leader s

අවුරුදු 48 ක නාගරික වෙළඳපල පරිභෝජන මාදිලිය වෙනුවට, සදාචාර සම්පන්න ශිෂ්ට මිනිසෙකු සහ ශක්තිමත් ග්‍රාමීය ආර්ථිකයක් නිර්මාණය කරන සැබෑ ජාතික සංවර්ධනයක මූලික යෝජනාවලිය.


ආර්ථික වර්ධනය යනු ජාතික සංවර්ධනය නොවේ: 2019 පැවති දූෂිත අගාධයට රට ආපසු ගෙන යනවා වෙනුවට ජන සහභාගි ප්‍රජාතන්ත්‍රවාදයකින් නව ගමනක් අරඹන මඟ.


“මේ බුද්ධියෙන් රටක් හදන්න බැහැ” යැයි ලීඩ වෙබ් අඩවිය ඉකුත් සිකුරාදා (අගෝස්තු 28) පළ කළ මගේ ලිපියට ලැබුණු ප්‍රතිචාර සමග වූ යෝජනාවක් වන්නේ, වෘත්තිකයින්ගේ සමිති සම්මේලනයේ (OPA) වරක් සභාපති වූ නීතිඥ සුජීව දහනායක මහතා විසින් මට ලියා එවූ, “වර්තමාන ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේ කලක සිට අද දක්වා පවතින අඩුපාඩු සමග බද්ධ කරමින් මේ පිළිබඳව යළි අවධාරණය කරන්නට” යැයි වූ ඉල්ලීම ය. “මේ පිළිබඳව” යැයි ඔහු කියා තිබුණේ “ආනයන-අපනයන වෙළඳ ශේෂය පියවා ගත හැකි අපනයන ආදායමක් ඉපැයීමේ ස්ථාවර සැළසුමක් සමග වන ශක්තිමත් ග්‍රාමීය ආර්ථිකයක් තහවුරු කෙරෙන දේශීය නිෂ්පාදන ආර්ථිකය” ගැන වූ මගේ සඳහන සම්බන්ධවය.

නීතිඥ දහනායක මහතා සඳහන් කර ඇති “කලක සිට අද දක්වා පවතින වර්තමාන ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය” ගැන පළමුවෙන්ම කිව යුත්තේ මෙතෙක් අවුරුදු 48 ක් පුරා පවතින්නේ “සංවර්ධන” ක්‍රියාවලියක් නොවන බවය. මේ පවතින ආර්ථික ක්‍රියාවලිය නාගරික වෙළඳපල ක්‍රියාවලියක් පමණි. විශේෂයෙන් මහ නගර කේන්ද්‍රීය මැද පංතික පාරිභෝගිකයින්ගේ වෙළඳපලකි. මෙතෙක් අවුරුදු 48 ක් මේ වෙළඳපලෙහි අරමුණු කෙරෙන සමාජ “සංවර්ධනය” කවරක්දැයි කිසිවෙකු අර්ථ ගන්වා නැත. සංවර්ධනය ගැන අර්ථ ගැන්වීමක් නොමැතිව දළ ජාතික නිෂ්පාදනය පදනම් කරගෙන කතා කරන ආර්ථික “වර්ධනය”, රටේ “සංවර්ධනය” ලෙස හුවා දැක්වීමට ආණ්ඩු පමණක් නොව, විශ්ව විද්‍යාල ඇදුරන්, ආර්ථික විශේෂඥයන් පවා උත්සාහ කරති.

''ආර්ථික වර්ධනය" සහ "ජාතික සංවර්ධනය" පටලවා ගැනීම

 


