මයික් ටයිසන් හා ජේක් පෝල් අතර මතභේදාත්මක හෙවිවේට් බොක්සිං තරගය හෙට නොවැම්බර් 16 වැනිදා
ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.30 ට ආරම්භ වනවා.
තරගකරුවන් දෙදෙනාගේ බර කිරීම අද (15) සිදු කෙරුනු අවස්ථාවේදී ටයිසන්, පෝල්ගේ කම්මුලට පහරක් ගැසුවේ දෙදෙනා අතර තරගය දිනකටත් කළින් ආරම්භ කිරීමේ තර්ජනයක් ලෙසින්.
ඉතාමත් හොඳ ශරීර සෞඛ්‍ය තත්ත්වයකින් සිටින බවක් පෙන්වූ ටයිසන් රාත්තල් 228.4ක බරක් සටහන් කළ අතර පෝල් තරාදිය මත නැගුනු විට දිස්වූයේ රාත්තල් 227.2ක බර ප්‍රමාණයක්.
දෙදෙනා බොක්සිං සටනට පෙර අවසන් වතාවට එකිනෙකාට මුහුණ දීමට පැමිණි අවස්ථාවේදී ටයිසන් පෝල් ට අතුල් පහරක් දුන්නා. මෙයින් දෙදෙනා අතර කලහයක් හට ගැනීමට ආසන්න වෙද්දී කඳවුරු දෙකේ පුද්ගලයන් හා ආරක්ෂක නිලධාරීන් මැදිහත්ව දෙන්නා දෙපැත්තට ඇද ගත්තා.
27 හැවිරිදි පෝල් කෝපාවිෂ්ටව රළු හඬින් තර්ජනය කරමින් එතැනින් පිටව ගිය අතර 58 හැවිරිදි ටයිසන්ව ඔහුගේ පිරිවර විසින් සන්සුන් කරනු ලැබුවා. එහෙත් ඊට පෙර ඔහු පෝල් ට අවසාන අනතුරු ඇඟවීමක් කළා.
“කතා කර කර හිටපු කාලය ඉවරයි” ඔහු කියා සිටියා.
ටයිසන් අවසන් වතාවට බොක්සිං වළල්ලට පිවිසියේ 2020 වසරේදී රෝයි ජෝන්ස් (කණිෂ්ඨ) සමග ප්‍රදර්ශනාත්මක තරගයකට. නමුත් ඔහු දැන් තමාට වඩා වයසින් අවුරුදු 31ක් බාල පෝල් සමග තරග කිරීම පිණිස නැවත පැමිණ සිටින අතර මෙය බොක්සිං තරග සජීවීව විකාශය කිරීමේ Netflix ආයතනයේ පළමු පියවර බවට පත්ව තිබෙනවා.
හෙවිවේට් බොක්සිං තරග සාමාන්‍යයෙන් පවත්වනු ලබන මිනිත්තු තුනේ වට දහයක් හෝ දොළහක් වෙනුවට මේ තරගය පැවැත්වෙන්නේ මිනිත්තු දෙකේ වට අටකින්. අවුන්ස 10ක් බර ග්ලව්ස් වෙනුවට භාවිතා කරන්නේ අවුන්ස 14ක් බර අත්වැසුම්. එමගින් මුෂ්ටි ප්‍රහාරයන්හි ශක්තිය මඳක් අඩුවන බව වාර්තා වනවා.
නමුත් මේ අත්වැසුම් සටන් රාත්‍රියට පැය 24කට පෙර අද පැවති බර කිරීමේ අවස්ථාවේදී දෙදෙනා පැළඳ නොසිටි අතර මයික් ටයිසන්ගේ ශක්තිය පිළිබඳව ජේක් පෝල් සිටියේ සිනාසෙමින්.
ඔහු Ariel Helwani රූපවාහිනී නිවේදකයාට මෙසේ කියා සිටියා: “එයා ගහපු පහර මට දැනුනේවත් නැහැ. එයා ඉන්නේ කෝපයෙන්. එයා තරහ ගිය කුඩා භූතයෙක්.”
“මයික් ටයිසන්, මම හිතුවේ ඒක සිත පිනවන කම්මුල් පාරක් කියලයි. නමුත් හෙට උඹ බිම වැටෙනකං මගෙන් කනවා.”
“මම ඌව නැති කරනවා. නැත්තටම නැති කරනවා. ඌ ගහන්නේ හරියට බබෙක් වගෙයි. දැන් මේක පුද්ගලිකයි. ඌ මැරෙන්න ඕන !”
ටයිසන්ගේ අන්තිම ප්‍රතිවාදියා මෝහනය කරන්නෙකුගේ පිහිට පතලා

කෙසේ වෙතත්, මයික් ටයිසන්ගේ මුෂ්ටි ප්‍රහාරවල ශක්තිය පිළිබඳව ඔහුගේ අවසන් වෘත්තීය බොක්සිං ප්‍රතිවාදියා වන කෙවින් මැක්බ්‍රයිඩ් (Kevin McBride) විසින් ජේක් පෝල්ව දැනුවත් කර තිබෙනවා.
