සමහරුන්ට අනුව මඩුවන්වෙල මහදිසාවේ කෲර සිතැත්තෙකි. එම කතාව තුළ සත්‍යය සේම අසත්‍යයද කලවමට තිබේ. මඩුවන්වෙල මහදිසාවේට අධිකරණ බලතල තිබූ බව සහ ඒ අනුව ඔහු නඩු ඇසූ බව මීට පෙර විස්තර කළෙමි. නඩුවලින් වරදකාරයන් වූ අයට ඔහුගේ දඬුවම් තද ය. ඊට අනුව ඔහු කෲර මිනිසෙකු යැයි කෙනෙකුට කියන්නට හැකියාව තිබේ.
සුද්දන්ට කත් අදින අයට ද මඩුවන්වෙල මහ දිසාවේ දඬුවම් පැමිණවීය. ඔහු තමන්ගේ කෝරළය වන කොලොන්න කෝරළය වෙනුවෙන් බොහෝ වැඩ කළේය. සුදු පාලකයන් පවා මඩුවන්වෙල මහදිසාවේට නිදහසේ එම කටයුතු කරගෙන යාමට ඉඩ දුන්නා විනා ඒ කිසිවක් ගැන සොයන්නට ගියේ නැත. එසේ ඇඟිලි ගැසුවේ නම් මහදිසාවේ ඊට අතිශයින්ම එරෙහි වන බව ද ඔවුහු දැන සිටියහ. ඔහු අමනාප කර ගැනීමට සුදු පාලකයන් කැමති වූයේ නැත.
මඩුවන්වෙල මහදිසාවේට තිබූ මේ පිළිගැනීම නිසාම සුදු පාලකයන් ඔවුන්ගේ උත්සවවලට ආරාධනා කරනු ලබන ප්‍රභූවරුන්ගේ ලයිස්තුවේ මඩුවන්වෙල මහදිසාවේගේ නම ද තිබිණි. 1903 අප්‍රේල් 18 දා රත්නපුරයේ මහජන පුස්තකාලය විවෘත කරන දිනයේ රත්නපුර මහඒජන්තවරයා ලෙස කටයුතු කළ සුදු ජාතිකයා එම උත්සවයට මහදිසාවේට ද ඇරයුම් කර තිබිණි. එහිදී මඩුවන්වෙල මහ දිසාවේ ඇතුළු එම උත්සවයට සහභාගී වූ ප්‍රභූ පිරිස එක්ව ගත් සමූහ ඡායාරූපය අදටත් රත්නපුර මහජන පුස්තකාලයේ සුරක්ෂිතව පවතී.
රත්නපුර මහජන පුස්තකාලයමඩුවන්වෙල මහදිසාවේගේ නිලතල වත්පොහොසත්කම් අනුව ඔහුට ඉහළින් යා හැකි කෙනෙක් ඒ පළාතේ නොවීය. එනිසා සියලු දෙනාගෙන්ම ඒ ගෞරවය ඔහු අපේක්ෂා කළේය. ඔහු කාටවත් බය වූයේ නැත. නමුත් මහදිසාවේට බය නොවූ කෙනෙකුත් සිටියේය. ඒ නින්දගමේ පන්සලක ජීවත් වූ හාමුදුරු නමකි. මේ හාමුදුරුවන්ගේ නම පිළිබඳ නිශ්චිත මතකයක් ඇති කෙනෙකු සොයා ගැනීමට නොහැකි වුවත් මේ කතාව සත්‍යයක් බව තතු දන්නෝ කියති.
හාමුදුරුවෝ හොඳින් මන්ත්‍ර ගුරුකම් දැන සිටියහ. මඩුවන්වෙල මහදිසාවේට කවුරු බය වුණත් හාමුදුරුවන් නම් බය වුණේ නැත. එම මුළු නින්දගමේම දිසාවෙිට බය නොවූ එකම පුද්ගලයාත් මේ හාමුදුරුවන් ය.