“ආර්ථික වර්ධනය” හා “ජාතික සංවර්ධනය” යනු වෙන් වෙන්ව හඳුනාගත හැකි සහ අර්ථ දැක්විය හැකි ක්‍රියාදාම දෙකකි. ආර්ථික වර්ධනය යනු නිශ්චිත කාලයක් තුල භාණ්ඩ නිෂ්පාදනය හා සේවා සැපයුම ඉහළ යෑම සමග ලාභ රේට්ටුද ඉහළ යෑමය. ලාභ හා ලාභ රේට්ටු වර්ධනයේ වාසිය සමාජයේ බෙදී යාම ගැන, එහි සමාජ හවුලක් නොමැතිවීම ගැන කතා, ආර්ථික වර්ධනයට අදාල නැත. සංවර්ධනය ඊට හාත්පසින් වෙනසි. 1920 ගණන් වන විට සංකල්පීය වශයෙන් ගොඩ නැගුණු සංවර්ධනය සම්බන්ධ අදහස කලක් “ප්‍රජා” සංවර්ධනය ලෙසත් පසුව “සමාජ සංවර්ධනය” ලෙසත් තහවුරුව ඇත්තේ “ආර්ථික හා සංස්කෘතික දුප්පත්කම පිටු දකින්නාවූ නොනවතින ක්‍රියාදාමයක්” ලෙසින්ය. එයට ආර්ථික වර්ධනය ඇතුළු වන්නේ පෞද්ගලික හා සාමුහික ජීවන මට්ටම හා ජීවිතයේ ගුණාත්මක තත්ත්වය දියුණු කිරීමේ සාධකයක් වශයෙනි.

ගම අතහැර නගරය පමණක් තරබාරු කළ අවුරුදු 48

එතැන් සිට අපගේ වර්තමාන සමාජ ආර්ථික පැවැත්ම ගැන කතා කළහොත්, ඉහතින් සඳහන් කළ පරිදි මෙතෙක් අවුරුදු 48 ක කාලයේ ආණ්ඩු මාරු සමග අප පැමිණ ඇත්තේ කිසිදු ආණ්ඩුවක් කිසිදු වෙනසක් නොකළ, එකම වෙළඳපල ආර්ථික ආකෘතියක් සමගින් ය. එහි මූලික ලක්ෂණය වන්නේ එය මහ නගර කේන්ද්‍රීය වෙළඳපල ක්‍රියාවලියක් වීම ය. රටේ බහුතර ග්‍රාමීය ජන සමාජය ඉන් අත හැර දැමීමෙහි ය. අතිරික්ත ආදායමක් ඇතැයි සැළකෙන හා වේගයෙන් තරගකාරී පාරිභෝගිකයින් බවට පත්කර ගත හැකි නාගරික මැදපංතිය එහි ප්‍රධාන ඉලක්කගත ප්‍රජාව වන්නේය. කෙතරම් විශාල වූවත් දුප්පත් ග්‍රාමීය සමාජය ආර්ථික ක්‍රියාවලියෙන් අතහැර දැමීම, අපේ රටේ පමණක් නොව, ඉන්දියාව, බංගලාදේශය වාගේම ලොව දැවැන්ත, පොහොසත් වෙළඳ ආර්ථිකයක් යැයි සැළකෙන චීනයේ පවා සිදුවන්නකි. චීනයේ නාගරීකරණය වූ නැගෙනහිර වෙරළ මායිමේ වන වාර්ෂික දළ ජාතික නිෂ්පාදනය ඩොලර 1,000 සිට 1,600 ද ඉක්මවූ “ග්වාන්ඩොං, ජියැංසූ, ෂැංඩොං, සෙයිජියැං” වැනි ප්‍රාන්ත 05 ක් - 06 ක් හැරුණු විට වාර්ෂික දළ ජාතික නිෂ්පාදනය ඩොලර 150 ක් හෝ නොවන තිබ්බතය, කිංහායි, ගන්සූ වැනි අන්ත දුප්පත් මධ්‍යම ආසියානු ග්‍රාමීය චීන ප්‍රාන්ත ගණනාවක් ඇත.

වෙළඳපල ආර්ථික ආකෘතියෙහි අනෙක් ප්‍රධාන ලක්ෂණය නම්, වෙළඳපල හැසිරවීමෙන් ආණ්ඩු ඉවත් වීම සමග ආණ්ඩු විසින් ප්‍රාග්ධන ආයෝජන සිදු කෙරෙන්නේ පෞද්ගලික සමාගම් මගින් පෞද්ගලික ව්‍යාපාර ලෙස සැළසුම් කළ නොහැකි සමාජයේ පොදු පහසුකම් වන අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීම වෙනුවෙනි. සැමට තේරුම්ගත හැකි නිදසුන් ගෙන කතා කළහොත් ආණ්ඩු ණයට මුදල් ගෙන හෝ අධිවේගී මාර්ග හැදීමට පෙළඹීමෙහි දූෂණයද ඇතැම් විට සාධකයක් විය හැකි නමුත් දෛනික ගමනා ගමනය අනිවාර්ය සමාජීය අවශ්‍යතාවයක් වාගේම, වාණිජමය අවශ්‍යතාවක්ද වන හෙයින් එය ආණ්ඩුවකට මග හැරිය නොහැකි වන්නකි.

