(මෙම වියමන “නායකයෙකු සොයන පuzzle එක” නම් ලිපි මාලාවේ සිව්වැන්නයි)
පසුගිය ලිපි තුන පුරාම අපි විමසා බැලුවේ, ශ්‍රී ලංකාව නැවත නැවතත් වැරදි නායකත්ව ආකෘති තෝරාගෙන තිබේද යන්නයි.
පළමු වියමනෙන් අපි “නායකයෙක් සොයන” සමාජයක් ලෙස අපගේ මානසික ව්‍යුහය හඳුනාගත්තෙමු.
දෙවන වියමනෙන් ජනකාන්ත (Charismatic) නායකත්වය රටක් අසාර්ථක රාජ්‍යයකට (Failed State) පත් කරන ආකාරය විමසා බැලුවෙමු.
තෙවන වියමනෙන් පරිවර්තනීය නායකත්වය (Transformational Leadership) යනු කුමක්ද යන්න පැහැදිලි කරමින්, Deng Xiaoping චීනය පරිවර්තනය කළ ආකාරය උදාහරණයක් ලෙස ගත්තෙමු. නමුත් එම වියමන අවසානයේ අපි ඉතා වැදගත් සීමාවක් දක්වා ගියෙමු:
චීනය ශ්‍රී ලංකාව නොවේ.
Deng Xiaoping ක්‍රියාත්මක වූයේ වෙනස් දේශපාලන පද්ධතියක්, වෙනස් සංස්කෘතියක්, වෙනස් ඉතිහාසයක් සහ වෙනස් රාජ්‍ය ව්‍යුහයක් තුළය. එසේ නම්, ප්‍රශ්නය මෙයයි:
ශ්‍රී ලංකාවට ගැළපෙන “සිතීමට මඟ පෙන්වීමක්” කරන පරිවර්තනීය නායකත්වය කුමක්ද?
මෙම වියමනෙන් මම යෝජනා කරන්නේ, එම පිළිතුර සොයාගත හැක්කේ ලතින් ඇමරිකාවේ බ්‍රසීලයෙන් බවයි. ඒ නායකයා වන්නේ Lula da Silva ය.
බ්‍රසීලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු භූගෝලීය සම්බන්ධයක් නැති වුවත්, ඉතිහාසය හරහා මෙම රටවල් දෙක අතර ගැඹුරු සංස්කෘතික සම්බන්ධතා තිබෙනවා.
*ශ්‍රී ලංකාවත් බ්‍රසීලයත් කාලයක් පෘතුගාල යටත් විජිතයන් ලෙස පාලනය වුණා:
*ශ්‍රී ලංකාවට පෘතුගීසීන් පැමිණියේ 1505 දී
බ්‍රසීලය පෘතුගීසි යටත් විජිතයක් වූයේ 1500 දී
මෙම එකම යටත් විජිත බලය හරහා භාෂාව, නම් , ආහාර සංස්කෘතිය, රටවල් දෙක තුළ මුල් බැස ගත්තා. බ්‍රසීලයේ රාජ්‍ය භාෂාව පෘතුගීසි වන අතර, ශ්‍රී ලංකාවේද අදටත් පෘතුගීසි වචන භාවිතා වෙනවා.
• අල්මාරි (Armário)
• කප්පර (Capa)
• මේස (Mesa)
• සපත්තු (Sapato)
මෙම වචන බ්‍රසීලය තුළද සාමාන්‍ය භාවිතයේ පවතින වචන වේ. බ්‍රසීලයේ ජනප්‍රිය වාසගමක් වන Da Silva ශ්‍රී ලංකාවේද De Silva / Da Silva / De Silve ලෙස ශ්‍රී ලංකාවේ දේශපාලකයන්, ක්‍රීඩකයන්, කලාකරුවන්, සාමාන්‍ය ජනතාව අතරද ද සිල්වා නාමය බහුලයි.

බ්‍රසීලය සහ ශ්‍රී ලංකාව යන රටවල් දෙකම යටත් විජිත ඉතිහාසයකින්, දුප්පත්කම, අසමානතාව, දේශපාලන අර්බුද, සමාජ විවිධත්වය වැනි සමාන අභියෝග හරහා ගමන් කර ඇත. ඒ නිසා බ්‍රසීල අත්දැකීම් ශ්‍රී ලංකා දේශපාලන නායකත්වයට වැදගත් පාඩම් ලබාදේ.
අනුකරණයක් නොව “සිතීමට මඟ පෙන්වීමක්”!
මෙම වියමන ආරම්භ කරද්දීම පැහැදිලි කරගත යුතු කරුණක් තිබෙනවා;
Lula da Silva යනු අනුකරණය කළ යුතු සූත්‍රයක් නොවේ. ඔහුගේ වැදගත්කම ඇත්තේ “copy–paste” කිරීමේදී නොව, සිතීමට මඟ පෙන්වීමේදීය.
ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතියේ බරපතළ දෝෂයක් වන්නේ, අපි නායකයන් දෙස බලන්නේ “සිතීමට මඟ පෙන්වීමක්” ලෙස නොව “අවතාර (Avatar)” ලෙසයි. කාගේ හෝ“අවතාරයක්” ලෙස පෙනී සිටින නායකයින් ලෙසයි (උදා: දෙවියන්ගේ “අවතාරයක්” ලෙස පෙනී සිටීම).

