‘‘ජාතක කතාවෙන් පිළිබිඹු කෙරෙන ස්ත්‍රී ලිංගික චර්යා’’ පිළිබඳ පළමු කොටස පසු ගිය දිනක (2021/07/03) පළ කළේ ය. අද ලිපිය ද එහි ම දිගුවකි.
 
 
 පෙර ලිපියෙන්: කුණාල ජාතකය, චුල්ල පදුම ජාතකය, බන්ධන මොක්ඛ ජාතකය සහ සමුග්ග ජාතකය යන කතා හතර පිළිබඳ සාකච්ඡා කළේ ය. අද තවත් ජාතක කතා කිහිපයක පිළිබිඹු වන ස්ත්‍රී ලිංගික චර්යා පිළිබඳ තත්ත්වය විමසා බලමු.
 
 
 
අන්ධභූත ජාතකය:
 
675676767
 
මෙම ජාතක කතාවේ සඳහන් වන පරිදි එහි එන පුරෝහිත බමුණා සිය බිරිඳ, වෙනත් කිසිදු පිරිමියෙකුට නොපෙනෙන සේ සඟවා තබන්නේ ය. ඔහු එසේ සිය බිරිඳ සඟවා තබන්නේ සූදු කෙළියෙන් ජයග්‍රහණය කිරීමේ බලාපොරොත්තුවෙනි. ඊට හේතු වන්නේ මෙම පුරෝහිත බමුණා බ්‍රහ්මදත්ත රජු නම් වූ බෝධිසත්වයෝ සමග සූදු කෙළින සෑම මොහොතක ම රජු කිසියම් කවියක් ගායනා කිරීම ය.
 
රජු සූදුව ආරම්භ කරත් ම ‘‘සබ්බානදී වංකගතා - සබ්බේ කට්ඨමයා වනා, සබ්බිත්ථියෝ කරේපාපං - ලභමානා නිවාතකෙ’’ යනාදි වශයෙන් ගායනා කරයි.
 
මෙහි සිංහල අරුත වන්නේ ‘‘සැම ගංගාවක් ම ඇදට ගලන්නා සේ ම, සෑම කැලයක් ම කටු සහිත බව සේ ම සෑම ගැහැනියක් ම වරදේ බැඳෙන්නේ ය’’ යන්න ය.
 
ජාතක කතාවට අනුව පුරෝහිත බමුණා මෙම කවියේ අරුත දැනගෙන හෙතෙම අපූරු ක්‍රියාවක් කරන්නේ ය.
 
ඔහු, දුප්පත් ගැබිනි කතකට මුදල් ගෙවා එම කතට උපන් දැරිය අත්පත් කරගන්නේ ය. ඉක්බිති කුඩා අවධියේ සිට ම මේ දැරියට කිසිදු පිරිමියෙකුට ඇස නොගැටෙන්නට ඉඩ සලස්වා, ඇය වැඩිවිය පැමිණි පසු විවාහ කරගන්නේ ය.
 
එසේ විවාහ කරගැනීමෙන් පසු ද රජු සමග සූදු කෙළින මොහොතේ පුරෝහිත බමුණා පවසන්නේ ‘‘රජතුමනි..., ඔබ ඔය කවිය ගායනා කරන විට මගේ බිරිඳ හැර අන් අය වෙනුනේ එය ගායනා කරන්න. මන්ද මගේ බිරිඳ නම් මා හැර වෙනත් කිසිදු පිරිමියෙකු සමග මෙවුන්දමෙහි නොයෙදෙන බව මට විශ්වාසයි,’’ යනුවෙනි.
 
එතැන් සිට දිගින් දිගට ම බ්‍රහ්මදත්ත රජු පරාජයට පත්වී පුරෝහිත බමුණා සූදුවෙන් ජයලබන්නට විය. මෙය රජුට මහත් ප්‍රහේලිකාවකි. දිගින් දිගට ම පුරෝහිත ජයග්‍රහණය කරන්නේ පතිභක්තිය රකිනා බිරිඳක් පුරෝහිත සතුව සිටින බවට රජතුමා අනුමාන කරයි. 
 