ආණ්ඩුවේ වගකීමක් වන නිදහස් අධ්‍යාපනයෙහි සහ සෞඛ්‍ය සේවාවෙහි වෙනස වන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය මතවාදය අනුව අධ්‍යාපනය හා සෞඛ්‍ය ලාභ ලැබිය හැකි සේවාවන් ලෙස වෙළඳපල ආර්ථිකයට පැවරිය හැකි වීමය. ප්‍රධාන නගර කිහිපයේ මෙන් ග්‍රාමීය සමාජයෙහි අංග සම්පූර්ණ, දියුණු පෞද්ගලික රෝහල් මෙන්ම අති ජනප්‍රිය දියුණු පාසල් නොමැත්තේ ග්‍රාමීය ප්‍රදේශ මේ වෙළඳපල ආර්ථිකයෙන් අත හැරී තිබෙන හෙයිනි.

විවෘත වෙළඳපල ආර්ථිකයෙහි ආණ්ඩු ආධාර කරන්නේ රටට විදේශ විනිමය උපයා දෙන්නේ යැයි තර්ක කෙරෙන පෞද්ගලික ව්‍යාපාරික ක්ෂේත්‍ර සඳහා ය. සංචාරක ව්‍යාපාරය සඳහා රජයේ ආර්ථික සහන, යටිතල පහසුකම් ලබා දෙනු ලබන්නේ එය ඩොලර උපයා දෙන්නේ යැයි කීමෙන්ය.  තාවකාලිකව ලංකාවට ඇතුළුවන සියල්ලන් සංචාරකයින් නොවන නමුත් ලංකාවට දෛනිකව පැමිණෙන සංචාරක සංඛ්‍යාව සමස්ථ “වාස වීසා” (Visit Visa) සංඛ්‍යාව ලෙස ප්‍රසාරණය කිරීමෙන් කෙරෙන්නේ සංචාරක ව්‍යාපාරය රජයේ ආර්ථික සහන ලැබිය යුතු විශාල ක්ෂේත්‍රයක් යැයි කූඨ චිත්‍රයක් මැවීමය.

අනෙක් ඩොලර ආදායම වන්නේ ග්‍රාමීය දුප්පත්කම මැද පෙරදිග, දකුණු කොරියාව, සයිප්‍රසය වැනි රට වලට විකිණීමය. සංක්‍රමණික ශ්‍රමිකයන් ලෙස ඒ රටවල කඹුරා හම්බ කරන වැටුප මෙරට ග්‍රාමීය සමාජයේ තම පවුලේ වියදමට ප්‍රෙශනය කිරීම, ආණ්ඩු විසින් විදේශ විනිමය ලෙස එකතුකර ගන්නේය. මේ වනවිට අවුරුදු 35 ක පමණ කාලයක් අසරණ දුප්පත් තරුණ තරුණියන් දහස් ගණනක් විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් අවුරුදු පතා රට පටවා ඩොලර උපයා ගනිති. එසේ උපයා ගන්නා ඩොලර වලින් ඔවුන්ගේ ග්‍රාමීය ජන ජීවිතයේ යහපත වෙනුවෙන් යෙදවූ සංවර්ධන වැඩසටහනක් ගැන අසා නැත.  


ණයට නඩත්තු කළ පාරිභෝජන මායාව සහ ඇඟළුම් මිථ්‍යාව


දේශීය වෙළඳපල 1978 දී විවෘත කළ පසු සීඝ්‍රයෙන් ඉහළ ගිය විවිධාංගීකරණය වූ ආනයන සඳහාවන වියදම අපගේ සාම්ප්‍රදායික අපනයන මගින් උපයාගත් ආදායමෙන් හා සංචාරකයින්ගෙන් සහ සංක්‍රමණික ශ්‍රමික  ප්‍රෙෂණ මගින් පියවා ගැනීමට නොහැකි විය. ඉහළ යන ආනයන වියදම පියවා ගැනීමට දේශීය සංවර්ධනයක් සමගින් ආදායම් වැඩිකර ගැනීමට ආණ්ඩුවට විකල්ප සැළසුම් නොවුනි. ජයවර්ධන ආණ්ඩුව එබැවින් තීන්දු කෙරුවේ සෘජු විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීමය. ඒ සඳහා 1978 “මහ කොළඹ ආර්ථික කොමිසම් සභා” පනත යටතේ අපේ පළමු “නිදහස් වෙළද කාලපය” කටුනායක පිහිටුවනු ලැබුවේය.

