1200 x 80 DMirror

 
 

මග හසර හරියට නොදන්නා ඒ විපත් සමය උදාවී තිබුණි. සසුන මැදින් මතුවන්නට ද වූයේ අප්‍රසන්න වාද විවාදය. විටෙක එය කුල වංශ වාදයක් වන තරමට

පටුම පටු විය. තවත් විටක භික්ෂුත්වය මනින සාධක ලෙස බාහිර ශ්‍රමණ පෙනුම මතු වන්නේ වාද විවාද සමගය.

එබැවින් සරණංකර සඟ රජුන් යලි පුනර්ප්‍රබොද කළ ශාසනය ගොස් වැලද ගන්නේ මෙවන් හීන මායාවකි. පාවහන් පැලදීම- නොපැලදීම, තනි සිවුර- දෙපට සිවුර, ඇහිපිය ගෑම- නොගෑම, සීමාව උදකුක්ඛෙප ද උපෝසථ ද වන් වාද මැදින් සසුන විත් නතරව තිබුණේ ධර්මධරත්වය හෝ ප්‍රඥා සීල තපෝ ගුණය වෙත නොවේ. බාහිර ආටෝප වලින් සිල්වත් බව පෙන්වන දුබල තැනකය.


අසරණ බව කොතරම්ද කියන්නේ සියම් නිකාය පාර්ශව වලට බිදී යන්නේද, සියම් නිකායට සමාන්තරව අමරපුර සහ රාමඤ්ඤ නිකාය බිහිවන්නේද මෙවන් මතුපිට තලයේ සිල්ලර කතා මැදය. ඒත් මෙම සියල්ල මැද හර බර විවාදයක්ද සිදු වන්නේ එදා සසුන භාර තෙර පරපුර වන්නේ උගතුන් වූ නිසාය.


වලානේ සිද්ධාර්ථ මහ තෙරිඳුය:


මෙවන් තැනක තිබූ සසුන එතැනින් ප්‍රඥා ප්‍රභාවට හරවන්නට මුල් වන්නේ වලානේ සිද්ධාර්ථ මහ තෙරිඳුය. ඒ උන්වහන්සේ විසින් රත්මල්යායේ පරමධම්මචෙතිය පිහිටුවීමත් සමගය. උන්වහන්සේගෙන් ශාස්ත්‍රි ශික්ෂාව ලබා ගත් මහා මිණිපහන් වන්නේ හික්කඩුවේ සුමංගල හා රත්මලානේ ධම්මාලෝක තෙර දෙපළය. දක්ඛිණ මූලය සහ උත්තර මූලය ලෙස ලක් ඉතිහාසයේ සදහන් මහ දහරාවේ ප්‍රඥා නදී ද්විත්වය යලි උපත ලබන්නේ එලෙසය.

 හික්කඩුවේ මහ තෙරිදු විද්‍යෝදය ඔස්සේ දක්ඛිණ මූලයට පණ පොවන විට උන්වහන්සේගේ කලණ මිත්‍ර රත්මලානේ මහ තෙරිඳු උත්තර මූලයට ජීව සුසුම වන්නේ විද්‍යාලංකාරය මැදින්ය. විද්‍යාලංකාර - විදුදය මල් දෙවැට මැදින් ආටෝප සාටෝප භික්ෂූත්වය වෙනුවට ප්‍රඥා පාණ්ඩිත්වයෙන් අනූන බහුත්වවාදී ධර්ම ප්‍රභාවන් සපිරි සඟ මිණි පහන් දැල්වෙන්නට පටන් ගත්හ.


දෙසිය වසරක්වත් යන්නට මත්තෙන් මේ ශාස්ත්‍ර කෙම් බිම් දෙකම අතීතාඩම්බරයක මතක බිමක් වී සජීවිත්වයෙන් තොර ගතානුගතික විද්‍යා ස්ථාන පමණක්ව ඇත්තේය. එයට හේතු කිමදැයි සෙවිය යුතුය. මන්ද විදුදය - විදුලකර යනු භික්ෂූත්වයේ මතවාද බිම පමණක් නොව ලෞකික ගිහියන්ගේද මතවාද කේන්ද්‍රයය.


කෙටිවම කිවහොත් මේ නූතන දක්ඛිණ මූලය හා උත්තර මූලය නූතන ලංකාවේ දේශපාලනයට පණ පොවන්නේය. දක්ෂිණ දේශපාලනයට වැලිවිටියේ සෝරත, මාලේවන ඤාණිස්වර, කළුකොදයාවේ පඤ්ඤාසේකර වැනි මහා පඬිවර බහුශ්රැතයන්ද උතුරු වාම දේශපාලනයට වල්පොල රාහුල , යක්කඩුවේ පඥාරාම , බඹරැන්දේ සිරි සීවලි වැනි මහා මිණිපඬිවරුද එක් කළෙ විදුදය හා විදුලකරය.