නින්දගමේ පදිංචි පුද්ගලයන් මහදිසාවේට අයබදු ගෙවිය යුතුය. දිනක් හාමුදුරුවෝ ද අයබදු ගෙවීම පිණිස වලව්වට වැඩියහ. බදු ගෙවූ මොහොතේ ම කුවිතාන්සියක් ද ලැබේ. නමුත් කුමක් හෝ හේතුවක් මත මහදිසාවේ හාමුදුරුවන්ට කුවිතාන්සිය දී නැත. මින් උදහසට පත් හාමුදුරුවන් "මගේ කුවිතාන්සිය දුන්න නම් මෙහාට" යනුවෙන් කියා සිටියත් මහදිසාවේ එය නෑසුණු ලෙසින් හිඳ තිබේ. කෝපයට පත් හාමුදුරුවන් එකවරම පැන මහදිසාවේගේ දිගු රැවුලෙන් අල්ලා කරකවා "මගේ කුවිතාන්සිය දෙන්නෙ නැද්දැ"යි අසා තිබේ. එවිට සේවකයකු පැන හාමුදුරුවන් ගේ අතට පොලු පහරක් දීම නිසා රැවුල අතහැරියද හාමුදුරුවන්ගේ අතට රැවුල් ගස් කීපයක් ගැලවී ඇවිත් තිබිණි.
හාමුදුරුවන්ගේ ක්‍රියාව කෙරෙහි උරණ වූ මහා දිසාවේ කුවිතාන්සිය ජනේලයෙන් පිටතට විසි කර තිබේ. එය අහුලා ගත් හාමුදුරුවන් නැවත පන්සලට පැමිණ නිකන් සිටියේ නැත.
තමන්ට මහදිසාවේ කළ නොසැලකීම හේතුවෙන් තමන් මෙවැනි දෙයක් කළ බව පවසා එම ප්‍රදේශයේ හැම ප්‍රභූවරයකුටම ලිපියක් බැගින් ලියූ හාමුදුරුවෝ ඒ හැම ලිපියක් තුළටම මහ දිසාවේගේ රැවුලෙන් ගැලවී ආ එක් රැවුල් ගසක් බැගින් දැමූහ. ඉන්පසු එම ලිපි තැපැල් කර යවා ඇත.
බුළුතොට නගරයකොලොන්න කෝරළයට අයත් බුළුතොට නම් ගමක් තිබේ. කොලොන්නේ සිට සූරියකන්ද පාරේ යනවිට විජේරිය නම් ගම් ප්‍රදේශයක් හමුවෙයි. ඉන්පසු හමු වන්නේ බුළුතොට ය. කොලොන්නේ සිට බුළුතොටට දුර දළ වශයෙන් කිලෝමීටර් අටක් පමණ වේ. මේවා කඳු සහ වංගු සහිත පාරවල් ය.
මේ ප්‍රදේශවල තේ වගාව සිදු කෙරේ. එකල බුළුතොට ප්‍රදේශයේ සුද්දෙකුට අයත්ව තිබූ තේ වත්තක් ඉංග්‍රීසි ආණ්ඩුවට පවරා ගෙන එය විකිණීම සඳහා තීරණය වී ඇත. වත්තුයායේ මිල එවකට රුපියල් පන්දහසකි. මඩුවන්වෙල මහදිසාවේ ජීවත් වූ දහනව වැනි සියවසේ මුල් භාගයේ දී රුපියල් පන්දහසක් යනු අතිවිශාල වටිනාකමක් ඇති මුදලකි. මේ තේ වතු යාය මිලදී ගැනීමේ අදහසින් එම මුදලත් රැගෙන මඩුවන්වෙල මහදිසාවේ රත්නපුර මහ ඒජන්තවරයා හමුවන්නට ගොස් ඇත.
එහිදී මෙම ඉංග්‍රීසි නිලධාරියාට කුමක් කෝ හේතුවක් මත 5000 හි අවසන් බිංදු දෙක ලිවීමට අමතක වී තිබේ. කුවිතාන්සිය අතට ගත් මහදිසාවේ එහි 5000 වෙනුවට 50 ලෙස ලියවී තිබෙනු දුටුවේය. ඒ මොහොතේම ඔහු රුපියල් පනහේ වටිනාකමට සරිලන නෝට්ටු මේසය මත තබා නැගිට්ටේය.
එවිට සුදු ඒජන්තවරයා "පනහක් නෙමෙයි පන්දාහක්" යැයි ඔහුගේ මව් භාෂාවෙන් පැවසීය. මහදිසාවේ වචනයක්වත් නොකියා ඔහු ලියා දුන් කුවිතාන්සිය පෙන්වීය. තමාට සිදුවූ මහා විශාල වැරදීම වෙනුවෙන් සුදු ඒජන්තවරයා හිස අතගසා ගත්තේය. මහදිසාවේ ආපසු හැරී ඒජන්තවරයාගේ කාර්යාලයෙන් පිටවිණි.