පසුව සම්මත කෙරුණු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත යටතේ 1992 දී ශ්රීස ලංකා ආයෝජන මණ්ඩලය පිහිටුවනු ලැබ විදේශ ආයෝජකයින් ගෙන්වා ගැනීමට දැවැන්ත ආර්ථික වාසි ලෙස බදු සහන, බදු විරාම, බදු අහෝසිය වැනි “නිල කප්පම්” ලබා දුන්නේය. වෘත්තීය සමිති නොමැති, සංවිධානය නොවුනු ශ්‍රමික පිරිස් ඇතැයිද ජයවර්ධන ආණ්ඩුව කීවේය. අනෙක් රාජ්‍ය ආයතන මෙන්ම ජයවර්ධන පාලනය සමග සිය වගකීම් ගැන උනන්දු නොවන, අළස දෙපාර්තමේන්තුවක් බවට කම්කරු දෙපාර්තමේන්තුව පත් වින. මානව හා සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නාගරික මැදපංතිය සේවක අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී නොසිටින්නේ, ඔවුන්ගේ ආත්මාර්ථකාමිත්වයට අනුව, වෘත්තීය සමිති රටේ ප්‍රගතියට බාධාවක් වන්නේ යැයි වන බාල සිතීම සමගය. ඔවුන්ගේ සරළ කතාව නම්, ජයවර්ධනගේ දේශපාලනය කුමක් වූවත් ඔහුගේ විවෘත වෙළඳපල ආර්ථිකය විසින් තම ජීවිත සාර්ථක කර ගැනීමට අවකාශයක් හදා ඇත යන්නය.  

නාගරික මැද පංතික ජීවිත සඳහා අවකාශයක් ලැබුණේ අවුරුදු 48 ක්ම අසාර්ථක වූ ජයවර්ධනගේ විවෘත වෙළඳපල ආර්ථික උපාමාර්ගයෙන් නොවේ. රට බංකොලොත් වන තෙක් ජාවාරම්කාරයින් සමග පවත්වා ගෙන පැමිණි දූෂිත වෙළදපල ආර්ථිකයෙහි ආනයන-අපනයන වෙළඳ ශේෂ හිඟය පියවීමට අවශ්‍ය ඩොලර දහස් ගණන් හැම ආණ්ඩුවක්ම ණයට ගත් නිසාවෙනි. නාගරික මැදපංතික පාරිභෝගිකයින් වෙනුවෙන් වෙළඳපල ණයට නඩත්තු කළ හෙයිනි.

අනෙක් කාරණාව නම්, ආයෝජන කළ යුත්තේ කවර ක්ෂේත්‍රයක කවර “සංවර්ධන ව්‍යාපෘති” වෙනුවෙන්දැයි තීරණය කිරීමේ අයිතියක් බලයක් ආණ්ඩුවට නොවීමය. විදේශික ව්‍යාපාරිකයින් ආයෝජනය කෙරුවේ ඔවුන්ට වඩාත් ලාභ ලැබිය හැකි යැයි ඔවුන් තෝරාගත් ගෝලීය වෙළඳපලක් වෙනුවෙනි. ඊට හොඳම උදාහරණය වන්නේ වැඩි දෙනා කතා කරන “ඇඟළුම්” කර්මාන්තය වේ. ලාභ ශ්‍රම අවස්ථා හැරුණු විට ඉන් අප ලබන්නාවූ වෙනත් වැදගත් වාසියක් නැත. ඇඟළුම් නිෂ්පාදනයේ රෙද්ද නූලේ සිට සියල්ලම අප ආනයනය කළ යුතු හා කරන්නාවූ අමුද්‍රව්‍ය වේ. ඒ සඳහා වන ඩොලර වියදම වාර්ෂිකව දළ වශයෙන් ඩොලර බිලියන 02.8 ක් හා 03.2 ක් අතර වන්නේය. පසුගිය දසකයේ වර්ෂික ඇඟළුම් අපනයන ආදායම ඩොලර බිලියන 04.6 ක පමණ සිට 05.5 ක් පමණ යැයි කියූවත් අමුද්‍රව්‍ය සඳහාවන වියදම පියවූ පසු අපට ඉතිරි වන්නේ ඩොලර බිලියන 02 ත් 03 ත් අතර ආදායමක් පමණි. ඒ සඳහා ඇඟළුම් නිෂ්පාදකයින්ට අප වාර්ෂිකව ලබා දෙන බදු විරාම, බදු සහන, රාජ්‍ය යටිතල පහසුකම් ගණන් බැලුවහොත් රටක් ලෙස අපි ඉන් කතා නොවන පාඩුවක් ලබන්නෙමු.