එම නිසා රජු සූදු කෙළියෙන් දිනීම සඳහා උපායක් කල්පනා කරයි. ඒ අනුව පුරෝහිත බිරිඳගේ පිරිසිදුභාවට අහෝසි කිරිම සඳහා සල්ලාල පුරුෂයෙකු යෙදවිය යුතු යැයි රජු තිරණය කරයි.
 
පසුව එබඳු පුරුෂයෙකු සොයා ගෙනවිත් ඔහුට විශාල මුදලක් ගෙවා අදාළ කටයුත්ත බාර කරයි. එම පුරුෂයා රජුගෙන් ගලබාගත් මුදල් යොදවා පුරෝහිත බමුණාගේ නිවස අසල ම රන්, රිදී, මුතු, මැණික්, සුවඳ විලවුන් සහ විවිධ මල් වර්ග අලෙවි සැලක් විවෘත කරයි. එහි මුඛ්‍ය අරමුණ වන්නේ පුරෝහිතයාගේ බිරිඳට මේ බව සැලවෙන්නට ඉඩ හැරීම ය. එය ද පහසු කාර්යයක් නොවන බැවින් මෙම පුද්ගලයා ඒ සඳහා අපූරු උපායක් යොදන්නේ ය. ජාතක කතාකරුවා එකී උපාය මෙලෙස සඳහන් කරයි.
 
‘‘එකල ඒ ස්ත්‍රියගේ එක් පරිවාරිකා ස්ත්‍රියක් සුවඳ මල් ආදියට මිල ඇරගෙණ යන්නී එම ධුර්තියාගේ සල්පිල සමීපයෙන් යන්නී ය. එකල ඒ ධුර්තියා මෝ තෝමෝ පතිව්‍රතා ධර්මය රක්ෂාකරන්නාවූ ස්ත්‍රියගේ පරිවාරිකා ස්ත්‍රියෙකැයි නියමයෙන් දැන එක් දවසක් ඒ පරිවාරිකා ස්ත්‍රිය එන්නවුන් දැකලාම සල්පිළින් නැගී සිට ගොස් ඈ පාමුල වැටී හි දෑතින් දෙපය තරකොට අල්වාගෙන ‘‘මෑණියෙනි මෙතෙක්දා මුළුල්ලෙහි කොයි ගියාදෝ,’’යි කියා ඇඬුයේ ය. 
 
එකල අවශේෂ වූ ඕ හට සහාය වූ ධූර්තියෝත් එක් පසෙකසිට අතපය මුව සටහන්නුත් ගමනාගමන ආදී වූ ආකල්පයෙනුත් මෑණියන් හා පුතනුවෝ එක සැටියෝම යයි කිවාහු ය. ඒ ස්ත්‍රී ඒ ඒ බොහෝ දෙනා මෙසේ කියන්ට වන් කල්හි තොමෝ ද අදහාගෙන මේ මාගේ පුත්‍රයෙක් වනැයි තෝමෝත් අඬන්ට පටන්ගත්හ. ඔහු දෙදෙනා ම අඬා වැලප ඔවු නොවුන් වැලඳ සිටියාහු ය. ඉක්බිත්තෙන් ඒ දූර්ති තෙම මෑණියෙනි දැන් තෙපි කොයි වැලඳ සිටියාහු ය. ඉක්බිත්තෙන් ඒ ධුර්ති තෙම මෑණියෙනි දැන් තොපි කොයි යවුදැයි කියේ ය.
 