“අපිත් මෙහෙම කළ යුතුයි” කියන්න නොව,
“අපිටත් මෙහෙම සිතන්න පුළුවන්ද?” කියන ප්‍රශ්නය අහන්න පුරුදු වෙන්න පුළුවන්ද කියලා බලන්නයි.
Lula da Silva – වේදිකාවේ වීරයෙක් නොව, පද්ධතියක් ගොඩනගන්නෙක්
Lula da Silva ගේ ජීවිත කතාව, ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලන කතාවලට වඩා වෙනස්ය. ඔහු උපන්නේ අතිශය දුප්පත් පවුලකය. ළමා කාලයේම පාසල් අධ්‍යාපනය අත්හැරීමට සිදුවුණා. කම්කරුවෙක් ලෙස, වෘත්තීය සමිති නායකයෙක් ලෙස ඔහු දේශපාලනයට පැමිණියා.
නමුත් වැදගත්ම කරුණ මෙයයි:

Lula බලයට පැමිණියේ, “මම වීරයෙක්” කියා නොව, “රාජ්‍යයේ කාර්යභාරය වෙනස් කළ යුතුයි” කියාය.
ඔහු ජනකාන්ත නායකයෙක් නොවීය.වේදිකා රංගනය ඔහුගේ ප්‍රධාන දේශපාලන ආයුධය නොවීය.
ඔහුගේ නායකත්වය පදනම් වූයේ, ආයතන, ප්‍රතිපත්ති සහ පද්ධති මතය.
මධ්‍ය-වම (Centre-Left) දේශපාලනය – අන්තවාදය නොව, සම්මුතිය

“පූර්ණ රාජ්‍යය මැදිහත්වීම ” සහ “පූර්ණ වෙළඳපොළ”
“සමාජවාදය” සහ “නිදහස් වෙළඳපොළ”
Lula කළේ මේ දෙක අතර සටනක් නොව, සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමයි.
ඔහුගේ දේශපාලන දර්ශනයේ මූලික අදහස මෙයයි:
“වෙළඳපොළට වැඩ කරන්න ඉඩ දෙන්න. නමුත් රාජ්‍යය දුප්පත් ජනතාව අතහැර නොදමන්න”.
“Bolsa Família” – දානයක් නොව, දේශපාලන ප්‍රකාශයක්!
Lula ගේ නායකත්වය තේරුම් ගැනීමට, Bolsa Família වැඩසටහන හොඳම උදාහරණයයි.
මෙය සරලව “සහනාධාර” වැඩසටහනක් නොවීය. එය දේශපාලන ප්‍රකාශයක් විය. එහි යටි අදහස මෙයයි:
“ජනතාව කුසගින්නෙන් සිටින සමාජයක් තුළ ප්‍රජාතන්ත්‍රවාදය නීත්‍යානුකූල විය නොහැක.”
“අත්පොළසන් ලබා ගැනීම සඳහා කෝපයෙන් කතා කරන, රස කතා කියන හෝ ජනතාව ඉදිරියේ රඟදක්වන නායකයෙක් නොව, මිනිසුන්ගේ මූලික වුවමනාවන් ඉටුකරන සහ මූලික ආරක්ෂාව සහතික කරන ආයතනයක්”.
මෙය ශ්‍රී ලංකාවට තීරණාත්මක විදිහට අදාල වෙනවා. බලයට එන ආණ්ඩු සහ සහ නායකයන් දුප්පත්කම සාමාන්‍ය දෙයක් වගේ, වළක්විය නොහැකි දෙයක් වගේ කියන්න පුරුදු වෙලා ඉන්නවා. අපේ රටේ ඉන්න පාලකයන් රටේ සංවර්ධනය, ආර්ථික ප්‍රතිසංස්කරණ, හෝ අනාගතයේ හොඳ ජීවිතයක් කියලා පොරොන්දු වෙමින්, මිනිස්සුන්ට අද දුක් විඳින එක අනිවාර්යයි කියලා කියන්න පුරුදු වෙලා ඉන්නවා. අපේ රටේ බොහෝ වෙලාවට දුප්පත්කම “වළක්විය නොහැකි කැපවීමක්” ලෙස සාධාරණීකරණය කරලා තියෙනවා. ජනතාවත් ප්‍රශ්න කිරීමකින් තොරව ඒ අදහස පිළිගන්නවා.