වෙළඳපල ආර්ථිකය බිහිකළ අශිෂ්ට සමාජ පරිහානිය

මේ සමස්ථ වෙළඳපල ආර්ථිකයෙහි සමාජයට අහිමි වූයේ නිල ආදායම් පමණක් නොවේ. ඩොලර ණය කන්දරාවක් කර ගැසීමට සිදුවීම පමණක්ද නොවේ. සියල්ල ආර්ථිකයට ලඝු කෙරුණද මේ සමාජයේ පිරිහීම - සමාජ වටිනාකම්, සදාචාරය, විනය වැනි සියලු සාරධර්ම විනාශ කළ භයානක අශිෂ්ඨ බිඳ වැටීමක් ඇත. “පුරවැසි” මානසිකත්වය තරගකාරී, කුහක, ආත්මාර්ථකාමී “පාරිභෝගික” මානසිකත්වයකට ගැලපෙන ලෙස තලා හැඩ කෙරුනු පසු, අප ජීවත් වන සමාජයේ ස්ත්රීක දූෂණ, බාල වයස්කාර දැරිවියන් දූෂණ, ළමා හිංසන, ළමා අපචාර වාර්ෂිකව වාර්තා වන්නේ දහස් ගණනින් ය. වාර්තා වන දහස් ගණනට වඩා වාර්තා නොවන සංඛ්‍යාව වැඩි යැයි මම කියමි. එවගේම කප්පම් ගැනීම්, කොන්තරාත් මිනී මැරීම්, පැහැරගෙන යාම්, භයානක මත්ද්‍රව්‍ය අලෙවිය, අනීතික කැලෑ කැපීම් හා පරිසර විනාසය මේ සමාජයේ ඇට මස් මිදුලු දක්වා පිලිකා ලෙස සීග්‍රයෙන් පැතිර යති. ඒ සමග අධිකරණ ක්‍රියාවලියට සෘජුව සම්බන්ධ අපරාධ පරීක්ෂණ හා නීතිය ක්‍රියාත්මක කිරීමේ සියලු ආයතන සමග සමස්ථ රාජ්‍ය යාන්ත්‍රනයම අති දූෂිත දැවැන්තයෙකු ලෙස සමාජය මත යෙහෙන් වැජඹෙන්නාහ. සැකකරුවන්ගෙන්, චූදිතයින්ගෙන් හා වරදකරුවන්ගෙන් බන්ධනාගාර උතුරා යන්නේ යැයි කියන්නේ එවැනි සන්දර්භයක ය.

අතිශය දුෂ්ඨ, අශිෂ්ඨ සමාජයක නාගරික මැදපංතිකයින් - වෘත්තිකයින්, විද්වතුන්, සමාජ මත හසුරනවුන්, සමාජ ක්රි යාකාරීන්, දේශපාලන නායකයින් සහ ඔවුන්ගේ සංවිධාන - ආර්ථිකය ගොඩ දමන්නට කරන කතා මගින් ඒ සමාජ පිරිහීම් සඳහා විසදුම් ලැබේද? ජනාධිපති වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්ය අරමුදල සමග රට ගොඩ දැමුවේ යැයි කියන්නේ නාගරික මැදපංතිකයින් ඉල්ලා සිටි සීමිත පාරිභෝගික අවශ්‍යතා ඉටුකර දීමට ය. කොරෝනා වසංගතයට පෙර පැවති ලාංකීය යතාර්ථය නැවත අත්කර දීමට ය.