සිය වෘත්තීය බොක්සිං දිවියේ ඉදිරියට යාමට උත්සාහ කරමින් සිටි, වැඩි ප්‍රසිද්ධියක් නැති අයර්ලන්ත ජාතිකයෙකු වූ මැක්බ්‍රයිඩ් ට බොක්සිං ශූර ටයිසන් සමග සටන් කිරීමේ ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන අවස්ථාව උදා වුනේ 2005 වසරේදී. මේ යෝධ හෙවිවේට් බොක්සිං ක්‍රීඩකයා තරගය සඳහා බර කිරණ අවස්ථාවේදි ඔහුගේ ප්‍රතිවාදී ටයිසන් ට වඩා රාත්තල් 40ක් පමණ වැඩි බර ප්‍රමාණයකින් යුතුව සිටියා.
එසේ තිබියදීත් ඔහු සිටියේ ටයිසන්‌ගේ ශක්තිය පිළිබඳව බියෙන්. ටයිසන් ඔහුට තිබෙන මුළු වැර යොදා වට හයක් තිස්සේ පහර එල්ල කළ අතර මීට දශක දෙකකට ආසන්න කාලයකට පෙර ඒ රාත්‍රියේ තමා මුහුණ දුන් ඒ ප්‍රහාරයේ බලපෑම තමන්ට තවමත් දැනෙන බව මැක්බ්‍රයිඩ් කියා සිටිනවා.
එදා මැක්බ්‍රයිඩ් තරගය ජය ගෙන ටයිසන්ව විශ්‍රාම යැවූව ද, ඔහු දැන් නැවත බොක්සිං වළල්ලට පැමිණ තිබෙනවා. ටයිසන්ගේ මෙවර ප්‍රතිවාදියා වන ජේක් පෝල් තවමත් ටයිසන් වැනි දරුණු මුෂ්ටි ප්‍රහාරකයෙකුට කිසිවිටකත් මුහුණ දී නැහැ.
“මයික් ටයිසන්ව පරාජය කරන්න මට බැහැ කියලා බොහෝ අය එදා කීවා” යනුවෙන් මැක්බ්‍රයිඩ් රූපවාහිනී සාකච්ඡාවකදී කියා සිටියා. “එයාගේ ක්‍රීඩා දිවිය හා එහිදී ඔහු ලබා ගෙන සිටින සාර්ථකත්වය අනුව මට දිනන්න පුළුවන් වේවි කියලා කවුරුත් හිතුවේ නැහැ. නමුත් මගේ හිතේ මට වෙනත් සැලසුමක් තිබුනා.”
“මම සුමාන අටක් ඉතාමත් වෙහෙසකාරීව පුහුණු වුනා. ඊට අමතරව මම මෝහනය කරන්නෙකුගේ සේවය ලබා ගෙන ටයිසන් මට ගහන හැම වෙලාවෙම හිනාවෙන්න පුරුදු වුනා. ඒ අනුව එදා රාත්‍රියේ මම හිටියේ ගොඩක් සිනාසෙමින්.”
“මෝහනය කරන්නාගේ උපදෙස්වලින් මට හානියක් වුනේ නැහැ. මට උවමනා කළේ කළ හැකි හැම දෙයක්ම කිරීමටයි. නමුත් ඔබ මෝහනය කරන්නන් දහ දෙනෙක් ගෙනාවත් මයික් ගහන පහරවල හැටියට එයින් වැඩක් වෙන්නේ නැහැ. මට අවශ්‍ය වුනේ මම දිනනවා කියන විශ්වාසය ඇතිව බොක්සිං වළල්ලට යන්න විතරයි.”
“ජේක් පෝල් ගැන කතා කරන විට, ඔහුගේ තරුණ වයස නිසා ඔහු දිනාවි කියා බොහෝ අය හිතනවා. ඔව්, එයාට තරුණකම තියෙනවා. නමුත් මයික් ටයිසන්ගේ ශක්තිය විශ්වාස කරන්න බැරි තරම්. අවුරුදු 19කට වැඩි කාලයක් ගෙවී ගොස් තිබුනත්, අදටත් මට ඔහුගේ පහරවල ශක්තිය දැනෙනවා.”
“මුෂ්ටි ප්‍රහාරවල ශක්තිය අතින් බලන විට එය බොක්සිං ඉතිහාසයේ තිබෙන විශාලතම මුෂ්ටි ප්‍රහාරය යි!”
සබැඳි පුවත් :
ජේක් පෝල් සමග සටනට යක්ෂයා ගෙන එන බවට මයික් ටයිසන්ගෙන් පොරොන්දුවක්
මතභේදාත්මක බොක්සිං ගැටුම: මයික් ටයිසන් හා ජේක් පෝල් පිටුපස තිබෙන කාන්තා ශක්තිය
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