පරිවාරිකා ස්ත්‍රී කියන්නී කින්නරාඟනාවකගේ විලස බඳූවූ විලස් ඇති රූපයෙන් අග්‍රප්‍රාප්ත වූ පුරෝහිත බ්‍රාහ්මණයාණන්ගේ ළදරු ස්ත්‍රියට උපස්ථාන කෙරෙමින් වෙසෙම් කිවූ ය. දැන් මෑණියෙනි කොයි යවුදැයි ධුර්තියා විචාළේ ය. ඒ කුමාරිකාවන්ට සුවඳ මල් ආදීය ගන්නා පිණිස යෙමි කී කල්හි මෑණියෙනි අනික් තැනකට යාමෙන් ප්‍රයෝජන කිම් ද, මෙතැන් මා සමීපයෙන් ම සුවඳ මල් ගෙනවයි කියා මිල නොගෙන බොහෝ බුලත් තකුල් කපුරු ආදිය සහ නොයෙක් සුවඳමල් ආදිය දුන්නේ ය. 
 
ඒ සුවඳ මල් ආදිය ඇරගෙන පරිවාරිකා ස්ත්‍රිය ගෙට ආ කල්හි මානවිකාතොමෝ බොහෝ සුවඳ මල් ආදිය දැක කීමෙක්ද මෑණියෙනි අද අපගේ බමුණානෝ අප කෙරෙහි ප්‍රසන්නවු දැයි කිව, කවර කාරණයකින් මෙසේ කියන සේක්දැයි පරිවාරිකා ස්ත්‍රිය කී කල්හි මේ සුවඳ මල් ආදිය බොහෝනියාව දැකයයි කිවූ ය. එකල පරිචාරිකා ස්ත්‍රීය කියන්නී පුරෝහිතයාණන් වහන්සේ සුවඳ මල් ආදියට බොහෝ මිල නුදුන් සේක. මා විසින් වනාහි මේ සුවඳ මල් ආදිය මාගේ පුතණුවන් සමීපයෙන් ගෙණන ලදැයි කීවා ය.
 
මෙසේ කියා එතැන්පටන් බමුණානන් දුන් මිළ තොමෝ ඇරගෙණ ඒ ධුර්තියාගෙන් ම සුවඳ මල් ආදිය ගෙනන්නී ය. ඒ ධුර්තියා කීප දවසක් ගිය කල ගිලන් ආකාරයක් දක්වා වැද හොත්තේ ය. ඒ පරිවාරිකා ස්ත්‍රී තොමෝ ඔහුගේ සල්පිලට ගොස් ඒ ධුර්තියා නොදැක මාගේ පුතණුවෝ කොයිදැයි විදාළිය. 
 
ගෙයි සිටි මනුෂයෝ කියන්නෝ තොපගේ පුතනුවන් ඇඟට ආළුසුවෙක් බලවතැයි කිවූ ය. එබස් ඇසූ පරිචාරිකා ස්ත්‍රී ඔහු වැදහොත් තෙනට ගොස් හිඳ පිට පිරිමදින්නී පුත තොපට ආළුසු කවරේදැයි විචාළි ය. හෙතම මුවෙන් නොබැණ වැදහොත්තේ ය. පුත බැණ නොනැගෙන්ට කාරණා කිම් දැයි විචාළකල්හි මෑණියනි මියෙත් තොපට කියන්ට නොපිළිවනැයි කීය. මට නොකියා පුත කවුරුන්ට කියව්දැයි කී කල්හි මෑණියෙනි මට අනික් අළුවාසුවෙක් නැත. 
 
ඒ තරුණ මාණවිකාවගේ වර්ණ සෞන්දර්යය අසා පිළිබඳ සිත් ඇතිවීම් ඒ මාණවිකාව ලද්දෙම් විනම් ජීවිතය තිබෙයි නොලද්දේ වී නම් මෙතැන්හි ම මියන්නෙම් වේදැයි කීහ. පරිවාරිකා ස්ත්‍රී කියන්නී පුත මට ඒ භාරය තෙපි ඒ මාණවිකාව නිසා සිතිවිලි නොකරවයි කියා ඔහු අස්වසා බොහෝ සුවඳ ආදිය ගෙණ මාණවිකාව සමීපයට ගොස් කියන්නී මෑණියෙනි මාගේ පුත්‍රයා මාගෙන් තොපගේ ගුණ අසා පිළිබඳ වූ සිත් ඇතිවිය. කුමක් කටයුතු මෝදැයි කිව, ඉඳින් කැඳවාගෙන එන්ට සමර්ථයෝ වී නම් අපගෙන් අමුතු කවරේදැයි කීය.
 
