leader s

ශ්‍රී ලංකාව අද අමුතු දේශපාලන යුගයකට ඇතුල් වී තිබේ. මේ යුගයේ ජනතාව නායකයන් තෝරාගන්නේ ප්‍රතිපත්ති කියවා නොවේ. රූපවාහිනී විවාද අසා නොවේ. පක්ෂ ප්‍රතිපත්ති අධ්‍යයනය කර නොවේ. බොහෝවිට ඔවුන් තීරණ ගන්නේ TikTok වීඩියෝවක්, Facebook Live එකක්, YouTube චැනලයක් හෝ meme එකක් හරහාය.


අද රටේ විශාල ප්‍රශ්නය “හොඳ නායකයෙක් නැහැ” යන්න නොවෙයි. ඇත්ත ප්‍රශ්නය වන්නේ “අපි තවමත් අපේම මනසින් නායකයෙක් තෝරාගන්නවාද?” යන්නයි.


අද ජනතාවගේ සිතීම “algorithm” විසින් පාලනය කරයි. Likes, Shares, Trending සහ Viral Culture විසින් අද ජනමතය හැඩගස්වයි. මෙය නිදහස්, සක්‍රීය, සහ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක ලක්ෂණයක්ද? නැත්නම් මෙය “ඩිජිටල් සමූහ හැසිරවීම” (Digital Crowd Manipulation) නම් අලුත් දේශපාලන ක්‍රමවේදයක ආරම්භයක්ද?

අපි දැන් ජීවත් වන්නේ “දේශපාලන නායකයන්ගේ යුගයක” නොව, “ Digital Influencer” (බලපෑම්කරුවන්ගේ) නායකයන්ගේ යුගයක” ය. 

ගමේ ගුරුතුමාගේ සිට TikTok “ගුරු” දක්වා

පැරණි සමාජයේ ජන මත ප්‍රධානීන් හිටියා (opinion leaders). ගමේ ගුරුතුමා, පන්සලේ හාමුදුරුවෝ, ගොවි නායකයා, වෙද මහත්තයා, කඩේ මුදලාලි , ගෝත්‍ර නායකයා, ‍සහ ප්‍රජා නායකයා ආදී වශයෙන්. ඔවුන්ගේ මතයට බරක් සහ වටිනාකමක් තිබුණේ ඔවුන්ට දැනුම, විචාක්‍ෂණශීලි බව , අත්දැකීම් සහ සමාජ වගකීමක් තිබූ නිසාය.

teacher in villlage
ඔවුන් කියූ දෙය වැරදුනොත් ඒ සඳහා සමාජීය වගකීමක් තිබුණි. ඔවුන්ට ප්‍රභවයක් තිබුණි. අධ්‍යයනයක් තිබුණි. පළපුරුද්දක් තිබුණි. බොහෝ දේ ඇසූ පිරූ මහා දැනමුත්තන් විය. ඔවුන්ට මිනිස් සංහතියේ යහපත සහ  මනුෂ්‍ය  වටිනාකම් වෙනුවෙන් කැපවීමක් තිබිණි. ඔවුන් පොළොවේ අඩිය තබා ජීවත් වූ, පොළොවේ මුල් තිබූ මානව හිතකාමීන් විය. ඔවුන් පෙනී සිටියේ මහජන උනන්දුව සහ මහජන  යහපත වෙනුවෙනි. ඔවුන් කැපවුණේ අදහස් පළ කළේ ඒ වෙනුවෙනි.
නමුත් අද තත්ත්වය වෙනස්ය.

අද YouTube චැනලයක් තිබීම, TikTok followersලා ලක්ෂයක් සිටීම, Facebook Page එකකට views මිලියන ගණනක් ලැබීම – ඒවා “දේශපාලන විශේෂඥභාවය” ලෙස සලකන තත්ත්වයක් උදා වී තිබේ.