උඩකැන්දවල සරණංකර හිමි සහ හේන්පිටගෙදර ඤාණසීහ තෙරද ඒ මතක මාවතේ චරිත කතාය.

 

එවන් බහුශ්රැතයන් වෙනුවට අල්පශරැතයන් දකුණත් වමත් මැදත් අගත් අල්ලා ගන්නා තැනට සසුනට ඇදවැටුනේ කිමදැයි සෙවිය යුතුමය. එසේ සෙවිය යුත්තේ අන් කිසිවක් නිසා නොව අද පෙලෙන ප්‍රශ්ණ ලිහා ගන්නට එදායින් පටන් ගත යුතු නිසාය.

 

හසල උගතුන් නැති සසුනට රටට පාර පෙන්විය හැකිද . සංඝ විලම්බීත මතුව ලක්වැසියාගේ නික්ලේශි හද ප්‍රාර්ථනාව දෙදරවා ඇත්තේය. දැනුම මත අධීශ්වරයන් වනු වෙනුවට මුදල මත අධිපතින් වන තැනට අසරනකම කරුමය වී අහවරය. එයටම සරිලන බාල බොළද සිල්ලර ගිහියන්ගේ වට වලල්ලකින් සසුනද වට වී ඇත්තේය. වටවලල්ලේ මැද අවසානයේ උන්වහන්සේලාම ප්‍රාණ ඇපකරුවන්ව සිටින්නේය. ධර්මය වෙනුවට ආමිස ලොල් ජන සමාජයක ප්‍රඥා පහන් දල්වනු කෙසේද. රට විත් නතරව ඇති තැන මෙතනය.


මේ දුර්දශාව අමුත්තක් නම් නොවෙති. කලින් කලට වන කාල විපත්ය. සසුනද ඒහා බැදි ගිහියනද විදුදය විදුලකර අරභන්නට පෙර සිටියේ මෙතැනයි. විලම්බීත සඟුන් වෙනුවට ධර්මධරයන් යලි කැදවන්නට වලානේ සිද්ධාර්ථ තෙරිඳු විකසිත කළ සිහිනය හැබෑ වන්නේ  ‘දොන් පුරෝලිස් ’ නිසාය.


දොන් පුරෝලිස් කියන්නේ 1847 දී දකුණු කොළඹ ලේකම් පදවියට පත් වූ අලුත් තාලේ තරුණයෙකි. සිවුරු, දාන, පාතරය, අසූහාරදහසේ පහන් පූජා, තොරණ්, භක්ති ගීත, මල් වට්ටි වෙන්දේසි, කප් රුක් පූජා, ඔසුපැන් පූජා, ධාතු වන්දනා බුද්ධාගමක් මතු වෙමින් තිබුනි.

හැමෝම වෙන්දේසි බුද්ධාගමක් තනන්නට කැපවූ දායකයින් වන විට පුරෝලිස් වෙනත් මගක් ගත්තේය. ඒ තමා වැනි පෙරටුගාමි සසුන් යෞවනයෙකු දුටු විට ප්‍රඥා සිහින යාමේ හද බද්ධ මිතුරන් වෙමිනි. වැලිවිට සරණංකර මහ තෙරිඳු පුනරුද ප්‍රබෝදයට ගෙනා ලක් බුදු සසුන කුළුදුලේම මෝහාන්ධකාර නරා වලක ඇද වැටී රැවටිලිකාර ගිහි පැවදි වටවලල්ලකින් සිරව තිබූ ඒ සමය නිමා කරන ප්‍රඥා සිහින යාමය උදා වුනේ ඔහොමය.


හික්කඩුවෙන් සුමංගල සාමණේරයනද, රත්මලානෙන් ධම්මාලෝක සාමණේරයන්ද, සූරියගොඩින් සෝණුත්තර සාමණේරයන්ද, දොම්පෙන් බුද්ධරක්ඛිත සාමණේරයන්ද ලබුගමින් සෝණ සාමණේරයන් ද ගිඟුල් වලින් ජිනරතන සාමණේරයන්ද කොටුවේගොඩින් ඥාණානන්ද සාමණේරයන් හා මැදගමින් රේවත සාමණේරයන්ද ඒ ප්‍රඥා සිහින යාමේ පරම ධමමචෙතිය පොල් අතු හෙවණට විත් ශාස්ත්‍ර ලෝකයේ කිමිද ඇවිද යන්නේය.