අපි නැවත යා යුත්තේ 2019 අර්බුදකාරී යථාර්ථයටද?

 

Sri Lanka Missing Persons 1060 x 596
කොරෝනා වසංගතයට පෙර 2019 වන විට ලාංකීය යතාර්ථය වූයේ
(1) වෙළඳ ශේෂය පියවා ගැනීමට අවුරුදු පතා ඩොලර මිලියන ගණන් ණයට ගැනීම
(2) අයවැය හිඟය පියවා ගැනීමට රුපියල් දස ලක්ෂ ගණන් දේශීය ණය ගැනීම
(3) වත්කම් හා ආදායම් බෙදී යාමේ උග්‍ර විෂමතාව
(4) අවුරුදු 35 ට වඩා වැඩි කලක් ජනසවිය, සමෘද්ධි සහ දැන් අස්වැසුම සහන දීමනා මගින් දුප්පත්කම නොකඩවා නඩත්තු කිරීම
(5) අධ්‍යාපනය, සෞඛ්‍ය, පොදු මගී ප්‍රවාහනය පිරිහීම පැලැස්තර මගින් ගැට ගසා තබා ගැනීම
(6) අනවසර කැලෑ කැපීම, නගර හා වෙරළාසන්නයේ අනීතික ඉදිකිරීම් හා පරිසර විනාසය
(7) අකාර්යක්ෂම හා දූෂිත රාජ්‍ය ආයතන දේශපාලනීකරණය කිරීම
(8) උතුරු-නැගෙනහිර පුද්ගල අතුරුදහන්වීම්, ඉඩම් අහිමිවීම්, සිංහල ජනාවාස පිහිටුවීම, හමුදාකරණය
(9) අපරාධ තොග ගැසුණු, විනයක් සදාචාරයක් නොමැති පිරිහුණු ආත්මාර්ථකාමී සමාජයක් සහ
10) සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්මක් නොදන්නා දේශපාලන පක්ෂ ලෙස නම් කෙරුණු ජාවාරම්කාරයින්ගෙන් යැපෙන කොළඹ කේන්ද්‍රීය දේශපාලන කල්ලි කණ්ඩායම් රොත්තක් ගැන කතා නොවීම වන්නේය.

මගේ ප්‍රශ්නය වන්නේ 2019 වන විට පැවති ඒ අශිෂ්ඨ, දූෂිත ලාංකීය යතාර්ථය වෙත අප නැවත යා යුත්තේ කුමටද? යන්න ය.

විකල්ප ගමනක මූලාරම්භය: නව ආර්ථික හා සමාජ ප්‍රතිසංස්කරණ

රට ගොඩ දමනවා යැයි මා කියන්නේ ඒ සියල්ලට අභියෝග කෙරෙන “විකල්ප” ගමනක් ආරම්භ කිරීමට ය. ඒ සඳහා “සදා නිම කළ”, ඉංග්රීයසියෙන් කියන Ready Made විසඳුමක් මා සතු නොවනමුත් එවැන්නක් ආරම්භ කිරීමට අවශ්ය කතාව කිව හැක. එය දිගු කතාවකි. එනිසා ඊට අදාල සංකල්ප හා අර්ථදැක්වීම් කිහිපයක් වෘත්තිකයින්ගේ සමිති සම්මේලනයේ සභාපතිව සිටි නීතිඥ දහනායක මහතාගේ යෝජනාවට අදාලව මෙහි කෙටි සටහනක් ලෙස පහතින් තබමි.

1) . ජාතික සංවර්ධනය

“ජාතික සංවර්ධනය” ගැන මගේ අර්ථ දැක්වීම වන්නේ - 

වත්මන් සමාජයේ පවතින සියලු ආර්ථික හා සමාජීය විෂමතා ක්‍රමානුකූලව හා තිරසාර ලෙස අහෝසි කෙරෙන, ජීවත්වීමේ ගුණාත්මක තත්ත්වය වැඩි දියුණු කෙරෙන හා මූලික අවශ්‍යතා හා පහසුකම් සඳහා වන වියදම් පියවා ගැනීමට අමතරව, තෘප්තිමත් පූර්ණ ජීවිතයකට සෞන්දර්යාත්මක සංස්කෘතික වින්දනයක්ද එකතු කළ හැකි ස්ථිර ආදායමක් ලබන්නාවූ දියුණු “සංස්කෘතික මිනිසකු” ලෙස පුරවැසියා දියුණු කිරීමය.  

