිනිසා වෙළඳපොළට වඩා වැදගත්ය.”

“ලාභය අවශ්‍යය. නමුත් මනුෂ්‍ය ගෞරවය ඊට වඩා වැදගත්ය.”

“ආර්ථික වර්ධනය අවශ්‍යය. නමුත් එහි ප්‍රතිලාභ අවසාන මිනිසා වෙතත් ළඟා විය යුතුය.”


මෙය අන්ත ධනවාදය නොවීය.

අන්ත සමාජවාදයද නොවීය.

එය මධ්‍යවාදී සංවර්ධනවාදයකි.

පසුව ජර්මනිය, නෙදර්ලන්තය, බෙල්ජියම සහ ඉතාලිය වැනි රටවල් මෙම දර්ශනය මත තම ආර්ථික ආශ්චර්යයන් ගොඩනැගූහ.

R Premadasa 2021.05.01

සජිත්ගේ දේශපාලන දර්ශනය මෙම කරුණු මත පදනම් වී ඇති බව පෙනේ.  ඒ සඳහා ඔහුගේ පියා, ආර් ප්‍රේමදාස මහතාගේ දේශපාලන දර්ශනයේ හෙවනැල්ල වැටී ඇති බව පෙනේ.

රණසිංහ ප්‍රේමදාසගේ “ආන්තික මිනිසා”

මෙහිදී අපට හුරුපුරුදු ශ්‍රී ලාංකික චරිතයක් මතක් වේ.
රණසිංහ ප්‍රේමදාස.

ඔහුගේ දේශපාලන භාෂාවේ වඩාත් ප්‍රසිද්ධ වචනය වූයේ,
“ආන්තික මිනිසා”

ඔහු කතා කළේ,
*  අමතක වූ ගම්මානය ගැනය.
* නිවසක් නැති පවුල ගැනය.
* අවස්ථාවක් නොලැබූ තරුණයා ගැනය.
* ඔහු දුප්පත්කම ගැන කතා කළේ ධනවතුන්ට එරෙහිව නොවේ.
  දුප්පත් මිනිසාට අවස්ථාවක් ලබා දීම සඳහාය.

එය විප්ලවවාදී දේශපාලනයක් නොවීය.

එය සමාජ යුක්තිය සහ සංවර්ධනය එකට බැඳුණු දේශපාලනයකි.

“අන්තිම මිනිසා” ඉක්මවා “ආන්තික ජනයා” බලගැන්වීම: ප්‍රේමදාස දර්ශනය සහ ශ්‍රී ලංකාවේ අනාගතය

ඉතාලියානු මාක්ස්වාදී විචාරකයෙකු වන ඇන්ටෝනියෝ ග්‍රාම්ෂි (Antonio Gramsci) විසින් දේශපාලන හා සමාජ බලය පිළිබඳ විග්‍රහයේදී “Subaltern” “නිර්ප්‍රභූ” (ආන්තික/පහළ ස්ථර ජනයා) යන සංකල්පය භාවිතා කළේය. ඔහුගේ අදහස අනුව සමාජයක බලය පාලනය කරන “ඉහළ තට්ටුව” “ප්‍රභූ” (elite) සහ එම බලයට සෘජුව හෝ අසෘජුව ප්‍රවේශ වීමට නොහැකි ජන කොටස් අතර ගැඹුරු අසමතාවයක් පවතී. එම අසමතාවය දේශපාලන, ආර්ථික, සමාජීය හා සංස්කෘතික යන සියලුම ක්ෂේත්‍ර හරහා ප්‍රකාශ වේ.

poor 250816

සමකාලීන ශ්‍රී ලංකාව තුළ මෙම “නිර්ප්‍රභූ” (“Subaltern”) සංකල්පය අපට හඳුනාගත හැක්කේ “ආන්තික ජනයා” ලෙසය. එනම් බලය, අවස්ථා සහ සම්පත් වලින් දුරස්ථව සිටින ජන කොටස්ය. උදාහරණ ලෙස තරුණ පරපුර, කාන්තාවන්, ග්‍රාමීය ජනතාව, ආර්ථික වශයෙන් පීඩිත කණ්ඩායම් සහ සුළු ජන වර්ගයන් (minorities) මෙම ආන්තික අවකාශයට අයත් වේ.

