(ශ්‍රී ලාංකේය දේශපාලන මනෝවිද්‍යාව පිළිබඳ විමසුමක්)
පසුගිය ලිපි හතර පුරාම අපි විමසා බැලුවේ ශ්‍රී ලංකාව නැවත නැවතත් වැරදි නායකත්ව ආකෘති තෝරාගෙන තිබේද යන්නයි.
එහෙත් අද අපි යන්න ඕනේ තවත් ගැඹුරු තැනකට;
නායකයන් ගැන කතා කරන්නට පෙර, නායකත්වය ගැන අපි සිතන ආකාරය ගැන කතා කළ යුතු තැනකට.
අද වියමනේ මූලික ප්‍රශ්නය මෙයයි:
ශ්‍රී ලංකාවේ ජනතාව තවමත් වීර නායකයන් වෙත නැවත නැවතත් ආකර්ෂණය වන්නේ ඇයි?
මෙය අපි සමාජයක් ලෙස අපේම දේශපාලන මනෝවිද්‍යාව විමසා බැලීමට කරන ආරාධනයක්.
වීර නායකයා: දේශපාලන විසඳුමක්ද, මානසික සැනසිල්ලක්ද?
ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය දිහා හැරී බලන විට අපට පෙනෙන්නේ ඉතා පැහැදිලි රටාවක්.

අර්බුදයක් එනවා.
සමාජය අනාරක්ෂිත වෙනවා.
අනාගතය ගැන භය වැඩි වෙනවා.
එවිට ජනතාව ජනතාව මෙන්න මේ ප්‍රශ්නය අහනවා:
“දැන් රට ගලවන්නේ කවුද?”
මෙය පුරවැසි ප්‍රශ්නයක් නොව,
ගැළවුම්කරුවෙකු (saviour)
සොයන ප්‍රශ්නයකි.
වීර නායකයා මෙතැනදී දේශපාලනික වශයෙන් අතිශය බලවත් වේ.
නමුත් දේශපාලන මනෝවිද්‍යාව අපිට කියන්නෙ වෙන කතාවක් :
“වීර නායකයා
බොහෝ වෙලාවට
දේශපාලන අවශ්‍යතාවයක් නොව,
මානසික අවශ්‍යතාවයක්” ය.
අනාරක්ෂිත සමාජය සහ “ශක්තිමත් නායකයා”ගේ මානසික ආකර්ෂණය දේශපාලන මනෝවිද්‍යාවේ “authoritarian appeal” කියන සංකල්පය මෙතැනදී ඉතා වැදගත් වෙනවා .
සමාජයක්
ආර්ථිකව, සමාජීයව,
ආරක්ෂාව අතින්
අනාරක්ෂිත වූ විට,
මිනිසුන්ට නිදහසට වඩා ආරක්ෂාව වැදගත් වෙයි.
එවිට ඔවුන් ඉල්ලන්නේ:
– කඩිනම් තීරණ
– ප්‍රශ්න නොඅසන බලය
– “මම බලාගන්නම්” කියන නායකයෙක්.
මෙය
අවිචාරවත් තේරීමක් නොව,
මානසික ආරක්‍ෂාකාරි යාන්ත්‍රණයක් .

දශක ගණනාවක් පුරා
යුද්ධය, අර්බුද,
ආර්ථික අස්ථාවරත්වය අත්විඳි සමාජයකදී
මෙම රටාව ඉතා ශක්තිමත් වීම අහම්බයක් නොවේ.
ආර්ථික භීතිය සහ “සරල පිළිතුරු” දේශපාලනය
ආර්ථික අර්බුදයකදී
සමාජයේ බුද්ධිමය වශයෙන් ගැඹුරක් දකින්න ලැබෙන්නේ නැහැ.
එය මානසිකව සරල වෙයි.
“අපි දුප්පත් ඇයි?”
“කවුද වැරදි?”
“කවුද බේරගන්නේ?”
මෙවැනි මොහොතක නායකයන් දෙදෙනෙක් ඉදිරිපත් වෙති.
එක් අයෙක් මෙසේ කියයි:
“මෙය සංකීර්ණයි. කාලයක් යයි.”
තවත් අයෙක් කියයි:
“මම ආවොත්, ඉක්මනින් විසඳනවා.”
අවිනිශ්චිත අනාරක්ෂිත සමාජයකදී
දෙවැනි කතාව
වඩා ආකර්ෂණීය වේ.
මෙතැනින්ම
වීර නායකයාගේ
දේශපාලනය
ආරම්භ වේ.

“රැකවරණය දෙන පියෙක්”
ශ්‍රී ලංකා සමාජය
ගැඹුරු පීතෘමූලික (paternalistic)
සමාජයකි.
අපගේ සංස්කෘතිය තුළ:
– පියා ආරක්ෂා කරයි
– පියා දඬුවම් කරයි
– පියා තීරණ ගනී
මෙම රටාව
අපි නොදැනුවත්වම
දේශපාලනයටත්
මාරු කරගනිමු.
ඒ නිසා
නායකයාගෙන්
අපි බලාපොරොත්තු වෙන්නේ:
– අපි වෙනුවෙන් තීරණ ගන්න
– අපිව ආරක්ෂා කරන්න
– අපිට කියලා දෙන්න,
මෙය
ප්‍රජාතන්ත්‍රවාදයේ පුරවැසි–රාජ්‍ය සම්බන්ධතාවයට මූලිකවම විරුද්ධ අදහසකි.
නමුත් සංස්කෘතිකව මෙය අපට “සාමාන්‍ය” ලෙස පෙනේ.
වීරයෝ හොයන සමාජයක, පද්ධති සහ විචාරශීලි පුරවැසියෙක් ගොඩනැගෙන්නේ නැහැ
වීර නායකයන් ශක්තිමත් වන සමාජයක,