2) . ශිෂ්ඨ සමාජයක් වෙනුවෙන්
 
මේ වෙළඳපල ආර්ථිකය ඉතිරි කළ මනුස්සකමක් නැත. යෝධ දූෂණ වංචා වලට අමතරව එය අපට දායාදකර ඇත්තේ බරපතල අපරාධ, මත්කුඩු ජාවාරම්, ස්ත්රීන හා බාල වයස්කාර දූෂණ, ළමා හිංසා සහ අපයෝජන, පාරිසරික විනාශ හා ආගමික-වාර්ගික භේද වැනි නොමිනිස්කම් ය. එවැනි ආර්ථිකයක මා කතා කරන “සංස්කෘතික මිනිසකු” වර්ධනය කළ නොහැක. එබැවින් ජාත්‍යන්තර මූල්ය අරමුදල සමග කෙරෙන ගනුදෙනු නව සමාජයක් සඳහා ගමන් යාමට අවහිරයකි. ඊට විකල්ප නව සමාජ ආර්ථික ආකෘතියක් අපට අවශ්‍ය වන්නේ “ශිෂ්ඨ” සමාජයක් වෙනුවෙනි. ශිෂ්ඨ සමාජයක පදනම හුදෙක් ආර්ථික සාධකයක්ම නොවේ. ආර්ථික ක්‍රියාවලියද සදාචාර සම්පන්න විය යුතු අතර ශිෂ්ඨ, සමාජ වටිනාකම් ඒ මත රෝපණය කළ යුත්තකි. 
 
මා දකින ආකාරයට, දෛනික ජීවිතය ගැට ගසා ගැනීමේ බරපතල තරගයක්, ආතතියක් ඇති සමාජයක සදාචාරයක්, විනයක්, පරාර්ථකාමයක් ඉතිරි වන්නේ නැත. එනිසා දෛනික ජීවිතයේ  ආර්ථික පීඩාව, තරගකාරිත්වය, අවිවේකය හා ආතතිය අත හැරෙන පසුබිමක් නිර්මාණය කළ යුතුය.

ඒ සඳහා ආරම්භක කෙටි කාලීන යෝජනා කිහිපයක් වන්නේ,

1. දින 05 ක වැඩ සතියක, පැය 08 ක වැඩ දිනයක් වෙනුවෙන් අතිකාල හෝ වෙනත් අමතර ආදායම් මාර්ග අවශ්ය නොවන හා විවේකය සඳහා අතිරික්ත මුදලක්ද ඉතිරිවන පෞද්ගලික හා රාජ්ය ක්ෂේත්‍රයේ අවම ජාතික දෛනික වැටුප රුපියල් 4,000 ක් හා අවම මාසික වැටුප රුපියල් 80,000 ක් ලෙස තීන්දු කිරීම සහ එය අවශ්‍ය ලෙස වාර්ෂිකව පාර්ලිමේන්තුව විසින් සංශෝධනය කිරීම
 
poor b
2. සමෘද්ධි, අස්වැසුම වැනි කිසිදු අර්ථයක් අවසානයක් නොමැති පුණ්‍යාධාර ක්‍රම අහෝසිකර, ග්‍රාම සේවා වසම් අනුව විවෘතව තෝරා ගන්නා දිළිඳු පවුල් සඳහා ඔවුන්ගේ මාසික ආදායම රුපියල් 80,000 ක් දක්වා ඉහළ දැමීමට වසර 03 ක් මාසික දිළිඳු සහන දීමනාවක් ලබා දෙමින් ඔවුන් කැමැත්තක් දක්වන ක්ෂේත්රතයක් සඳහා වෘත්තීය පුහුණුවක් ලබා දීම

3. පාසල් අධ්යාපන ක්රියාවලිය තුල “අනෙකා” තේරුම් ගැනීම, පරාර්ථකාමය, සමාජ හර පද්ධතිය හා වගකීම් සම්බන්ධ සංවාදයක් කතිකාවක් සඳහාවන පියවර ගැනීමට ගුරු සේවය සක්‍රීයව හවුල්කර ගැනීම