මෙහිදී වැදගත්ම කරුණ වන්නේ මෙම ජනතාව “අවම වටිනාකමක් ඇති” පිරිසක් නොව, බලයට ප්‍රවේශ වීමේ අවස්ථා සීමා වූ පිරිසක් බව අවබෝධ කරගැනීමය. එබැවින් මෙම වියමන තුළ  “අන්තිම මිනිසා” යන සංකල්පයට වඩා පුළුල් හා සාධාරණ අර්ථයක් දක්වන “ආන්තික ජනයා (marginalized man)” යන පදය භාවිතා කරමි.

එහි සරල අරුත වන්නේ —රටක සහ සමාජයේ තීරණ ගත යුත්තේ, සමාජයේ අගය තීරණය වන්නේ කේන්ද්‍රයේ සිටින අයගෙන් පමණක් නොව, කේන්ද්‍රයට පිවිසීමට අවස්ථා නොලැබූ නමුත් සමාජය නඩත්තු කරන, ජීවිතය ඉදිරියට ගෙන යන ආන්තික ජනයාගෙන්ද බවයි.

“පසෙකට තල්ලු වූ මිනිසා” එදිරිව “අන්තිම මිනිසා”

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුළ ආර්. ප්‍රේමදාස නායකත්වය විශේෂ වන්නේ එක් මූලික අදහසක් නිසාය—“අසරණ මිනිසා”, “පසෙකට තල්ලු වූ මිනිසා” “ආන්තික ජනයා” (marginalized man) නැවත සමාජයේ මධ්‍යයට ගෙන ඒම. ඔහුගේ දේශපාලන දර්ශනයේ හදවත තිබුණේ “ප්‍රභූ” (elite) බල කේන්ද්‍රවල නොව, ගම්මානවල, ග්‍රාමීය තරුණ තරුණියන්, කාන්තාවන්, කුලී වැඩකරුවන්ගේ, කඩුල්ල අසල සිටි සමාජ දේශපාලන ආර්ථික සංස්කෘතික බලය සහ අවස්ථා  අවස්ථාව අහිමි වූ ජනතාවගේ ජීවිතය තුළය.

එහෙත් අද අපි සමාජයක් ලෙස මුහුණ දෙන විශාල අවදානමක් තිබේ. එය “අන්තිම මිනිසා” (The Last Man) සංකල්පයයි. “අන්තිම මිනිසා” යනු සමාජයක් ලෙස අපි අරමුණක් නැති, ඉච්ඡාභංගත්වයට පත්වූ, සිහින නැති, අවදානමෙන් බිය වූ, සැනසීම පමණක් සොයන මනෝභාවයකට පත්වීමයි. එවැනි සමාජයක මිනිසා “වෙනසක් අවශ්‍ය නැත” කියා සිතයි. එවැනි සමාජයක නවෝත්පාදන, පරිවර්තනීය නායකත්වය, සහ ජාතික අරමුණු අහිමි වේ.