පරිවාරිකා ස්ත්‍රී මාණවිකාවගේ බස් අසා එතැන් පටන් ඒ ගෙයි කොන් කොන්වලින් බොහෝ කසළ එක්කොට මල් ගෙනෙන පෙට්ටියෙ ලාගෙණ යන්නී. පෙට්ටිය පරීක්ෂා කරන වෙලෙහි රැකවල් සිට ස්ත්‍රියගේ ඉසට දමන්නී ය. ඒ රැකවල් සිටි ස්ත්‍රී ඇඟට කසළ දැමීමෙන් පිළිකුල්ව ඉවත්වන්නී ය. 
 
ඒ පරිවාරිකා ස්ත්‍රී තොමෝ මෙම ක්‍රමයෙන් යමක් යමක් කිසිවක් කියා නම් ඒ ඒ ස්ත්‍රිය ඉසමත්තට කසළ දමන්නීය එතැන් පටන් පරිචාරිකා ස්ත්‍රිය යමක් ඇතුළෙන් ගෙනතත් පිටතින් ඇතුළට ගෙනෙතත් කිසි ස්ත්‍රියක් ඒ ගෙනෙන දෙය පරික්ෂාකරන්නට උත්සාහ නොකරන්නී ය. එකල්හි ඒ ස්ත්‍රී ධුර්තියා මල් ගෙනෙන පැස ඇතුළෙහි ලාගෙන මාණවිකාවගේ සමීපයට ගෙන ගියා ය. ධුර්තිකාව මාණවිකාවගේ ශීල භේද කොට එක්දවසක් ප්‍රාසාදයෙහි විසුයේ ය. පුරෝහිත බ්‍රාහ්මණයාගෙන් බැහැර ගිය කල්හි දෙදෙනා ම අභිරමණය කෙරෙති. ඔහු ආකල්හි ධූර්තියා සැඟවෙන්නේ ය.’’
 
මෙම සිද්ධියෙන් අනතුරුව යළි පුරෝහිත බමුණා පරාජයට පත්වී බ්‍රහ්මදත්ත රජු ජයග්‍රහණය කිරීම ඇරඹුණි. එහි දී රජු පුරෝහිතයාට පවසන්නේ ඔහුගේ බිරිඳ අන් සැමියෙකු සමග මෙවුන්දමෙහි වෙළී ඇති බැවින් ඔහු පරාජය වන බව ය.  
 
මෙය අදහාගත නොහැකි වූ පුරෝහිත සිය බිරිඳගෙන් මේ පිළිබඳ විමසුවේ ය. එහෙත් ඇය එය ප්‍රතික්ෂේප කළ අතර එසේ නොවූ බව පසක් කිරීමට ගිනි මැලයට වුව පැනීමට වුව ද සුදානම් බව පැවසුවා ය.
 
පුරෝහිත බමුණා ද සිය බිරිදගේ බහට රැවටී ඇයට ගිනිමැලයට පැනීමට අවසර ලබා දුන්නේ ය. ඇය ඉතා සුක්ෂම ලෙස උපායක් යොදා ගිනි මැලයට පනින මොහොතේ ම ඇය සමග යහන්ගත වූ සොර සැමියා ලවා ඇගේ අත අල්ලන්නට සැලසුවා ය. 
 
එසැණින් ම ඇය සිය සැමියාට කියා සිටියේ ‘‘මෙතෙක් කල් ඔබ හැර කිසිම පුරුෂයකු මගේ අතින් හෝ අල්ලා නැත. එහෙත් මේ දැන් මේ පුරුෂයා මගේ අත ඇල්ලූ බැවින් මා කිලුටු වුවා ය’’ යනුවෙනි.
 