සමාජ මාධ්‍ය බලපෑම්කරුවන් (social media influencers) කියාගන්නා මේ පුද්ගලයන්ට ලැබෙන මෙම බලය ඔවුන්ට රට තොටේ සිදුවෙන දේවල් පිළිබඳව ජනතාවට නිගමන, නිර්දේශ ලබා දෙන්නට මෙන්ම කාටද ජනතාව ඡන්දය දෙන්න කියලා තීරණය කරන්න උපදෙස් දෙන්නට ද  “දේශපාලන විචාරක”, “දේශපාලන බක පණ්ඩිත”, “දේශපාලන කයිවාරුකාර” බලපත්‍රයක් ලබාදෙයි. එය එක්තරා අන්දමකට මුදල් ගලා එන බලපත්‍රයෙකි.

මොවුන්ට දේශපාලන විද්‍යාව, ආර්ථිකය, නීතිය ගැන අධ්‍යාපනයක්, අත්දැකීම්, විශේෂඥභාවයක්, දැනුමක් තියෙන්න ඕන නැහැ. කැමරාව ඉදිරියේ කයිවාරුවක් ගහන්න හැකියාව තිබුණම ඇති. කෙසේ නමුත් ඉහත සුදුසුකම් සහිත බලපෑම්කරුවන්ද නැතුවාම නොවේ. නමුත් ඒ ඉතාම අතලොස්සකි.
 
online teacher
අද බොහෝ Influencersලාගේ “සුදුසුකම ” වන්නේ:

* කෑගහමින් කතා කිරීම,
* සංවේදී ප්‍රබන්ධ හැදීම,
* වාචාල කීම,
* ඕපදූප, දූෂ මාන ආරංචි (rumors and gossip) පැතිරවීම,
* meme සංස්කෘතිය භාවිතා කිරීම,
* ජනතාවගේ කෝපය විකුණා ගැනීමය.
* තමන්ගේ පොකට් එක තර කර ගැනීමය.

එහෙත් ජනතාව ඔවුන්ව “සත්‍යයේ හඬ” ලෙස පිළිගනිති.
 
Followersලා “සමූහ මනසක්” බවට පත්වන ආකාරය

මිනිසුන් සමාජ මාධ්‍ය Influencersලා අන්ධ ලෙස හඹා යන්නේ, අනුකරණය කරන්නේ සහ ඔවුන්ට අනුගත වන්නේ ඇයි?

මෙය හුදෙක් දේශපාලන ප්‍රශ්නයක් නොවේ. මෙය මනෝවිද්‍යාත්මක ප්‍රශ්නයකි.

Influencer කෙනෙකු දිනපතා ඔබගේ ජංගම දුරකථනය තුළ පෙනී සිටී. ඔහු ඔබට සිනාසෙයි. විහිළු කරයි. තම පෞද්ගලික ජීවිතය share කරයි. ඔහු “අපේම කෙනෙක්” ලෙස ඔබට පෙනේ.

මේ හරහා "අන්‍ය සමාජ සම්බන්ධතාවක් " (parasocial relationship)” ගොඩනැගේ. එනම්, ඔබ ඔහු හඳුනන බවට සිතන නමුත්, ඇත්තටම ඔහු ඔබව හඳුනන්නේ නැත.

නමුත් follower කෙනාට ඒ influencer “විශ්වාසදායක පුද්ගලයෙක්” බවට පත්වේ.
 
pexels ivan samkov 8117815 scaled
ඒ නිසා ඔහු:

* කාට ඡන්දය දිය යුතුද,
* කාට වෛර කළ යුතුද,
*  කා ගැන සැක කළ යුතුද,
* වීරයා කවුද,
* දුෂ්ටයා කවුද,
* සමාජ හිතකාමියා කවුද,
* සමාජ විරෝධියා කවු ද,
යන්න තීරණය කර දෙයි.

මෙම උපාය මාර්ග මගින් හඹායන්නන්ව (followers) යුගල ප්‍රතිපක්ෂ (binary-opposition) ලෝකයකට හිරකරයි. එවිට හඹායන්නන් ලෝකය, දේශපාලනය, සමාජය තේරුම් ගන්නේ සහ ඒ පිළිබඳ තීරණ ගන්නේ  සත්‍ය, යථාර්ථය හෝ විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වී නොවේ. මහජන යහපත, මහජන උනන්දුව හෝ මානව වර්ගයාගේ යහපත වෙනුවෙන් නොවේ.
 
