මේ නම් කියන්න යන්නේ තනිකරම කෑම කතාවක්. 


ඔන්න අන්තිමේ ගෙවුණු සෙනසුරාදාවේ මම, රෝමාගේ ගෙදර ගියා... ෂශ්ලික්* (Shashlik) කන්න. මම ගියේ රෝමාගේ සහකාරිය, නතාලියාට මල් පොකුරකුත් අරගෙන. 

 

shashlik kebabs with 26187 16x9මේ තියෙන්නෙ ෂශ්ලික් (Shashlik)

සාමාන්‍යයෙන් යුරෝපීයන් අතරේ මල් පොකුරු හුවමාරු වීම් සුලභ දෙයක් වුනාට රුසියානුවන් අතරේ තියෙන මල් පිස්සුව නම් මම ගිහින් තියෙන යුරෝපීය රටවල් දෙක තුනේවත් දැකලා නෑ. හැම තැනම මල් කඩවල්... දවසේ කොයි වෙලාවේ .. කොහේ ... කොතන ගියත්... ලස්සන මල් පොකුරු ගත්ත ගැහුණු පිරිමි අඩුවක් නෑ. 

තමන්ගේ සහකාරිය, එක්කෝ බිරිඳ පෙම්වතිය මුණ ගැහෙන්න යන... කෑමකට යන...  රුසියානු පිරිමි, මල් පොකුරක් ගෙනියන්න නම් අමතක කරන්නේ නෑ. කඩෙන් ගත්ත මල් නැත්නම් ඉතින් කැලෑවෙන් කඩාගෙන හරි මල් අරන් යනවා. 

දවසක් මම මෙට්‍රෝවෙන් බැහැලා පාරට එන කොට අවුරුදු 14ක විතර පුංචි කෙල්ලක්, රෝස මල් පොකුරක් අතින් අරන් ඒ දිහා බල බල... තනියම හිනාවෙවි දුවනවා. එයාගේ කම්මුල්වලිනුත් මල් පෙති විසිවුනා කියල මට හොඳටෝම විශ්වාසයි. ඉන්තේරුවෙන්ම ඒක එයාගේ ප්‍රේමවන්තයගෙන් ලැබුන එකක්... 

මම ඉතින් රුසියානුවොන්ට වොඩ්කා බෝතල් අරන් යන්නද ? ගත්තා මල් පොකුරක්. (හැබැයි ඉතින් ඒ ගාණෙන් වොඩ්කා බෝතලයක්ම ගන්න තිබුන)

කොහොම වුනත් මල් ගැන නතාලිය සෑහෙන තරම් සතුටු වුනා. 

 

448318878 8084481988262548 1651179639183428296 nඅසර්බයිජානුවන්ගේ සම්ප්‍රදායික තොප්පි...
448324887 8084484038262343 194086780274173743 nසම්ප්‍රදායික කලුපාන්... මම යද්දි රෝමා එළිමහනේ දුම් දා දා අව්වේ නෑවී නෑවී... ෂශ්ලික් හදනවා. නිකන් නම් බැරිය,  අසර්බයිජානුවන්ගේ අත් ගෙතුම් වලින් හැඩ වෙච්ච... එම්බ්‍රොයිඩර් මල් වැල් දුවපු තොප්පියකුත් දාගෙන... ඒවා අසර්බයිජානුවන්ගේ සාම්ප්‍රදායික තොප්පි... 

රුසියානු රෝමා, අසර්බයිජාන් තොප්පි දාගෙන ඉන්නේ ඇයි කියල හිතන්න එපා... සෝවියට් දේශේ කඩන් වැටෙනකම් එකට හිටපු රටවල් දැන් කැඩුනා කියල නෑ... හුඟක් දේවල් එකිනෙකා අතරේ තවම හුවමාරු වෙනවා... විශේෂයෙන් කෑම.

ෂශ්ලික් ගැන මම දැනටමත් කියල තියෙනවා නේ. ෂශ්ලික් කියන්නේ අපි දන්න කෙබාබ් වලට සමාන තුර්කි කෑමක්. හැබැයි මට නම් ඊට වඩා ඉස්තරම් රසයක්... බැටලු, එලු, හරක් වගේම කුකුල් මස් වලින් ෂශ්ලික් හැදුවට මම නම් ආසම ඌරු මස් ෂශ්ලික් වලට.  

