leader s

අප මේ වන විට සතිපතා ලියන මෙම ලිපි මාලාවේ මූලික ප්‍රශ්නයක් ඇත. එය සරල නමුත් ගැඹුරු ප්‍රශ්නයකි:


“ශ්‍රී ලංකාවේ පරිවර්තනීය නායකයෙක් බිහි වන්නේ කෙසේද?”

පසුගිය ලිපි කිහිපය තුළ අප මෙම ප්‍රශ්නයට පිළිතුරු සොයමින් දේශපාලන පද්ධතියේ තිබෙන ව්‍යුහාත්මක ගැටලු කිහිපයක් විමසා බැලුවෙමු;


* ජනකාන්ත දේශපාලනය;
* පක්ෂ දේශපාලනයේ අධිපත්‍යය;
* විචාරශීලි  පුරවැසි සංස්කෘතියක් නොමැති වීම;
* නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ සීමාවන්;
* ජනතාවගේ සෘජු සක්‍රීය සහභාගිත්වයක්  නොමැති වීම;
* පද්ධතියේ තිබෙන ව්‍යුහාත්මක ගැටලු;

මෙවැනි කරුණු අප සාකච්ඡා කළේ එබැවිනි.
 

නමුත් අද අප අවධානය යොමු කරන්නේ බොහෝ විට දේශපාලන සංවාදයේ අද තියන්න බය, එහෙත් නූතන ප්‍රජාතන්ත්‍රවාදයේ ගුණාත්මකභාවය තීරණය කරන අතිශය වැදගත් කරුණක් වෙතය.

එනම්,
 
මාධ්‍ය දේශපාලන දැන්වීම් (Political Advertising) ය.

විශේෂයෙන්ම රූපවාහිනී, ගුවන් විදුලි, සමාජ මාධ්‍ය සහ ඩිජිටල් ප්‍රචාරණ යාන්ත්‍රණයන් මගින් ජනතාවගේ දේශපාලන තීරණ කොපමණ ගැඹුරින් හැඩගස්වන්නේද යන්න අප අද විමසා බැලීමට යන්නේ එබැවිනි.

මෙම ලිපියේ අදහස් බොහෝ දුරට ගොඩනැගෙන්නේ ශ්‍රී ලංකාවේ මැතිවරණ සමයේ මහජන සන්නිවේදනය නියාමනය කිරීම පිළිබඳව සිදු කරන ලද පර්යේෂණයකින් ඉදිරිපත් වූ විග්‍රහයන් මතය. එම පර්යේෂණය මූලික වශයෙන් විමසා බැලුවේ මෙයයි:
 

මැතිවරණ සමයේ මාධ්‍ය සහ දේශපාලන ප්‍රචාරණය ඡන්දදායකයාගේ ස්වයං තීරණ ගැනීමේ නිදහසට (Voter Autonomy) බලපෑම් කරන්නේ කෙසේද? 
(සහස්‍රා වීරසිංහ, නීති උපාධි නිබන්ධනය).

මෙය සරල ප්‍රශ්නයක් නොවේ.

එය ප්‍රජාතන්ත්‍රවාදයේ හදවතටම සම්බන්ධ ප්‍රශ්නයකි.

දැනුවත් පුරවැසියා: ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික පදනම
 
නූතන ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පය අනුව රටක ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්ද දුර්වලද යන්න තීරණය වන්නේ හුදෙක් ඡන්දය දමන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මත නොවේ.

එය තීරණය වන්නේ “දැනුවත් පුරවැසියා” (Informed Citizen) යන සංකල්පය මතය.

ජනතාව ඡන්දය දමන විට ඔවුන් ගන්නා තීරණය තාර්කිකද?

නැතහොත් එය භාවාත්මක බලපෑම්වල ප්‍රතිඵලයක්ද?

මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ ගුණාත්මකභාවය තීරණය කරන ප්‍රධාන ප්‍රශ්නයකි.

යුනෙස්කෝ (UNESCO) වැනි ජාත්‍යන්තර ආයතන පැහැදිලිව පෙන්වා දෙන්නේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය තුළ පුරවැසියන්ට පහත දේවල් ලැබිය යුතු බවය:

  • * නිවැරදි තොරතුරු
    * විශ්වාසනීය තොරතුරු
    * විවිධ මතවාද
    * ස්වාධීන විශ්ලේෂණ

මෙම සියල්ල පුරවැසියාට ලැබේ නම් පමණි ඔහුගේ ඡන්දය සැබෑ ජනතා කැමැත්තේ ප්‍රකාශනයක්” බවට පත්වන්නේ.