මේ තත්ත්වය තුළ “followersලා” තනි පුද්ගලයන් නොව “ඩිජිටල් සමූහ” “digital crowd” එකක් බවට පත්වෙති. ඔවුන් විවේචනාත්මකව නොසිතයි. ඔවුන් react කරයි. Share කරයි. Attack කරයි. Worship කරයි.

“ස්වාධීන හඬ” සිට දේශපාලන වේදිකාවට

පසුගිය මැයි දින රැළියකදී ජනප්‍රිය “social media influencer” කෙනෙකු ප්‍රබල දේශපාලන නායකයෙකුගේ වේදිකාවේ පෙනී සිටියේය.

මේ පුද්ගලයා මීට පෙර විවිධ දේශපාලන නායකයන් වෙනුවෙන් හඬ නැගූ බව ජනතාවට මතකය. ඔහුගේ  අදහස් සහ නිගමන පිළිගෙන තමන් කාටද ඡන්දය දෙන්නේ යන්න තීරණය කළ බව  හඹා යන්නන්ට අමතක නැහැ. එහෙත් ඔහුගේ “followersලා” ඔහුව තවමත් “ස්වාධීන විවේචකයෙක්” ලෙස හඹායති. අනුගමනය කරති.
මෙහි ඇති භයානකම කරුණ වන්නේ එයයි.

may day rallies sri lanka
“Influencer” කෙනෙකුගේ දේශපාලන අනුග්‍රහය හෙළි වුවත් “followersලා” ඔහුව අතහරින්නේ නැත.
ඇයි?

මන්ද followersලාට “facts” වලට වඩා “feelings” වැදගත්ය.

ඔවුන්ට “truth” වලට වඩා “entertainment” වැදගත්ය.

ඔවුන්ට “analysis” වලට වඩා “emotional satisfaction” වැදගත්ය.

තමාගේ මෙන්ම රටක ඉරණම තීරණය කරන දේශපාලනය, “influencers ලාට” මෙන්ම “followers” ලාට ද විනෝදයකි.  සන්තෘෂ්ටිය (Pleasure) උත්පාදනය කරන්නකි .මෙය දේශපාලන විනෝදායනය (Politainment) ලෙස අර්ථ දක්වන්න පුළුවන්.

මෙය ප්‍රජාතන්ත්‍රවාදයට ඇති විශාලම අනතුරකි.

Algorithm – අද නොපෙනෙන දේශපාලන නායකයා

අද රට පාලනය කරන්නේ දේශපාලන පක්ෂ පමණක් නොවේ. Algorithms ද රට පාලනය කරයි.

Facebook, TikTok, YouTube සහ X වැනි platforms වල business model එක පදනම් වී ඇත්තේ engagement මතය.

එබැවින් ඔවුන් promote කරන්නේ:

* කෝපය,
* භීතිය,
* වෛරය,
* සංවේදීකරණය (sensationalism),
* කුමන්ත්‍රණය(conspiracy theories).

සන්සුන්, විචාරශීලී, සාක්ෂි මත මත පදනම් වූ ප්‍රපංච ‍ පැතිර නොයයි (evidence-based discussion viral)

නමුත් කෑගැසීම, පහර දීම, අපහාස කිරීම සහ නාට්‍ය වෛරස් වේ (shouting, attacking, insulting සහ drama viral වේ).

ඒ නිසා ඇල්ගොරිතම ස්වභාවිකවම අන්තවාදී හඬවල් වැඩි කරයි. ප්‍රවර්ධනය කරයි. වැඩි වැඩියෙන් මතුකරයි.

මිනිසුන්ට තම අදහස් වලට විරුද්ධ අදහස් නොපෙනේ. ඔවුන් “echo chamber” එකක සිර වේ.

එවිට:

* තමන් පමණක් හරි බව,
* අනෙක් සියල්ලන් ද්‍රෝහීන් බව,
* තම influencer පමණක් සත්‍යය කියන බව
ඔවුන් විශ්වාස කරයි.

මේ තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදයේ හරය වන විවෘත සංවාදය සහ කරුණුමෙය සත්‍යය (open dialogue and factual truth) විනාශ කරයි.
 
ක්‍රියාකාරීන් සහ බලපෑම්කරුවන් අතර වෙනස

2022 අරගල සමයේදී සමාජ මාධ්‍ය විශාල කාර්යභාරයක් ඉටු කළේය. එය ජනතාව සංවිධානය කිරීමට උපකාරී විය.
 
Aragalaya 2022.10.08
නමුත් එම කාලයේදී “activism” සහ “influencing” අතර සීමාව බොඳ විය.

සැබෑ ක්‍රියාකාරිකයකු (activists):

* ප්‍රතිපත්ති ගැන කතා කරයි,
* ජනතා ගැටලු වෙනුවෙන් පෙනී සිටියි,
* බලය සහ මුදල් ලබා ගැනීම වෙනුවට හරයාත්මක මූලධර්ම (principles) තෝරා ගනී.

නමුත් “influencer” කෙනෙකුගේ ප්‍රධාන අරමුණ “engagement” ය.

ඔහුට “views” අවශ්‍යය. “Trending” අවශ්‍යය. “Sponsorship” අවශ්‍යය. “Political access” අවශ්‍යය.

ඔහු විසින් “activism” පවා “content” එකක් බවට පත් කර ගනී .

ඔහුට “Protest” එකත් “vlog” එකක් වේ. “Revolution” එකත් “reel” එකක් වේ. “Politics” entertainment show එකක් වේ. අවසානයේ ඔහු මේ සියල්ල මුදල් ලැබෙන නිධාන බවට පත්කර ගනී. එහෙත් ඒ බව බොහෝ විට හඹා යන්නෝ නොදනිති.

පුරවැසියා පාරිභෝගිකයකු බවට පත්වීම

අද බොහෝ දෙනා දේශපාලනයට සහභාගී වන්නේ පුරවැසියන් ලෙස නොව පාරිභෝගිකයන් ලෙසය.

ඔවුන්:

* පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශන කියවන්නේ නැත;
* ප්‍රතිපත්ති  සංසන්දනය  නැත;
* ප්‍රශ්න කරන්නේ හෝ අභියෝග කරන්නේ නැත’
* විද්‍යාත්මක සාක්ෂි මූලාශ්‍ර සොයමින් විශ්ලේෂණය කරන්නේ නැත.

ඔවුන් consume කරන්නේ content ය.

දේශපාලනය Netflix series එකක් මෙන් බලයි. Influencersලා celebrityලා මෙන් වන්දනා (worship) කරයි.

මේ නිසා දේශපාලනය විනෝදජනක ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමක් බවට පත්වෙයි (politics becomes performance).

* වැඩියෙන් කෑගහන්නේ කවුද?
* කවුද හොඳ “meme” හදන්නේ?
* කවුද “trending hashtag” එක “create” කරන්නේ?
ඒවා ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ප්‍රශ්න බවට පත්වෙයි. 

පරිවර්තනීය නායකයෙක් බිහි නොවන්නේ ඇයි?

අද අප “නායකයෙකු සොයන පuzzle එක” තුළ සිර වී සිටින්නේ මේ හේතුව නිසාය.
 
leader 260214
සැබෑ පරිවර්තනීය නායකයෙකු යනු:


ජනතාවගේ සදාචාරාත්මක මට්ටම ඉහළ නංවන,
* කෙටිකාලීන ජනප්‍රියත්වයට නොව දිගුකාලීන ප්‍රතිසංස්කරණයට කැපවන,
* ජනතාවගේ කෝපය නොසලකා නොහරින (exploit)
* සත්‍යය අපහසු වුවද එය පවසන නායකයෙකි.

නමුත් බලපෑම්කරුවන්ගේ ආධිපත්‍යයට නතු වූ සමාජයක පරිවර්තනීය නායකයකු බිහිවෙන්න ඉඩක් නැහැ.