මෙය “marginalized man” සංකල්පයෙන් වෙනස්ය. “marginalized man” යනු සමාජයෙන් පසෙකට තල්ලු වූ, අවස්ථා අහිමි වූ, හඬ අසන්නට නොලැබූ පුද්ගලයාය. සමාජ, දේශපාලන, ආර්ථික ,සංස්කෘතික සංස්කෘතික අවකාශයේ හඬ නගන්නට, බලය අභ්‍යාස කරන්නට අවස්ථාව අහිමි වී ඇති ජන කොටස්ය. ඔහුට අවශ්‍ය වන්නේ සමාජය තුළ නැවත ස්ථානයක්, නැවත ගෞරවයක්, නැවත අවස්ථාය.

home project

ආර්. ප්‍රේමදාසගේ දේශපාලන දර්ශනය මෙම දෙවර්ගය අතර පැහැදිලි තේරීමක් කරයි. ඔහු “අන්තිම මිනිසා”ගේ සැනසීමාත්මක නිශ්චලතාවය පිළිගත්තේ නැත. ඒ වෙනුවට ඔහු “marginalized man” සමාජයේ මධ්‍යයට ගෙන ඒමට උත්සාහ කළේය. ග්‍රාමීය නිවාස ව්‍යාපෘති, රැකියා නිර්මාණ වැඩසටහන්, ස්වයං රැකියා ප්‍රවර්ධනය, සහ අඩු ආදායම්ලාභීන් බලගැන්වීම ඔහුගේ එම දර්ශනයේ ප්‍රායෝගික ප්‍රකාශනයකි.

“අන්තිම මිනිසා” සමාජයක් නිශ්චලය. එය වෙනසට බියයි. නවෝත්පාදනයට බියයි. එය පවතින තත්ත්වය රැකගන්නා සමාජයකි. නමුත් “marginalized man” බලගැන්වීම යනු සමාජයට ගතික ශක්තියක් ලබා දීමයි. එය අහිමි වූ ශක්තිය නැවත සමාජයට ගෙන ඒමයි.

අද ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ මේ දෙක අතර පැහැදිලි තේරීමකි. අපි “අන්තිම මිනිසා”ගේ සැනසීමාත්මක නිශ්චලතාවයට යනවාද? නැත්නම් ප්‍රේමදාස වැනි දර්ශනයක් අනුව “marginalized man” බලගැන්වීම තුළින් නව සමාජයක් ගොඩනගනවාද?

සැබෑ ජාතික පරිවර්තනයක් සිදුවන්නේ “අන්තිම මිනිසා”ගේ මානසික සීමාව ඉක්මවා, පසෙකට තල්ලු වූ මිනිසා නැවත සමාජයේ මධ්‍යයට ගෙන එන විටය. එවිට පමණක් ශ්‍රී ලංකාවට අලුත් අනාගතයක් ලියන්න හැකිය.

ලෝක බැංකු ඇස්තමේන්තුවලට අනුව තවමත් ශ්‍රී ලාංකිකයන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු දරිද්‍රතා මට්ටමේ ජීවත් වෙයි. එනම් රටේ ජනගහනයෙන් සියයට 24කට අධික පිරිසක් දරිද්‍රතාවයේ සිරවී සිටිති.

මේ අතර තරුණ විරැකියාව සියයට 18 ඉක්මවා ඇත. ඒ අනුව සමාජයේ වඩාත්ම අවදානමට ලක්වූ කණ්ඩායම බවට පත්ව ඇත්තේ තරුණ පරපුරයි. ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව සංඛ්‍යා ලේඛන පෙන්වුවද, එම වර්ධනය තරුණ ජීවිතවලට තවමත් රැකියා, ආදායම් සහ බලාපොරොත්තු බවට පරිවර්තනය වී නොමැත.

රටේ සමස්ත ජනගහනයෙන්  හතරෙන් එකක් වන මේ පිරිස “ආන්තික ප්‍රජාව” නම් කණ්ඩායමට ඇතුලත් කරන්න පුළුවන්.

New graduates are stressed because of lack of work due to technology to replace their work.
මෙය හුදෙක් සංඛ්‍යා ලේඛන පිළිබඳ කතාවක් නොවේ. එය උපාධියක් අතැතිව රැකියාවක් සොයන තරුණයාගේ කතාවයි. එය තම දරුවන්ගේ අනාගතය ගැන සැලකිලිමත්ව බලා සිටින මව්පියන්ගේ කතාවයි. එය වඩා හොඳ ජීවිතයක් පිළිබඳ සිහින දකින, නමුත් ඒ සඳහා මාර්ගයක් නොපෙනෙන පරපුරක කතාවයි.