නමුත් මෙහිදී අප ඉදිරියේ මතුවෙන බරපතල ප්‍රශ්නය මෙයයි:

අද ලාංකීය පුරවැසියාට ලැබෙන දේශපාලන තොරතුරු සැබවින්ම නිවැරදිද?
 
තොරතුරු නොව මනෝභාවයන් නිර්මාණය කිරීම
 
අද ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද දේශපාලන තීරණ හැඩගස්වීමේ ප්‍රධාන මෙවලම් දෙකක් ඇත:

* ප්‍රවෘත්ති මාධ්‍ය

* දේශපාලන ප්‍රචාරණය
 
පර්යේෂණ දත්ත පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන්ගෙන් බහුතරයක් තම දේශපාලන අදහස්, තීරණ ගොඩනගන්නේ රූපවාහිනී සහ සමාජ මාධ්‍ය මගින් ලැබෙන පණිවිඩ මත බවයි.

මෙයින් පැහැදිලි වන්නේ මාධ්‍ය යනු හුදෙක් තොරතුරු වාහකයෙක් නොව, ජනමතය, තීරණ “නිෂ්පාදනය කරන බලවත් සන්නිවේදන යාන්ත්‍රණයක්” බවයි.

නමුත් මෙහි වැදගත් කරුණක් ඇත.

දේශපාලන ප්‍රචාරණයේ සැබෑ අරමුණ ජනතාව දැනුවත් කිරීම නොවේ.
එහි අරමුණ වන්නේ,
 
ජනතාවගේ මතය හැඩගස්වීම ය. ජනතාවගේ තීරණය තම දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව වෙනස් කිරීමයි.
 
 
මෙය සිදු කරන්නේ බොහෝ විට පහත උපක්‍රම භාවිතා කරමින්ය:

* ශබ්ද සහ දෘෂ්‍ය ප්‍රයෝග (sound and visual effects)
* දෘශ්‍ය සංකේත
* ව්‍යාජ තොරතුරු සහ ප්‍රබන්ධ,
* ආඛ්‍යාන ගොඩනැගීම,
* අතිශයෝක්තිය,  
* මගහැරීම,
* කැමරා ප්‍රයෝග, සංස්කරණ ප්‍රයෝග, කෘතිම බුද්ධි නිර්මාණ
* සංගීතය
* භාවාත්මක පණිවිඩ
* ජාතිකවාදී හෝ ආගමික සංකේත
* බිය හෝ බලාපොරොත්තු උත්තේජනය කරන කතා
 
මෙම ක්‍රම භාවිතා කරන්නේ තාර්කික සංවාදයක් සඳහා නොව,
මිනිසුන්ගේ හැඟීම් උත්තේජනය කිරීම සඳහාය.

එහි ප්‍රතිඵලය වන්නේ,
 මෙරට මැතිවරණයක් කියන්නේ ප්‍රතිපත්ති පිළිබඳ සංවාදයක් , ඒවා පිළිබඳ ගැඹුරු සංසන්දනාත්මක විශ්ලේෂණයක් මත අනාගත පරපුර වෙනුවෙන් ගනු ලබන බරපතළ තීරණයක් නොව වෙළඳ දැන්වීමකට ගොදුරු වී දේශපාලන භාණ්ඩයක් මිලදී ගැනීමකි .
 
“Paid News” සහ සත්‍යය අහිමි වන මාධ්‍ය අවකාශය
 
psirtty
නූතන මාධ්‍ය පද්ධතිය තුළ දකින්නට ලැබෙන තවත් භයානක ප්‍රවණතාවක් වන්නේ Paid News යන සංකල්පයයි.

මෙය ප්‍රවෘත්තියක් ලෙස පෙනී සිටින නමුත් ඇත්ත වශයෙන්ම එය මුදල් ගෙවා සිදු කරන දේශපාලන ප්‍රචාරණයකි.

එහිදී ප්‍රවෘත්තිය සහ ප්‍රචාරණය අතර තිබෙන සීමාව බොඳ වී යයි.

සාමාන්‍ය පුරවැසියාට මෙහි වෙනස හඳුනා ගැනීම අපහසු වේ.

එවැනි අවස්ථාවක ජනතාව විශ්වාස කරන්නේ තමන් නරඹන්නේ ස්වාධීන පුවතක් බවයි.

නමුත් ඇත්ත වශයෙන්ම එය දේශපාලන ප්‍රචාරණයකි.

මෙම තත්ත්වය විග්‍රහ කිරීමේදී ප්‍රකට මාධ්‍ය විචාරකයන් දෙදෙනෙකු වූ නෝම් චොම්ස්කි සහ එඩ්වඩ් හර්මන් ඉදිරිපත් කළ “Manufacturing Consent” යන සංකල්පය අතිශය වැදගත් වේ.
 
71YznQaybFL. AC UF10001000 QL80

ඔවුන් පෙන්වා දෙන පරිදි මාධ්‍ය පද්ධතිය බොහෝ විට සිදු කරන්නේ සත්‍යය පමණක් ප්‍රකාශ කිරීම නොවේ.
ඒ වෙනුවට එය සිදු කරන්නේ,

* ජනතාවගේ අවධානය වෙනත් දිශාවකට හැරවීම
* කෘතිම බියක් නිර්මාණය කිරීම
* කෘතිම අවශ්‍යතා ගොඩනැගීම

මෙවැනි ක්‍රම මගින් ජනමතය නිෂ්පාදනය කිරීමයි.

සමාජ මාධ්‍ය සහ “Micro-targeting”
 
සමාජ මාධ්‍ය පැමිණීමත් සමඟ මෙම තත්ත්වය තවත් සංකීර්ණ වී ඇත.

අද දේශපාලන ප්‍රචාරණයේ භාවිතා වන අලුත්ම උපක්‍රමය වන්නේ Micro-targeting ය.

මෙහිදී සිදු වන්නේ දත්ත විශ්ලේෂණය කරමින් විවිධ ජන කණ්ඩායම්වලට වෙනස් වෙනස් පණිවිඩ යැවීමයි.
උදාහරණයක් ලෙස,
 
What Is Social Media 2.0 Simple Explanation And Examples

* තරුණයන්ට
– රැකියා සහ තාක්ෂණය ගැන පණිවිඩ

* ගොවීන්ට
– කෘෂිකර්මාන්තය ගැන පණිවිඩ

* ජාතිකවාදී කණ්ඩායම්වලට
– ජාතික ආරක්ෂාව සහ සංස්කෘතිය ගැන පණිවිඩ

මෙහි ඇති විශේෂත්වය මෙයයි.
 
මෙම පණිවිඩ එකිනෙකට පරස්පර විය හැක.
 
නමුත් ඒවා යවන්නේ වෙන වෙනම බැවින්,
ජනතාවට සමස්ත දේශපාලන  පින්තූරය දැකීමට අවස්ථාවක් නොලැබේ.

මෙවැනි පරිසරයක ප්‍රචාරණය තුළ තොරතුරු වර්ග තුනක් බහුලව දක්නට ලැබේ:

Fake News – සම්පූර්ණයෙන්ම නිර්මාණය කළ අසත්‍ය පුවත්
Disinformation – හිතාමතා පතුරුවන වැරදි තොරතුරු
Malinformation – සත්‍ය තොරතුරක් වැරදි සන්දර්භයක භාවිතා කිරීම
 
ev56u56

මෙම සියල්ල ජනතාවගේ දේශපාලන තීරණ ව්‍යාකූල කිරීමට භාවිතා කරන සන්නිවේදන උපක්‍රම වේ.
 
ශ්‍රී ලංකාවේ අත්දැකීම
 
ශ්‍රී ලංකාවේ මෑත මැතිවරණ ඉතිහාසය සලකා බැලූ විට මෙම තත්ත්වය පැහැදිලිව දැකිය හැක.
විශේෂයෙන්ම 2019- 2024 ජනාධිපතිවරණ දේශපාලන ප්‍රචාරණය අතිශය ප්‍රබල ලෙස භාවිතා කළ අවස්ථාවකි.

එම සමයේ:
රූපවාහිනී නාලිකා ගණනාවක් දේශපාලන දැන්වීම් විශාල සංඛ්‍යාවක් විකාශය කළේය.

* එම දැන්වීම් සඳහා මුදල් ගෙවූයේ කවුද යන්න අනාවරණය නොවීය.
* එහි අන්තර්ගතය සත්‍යද නැද්ද යන්න පරීක්ෂා කිරීමක්, අධීක්ෂණයක්,නියාමනයක් නොවීය.
* රූපවාහිනී දැන්වීම් පිළිබඳ වගවීමක් හෝ විවෘතභාවයක් නොවීය.
* සමහර රූපවාහිනී නාලිකා ප්‍රචාරණය කරනු ලැබූ වෙළඳ දැන්වීම් මුදල් අය නොකළ බවටද වාර්තා විය.

 
එමෙන්ම සමාජ මාධ්‍ය හරහා

Facebook
YouTube
WhatsApp
TikTok
වැනි ජාල හරහා සත්‍යතාව පරීක්ෂා නොකළ වීඩියෝ සහ පණිවිඩ ලක්ෂ සංඛ්‍යාත ජනතාව අතරට පැතිර ගියේය.
 
2024 09 19 sri lanka election
මෙවැනි පණිවිඩවල බහුලව භාවිතා වූ උපක්‍රම කිහිපයක් මෙසේය:

* අසත්‍ය ප්‍රකාශ
* විද්‍යාත්මක නොවන තර්ක
* භාවාත්මක වීඩියෝ
* අසම්භාව්‍ය පොරොන්දු

මෙවැනි තත්ත්වයක ජනතාව විශ්වාස කරන්නේ තමන් නරඹන්නේ සත්‍ය තොරතුරු බවයි.
ඒ නිසා ඔවුන්ගේ තීරණ
සන්නිවේදන උපාය මාර්ගයන්ගේ බලපෑමට ලක් වේ.
 
නීතිමය හිඩැස
 
මෙහි ඇති බරපතලම ගැටලුව වන්නේ ශ්‍රී ලංකාවේ මෙම ප්‍රචාරණය නියාමනය කිරීමට ප්‍රබල නීතිමය යාන්ත්‍රණයක් නොමැති වීමයි.

උදාහරණයක් ලෙස
vu46w56u5w
* දේශපාලන දැන්වීම් සඳහා මුදල් ලැබෙන්නේ කොහෙන්ද?
* ඒ සඳහා වැය කරන මුදල කොපමණද?
* එම දැන්වීම් පිටුපස සිටින බලවේගය කවුද?
* ඒවායේ අන්තර්ගතය සත්‍යය ද?

මෙම ප්‍රශ්නවලට ජනතාවට පැහැදිලි පිළිතුරු නැත.

මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ පාරදෘශ්‍යභාවයට විශාල තර්ජනයකි.
 
පරිවර්තනීය නායකත්වයට ඇති බලපෑම
 
අප මෙම ලිපි මාලාවේ සොයන්නේ පරිවර්තනීය නායකයා ය.

එවැනි නායකයෙකු,

  • දූරදර්ශී ප්‍රතිපත්ති ඉදිරිපත් කරයි
    * සමාජ පරිවර්තනයන්ට නායකත්වය දෙයි
    * ජනතාවගේ විශ්වාසය දිනාගනී
  •  

නමුත්,
 මැතිවරණයක් ප්‍රචාරණ ව්‍යාපෘතියක් බවට පත්වූ විටජයග්‍රහණය කරන්නේ: පරිවර්තනීය නායකයා නොවේ.
 
ජයග්‍රහණය කරන්නේ,

වැඩිම මුදල් බලය සහ ප්‍රචාරණ යන්ත්‍රණය ඇති අපේක්ෂකයාය.

මෙය ඡන්දදායකයාගේ ස්වයං තීරණ ගැනීමේ නිදහස අහිමි කරයි.
 
ලෝකයෙන් ගත හැකි ආදර්ශ
 
මෙවැනි තත්ත්වයන්ට විසඳුම් සෙවීමට ලෝකයේ රටවල් කිහිපයක් වැදගත් නීතිමය ක්‍රමවේදයන් හඳුන්වා දී ඇත.
 
uk56uu

උදාහරණයක් ලෙස එක්සත් රාජධානිය (UK). 
 
එහි රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකාවල මුදල් ගෙවා දේශපාලන දැන්වීම් විකාශය කිරීම තහනම්ය.
 
ඒ වෙනුවට, 
සෑම දේශපාලන පක්ෂයකටම
සමාන ගුවන් කාලයක් සහිත නොමිලේ දේශපාලන ප්‍රකාශ සඳහා  ඉඩ ලබා දේ.

මෙහි අරමුණ වන්නේ,

* පක්ෂ මුදල් බලයෙන් මාධ්‍ය අවකාශය අත්පත් කර ගැනීම වැළැක්වීම
* කුඩා පක්ෂවලටද සමාන අවස්ථාවක් ලබා දීම
* සියලු අපේක්ෂකයන්ට සහ සියලුම දේශපාලන පක්ෂ වලට සමබිමක් නිර්මාණය කරදීම.
* ඡන්දදායකයාට සමස්ත තොරතුරුවලින් සන්නද්ධ වී  තීරණ ගැනීමට අවස්ථාව ලබා දීම.

 
ශ්‍රී ලංකාවට අවශ්‍ය ප්‍රතිසංස්කරණ
 
ශ්‍රී ලංකාවේ ද ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට නම් මෙවැනි ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය වේ.
විශේෂයෙන්

ප්‍රචාරණ පාරදෘශ්‍යභාවය

සෑම දේශපාලන දැන්වීමකම
- එය සඳහා මුදල් ගෙවූ පාර්ශවය
- අරමුදල් ප්‍රභවය
සඳහන් කිරීම අනිවාර්ය කළ යුතුය.
 
image a2a9799126

මීට අමතරව උවිදු කුරුකුලසූරිය පෙන්වා දෙන පරිදි දේශපාලන පක්ෂවලට අරමුදල් ලැබුණු ආකාරය තොරතුරු දැන ගැනීමේ පනත මගින් ලබා ගැනීමේ අවස්ථාව ලබා දිය යුතුය.

ප්‍රචාරණ වියදම් සීමා කිරීම

අපේක්ෂකයන්ට ප්‍රචාරණය සඳහා වැය කළ හැකි උපරිම මුදල නීතියෙන් නියම කළ යුතුය.

සමාන මාධ්‍ය අවකාශය

මැතිවරණ සමයේ සියලු පක්ෂවලට සමාන ගුවන් කාලයක් ලබා දීමට මාධ්‍ය ආයතන නීතිමය වශයෙන් බැඳී සිටිය යුතුය.
 
මේ සියල්ලටම වඩා ප්‍රශස්තතම නියාමනය  වන්නේ බ්‍රිතාන්‍යයේ මෙන් රූපවාහිනී ගුවන් විදුලි දේශපාලන වෙළද දැන්වීම් ප්‍රචාරය තහනම් කිරීමයි.
 
අවසාන අදහස

අද ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා අසන්නේ මෙයයි:
“අපට හොඳ නායකයෙක් කවදා ලැබේද?”

නමුත් අප තවමත් ඇසිය යුතු වැදගත් ප්‍රශ්නයක් තිබේ:

“හොඳ නායකයන් හඳුනාගත හැකි ප්‍රජාතන්ත්‍රවාදී තොරතුරු පරිසරයක් අපට තිබේද?”
 
leadership
 
මුදල් බලය, නියාමනය නොකළ ප්‍රචාරණය සහ මනෝවිද්‍යාත්මක බලපෑම් මත පදනම් වූ දේශපාලන පද්ධතියක් තුළ නායකයෙකු තෝරා ගැනීම යනු,

විචාරශීලී තීරණයක් නොව ප්‍රචාරණ යන්ත්‍රණයක ජයග්‍රහණයක් පමණි.

එබැවින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට නම් නායකයන් වෙනස් කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ.

අපගේ දේශපාලන සන්නිවේදන පද්ධතිය සහ
ප්‍රචාරණ සංස්කෘතිය
ද ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ප්‍රතිසංස්කරණය කළ යුතුය.

එවැනි විචාරශීලී තොරතුරු පරිසරයක් තුළ පමණක්
අප සොයන පරිවර්තනීය නායකත්ව
දිනක සැබෑ ලෙසම බිහි වනු ඇත.

(සෙස්ස ලබන සිකුරාදාට)

pradeep n weerasinghe| මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
ජනමාධ්‍ය අධ්‍යයන අංශය
කොළඹ විශ්ව විද්‍යාලය

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

සබැඳි ලිපි :

නායකයෙකු සොයන පuzzle එක – (7) අසාර්ථක රාජ්‍යයෙන් ඉදිරියට: පාර්ලිමේන්තුව තුළ දෙවන මහජන මන්ත්‍රණ සභාවක්! | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ


නායකයෙකු සොයන පuzzle එක – 5 : වීරයෙක් නොව, පද්ධතියක් සහ විචාරශීලි පුරවැසියෙක් ගොඩනගන නායකත්වයක් අපට අවශ්‍ය ඇයි? | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

නායකයෙකු සොයන පuzzle එක – 4
ශ්‍රී ලංකාවට “සිතීමට මඟ පෙන්වීමක්” කරන පරිවර්තනීය නායකයෙක්: Lula
මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ


පරිවර්තනීය නායකයෙක්! - නායකයෙකු සොයන පuzzel එක - 3 | මහාචාර්ය ප්‍ර‍දීප් එන්’ වීරසිංහ

නායකයකු සොයන පuzzle එක -02 : ජනකාන්ත නායකත්වය එදිරිව පරිවර්තනීය නායකයෙක් ! | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

 



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්