මන්ද “social media reward” කරන්නේ “wisdom” නොව “virality” ය.

අද සමාජ මාධ්‍යයේ සැරිසරන්නන්ට (social media walkers) ගැඹුරු චින්තනයක් සහිත පරිවර්තනීය නායකයින් නීරසය.
නමුත් නාට්‍යමය බලපෑම්කරන්නෙකු උද්යෝගිමත් ය.

මේ නිසා සමාජ මාධ්‍යය , සමාජය "චින්තන ප්‍රජාතන්ත්‍රවාදයේ (thinking democracy) සිට ප්‍රතික්‍රියා ප්‍රජාතන්ත්‍රවාදයට (reaction democracy) මාරු කරන ස්ථානයක් බවට පත්ව තිබේ.
 
බලපෑම්කරුවන්ට නීති අවශ්‍යද?

මෙය වාරණය (censorship) සඳහා කරන ඉල්ලීමක් නොවේ.

නමුත් සමාජ මාධ්‍ය දේශපාලන බලපෑම්කරුවන් සඳහා සඳහා විවෘතභාවය සහ වගවීම අවශ්‍යය.

 

funds

දේශපාලන අනුග්‍රහය ලබන “social media pages” සහ “influencersලා:

* තම අරමුදල් මූලාශ්‍ර (funding sources) හෙළි කළ යුතුය;
* තමන්ට ලැබෙන දේශපාලන අනුග්‍රහය ප්‍රසිද්ධ කළ යුතුය (political sponsorship disclose);
* තම අන්තර්ගතය සංරක්ෂණය කර ඒ සඳහා මහජනතාවට ප්‍රවේශය ලබාදිය යුතුය (content archives public access);
* තම සංවිධාන ව්‍යුහය සහ හිමිකාරත්වය (organization structure සහ ownership) හෙළි කළ යුතුය;
* තම ලිපින සහ දුරකථන අංක ප්‍රසිද්ධ කළ යුතුය

එසේම:

තම සුදුසුකම්, විශේෂඥභාවය තමන් කියන දේට පාදක වන මූලාශ්‍රය (source references) ප්‍රසිද්ධ කළ යුතුය.

පැරණි මාධ්‍යයන් වන ගුවන් විදුලි, රූපවාහිනී මධ්‍යස්ථාන සඳහා නියාමන, නීති සහ රෙගුලාසි තිබෙනවා. නමුත් මිලියන ගණනක් ළඟා වූ නිර්නාමික(anonymous) ඩිජිටල් පිටුවට කිසිදු වගකීමක් නැත. මෙය භයානක බල  ආධිපත්‍යයකි.

මාධ්‍ය සාක්ෂරතාවය– 21 වන සියවසේ ජීවිත කුසලතාව

අද සාක්ෂරතාවය (literacy) කියන්නේ කියවීමට සහ ලිවීමට දැනීම පමණක් නොවේ.

අද අවශ්‍ය වන්නේ:


media literacy 1
මාධ්‍ය සාක්ෂරතාවය, ඩිජිටල් සාක්ෂරතාවය, ඇල්ගොරිදම් සාක්ෂරතාවය, කරුණු  පරීක්ෂා කිරීමේ යාන්ත්‍රණ (fact-checking culture) ආදියෙන් ජනතාව බලගන්නවා ඔහු පාරිභෝගිකයකුගේ සිට පුරවැසියෙකු දක්වා පරිවර්තනය කිරීමය.

ජනතාවට ඉගැන්විය යුතුය:

* “viral content” හැමවිටම “true” නොවන බව,
* “influencer” කෙනෙකු “expert” කෙනෙකු නොවන බව,
* බොහෝ හැඟීම් බර අන්තර්ගතයන් යම්කිසි උපායමාර්ගික අරමුණක් සඳහා කරන මෙහෙයුමක් බව (emotional content manipulation tool).
එහෙම නොවුනොත් සමස්ත සමාජයම දුෂ් තොරතුරුවල වෙළඳපොලක් බවට පත්වීමේ අවදානමක් තිබෙනවා (misinformation market).