මෙම ජාතක කතාවේ දී ගැහැනියගේ ලිංගික චර්යාව පමණක් නොව, සූදුවට නැඹුරු වූ බෝධිසත්වයන්, සූදුවෙන් ජයග්‍රහණය කිරීම සඳහා යෙදූ කූට උපාය උපක්‍රම ද මැනවින් පිළිබිඹු කෙරෙන්නේ ය. නමුදු වඩාත් ප්‍රකට කෙරෙන්නේ ගැහැනියගේ නුගුණ ම පමණි.
 
 
 
අසාතමන්ත්‍ර ජාතකය:
 
ghdfgf
 
මෙම ජාතක කතාව ද ස්ත්‍රීන්ගේ ලිංගික චර්යා විදහා දැක්වෙන සුවිසෙස් කතාවකි. කතාව ආරම්භයේ ම බුදුන් වහන්සේ මෙසේ දේශනා කර ඇති බව ජාතක කතාකරුවා සඳහන් කරයි.
 
‘‘මෙහි වර්තමාන කතාව උම්මදනති ජාතකයෙහි මතු පහළ වන්නේ ය. සර්වඥයන් වහන්සේ ඒ භික්ෂූ හට ‘මහණ මේ ලෝකයෙහි ස්ත්‍රීහූ නම් දුක්ඛයට වස්තූහූ ය; අසත්පුරුෂයෝ ය; ඝමකයෝ ය; අන්තිමයෝ ය. තෝ එබඳූ ළාමක ස්ත්‍රියක නිසා කවර කාරණයකින් උකටලී වූයෙහි’ දැයි වදාරා ඉකුත්වත් දක්වා වදාළ සේක.’’
 
අසාතමන්ත්‍ර ජාතක කතාව අනෙක් ජාතක කතාවලින් වඩාත් වෙසෙස් ස්ථානයක් උසුලන්නේ මන්දැයි ඔබ විමසන්නට පිළිවන. එයට හේතුව වන්නේ අවුරුදු 120ක් වයසැති කාන්තාවක් අවුරුදු දහසයක් දාහතක් පමණ වයසැති තරුණයකු සමග මෙවුන්දමෙහි වෙළීමට ඇති කැමැත්ත හේතුවෙන් ම එකී තරුණයා ලවා සිය පුතු ඝාතනය කරවන්නට උත්සාහ දැරීම ය. 
 
ඇය මෙම තරුණයා කෙරෙහි කෙතරම් ලොල් වී ද යත් දිනෙක ඇය ඍජව ම එම තරුණයාගෙන් මේ පිළිබඳව විමසන්නී ය. එම අවස්ථාව ජාතක කතාකරුවා මෙලෙස සඳහන් කරයි.
 
‘‘ඒ මානවකයා යහපත ආචාරීන් වහන්සැයි කියා මහබෝසතානන්ගේ වචනය පිළිගෙන එතැන්පටන් කියන ලද්දා වූ සියලු කාරිය කෙළේ ය. ඉක්බිත්තෙන් ඒ බෝධිසත්වයන්ගේ මෑණියන්ට ඒ මාණවකයා නැවත නැවත ශරීර වර්ණනා කරත් කරත් මේ තෙම මා හා සමග අභිරමණය කරණු කැමැත්තේවනැති සිතා අන්ධ වූ ජරාවෙන් ජීර්ණ වූ බෝධිසත්ව මාතාවෝ එක් දවසක් තමන්ගේ ශරීර වර්ණනාව කරණු කල්හි ඒ මාණවකයාට කියන්නෝ මා හා සමග අභිරමණය කරණු කැමැත්තෙහි දැයි කිවූය. 
 