4. ජාතික නිෂ්පාදන ක්‍රියාවලියක ග්‍රාමීය පංගුකාරිත්වයක් සහිත නවීන සාධකයක් ලෙස ගමේ ශ්‍රමය නවීකරණය කර ගැනීමේ වැඩ සටහන් සමෘද්ධි සහ අස්වැසුම ඔස්සේ හඳුන්වාදීමට එම ආයතන ප්‍රතිසංවිධානය කිරීම සහ වෙළඳපල ගමට විවෘත කිරීම

මේ බොහෝ දේ සඳහා අවශ්‍ය වන්නේ රුපියල් ශත ආදායමකි. එය උපයා ගන්නේ කෙසේද යන්නට උත්තරය ඇත්තේ බදු ප්‍රතිපත්තියහි සහ රාජ්ය වැය කිරීම් වලය. බදු අය කිරීම සහ රාජ්ය වියදම් කලමනාකාරිත්වය ගැන එබැවින් අලුතින් සිතන්නට සිදුවනු ඇත්තේ රාජ්ය ප්‍රතිසංවිධානයක් සමගින් ය.    

3)  සක්‍රීය ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදය -
 
අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව මග හැර යා නොහැක. පවතින්න අවුල් ජාලයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු ජන සමාජයක සර්ව සාධාරණ පැවැත්ම සහතික කිරීමේ මූලික නීති රාමුව ය. එනිසා එය ජනතාව විසින් සම්පාදනය කළ යුත්තකි. එහි අන්තර්ගතය සඳහා මම මූලික කරුණු කාරණා කිහිපයක් යෝජනා කරමි.

1. පවතින ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවෙහි 14.1(ඈ) අනු ව්‍යවස්ථාව යටතේ සහ ශ්‍රී ලංකාණ්ඩුව අත්සන්කර අපරානුමත කර ඇති ජාත්‍යාන්තර කම්කරු සංවිධානයේ සම්මුතීන්ට අනුව වෘත්තීය සමිතියක සාමාජිකත්වය ගැනීමේ හා වෘත්තීය සමිති සංවිධානය කිරීමේ සේවක අයිතිය පෞද්ගලික සහ රාජ්ය අංශයන්හි අත් හළ නොහැකි මූලික අයිතියක් ලෙස සහතික කිරීම

2. සියලු පුරවැසියනට සාහිත්‍ය කලා රස වින්දය සඳහාවන “සංස්කෘතික අයිතිය” මූලික මානව අයිතියක් ලෙස ව්‍යවස්ථාගත කිරීම

3. පාර්ලිමේන්තුව හැර පළාත් පාලන ආයතන සහ පළාත් සභාවල සිව් වසරක සංවර්ධන සැළසුම හා වාර්ෂික අයවැය අදාල බල ප්‍රදේශයන්හි ජනතාවගේ ජනමත විචාරණයකින් සම්මත වුවහොත් පමණක් එම නියෝජන ආයතනයෙහි වැඩි ඡන්දයෙන් සම්මත කිරීම

4. ජන සහභාගි ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ලෙස පළාත් පාලන හා පළාත් සභා සංස්ථාපිත කෙරෙන හෙයින්, යෝධ පාර්ලිමේන්තුවක් අවශ්‍ය නොවන්නේ යැයි වන දේශපාලන තේරුම් ගැනීම අනුව පාර්ලිමේන්තුවෙහි ජාතික ලැයිස්ති මන්ත්‍රී පත්වීම් අහෝසිකර, ඡන්දයෙන් පත් කෙරෙන මන්ත්‍රී සංඛ්‍යාව 1970 පාර්ලිමේන්තුවට පත් කෙරුණු මන්ත්‍රී සංඛ්‍යාව වන 151 ක ජනතා නියෝජනයට සීමා කිරීම

මේ හැමකක්ම පුළුල් සංකීර්ණ සැළසුමක ප්‍රාථමික අංග වන හෙයින් සාකච්ඡා තුල ඒවා හැලීම හෝ පෝෂණය කිරීම සමාජ වගකීමක් යැයි මම අවධාරණය කරමි.

Kusal 28(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්