“ජන හතුරෝ” කවුද?

අද ජන හතුරා සෑමවිටම ආයුධ අතේ ගත් ආඥාදායකයෙක් නොවේ.

සමහර විට ජන හතුරා:
* viral content creator කෙනෙකි,
* fake news page එකකි,
* paid influencer කෙනෙකි,
* algorithm manipulation network එකකි.
ඔවුන් ජනතාවගේ මනස තම යටත් විජිතයන් බවට (colonize) පත් කර ගනී.
ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය විකෘති කරන්නේ ආයුධ වලින් නොව අන්තර්ගතය (content) තුළිනි.
 
අවසාන ප්‍රශ්නය

අද අපිට ඇසිය යුතු ප්‍රශ්නය “හොඳ නායකයෙක් කොහෙද?” යන්න පමණක් නොවේ.

ඊට වඩා වැදගත් ප්‍රශ්නය මෙයයි:

“අපි තවමත් නිදහස් පුරවැසියන්ද?

නැත්නම් algorithms සහ influencers විසින් මෙහෙයවන digital followersලාද?”

රටක ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටෙන්නේ හැමවිටම හමුදා කුමන්ත්‍රණයකින් නොවේ.

 

tiktok following scaled
සමහරවිට එය TikTok dance එකකින් සිදුවේ.
YouTube rant එකකින් සිදුවේ.
Meme culture එකකින් සිදුවේ.

නැත්නම් අපි ආදරය කරන influencer කෙනෙකුගේ සිනහවකින් සිදුවේ.

එවිට ජනතාවට පවා නොදැනී ඔවුන්ගේ සිතීමේ නිදහස “algorithm” ට භාර දී අවසන් වී තිබිය හැකිය.

එබැවින් ශ්‍රී ලංකාවට අද අවශ්‍ය වන්නේ තවත් viral starsලා නොවේ.

අවශ්‍ය වන්නේ:
* සත්‍යය කියන නායකයන්,
* විවේචනාත්මකව සිතන පුරවැසියන්,
සහ ඩිජිටල් මෝහනයෙන් (digital hypnosis) මිදුණු, අවදි වූ සමාජයකි.

(සෙස්ස ලබන සතියට)

 
WhatsApp Image 2026 05 16 at 7.27.12 AM| මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
ජනමාධ්‍ය අධ්‍යයන අංශය
කොළඹ විශ්ව විද්‍යාලය

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

සබැඳි ලිපි :

 
නායකයෙකු සොයන පuzzle එක- 09 - ඡන්දදායකයාගේ සිත පාලනය කරන සැඟවුණු අධිරාජ්‍යය | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

නායකයෙකු සොයන පuzzle එක- 08 - මාධ්‍ය දේශපාලන දැන්වීම්: ප්‍රජාතන්ත්‍රවාදයේ සැඟවුණු ඝාතකයා | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

නායකයෙකු සොයන පuzzle එක – (7) අසාර්ථක රාජ්‍යයෙන් ඉදිරියට: පාර්ලිමේන්තුව තුළ දෙවන මහජන මන්ත්‍රණ සභාවක්! | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ


නායකයෙකු සොයන පuzzle එක – 5 : වීරයෙක් නොව, පද්ධතියක් සහ විචාරශීලි පුරවැසියෙක් ගොඩනගන නායකත්වයක් අපට අවශ්‍ය ඇයි? | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

නායකයෙකු සොයන පuzzle එක – 4
ශ්‍රී ලංකාවට “සිතීමට මඟ පෙන්වීමක්” කරන පරිවර්තනීය නායකයෙක්: Lula
මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ


පරිවර්තනීය නායකයෙක්! - නායකයෙකු සොයන පuzzel එක - 3 | මහාචාර්ය ප්‍ර‍දීප් එන්’ වීරසිංහ

නායකයකු සොයන පuzzle එක -02 : ජනකාන්ත නායකත්වය එදිරිව පරිවර්තනීය නායකයෙක් ! | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්