ආර්යයන් වහන්සේ මම වූ කලී කැමැත්තෙමි. ආචාරින් වහන්සේ ගුරුසේක්වී දැයි කීය. ඉඳින් තෝ මා කැමැත්තෙහි වී නම් මාගේ පුතනුවන් මරාපි යයි කිවූය.’’
 
එපමණක් නොව... මෙම තරුණයා සිය ගුරුවරයා ඝාතනය කිරීම ප්‍රතික්ෂේප කළ විට තමාතින් ම සිය පුතු ඝාතනය කරන්නට අදහස් කිරීමට තරම් ඇගේ කාමාශාව උග්‍රත්වයට පත්ව ඇති බව ජාතක කතාකරුවා සඳහන් කරයි.
 
‘‘මෙසේ කී කල්හි මාණවකයා කියන්නේ මම ආචාරීන් වහන්සේ සමීපයෙහි මෙතෙක් ශීල්ප ඉගෙණ ක්ලේශ මාත්‍රයක් නිසා කුමකැයි කියා ආචාරීන් වහන්සේ මරම්දැයි කීය, එසේ වී නම් ඉදින් තෙපි මා නොහැර නම් මම්ම ඒ දරුවන් මරමි කිවූ ය.’’
 
බෝධිසත්ව මැණියෝ සිය පුතු ඝාතනය කිරීම සදහා දැරූ ප්‍රයත්නය ද ජාතක කතාවේ මැනවින් පැහැදිලි කර ඇත. අවුරුදු 120ක් වූ කාන්තාවක් වුව ද සිය කාමාශා සන්තර්පණය කරගැනීම උදෙසා සිය කුසින් වැදූ පුතකු වුව ඝාතනය කරන්නේ යැයි මෙහි දී ජාතක කතාකරුවා පසක් කරන්නේ ය.
 
 
දුරාජාන (දුරාචාර) ජාතකය:
 
ghggl 
 
මෙම ජාතක කතාව දීර්ඝ විස්තර රහිත කතාවකි. එහෙත් එම කතාවෙන් ද පිළිබිඹු කෙරෙන්නේ ස්ත්‍රියගේ ලිංගික චර්යා සම්බන්ධව ය. එම කතාවේ වර්තමාන කතාව ජාතක කතාකරුවා මෙලෙස සඳහන් කරයි.
 
‘‘සැවැත්නුවර වාසය කරන්නා වූ එක් උපාසකයෙක් වනාහී තිසරණ සරණයෙහි හා පංඥශිලයෙහි ද පිහිටියේ ය. බුදුන් කෙරෙහි මමත්වය කරන්නේ ය. ධර්මය කෙරෙහි මමත්වය කරන්නේ ය. සංඝයා කෙරෙහි මමත්වය කරන්නේ ය, ඔහුගේ භාර්යාව වනාහී දූස්සිල ය. පාප කර්මයෙහි හැසිරෙන්නී ය, යම් දවසෙක මිථ්‍යා චාරයෙහි හැසුරුණා ද, එදවස් සියයක් වස්තු දී ගත් දාසියක මෙන් වන්නී ය. මිථ්‍යාචාරය නොකළා වූ දිනයෙහි වනාහී ස්වාමිදුවක් මෙන් වැන්නී ය. චණ්ඩය, පරුෂය, ඒ උපාසක තෙම ඒ ස්ත්‍රියගේ ස්වභාව දැනගන්නට නොහැකි වන්නේ ය. ඉක්බිත්තෙන් ඒ ස්ත්‍රී විසින් පෙළන ලද්දේ බුදුන්ට උපස්ථානයට නොයන්නේ ය. ඉක්බිත්තෙන් එක් දවසක් සුවඳමල් ආදීය ගෙණවුත් නමස්කාර කොට එකත්පසව උන්නාහු උපාසකයා හට සර්වඥයන් වහන්සේ වදාරණසේක් උපාසකය තෙපි කවර කාරණයකින් සත් අට දවසක් බුද්ධ උපස්ථානයට නොආයෙහි දැයි වදාළ සේක.
 