එබැවින් ශ්‍රී ලංකාවේ සැබෑ අභියෝගය වන්නේ ආර්ථික වර්ධනයක් වාර්තා කිරීම නොව, එම වර්ධනය ඵලදායී රැකියා, සමාජ සංචලනය සහ ඊළඟ පරපුරට නව අවස්ථා බවට පරිවර්තනය කිරීමයි. රටක් දියුණු වන්නේ දළ දේශීය නිෂ්පාදිතයේ සංඛ්‍යා ඉහළ යාමෙන් පමණක් නොවේ. එහි තරුණයන්ට බලාපොරොත්තුවක්, රැකියාවක් සහ අනාගතයක් නිර්මාණය වූ විටය.


සජිත්ගේ දේශපාලනය කියවිය යුත්තේ කෙසේද?

අද සජිත් ප්‍රේමදාසගේ දේශපාලන කතා තුළ නිතර ඇසෙන වචන කිහිපයක් තිබේ.

* ගුණාත්මක අධ්‍යාපනය.
* සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්.
* හොඳ වාසස්ථාන.
* මානව ප්‍රාග්ධනය.
* තාක්ෂණය.
* ව්‍යවසායකත්වය.
* ඩිජිටල්කරණය.
* දුප්පත්කම පිටුදැකීම.
* සමාන අවස්ථා.
* ජනතා සහභාගිත්වය.
* මනුෂ්‍යත්වය සහ  මානව හිතකාමිත්වය.

මෙම වචන සම්ප්‍රදායික වාමාංශික දේශපාලනයේ භාෂාව නොවේ.

එසේම අන්ත වෙළඳපොළවාදයේ භාෂාවද නොවේ.

මෙය දකුණු කොරියාව, අයර්ලන්තය, ජර්මනිය, යුරෝපා ප්‍රජාව සහ බ්‍රසීලය වැනි රටවල් අනුගමනය කළ සංවර්ධන රාජ්‍ය දර්ශනයට සමීප භාෂාවකි. එය මධ්‍ය දක්ෂිණාංශික දේශපාලන දර්ශනයයි. එය සමාජයේ දේශපාලන සමාජ ආර්ථික සංස්කෘතික බලය අහිමිකර සිටින ආන්තික මිනිසා දෙපයින් නැගිටවන දේශපාලන දර්ශනයෙකි.

පරිවර්තනීය නායකයාගේ සැබෑ කාර්යය

පරිවර්තනීය නායක (Transformational Leadership) න්‍යාය අනුව නායකයෙකුගේ කාර්යය ජනතාව පාලනය කිරීම නොවේ.

ඔවුන් පරිවර්තනය කිරීමය.

James MacGregor Burns සහ Bernard Bass පෙන්වා දෙන පරිදි පරිවර්තනීය නායකයා ජනතාවට අලුත් අනාගතයක් පෙන්වයි.

Lee Kuan Yew සිංගප්පූරුව පරිවර්තනය කළේ එසේය.

Park Chung-hee දකුණු කොරියාව පරිවර්තනය කළේ එසේය.

Lula da Silva බ්‍රසීලයේ මිලියන ගණනකට දුප්පත්කමින් මිදීමට අවස්ථා ලබා දුන්නේ එසේය.

Deng Xiaoping චීනය ලෝකයේ බලවත්ම රාජ්‍යය බවට පත් කළේ එම න්‍යාය අනුව යමිනි.

පරිවර්තනීය නායකයා ජනතාවට මාළු බෙදා නොදේ.

ඔහු මාළු අල්ලන ආර්ථිකයක් ගොඩනගයි.