 

448456815 8084483174929096 6067070362151178392 nෂශ්ලික් එක්ක කෑමට එන සැර තැවරුම (සෝස් වර්ගයක්)

හරිම පදමට ෂශ්ලික් හදනවා නම් ඉතින් විනේගා වල ඔබපු ලොකු මස් කෑලි, තුර්කි තුනපහ, ළුණු රෝද, හර්බ්ස් වල ගිල්ලලා රැයක් නිස්කාන්සුවේ සතපවන්න ඕන. ආන්න ඊට පස්සේ එළිමහනේ, යකඩ කුරූවල ගහපු මස් කෑලී මොළොක් වෙන කම් ගිනි අඟුරු උඩ දුම් වැදි වැදි හැදෙන්න දෙන්න ඕන.

448228797 8084483701595710 3264985620087582613 nමේ තියෙන්නේ පලතුරු කෝම්පෝත්..

 

448257201 8084482921595788 5889734332727436335 nරෝමාගේ ළූණු, සුදුළූණු වගාව... ස්ට්‍රෝබෙරි පැළ ගන්න නම් අමතක වුනා...රෝමා ෂශ්ලික් හදනකම් නතාලියා, අර වල් මිදිවැල් පඳුරු යට උද්‍යාන මේසේ සුදානම් කරමින් හිටියා. ෂශ්ලික් කෑමට ගන්නකම් හොඳට වැහෙන පියනකින් වහලා උණුසුම්ව තියා ගන්න රෝමා පරිස්සම් වුනා.

මම ඉතින් කෑමට එන්න කියන කම්, වත්ත වටේ ඇවිද්දා. වසන්ත කාලේ පිපිලා තිබුන ඇපල් මල්, පෙති හලමින් තිබුනේ... පාට පාට තුල්පානිත් (ටියුලිප්) ගිම්හාන කාලේ නිසා පේන්න නෑ. ඒ වුනාට ස්ට්‍රෝබෙරි පැළ මල්වර වෙන්න ඔන්න මෙන්න හිටියේ... 

රෝමාගේ සුදුලුණු වගාවත්... ලුණු වගාවත් නිදහසේ වැඩෙමින් තිබුනා. රෝමා කිව්වේ තව මාසෙකින් සුදුලුණු කන්න පුලුවන් කියල.

අන්න එහෙම සුදුලුණු ගලවපුවාම ටිකක් කෑමට අරගෙන තව ටිකක් විනේගාවල ඔබලා... බෝතල් ඇතුලේ නිදහසේ ඉන්න ඉඩ ඇරල වහලා දානවා. ඒවා ආයෙත් එළියට එන්නේ සීත කාලෙට... 

හැම රුසියානුවෙක්ම සීත කාලේ ඉවර වෙන කොටම තමන්ගේ වත්ත සුද්ධ කරන්න පටන් ගන්නවා. මහන්සි වෙලා වැඩ කරන්න දන්න රුසියානුවෝ හනි හනික බිම හදලා, ග්‍රීන් හවුස් ඇතුල සුද්ධ කරල පැළ ඉන්දන්න ගන්නවා. රුසියානුවෝ හුඟක් අය ජීවත් වෙන්නෙ ක්වර්තීරා (එපාර්ට්මන්ට්) වල. හැබැයි ඒ හුඟක් දෙනෙකුට දාචා* (dacha) තියෙනවා ... ඈත ගමට වෙන්න. 

448240598 8084483891595691 7069869806970088454 nපලතුරු කොම්පෝත්.. පින්තූරේ ගත්තේ ආර්මේනියන්වරුන්ගේ සම්ප්‍රදායික කෑම බීම විකුණන්න තිබුන කඩේකින්...දාචා කියන්නේ අපේ විදියට කිව්වොත් ගමේ ගෙවල්. ඒවා ඉඩකඩ තියෙන බිම් කඩවල් වල හදපු සරළ වුනත් සුවපහසු නිවාස. වසන්ත කාලේට... ගිම්හාන කාලේට රුසියානුවෝ දාචා යනවා. වත්ත සුද්ධ කරන්න... පැළ ඉන්දන්න... මාලු අල්ලන්න... නිවාඩු පාඩුවේ ඉන්න...

මම ඉන්නේ රෝමාගේ අම්මා හිටපු ගෙදර... මේ ගෙදර හැම කබඩ් එකක් ඇතුලේම තියෙන්නෙ සෝදලා පිරිසිදු කරපු එක එක ප්‍රමාණේ බෝතල්. ඒ ඇයි කියල මට තේරුනේ ටිකක් පහුවෙලා... 