ඒ මඟටම වැටී මොරටුවේ සිරිදියෙස් ද සිල්වා, වාද්දුවේ සමරසිංහ කවීරත්න සහ හරමානිස් කවීරත්න වනි ගිහියනද ශාස්ත්‍ර ශිල්ප යායේ ඇවිද යන්නේය. මේ ගිහි පැවිදි ප්‍රඥා ප්‍රභාවිත සුධීන් දෙරණ බැබළු පඬිවරුන් වන්නේය. ඒ ප්‍රඥා තාරකා වැස්සෙන් ආටෝප සාටෝප සඟුන් ද ගිහියන්ද පසෙකට විසි වී ගොස් ධර්මධරයන්ගෙන් සරුසාරත්වයේ ප්‍රඥා යාමය උදා වූයේය. පුරෝලිස්ගේ හද මිතුරන් වූ තෙදෝනිස් පෙරේරාත් පිලිප් ඈපා අප්පුහාමිත්                පරමධමචේතිය භූමිය සවිමත් කරන්නේය.

මේ බිමින් ප්‍රඥා මල් පිපෙන විට ඒ මල් ගොමුවේ උයන් තලා දෙකකට බිම් කඩක් බැදෙන්නේ මරදානේ සහ පෑලියගොඩය. ඒ ගුරුතුමා අභිභවන ශිෂ්‍ය  පුත්‍රයන් එන බව ඉගියෙන් දත් තෙදෝනිස් පෙරේරාත් සමරතුංග රන්දුණු බස්නායකත් නිසාය. තෙදෝනිස් මරදානේ බිමක බෝ රුකක් රෝපණය කර විදු බිමකට පේ කර තැබුවේය. රන්දුණු බස්නායක පෑලියගොඩ නා රුකක් රෝපණය කර බිම් කඩක් විදු බිමකට පූජා කර තබා බලා හිදියේය.

කාල සමය ගෙවී ගොස් වලානේ මහ තෙරිදු තම අග්‍ර සිසුවන් දෙදෙන අභිසෙස් කළේ තමන් අභිබවා ගිය ශ්‍රස්ත්‍ර ශික්ෂිත පණ්ඩිත ශිරෝමිණින් බව තෙපලමින්ය. ඒ හික්කඩුවේ මහ තෙරිඳු සහ රත්මලානේ මහ තෙරිඳුය. එකම ගුරු පාද මූලයේ ශිල්ප හදාල මේ සඟ මිතුරන් දෙදෙනා දෙමඟ පිය මැන ඇවිද යන්නට විය.



පාත්තරයට, ඇහි බමට, කුඩයට, තල් අත්තට, පිං කැටයට, ඉඩමට, කුලයට, වංශයට, ගෝත්ත්‍රයට, ජාතියට සසුන සී සී කඩව සිටියදී දෙපළ විත් නතර වූයේ පන්සලේ නොව බෝ රුක විතරක් තිබූ මරදානේ මාලිගාකන්දේත් නා රුකක් විතරක් තිබූ වරාගොඩ පෑලියගොඩත්ය. බට පැලලි පොල් අත්තෙන් බැඳ විදුලකරත් විදුදයත් බැදෙන්නේ එහෙමය. ලක් සසුන් මූලය ප්‍රඥා මාර්ගික නදී ද්විත්වය යලි උල්පත් උපදවා දක්ඛිණ මූලයෙන්ද උත්තර මූලයෙන්ද පණ ලබා ගලා යන්නට වූයේය. අල්පශ්රැතයන්ගෙන් ගහන සසුන බහුශ්රැතයන්ට යලි හිමි වූයේ එහෙමය.

 

Sujith 2021සුජිත් අක්කරවත්ත
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

කියවන්න - හදාරන්න : ලේඛකයාගේ වෙනත් ලිපි


දේශපාලන සඟුන් - (වායාම 13) - සුජිත් අක්කරවත්ත

නන්දි මිත්‍රගේ පුරුෂ ලිංඟය (වායාම 12) - සුජිත් අක්කරවත්ත

පැවිදි ප්‍රේමය (වායාම 11) : ලක් සසුන් ඉතිහාසයේ ප්‍රේමය වෙනුවෙන් ජීවිතය පූජා කළ මුල්ම භික්‍ෂුව
 
වායාම 10 : නාග ශාපය - සුජිත් අක්කරවත්ත

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
THE  LEADER  TV
 
 

Mangalogy - මංගල යෝජනා කළ ජීවිතය 

 


බඩුමිල වැඩි කළාම සියය 10 ක් ඇමතිට !| මොණරවිලගේ ලියමන
 


PB පස්සේ ගිය BOI ලොක්කට වෙච්ච දෙයක් ! | The Leader TV

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

ඇට මැස්සා