 

lula de siva
මෙය සජිත් ප්‍රේමදාසගේ දේශපාලන ව්‍යාපෘතියද? ශ්‍රී ලංකාවේ Lula da Silva සජිත් ද?

එය ඉදිරි වසර කිහිපයේදී ශ්‍රී ලාංකිකයන් තීරණය කළ යුතු ප්‍රශ්නයකි.

අවසාන ප්‍රහේලිකාව

අද ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන අර්බුදය නායකයන්ගේ හිඟයක් නොවේ.
දර්ශනයන්ගේ හිඟයකි. 

sahanadara
2022 අපට පැහැදිලිවම ඉගැන්වූ ප්‍රධාන පාඩම වන්නේ සහනාධාර මත පමණක් රටක් ගොඩනැගිය නොහැකි බවය. එසේම, වෙළඳපොළ බලවේග මත පමණක් සමාජයක් ආරක්ෂා වන්නේද නැත.

අපට අවශ්‍ය වන්නේ ධනය නිර්මාණය කරන, එම ධනය නියතවම රැකියා හා අවස්ථා බවට පරිවර්තනය කරන ආර්ථික පද්ධතියකි. එමෙන්ම, එම ආර්ථිකයේ ප්‍රතිලාභ සමාජයේ ආන්තික මිනිසා වෙතද සාධාරණ ලෙස ළඟා කරවන දේශපාලන දැක්මකි.

එබැවින් සජිත් ප්‍රේමදාස පිළිබඳ සැබෑ ප්‍රශ්නය ඔහු ජනප්‍රියද, නැතහොත් ඔහු ජයග්‍රහණය කරයිද යන්න නොවේ. සැබෑ ප්‍රශ්නය මෙයයි: ඔහුට ශ්‍රී ලංකාවට අවශ්‍ය නව මධ්‍යවාදී සංවර්ධනවාදී දර්ශනයක සාර්ථක නියෝජිතයෙකු බවට පත්විය හැකිද?


එම ප්‍රශ්නයට පිළිතුර සොයා ගැනීම, නායකයෙකු සොයන මේ ප්‍රහේලිකාවේ ඊළඟ අදියරයි.

(සෙස්ස ලබන සිකුරාදාට)


(සටහන | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ)
ජනමාධ්‍ය අධ්‍යයන අංශය – කොළඹ විශ්වවිද්‍යාලය
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


සබැඳි ලිපි :

 
 
 
නායකයෙකු සොයන පuzzle එක- 09 - ඡන්දදායකයාගේ සිත පාලනය කරන සැඟවුණු අධිරාජ්‍යය | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

නායකයෙකු සොයන පuzzle එක- 08 - මාධ්‍ය දේශපාලන දැන්වීම්: ප්‍රජාතන්ත්‍රවාදයේ සැඟවුණු ඝාතකයා | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

නායකයෙකු සොයන පuzzle එක – (7) අසාර්ථක රාජ්‍යයෙන් ඉදිරියට: පාර්ලිමේන්තුව තුළ දෙවන මහජන මන්ත්‍රණ සභාවක්! | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ


නායකයෙකු සොයන පuzzle එක – 5 : වීරයෙක් නොව, පද්ධතියක් සහ විචාරශීලි පුරවැසියෙක් ගොඩනගන නායකත්වයක් අපට අවශ්‍ය ඇයි? | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

නායකයෙකු සොයන පuzzle එක – 4
ශ්‍රී ලංකාවට “සිතීමට මඟ පෙන්වීමක්” කරන පරිවර්තනීය නායකයෙක්: Lula
මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ


පරිවර්තනීය නායකයෙක්! - නායකයෙකු සොයන පuzzel එක - 3 | මහාචාර්ය ප්‍ර‍දීප් එන්’ වීරසිංහ

නායකයකු සොයන පuzzle එක -02 : ජනකාන්ත නායකත්වය එදිරිව පරිවර්තනීය නායකයෙක් ! | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්