– නීතිය
– ආයතන
– ක්‍රමවේද
හැමවිටම
පුද්ගලයාට යටත් වේ.
එවිට:
නීතිය = නායකයාගේ කැමැත්ත
ආයතන = නායකයාගේ උපකරණ
ජනතාව = නායකයාගේ අනුගාමිකයෝ
මෙය
ප්‍රජාතන්ත්‍රවාදය නොව,
පුද්ගලිකරණය වූ බලයයි.
වීරයෙක් ආවත් පද්ධතියක් නැතිවීම

1956 දී බණ්ඩාරනායක “සිංහල ජනතාවගේ ගැළවුම්කරුවා” ලෙස ඉදිරිපත් වුණා.
2010 දී මහින්ද “යුද්ධය දිනූ වීරයා” වුණා.
2019 දී ගෝඨාභය “කඩිනම්, දැඩි, පාලකයා” වුණා.
මෙම සියලු අවස්ථාවල ජනතාව බලාපොරොත්තු වූයේ පද්ධතියක් නොව, පුද්ගලයෙක්ය. අවසානයේ අර්බුදය තවත් ගැඹුරු වුණා.
1994 වීරවරියක් සහ පද්ධතියක් පිළිබඳ පොරොන්දු අසාර්ථක වුණේ ඇයි?
1994 දී චන්ද්‍රිකා වීරවරියක් විදිහට සහ පද්ධතියක් ගැන පොරොන්දු එක්ක බලයට පැමිණියා.
නමුත්
ශක්තිමත් ආයතන නැතිව,
විචාරශීලි පුරවැසියෙක් නැතිව,
එම පරිවර්තනය දිගු කාලීනව පවත්වාගෙන යා නොහැකි වුණා.
2015 දී මෛත්‍රී- රනිල් වීරයෙක් නොවී යහපාලන ආයතන පද්ධතියක් පිළිබඳව පොරොන්දු අරගෙන ආවා.
යහපාලන ගමන අවසන් වුනේ පද්ධතියක් , නායකයෙක් තබා පුරවැසියෙක්වත් නැතිව.
නිදහසින් පසුව මේ විදිහට නායකයා වෙනස් වුණත්,
පුරවැසි සිතීම වෙනස් වුණේ නැහැ.
මෙතැනින් පැහැදිලි වන මූලික පාඩම ශ්‍රී ලංකාවේ ගැටළුව වීර නායකයන්ගේ හිඟයක් නොවේ.
ඇත්තටම ගැටළුව වන්නේ:
පද්ධති ගොඩනගන නායකත්වය සහ
ඒ පද්ධති පවත්වාගෙන යන
විචාරශීලි පුරවැසියෙක් (Critical Citizenship)
එකට නොමැති වීමයි.
අපිට අවශ්‍ය මොන වගේ නායකත්වයක්ද?
ශ්‍රී ලංකාවට තවත් වීරයෙක් අවශ්‍ය නැත.
ශ්‍රී ලංකාවට අනුගාමිකයෝ හෝ දායක සභාවක් ඉන්න එකෙන් වෙන්නේ රට හැමදාමත් එක තැන පල් වෙන එක.
අවශ්‍ය වන්නේ:
– පද්ධති ගොඩනගන නායකත්වයක්
– බලය සීමා කරන නායකත්වයක්
– පුරවැසියන්ට බලය බෙදාදෙන නායකත්වයක්
- තීරණ ගන්න, බලය අභ්‍යාස කරන්න, රටේ පුරවැසියන් සෘජුව සහභාගි කර ගන්නා පරිවර්තනීය නායකත්වයක්
ඒ වගේම,
– ප්‍රශ්න අහන පුරවැසියන්
– බලය දෙස සැකයෙන් බලන සමාජයක්
– “අපිත් වගකිව යුතුයි” කියන සිතීම
“නිෂ්ක්‍රීය පාරිභෝගිකයන් නොවන සක්‍රිය විචාරශීලි පුරවැසියන් සිටින සමාජයක්”.

අවසාන නිගමනය වන්නේ: රටේ පරිවර්තනයක් ඇති කරන්න නම් අපිට අවශ්‍ය “ පද්ධති ගොඩනගන ඊට සමගාමීව විචාරශීලි පුරවැසි සමාජයක් ගොඩනඟන, එවැනි සමාජයක් නඩත්තු කරන පරිවර්තනීය නායකයෙක්”.
අවසාන ප්‍රශ්නය මෙයයි:
අපි තවදුරටත්
වීරයෝ හොයනවද?
නැත්නම්
වීරයන් අවශ්‍ය නොවන
පද්ධති සහ පුරවැසි සමාජයක්
ගොඩනගන්න සූදානම්ද?
(සෙස්ස ලබන සිකුරාදාට)
(සටහන | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ)
ජනමාධ්‍ය අධ්‍යයන අංශය
කොළඹ විශ්ව විද්‍යාලය
සබැඳි ලිපි :
ශ්‍රී ලංකාවට “සිතීමට මඟ පෙන්වීමක්” කරන පරිවර්තනීය නායකයෙක්: Lula මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
පරිවර්තනීය නායකයෙක්! - නායකයෙකු සොයන පuzzel එක - 3 | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
නායකයකු සොයන පuzzle එක -02 : ජනකාන්ත නායකත්වය එදිරිව පරිවර්තනීය නායකයෙක් ! | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
නායකයෙකු සොයන අපේ පuzzle එක | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ








