මඩුවන්වෙල මහ දිසාවේ සම්බන්ධ තොරතුරු සොයා යනවිට ඒවායින් ඇතැම් තොරතුරුවල යම් යම් වෙනස්කම් දැකිය හැකිය. එහි අරුමයකුත් නැත. අප මේ ලියන්නේ වසර 1844 - 1930 දක්වා මේ රටේ ජීවත් වූ පුද්ගලයකු පිළිබඳව ය.
ඒ අනුව මෙම 2026 වසර වනවිට ඒ තැනැත්තා මිය ගොසිනුත් වසර අනූහයක් ගතව තිබේ. එනම්, ශතවර්ෂයකට ආසන්න ය. මේ වනවිට පරම්පරා දෙකක් පමණ ගතවී ඇති නිසා මෙම පරම්පරාවල් පිළිබඳ ඇතැම් තොරතුරුවල පටලැවිලි ස්වභාවයක් පැවතීම අසාමාන්‍ය නොවේ. මේ සම්බන්ධව ඇති ලිඛිත තොරතුරු හැරුණුවිට බොහොමයක් විස්තර කටවහරේ එන ඒවා ය.
මඩුවන්වෙල මහදිසාවේගේ ළමාවිය, තරුණ විය ඇතුළු ඔහුගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු රාශියක්, මීට වසර කිහිපයකට ඉහත දී රත්නපුර දිස්ත්‍රික්කයේ වලව් පෙළපත් කිහිපයක් පිළිබඳව පර්යේෂණ කළ හිටපු පුරාවිද්‍යා ගවේෂණ නිලධාරියකු සහ මාධ්‍යවේදියකු වන ජයන්ත විජේරත්න හේරත් මහතා විසින් අනාවරණය කරගෙන තිබිණි. එම තොරතුරු මෙහි සඳහන් නොකළොත් අඩුපාඩුවක්යැයි හැඟෙන නිසා මඳකට එම අතීතයට යමු.
එම තොරතුරුවලට අනුව මඩුවන්වෙල පරම්පරාවේ සිටි මඩුවන්වෙල කොඩිතුවක්කු මුදියන්සේ නමැත්තාගේ පුතු මඩුවන්වෙල කෝරාළ ය. මේ අපගේ කතා නායකයා වූ මඩුවන්වෙල මහදිසාවේ නොවේ. එම පරම්පරාවේ ඊට පෙර සිටි පුරුක ය. මෙම කෝරාළ විවාහ වුණේ කුරුවිට, එක්නැලිගොඩ මොහොට්ටාලගේ දියණියක සමගිනි.
මෙම විවාහයේදී එක්නැලිගොඩ මොහොට්ටාල විසින් තම දියණියට දායාදය ලෙස කුරුවිට කෝරළයේ කැන්දන්ගමුව ප්‍රදේශයේ පිහිටි ඔහුට අයත් අක්කර දහස් ගණනක් වන මුදුන්කොටුව නින්දගමෙන් කොටසක් ද ලබා දී තිබිණි.

විවාහයෙන් පසු එම යුවළ පදිංචි වූයේ මඩුවන්වෙල වලව්වේ ය. විවාහ වී කලක් ගත වුණත් ඔවුන්ට දරුවන් ලැබුණේ නැත. විවාහ වන විටත් තරුණ විය ඉක්මවා සිටි මඩුවන්වෙල කෝරාළ විවාහයෙන් කලකට පසු මියගියේය.
ඔහුට වඩා වසර ගණනාවක් ළාබාල වූ එක්නැලිගොඩ කුමාරිහාමි සැමියා මිය යන විටත් තරුණ වියේ පසුවිය. ඉන්පසු මාකඳුර වලව්වේ මොළමුරේ අභයකෝන් රාජපක්ෂ දසනායක වේහැල්ලක මුදියන්සේ හෙවත් මොළමුරේ කෝරළේ මහත්තයා එක්නැලිගොඩ කුමාරිහාමිව විවාහ කර ගත්තේය. ඔහු ද පෙර විවාහය අසාර්ථක වූ අයෙක් නිසා මේ දෙදෙනා හොඳට ගැළපුණි. විවාහයෙන් පසු ඔවුන් දෙදෙනා මඩුවන්වෙල වලව්වේ ම පදිංචි වූහ.
වසර 1844 සැප්තැම්බර් 11 වැනිදා එක්නැලිගොඩ කුමාරිහාමි පුතෙකු බිහිකළාය. මේ දරුවාට "මඩුවන්වෙල විජයසුන්දර ඒකනායක අභයකෝන් මුදියන්සේ රාලහාමිල්ලාගේ ජේම්ස් විලියම් මඩුවන්වෙල" යනුවෙන් නම තබා තිබිණි. දරුවාගේ පියා මොළමුරේ පරම්පරාවේ වුවද දරුවාට මඩුවන්වෙල පෙළපත්නාමය ලබාදීමට හේතුවක් පැවතියේය.
එක්නැලිගොඩ කුමාරිහාමිගේ පළමු සැමියා වූ මඩුවන්වෙල කෝරාළගෙන් අක්කර පනස් දහසක පමණ නින්දගම් කිහිපයක් ඇතුළු තවත් විශාල දේපළ ප්‍රමාණයක් ඇයට උරුම වී තිබිණි. ඒවාට උරුමකම් කීමට මඩුවන්වෙල කෝරාළට දරුවකු නොසිටි නිසා පිටස්තරයින් ඒවාට උරුමකම් කියාගෙන ඒවි යැයි එක්නැලිගොඩ කුමාරිහාමිට සැකයක් පැවතියේය. එනිසා දරුවාගේ සැබෑ පියා වූ මොළමුරේ කෝරාළගේ ද එකඟත්වය ඇතිව දරුවා මඩුවන්වෙල පරපුරේ කෙනෙකු ලෙස කුලවැද්දුම් කළ බව ජයන්ත විජේරත්න මහතා ද සිය ගවේෂණ මගින් දක්වා ඇත.
කෙසේ වුවද මෙම දරුවා ලැබී දින කිහිපයකට පසු ඉතාමත් අවාසනාවන්ත ලෙස එක්නැලිගොඩ කුමාරිහාමි හදිසියේම මියගියාය.
බොල්තුඹේ සමන් දේවාලයබලන්ගොඩ, බොල්තුඹේ පිහිටි සමන් දේවාලයෙහි බස්නායක නිලමේ තනතුර දැරුවේ එක්නැලිගොඩ මහීපාල වික්‍රමසිංහ නිලමේ ය. ඔහු එක්නැලිගොඩ කුමාරිහාමිගේ සහෝදරයෙකි. ඔහුගේ බිරිඳ දංගමුවේ කුමාරිහාමි ය. බලන්ගොඩ මහවලතැන්න වලව්වේ පදිංචිව සිටි මෙම යුවළට ද දරුවන් සිටියේ නැත. ඔවුහු ඉතාම කුඩා වියේදීම මව අහිමිවව ගිය මඩුවන්වෙල දරුවා ව හදා වඩා ගැනීමට භාර ගත්හ. මේ දරුවාගේ පිය පාර්ශවයේ අත්තම්මා මහවලතැන්නේ කුමාරිහාමි කෙනෙකු වීම නිසා දරුවාට එම වලව්වේ ද උරුමකම් තිබිණි.
ඉන්පසු මොළමුරේ කෝරාළ නැවතත් විවාහයක් කර ගත්තේය. එවර ඔහුගේ බිරිඳ වූයේ. ඇලපාත කුමාරිහාමි ය. මේ යුවළට දරුවන් තිදෙනෙකු ලැබූණු බව සඳහන් වෙයි.
මඩුවන්වෙල දරුවා නිසි වයසට එළඹුණු පසු ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් කෙරුණු බව මීට පෙර මා සඳහන් කර ඇත. එවකට ඉංග්‍රීසි මාධ්‍යයෙන් මිෂනාරි අධ්‍යාපනය ලබා ගැනීමට හැකියාව තිබුණේ එවකට මෙරට පාලනය කළ ඉංග්‍රීසි ජාතික දරුවන්ට සහ ඉහළ පැලැන්තියේ ධනවත් කුලවත් පවුල්වල දරුවන්ට පමණි. ශාන්ත තෝමස් විද්‍යාලයේ එකල සිටියේ එවැනි පවුල්වල දරුවන් ය.
මහවලතැන්න වලව්වඅධ්යාපන කටයුතු ඉතා දක්ෂ ලෙස කළ විලියම් මඩුවන්වෙල සිංහල සහ ඉංග්‍රීසි භාෂාව හොඳින් දැන උගත්තේය. කුඩා කල සිටම ඔහු අසාධාරණයේදී දැඩිව කිපුණි. තරුණ වයසට පැමිණෙන විට පාසලේ ඉංග්‍රීසි නිලධාරීන්ගේ දරුවන්ගෙන් සිංහල බෞද්ධ දරුවන්ට නිරන්තරයෙන් සිදු වූ කෙනෙහිලිකම් ඔහු ඉවසුවේ නැත. ඒ නිසාම විලියම් මඩුවන්වෙල, පාසලේ ඉංග්‍රීසි ජාතික සිසුන් සමඟ නිරන්තරයෙන් කලහ කර ගත්තේය. ඔවුන්ට අතින් පයින් පහර දී මෙල්ල කරන්නට මඩුවන්වෙල කෙසේවත් පසුබට නොවිණි.
දිනක් මෙලෙස ඉංග්‍රීසි ජාතික සිසුවකු විසින් සිංහල සිසුවකුට කරන ලද අසාධාරණ ක්‍රියාවක් නිසා මඩුවන්වෙල එම ඉංග්‍රීසි ජාතික සිසුවාට පහර දුන්නේය. එහිදී ගුරුවරයා දඬුවම් කළේ මඩුවන්වෙලට ය.
"වැරැද්ද කළේ එයයි. මාස්ටර් ඇයි මට දඬුවම් කළේ? දඬුවම් කළ යුත්තේ ඔහුටයි. වැරැද්ද කරපු කෙනාට දඬුවම් නොකර. මට දඬුවම් කළ නිසා මාස්ටර් මගෙන් සමාව ගන්න" ඔහු ගුරුවරයා හට සෘජුවම පවසා සිටියේය.
නමුත් ගුරුවරයා සමාව ගත්තේ නැත. මෙහිදී ගුරුවරයා කීවේ පාසලේ විනය පවත්වා ගැනීමට අවශ්‍ය බැවින් මඩුවන්වෙලට දඬුවම් කළ බවයි.
"පාසලේ විනය බලපාන්නේ සිංහල බෞද්ධ අපට විතරක්ද? ගෙරි මස් කන උන්ට විනයක් නැද්ද?"
අතීතයේ ගමනාගමනය දැඩි ලෙස කෝපයට පත් තරුණ මඩුවන්වෙල එලෙස පවසා පාසලෙන් පිටවිය. දින කිහිපයක් පාසල් නොගොස් නේවාසිකාගාරයේ නතර වී සිටි මඩුවන්වෙල කොළඹ සිට බදුල්ල බලා යන ගැල්කරුවන් පිරිසක් සමග එම ගැලක නැගී දින කිහිපයකින් මහවලතැන්න වලව්වට පැමිණියේ අධ්‍යාපනයට සදහටම ආයුබෝවන් කියමිනි.
ලබන සතියේ යළි හමුවෙමු.
මෙම විස්තර සපයා දුන් හිටපු පුරාවිද්‍යා ගවේෂණ නිලධාරී මාධ්‍යවේදී ජයන්ත විජේරත්න හේරත් මහතාටත්, ලිපි පෙළ සඳහා නන් අයුරින් උපකාර ලබා දෙන ප්‍රවීන මාධ්‍යවේදී රක්වානේ බුද්ධික තැන්නෙපිට මහතාටත්, පනාමුරේ මහා විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති, පරිසරවේදී සහ ඓතිහාසික පනාමුර හස්තිරාජ පදනමේ සාමාජික ඩී.ඩී. දයාරත්න මහතාටත් ස්තුතියි.
ඡායාරූප - අන්තර්ජාලය
සටහන : ඉන්දු පෙරේරා
සබැඳි ලිපි :
පනාමුරේ කතාව (01 කොටස) : ඇත්ගාල ඉදිවූ පනාමුරේ නින්දගම | ඉන්දු පෙරේරා
පනාමුරේ කතාව (02 කොටස) : ඇතින්නියන් වලව්ව | ඉන්දු පෙරේරා
පනාමුරේ කතාව (03 කොටස) : රටේ මහත්තයාවත් ඇන්දවූ දුම්කොළ වෙළෙන්දා | ඉන්දු පෙරේරා
පනාමුරේ කතාව (04 කොටස) : අඩනිරුවත් ඇඳුම ඇන්දත් කාන්තාවන් නොකෙලෙසුණු අතීත සමාජය | ඉන්දු පෙරේරා
පනාමුරේ කතාව (05 කොටස) : ප්‍රාදේශීය පාලකයන්ගේ ලන්දේසි යුද්ධය | ඉන්දු පෙරේරා
පනාමුරේ කතාව (06 කොටස) : මඩුවන්වෙල කළු කුමාරයා | ඉන්දු පෙරේරා
පනාමුරේ කතාව (07 කොටස) : සුද්දන්ට මතක හිටින පාඩමක් | ඉන්දු පෙරේරා
පනාමුරේ කතාව (08 කොටස) : සුදු ඒජන්තවරයා ගඟ මැදට දමයි | ඉන්දු පෙරේරා
පනාමුරේ කතාව (09 කොටස) : රුපියල් පනහේ තේ වත්ත | ඉන්දු පෙරේරා