මඩුවන්වෙල වලව්වමඩුවන්වෙල වලව්වේ සොල්දර කාමරයක් තිබේ. මෙම කාමරය නිර්මාණය කළ ආකාරය ද අපූරු කතාවකි. මහදිසාවේට අවශ්‍ය වුණේ ලෑලිවලින් සොල්දරය නිර්මාණය කළ පසු එම ලෑලි මතට වතුර කළයක් හැලූ විට ලෑලිවල මූට්ටු අතරින් බිමට වතුර කාන්දු නොවන ලෙසින් ලෑලි පුරුද්දා සොල්දරය සෑදීමට ය. එක් වඩු බාස් කෙනෙකු පැමිණ සොල්දරය සකස් කළේය. නමුත් වතුර කළයක් හැලූ විට ලෑලි අතරින් ගෙයි පහළට වතුර කාන්දු විය. ඉන්පසු එම සොල්දරය කඩා තවත් වඩුබාස් කෙනෙකුට එය සෑදීම භාර කළේය. ඔහුටත් එය සෑදීමට නොහැකි විණි. මහදිසාවේ දඬුවමක් ලෙස ඔහුව ගස් බැඳ තබා දිනකට දෙකකට පමණ පසු නිදහස් කළේය. ඉන්පසු තවත් වඩුබාස්වරුන් කිහිප දෙනෙකුම පැමිණ සොල්දරය සකස් කළ මුත් ඒ කිසිවක් සාර්ථක වූයේ නැත. ඒ බාස්වරුන් සියලු දෙනාට ද පෙර දඬුවමම අත්විණි. ඉන්පසු සොල්දරය සෑදීම සඳහා ඉදිරිපත් වීමට වඩු බාස්වරු බියවූහ.
අවසානයේ තවත් එක් වඩුබාස්වරයෙක් මේ සඳහා ඉදිරිපත් විය. ඔහු සොල්දරය සෑදීම සඳහා මුළු පළාතේම ඇවිදිමින් කනෙයියාවන්ගේ ඉටි එකතු කරගත්තේය. එම ඉටිවලින් සොල්දරයෙහි සියලු ලෑලි පුරුද්දා දැමූ විට එම ලෑලි ශක්තිමත් ලෙස එකිනෙකට තදින් බැඳිණි. ඒ ක්‍රමය සාර්ථක විය. තවදුරටත් ලෑලි අතරින් පහළට වතුර කාන්දු වූයේ නැත. මහත් සේ සතුටට පත්වූ මහදිසාවේ ඔහුට ගම්වරයක් තෑගි දී තිබේ. අද පවා එම ලෑලි සොල්දරය ශක්තිමත් ව පවතී.
ලබන සතියේ යළි හමුවෙමු.
තොරතුරු සපයා ගැනීමේ දී සහයෝගය ලබා දුන් ප්‍රවීන මාධ්‍යවේදී රක්වානේ බුද්ධික තැන්නෙපිට මහතාටත්, පනාමුරේ මහා විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති, පරිසරවේදී සහ ඓතිහාසික පනාමුර හස්තිරාජ පදනමේ සාමාජික ඩී.ඩී. දයාරත්න මහතාටත් ස්තුතියි.
ඡායාරූප - අන්තර්ජාලය
සටහන : ඉන්දු පෙරේරා
සබැඳි ලිපි :
පනාමුරේ කතාව (01 කොටස) : ඇත්ගාල ඉදිවූ පනාමුරේ නින්දගම | ඉන්දු පෙරේරා
පනාමුරේ කතාව (02 කොටස) : ඇතින්නියන් වලව්ව | ඉන්දු පෙරේරා
පනාමුරේ කතාව (03 කොටස) : රටේ මහත්තයාවත් ඇන්දවූ දුම්කොළ වෙළෙන්දා | ඉන්දු පෙරේරා
පනාමුරේ කතාව (04 කොටස) : අඩනිරුවත් ඇඳුම ඇන්දත් කාන්තාවන් නොකෙලෙසුණු අතීත සමාජය | ඉන්දු පෙරේරා
පනාමුරේ කතාව (05 කොටස) : ප්‍රාදේශීය පාලකයන්ගේ ලන්දේසි යුද්ධය | ඉන්දු පෙරේරා
පනාමුරේ කතාව (06 කොටස) : මඩුවන්වෙල කළු කුමාරයා | ඉන්දු පෙරේරා
පනාමුරේ කතාව (07 කොටස) : සුද්දන්ට මතක හිටින පාඩමක් | ඉන්දු පෙරේරා
පනාමුරේ කතාව (08 කොටස) : සුදු ඒජන්තවරයා ගඟ මැදට දමයි | ඉන්දු පෙරේරා