ස්වාමීන් වහන්ස මාගේ ස්ත්‍රී තොමෝ එක් දවසක සියයක් වස්තු දී ගත් දාසියක් මෙන් වන්නී ය. එක් දිනයක ස්වාමිදුවක් මෙන් වන්නී ය. චණ්ඩය, පරුෂය, මම ස්ත්‍රීයගේ ස්වභාව දැනගන්ට නොහැකි වන්නෙමි. මම ඒ ස්ත්‍රිය විසින් පීඩාවට පැමිණියෙමි. සර්වඥ උපස්ථානයට නොයෙමි දැනුවූයේ ය.’’
 
මෙම කතාව ඇසූ බුදුන් වහන්සේ ඊට අදාළ අතීත කතාවේ දී ද පවසන්නේ මෙකී කාන්තාව පෙර ආත්මයක ද මේ ආකාරයට ම පර පුරුෂ සේවනයේ යෙදී ඇති බවයි. අතීත කතාවට අනුව එකල බෝධිසත්වයෝ ආචාර්යවරයෙකි. සිද්ධියට මුහුණ දෙන්නේ ඔහුගෙන් උගත් තරුණයෙකි. ඔහු එදා සිය දුක්ගැනවිල්ල ආචාර්යවරයාට දැනුම් දුන් කල්හි ආචාර්යවරයා මෙලෙස පවසා ඇති බව ජාතක කතාකරුවා සඳහන් කරයි.
 
‘‘එකල ආචාරීහූ කියන්නෝ මාණවක ය, එසේම ය ස්ත්‍රීහූ නම් අනාචාරයෙහි හැසිරුණු දවස් පුරුෂයා අනුව පවතිත්, දාසියක් මෙන් නිහතමානී වෙති, අනාචාරයෙහි නොහැසිරුණු දවස් තමන් ඇතිවූ වල්ලභයා කිසිවෙකු කොටත් නොසිතති. මෙසේ මේ ස්ත්‍රීහූ නම් පරුෂයහ, දුස්සීලයහ, ඔවුන්ගේ ස්වභාව දැනගත නොහැක්කේ ය, උන් කැමති කල්හිත් මධ්‍යස්ථව විසිය යුතු යයි කියා ඒ මාණවකයාට මෙසේ අවවාද කළාහුය. එම්බල මාණවකය මේ ස්ත්‍රී මා කැමති වන්නී ය; පතන්නී ය; මා කෙරෙහි සෙනහ කරන්නී ය. යි සතුටු නොව, මෝතොමෝ මා නොකැමතිවන්නී යයි සෙනෙහ නොකරන්නී යයි කියා ශෝක නොකරත්, කැමති කල්හි සතුටක්වත් නොකමැති කල්හි ශෝකයක් වත් නොකොට මධ්‍යස්තව ම වාසය කරව, ස්ත්‍රීන්ගේ අභිප්‍රාය නම් ස්ත්‍රී මායාවෙන් සැඟවුණු හෙයින් නොදත හැක්කේ ය. ඊට කාරණා කවරේද යත්, යම්සේ මත්ස්‍යයා ගමනාදියෙන් සැඟවුණු බැවින් නොදත හැක්කේ වේ ද. එසේ හෙයින්ම ඒ මත්ස්‍යයා කෙවිලන් තමා අම්මනට ආ කල්හි දියෙන් තමාගේ ගමන සඟවාලා යේ ද තමා අල්වාගත නොදේ ද එපරිද්දෙන් ස්ත්‍රීහු නම් මහත් වූ දුස්සීලකර්ම කොට අපි මෙබන්දක් නොකළම්හයි, තමන් කළාවූ කාරිය ස්ත්‍රී මායාවෙන් සඟවා පුරුෂයන් වංචා කෙරෙති, එසේ හෙයින් මේ ස්ත්‍රීහු නම් පාපකර්මය; දුරාචාරයහ. එසේ වූ ස්ත්‍රීන් කෙරෙහි මධ්‍යස්තව වසන්නා වූ සත්ව තෙමේ සුවපත් වන්නේ ය.’’
 
සමස්ත කතාව තුළම අඩංගු වන්නේ ස්ත්‍රියගේ අනියම් ලිංගික ක්‍රියා ය. එය සමස්ත ස්ත්‍රී වර්ගයා කෙරෙහි ම බලපවත්වන ආකාරය ද මෙම කතාවෙහි දක්නට තිබේ. එහි දී ස්ත්‍රියගේ ලිංගික චර්යා පිළිබිඹු වනවා පමණක් නොව බෝධිසත්වයෝ ද සමස්ත ස්ත්‍රී වර්ගයා ම එකම කෝදුවෙන් මැනීමට ඉඩ සලස්වා ඇති බව ද පැහැදිලි ය. එය කෙතරම් දුරට සාධාරණ ද යන්න යළි යළිත් විමසා බැලිය යුතු ය.
 
මීට අමතරව දීර්ඝ ලෙස විස්තර නොකෙරන ජාතක කතා කිහිපයක් තුළින් ද ස්ත්‍රීන්ගේ ලිංගික චර්යා පිළිබඳ ප්‍රකට කරන්නට ජාතක කතාකරුවා පෙඹී ඇත. ඒ, කෝසිය ජාතකය සහ රාධ ජාතකය ඇසුරෙණි.
 
කෝසිය ජාතකය තුළින් රාත්‍රී කාලයේ දී අනියම් ලිංගික සබඳතා පවත්වන කාන්තාවෝ දිවා කාලයේ දී සිය එදිනෙදා කටයුතු නිසි පරිදි ඉටු නොකරන ආකාරය පැහැදිලි කරන ජාතක කතාකරුවා රාධ ජාතකයේ දී වෙනත් ඉමක් ප්‍රකට කරයි. එම කතාවට අනුව එහි එන බැමිණිය විවිධ පුරුෂයන් සමග මෙවුන්දමෙහි වෙළෙන ආකාරය විස්ත කෙරේ. බමුණා මේ බව දැන සිටිය ද ඔහුට එය අල්ලා ගැනීමට අපහසු බැවින් ඒ සඳහා උපායක් යොදයි. එනම් බමුණා සිය නිවසේ ගිරවුන් දෙදෙනකු ඇති කරයි. ඔහු සිය බිරිඳ ගේ සියලු ලිංගික චර්යා විමසා දැනගන්නේ එකී ගිරවුන් දෙදෙනාගෙනි.
 
පළමු ලිපියේ මෙන් ම මෙම ලිපියේ ද වඩාත් අවධානය යොමුව ඇත්තේ ස්ත්‍රිය කෙතරම් දුරට දුරාචාරයේ යෙදෙන්නේ ද යන්න ජාතක කතාකරුවා ඉස්මතු කරන්නට දරන උත්සාහය විද්‍යමාන කිරිම සඳහා ය. එමෙන් ම මේ සියලු ජාතක කතාවලට අනුව බහු ලිංගික සේවනයට යොමු වී ඇත්තේ කාන්තාවෝ ය. එමෙන් ම ඒ සියල්ල එසේ සිදුවී ඇත්තේ කාන්තාවන්ගේ වරදෙනි. නමුදු මේ සෑම ස්ත්‍රී ලිංගික අපචාරයක් පිටුපස ම ලිංගික අපචාරයේ යෙදෙන පිරිමියෙකු ද සිටි බව ජාතක කතාකරුවා අමතක කර ඇත. එයට හේතු කවරේ දැයි වෙනම ම විමංසනය කළ යුතු කරුණකි.
 
 
Jayasiri Alawaththaජයසිරි අලවත්ත 
(නිදහස් ලේඛක)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
2021/08/06
 
 
 
 
 
 
 
 
ජයසිරි අලවත්තගේ ජාතක කතා විමර්ශන කියවන්න :
 
 
 
  
 
  
  
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්