මෙහේ ගිම්හාන කාලෙට තියෙන එළවලු පලතුරු සීත කාලේට නෑ නේ. ඒ නිසා රුසියානුවන්ට තමන්ගේ ම විධි ක්‍රම තියෙනවා මේ එළවලු පළතුරු කල් තියා ගන්න. ඉතින් හැම රුසියානු ගෙදරකම, මේ වැඩේ සාමාන්‍යයෙන් පවර ගන්නේ කාන්තාවෝ. 

ඒ වැඩේට විනේගා නැතුව ම බෑ. තව ඉතින් ලුණු, සීනි, හර්බ්ස්, පළතුරු යුෂ, මී පැණි, වයින් වගේ දේවල් අවශ්‍ය විදියට පාවිච්චි කරනවා. එළවලු පළතුරු වෙන වෙනම තෝරගෙන ගෙඩි පිටින් හරි එක එක හැඩේට හරි කපලා... මේ යුෂවල ඔබලා... බෝතල් වල බහා ලා ... ඊළඟ සීත කාලේ වෙනකම් පරිස්සමට ගබඩා කරල තියා ගන්නවා.  

448105951 8084483558262391 2863211723406985707 nරුසියානු පිකල් වර්ග...

සුලු ලුණු, මිරිස්, මාලු මිරිස්, ගෝවා, කැරට්, ගර්කින්, බීට් රුට්, හතු, තක්කාලි වගේ එළවලුත්... පීච්, ඇපල්, ස්ට්‍රෝබෙරි, බෙරි වර්ග, කොමඩු වල ඉඳලා එකී නොකී මෙකී දේවල් මේ විදියට ගබඩා කරල තියල කෑමට ගන්න එක රුසියානු සම්ප්‍රදායක්. ඇත්තටම මේවා රුසියානු පිකල්. ඇඹුල්මය රසයක් එක්ක කෑමට රුචිය වඩවන මේ පිකල් බෝතලයක් රුසියානු කෑම මේසයක අනිවාර්ය දසුනක්. 

ඒ ඇරුනාම ඉතින් පළතුරු වලින් ජෑම් හදනවා. බෙරි වර්ග, පීච් සහ ඇපල් වගේ පලතුරු කොම්පෝත්*(Compote) කරල බීමට ගන්න එකත් රුසියාවේ වගේම නැගෙනහිර යුරෝපේ රටවලත් සම්ප්‍රදායක්. (හැබැයි දන්න හැටියෙන් කොම්පෝත් කිරීම ප්‍රංශයෙන් ආරම්භ වුන විධි ක්‍රමයක්) කොම්පෝත් කිරීමත් කල් තියා ගන්න එක විදියක් නේ. 

ඒවා අතුරු කතා... කෑම මේසේ ලෑස්තියි.

ෂශ්ලික්, ලොකුම ලොකු භාජනේක උණුසුම රැක ගනිමින් කොනක හිටියා. ෂශ්ලික් කන්න, ඉඟුරු, සුදුලුණු, ලොකු රතු මිරිස් කරල්, විනේගා, අබ ක්‍රීම්, හර්බ්ස් වගේ තව මොන මොනවදෝ එකට තලලා ... මුහුකරල හදාගන්න දිව උදුරන තැවරුමක් ඒ ළඟම තිබුනා. බටර්වලින් යාන්තමින් එහෙට මෙහෙට කරල ගත්ත, තම්බපු අල ගෙඩි... කලුපාන් කූඩේ ළඟින්ම හිටියා. අපිට ඉතින් බත් වගේ රුසියානුවන්ගේ ප්‍රධානම ආහාරය තමයි අල. 

{"total_effects_actions":0,"total_draw_time":0,"layers_used":0,"effects_tried":0,"total_draw_actions":0,"total_editor_actions":{"border":0,"frame":0,"mask":0,"lensflare":0,"clipart":0,"text":0,"square_fit":0,"shape_mask":0,"callout":0},"effects_applied":0,"uid":"64BD11DB-920F-4DFC-8C1D-FBAD60878EEA_1557687411680","width":2337,"photos_added":0,"total_effects_time":0,"tools_used":{"tilt_shift":0,"resize":0,"adjust":0,"curves":0,"motion":0,"perspective":0,"clone":0,"crop":2,"enhance":0,"selection":0,"free_cropඔන්න ඔහොම ගස් පිටින් ගෙඩි පිටින් රුසියානුවෝ තක්කාලියි ළූණු කොළයි කනවා...

 

තක්කාලි, ලුණු කොළ ගස් පිටින්... ලොකු ගෝවා ගෙඩියක්... අගුර්සි*(Agurci) කියල රුසියානුවෝ කියන පුංචි ගර්කින් ගෙඩි, වෙනම තිබුනා... විනේගා සහ හර්බ්ස් එක්ක පදම් වුන ලෙකු කලුපාට හතු බෝතලයක් තව කොනක තිබුනා. තුනීවට මී පැණි බිංදු වැටිලා වොල්නට්ස් මැදි කරගත්ත බිත්තර බෝට්ටු කනකන් ඉසිල්ලක් නැතුව මම බලන් හිටියේ. 

448400283 8084480978262649 1260100136662133786 nරුසියානු සම්ප්‍රදායික සැලඩය... මේකේ නැති දෙයක් නෑ ඉතින්..අහ් තව රුසියානුවන්ගේ සාම්ප්‍රදායික කෑමක් වෙන රුසියානු සැලඩ් එක... අල, කැරට්, පීස්, බිත්තර, මයෝනීස් දාපූ ඒ සැලඩ් එක කෑමට ගන්නේ සීත කරල... නතාලිය කිව්වා ඒක නම් එයා හැදුවේ නෑ කඩෙන් ගත්තේ කියල. කොහෙන් ගෙනාවම මොකෝ පුදුම රසක්... කවුරු හරි රුසියාවට එනවා නම් ඉතින් මේ රුසියානු සැලඩය කියන්නේ කන්නම ඕන කෑමක්...   

අනෙක් කෙළවරේ නැවුම් දොඩම් යුෂ වගේම වතුරත්, දොඩම්, ඇපල්, කෙසෙල් මැදි කරපු පලතුරු පිඟනකුත් තිබුනා. 

අල්ලපු ගෙදර යූරාගෙන් ලැබුන රුසියානු වොඩ්කා වගේම රෝමා මේසේට ගෙනාපු ප්‍රංශ වයින් සහ ජෝර්ජියන් ෂැම්පේන් වලින් උද්‍යාන මේසේ දිවා ආහාරයට සුදානම් වෙලයි තිබුනේ. 

රෝමා මේසේට වාඩි වෙන්න කලින් වත්තෙන් කඩා ගත්ත... සුවඳම සුවද.. දම් පාට ලිලැක් මල් අතු දෙකක් ගෙනත් පෝච්චියට දැම්මා...

වල් මිදිවැල් පඳුරු අස්සෙන් ඉර අව්ව බේරෙමින් තිබුනා... 

මට කතා කරන්නත් අමතක වුනා... කොහොමත් මට කතා කරන එක ලොකු ප්‍රශ්නයක් ඒ රුසියානුකාරයෝ මැද්දේ... ඒකේ වාසිය අඩු නැතිව මම ගත්තා... 


448278329 8084484254928988 6807202926486311185 nකලුපාන් කන්න රුසියානුවන්ට නැතුවම බැරි කල්බසාඒ අස්සේ රෝමා ලපටි සුදුලුණු ගස් කීපයක් වත්තෙන් උදුරගෙන සෝදලා අරන් ආවා... කෑමට...

සුදු ලුණු ගහ කෑවා විතරයි... නහය අස්සේ මොනවද හිර වෙලා ඇස් වලින් කඳුලු විසිවුණා... මොනා වුනත් මම අමාරුවෙන් සුදුලුණු ගගෙන් භාගයක් කාලා දැම්මා. කට්ටියම සහය වුනා එකෙන් එන සැර අඩු කරන්න තුර්කි දොඩම් කන්න කියල. 

යුරාගේ දිවේ ගැවී නොගෑවි ලිස්සන විහිලු කතා අස්සේ ඒ දිවා බෝජනය අවසන් වුනේ හොඳටෝම හවස් වෙලා... 
 
යුරාගේ බිරිඳ කෑමට ආපු විදියත් කියලම මේ කතාව ඉවර කරන්නම්... රුසියානුවන් කෑමකට එළියට යනවා කියන්නේ ඉතින් වෙනම ඉවෙන්ට් එකක්. ඉස්තරම්ම විදියට ඇදලා තමයි එහෙම අවස්ථාවකට යන්නේ. ඒක කාන්තාවන්ට විතරක් නෙවෙයි පිරිමි පාර්ශ්වයටත් පොදුයි. ඒ වගේ සුදානමක් ඉතාලියානුවන්ගෙන් ඇර මම දන්න හැටියෙන් වෙන යූරෝපීයයන්ගෙන් පවා දකින්න නෑ. 
 
සෝවියට් යුගය කියන්නෙ රෙදි පිළි විලාසිතා විතරක් නෙවෙයි කෑම බීම පවා හිඟ යුගයක් නේ. එහෙම වුනත් තමන්ට තිබුන හොඳම ඇඳුමින් සැරසිලා කෑමකට එළියට යන්න රුසියානුවෝ බොහොම ප්‍රිය කළා කියලයි රුසියාවේ ජීවත් වෙන මිත්‍රයෝ කියන්නෙ. 

යුරා ඉන්නේ රෝමාගේ ගේට්ටුව ඉස්සරහින්ම පේන ගෙදර. අපි වුනා නම් ඉතින් කලිසමයි ටී ෂර්ට් එකකුයි සෙරෙප්පු දෙකයි දාගෙන පාර පනිනවා අල්ලපු ගෙදර කෑමට යන්න. ඒකට රුසියානුවෝ...
 
448437751 8084484434928970 5151144297134794754 nරුසියානුවන්ගේ ගමේ ගෙවල් නැතිනම් දාචා
යූරාගේ බිරිඳ, වීකා... වීකා කියන්නේ ඉංග්‍රිසියෙන් වික්ටෝරියා... (රුසියානු නම් ගැන කතාවක් වෙන දවසක කියන්නම්) ගාණට මිම්මට මේකප් කරල, ලස්සනට ඇඳලා හරියට අවන්හලක කෑමට යනවා වගේ තමයි පාර පැනල රෝමාගේ ගෙදර ආවේ... 

මොනා වුවත් එයා මගේ සමේ පාටත්, ශරීරයත් ගැන බොහොම ලෙන්ගතු වර්ණනාවක් කරල අන්තිමට කිව්වා අපේ කොල්ලන්ගෙන් පරිස්සම් වෙන්න කියලත්... වචනෙකින් හරි සමීප බවක් දැනුනාම රුසියානු කාන්තාවෝ තවත් කාන්තාවක් අගය කරන්න නම් දෙපාරක් හිතන්නේ නෑ.

ඒ කොහොම වෙතත් රුසියානුවෝ අපේ චොක්ලට් පාට ට කැමති බව නම් සහතික ඇත්තක්... ඇවිදින්න ගියාම ෆෝටෝ එකක් ගමු ද අහන... වචනයක් කතා කරන්න එන...  රුසියානුවෝ ඕන තරම් ඉන්නවා.
 
448166949 8084482724929141 5612597561213633858 nරෝමාගේ ගෙවත්ත... පිටිපස්සෙන් තියෙන්නේ ඇපල් ගහයි තුල්පානි කියල රුසියානුවෝ කියන ටියුලිප් මලුයි... මේක ගත්තේ වසන්ත කාලේ දවසක...මම ගෙදර එන්න පිටත් වෙන කොට රෝමා දම් පාට... මල් වැක්කෙරෙන... ලිලැක් මල් පොකුරක් කඩාගෙන ඇවිත් දුන්නා. අපි හැමෝම එකිනෙකාව හෘදයාගමව වැළඳ ගත්තා... මගේ ස්තූති කිරීම්වලට... සුපුරුදු ලෙන්ගතුකමින් සහ සම්ප්‍රදායට අනුව ඒ හැමෝම මට ශරීර සුවය ප්‍රාර්ථනා කරමින් දස්විදානියා* (Dasvidaniya) කිව්වා. 
 
මම ලිලැක් මල් එක්ක හිනාවේවි ගෙදර ආවා... ඒක ලිලැක්මය දවසක්...

පරණ කතා කියවන්න කැමති කෙනෙක්ට... මග හැරුණු කෙනෙක්ට පහත සබැඳි ලිපි බලන්න පුලුවන්...

(මාධ්‍යවේදිනී, ජයනි අබේසේකර - රුසියාවේ සිට..)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(Jayani Abeysekara ගේ ෆේස්බුක් පිටුවෙන් )


සබැඳි පුවත් :

ජයනිගේ රුසියානු කතා : ලෙමන් පෙති එක්ක සෙයිලෝන්ස්කි චායි බොන රුසියානුවෝ

බිරියෝසා ජූස් සහ ඔත්තේ වීදුරු බොන රුස්සෝ 

රුසියානු කතා - (ජයනි අබේසේකර)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්