“දුප්පත්කම ස්වභාවික දෙයක් හෝ අනිවාර්ය දෙයක් නොව, රාජ්‍ය ප්‍රතිපත්ති, ආර්ථික තීරණ, සහ බල ව්‍යුහයන්ගෙන් උත්පාදනය වන ගැටලුවක්. ඒ නිසාම එය රාජ්‍ය වගකීමෙන් විසඳිය හැකි ගැටලුවක්” කියලා ඔහු තර්ක කලා. ඔහුට අනුව දුප්පත්කම ඉවත් කළ යුතු ගැටලුවක් — ඒක ඉවසිය යුතු දෙයක් නෙවෙයි.
Lula ගේ නායකත්වය යටතේ බ්‍රසීලයේ දුප්පත්කම විශාල වශයෙන් පහත වැටුණා. Bolsa Família වැනි සමාජ ආරක්ෂණ වැඩසටහන් හරහා අඩු ආදායම් පවුල් සඳහා සෘජු ආධාර ලබා දීමෙන් මිලියන ගණනක් දුප්පත්කමින් මුදා මුදා ගත්තා. අධ්‍යාපන හා සෞඛ්‍ය සේවාවන්ට ප්‍රවේශය වැඩි කිරීමෙන් සමාජ අසමානතාව අඩු කිරීමට රජය සමත් විය. ආර්ථික වර්ධනය සමඟම රැකියා අවස්ථා වැඩිවීමත්, අවම වැටුප් ඉහළ දැමීමත් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කළේය.
ඒ අනුව, ලුලාගේ පාලන කාලය බ්‍රසීලයේ සංවර්ධනය සහ සමාජ යහපත එකට ගමන් කළ කාලයක් ලෙස ඉතිහාසයේ සටහන් විය.
චාරිස්මාවට එදිරිව ආයතන

Lula ගේ නායකත්වයේ විශේෂත්වය වන්නේ, ඔහු මහජන චාරිස්මාව මත රට ගෙන යන්න උත්සාහ නොකළ එකයි.
ඔහුට ජනප්‍රියත්වය තිබුණා.
නමුත් ඔහු ජනප්‍රියත්වය භාවිතා කළේ,
තමන් ශක්තිමත් කර ගැනීමට නොව, ආයතන ශක්තිමත් කිරීමටයි.
මෙය ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත් පාඩමක්. අපේ රටේ නායකයන් නිතරම කරන්නේ, ආයතන දුර්වල කර පුද්ගල බලය වැඩි කිරීම. Lula කළේ, පුද්ගල බලය සීමා කර ආයතන විශ්වාසය වැඩි කිරීම.

බ්‍රසීලයද ශ්‍රී ලංකාව වැනිම සම්ප්‍රදායික, ආගමික, අසමානතාවයෙන් පිරි සමාජයකි. එවැනි සමාජයක Lula කළ පරිවර්තනය අපට වැදගත් වන්නේ, ඔහු සංස්කෘතිය කඩා බිඳ දමන්න නොගිය නිසාය.
ඔහු කළේ, සම්ප්‍රදාය රැකගෙන, නවීන රාජ්‍ය පාලන අදහස් හඳුන්වා දීමයි. මෙය ශ්‍රී ලංකාවට ගැළපෙන මාර්ගයක්. අපට අවශ්‍ය වන්නේ සංස්කෘතියට එරෙහි නායකයෙක් නොව, සංස්කෘතිය තුළින් පරිවර්තනය කරන නායකයෙක්ය.
බ්‍රසීලයේ Lula ගේ පරික්ෂාවෙන් අපේ රටට කරන මග පෙන්වීම වන්නේ:
ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ:

• වේදිකාවේ වීරයෙක් නොව, රට හිතන ආකාරය වෙනස් කරන නායකයෙක්,
• දුප්පත්කම “නැසී යා යුතු ගැටළුවක්” ලෙස දකින නායකයෙක්,
• සංස්කෘතියට එරෙහි නායකයෙක් නොව, සංස්කෘතිය තුළින් පරිවර්තනය කරන නායකයෙක්ය.
• චාරිස්මාවෙන් නොව, ආයතන වලින් රට ගෙන යන නායකයෙක්,
Lula da Silva එයට සූත්‍රයක් නොව, දාර්ශනික ආලෝකයක් ලබා දෙයි.
ප්‍රශ්නය මෙයයි:
අපි තවදුරටත් වීරයන් සොයනවද?
නැත්නම් පද්ධති ගොඩනගන නායකත්වයක් තේරුම් ගන්න සූදානම්ද?
(සෙස්ස ලබන සිකුරාදාට)
ජනමාධ්‍ය අධ්‍යයන අංශය
කොළඹ විශ්ව විද්‍යාලය
සබැඳි ලිපි :
පරිවර්තනීය නායකයෙක්! - නායකයෙකු සොයන පuzzel එක - 3 | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
නායකයකු සොයන පuzzle එක -02 : ජනකාන්ත නායකත්වය එදිරිව පරිවර්තනීය නායකයෙක් ! | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
නායකයෙකු සොයන අපේ පuzzle එක | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ








