ප්‍රතිෂ්ඨගේ ඇතුළු සිත ඔහුට බල කළේ ය; ඔහුට දිරි ලබා දුන්නේ ය.
‘‘හරි... මං මෙහෙම අහන්නංකො... මට කියන්න... ඔයා ඊයෙ යද්දි කවුරු එක්ක ද ගියේ... අද එද්දි කවුරු එක්ක ද ආවෙ...?’’
ප්‍රතිෂ්ඨගේ පැනයෙන් සචේතනී දැඩි තැතිගැන්මකට ලක්ව, බරපතළ ව්‍යාකුලත්වයකට පත්වනු ඇතැයි ඔහු බලාපොරොත්තු වුව ද ඒ කිසිවක් ම සිදු නොවිණ. ඒ වෙනුවට සිදුවූයේ සචේතනී ඉතා සැහැල්ලුවෙන් මෙන් ම ඉතා සරලව මන්දස්මිතයක් ද විදා පාමින් එම පැනයට පැනයකින් ම පිළිතුරු සැපයීම ය.
‘‘අයියෝ...! ඕක ද මේ ප්‍රශ්නෙ...?’’
‘‘ඔවු... ඒක ප්‍රශ්නයක් තමයි...’’
ප්‍රතිෂ්ඨටගේ උවන පුරා සිතුවම් වී තිබුණේ කෝපයට පත් බිළාලයකුගේ සිතුවමකි. ඔහු සිය දසන් විළිස්සන්නට ආසන්න බව සචේතනීට අවබෝධ විය. ඇය එම තත්ත්වය සමනය කරනු වස් යළි පැනයක් මුදාහැරියා ය.
‘‘ම්ම්ම්... ඔයා දැක්ක ද ඊයෙ හවස මං කවුරුහරි එක්ක යනව. අද උදේ කවුරු හරි එක්ක එනව...?’’
ඇගේ විමසුම සැහැල්ලු ය; සරල ය; පියකරු ය; කිසිදු කලබලයකින් තොර ය.
‘‘ අනේ නෑ... මං හීනෙං නෙ දැක්කෙ...’’
ප්‍රතිෂ්ඨගේ පිළිතුර රළු ය; වේගවත් ය; නොසන්සුන් ය. මෙතෙක් සචේතනීගේ උවන සමග සමාන්තරව පැවති ඔහුගේ උවන විහිදාගෙන සිටි දෙපා අතරින් පොළොවට නැඹුරු විය. සචේතනී ඒ මොහොතේ ප්‍රතිෂ්ඨ දුටුවේ හඬන්නට ආසන්නව සිටින කුඩා දරුවෙකු මෙනි.
‘මං ආවෙ කවුරු එක්ක ද කියල කියන එක මහ දෙයක් නෙවෙයි. ඒත් ඇයි ඔයා ඒක ප්‍රශ්නයක් කරගත්තෙ...? ඒ කියන්නෙ ඔයා මං ගැන සෙවිල්ලෙං ඉඳල තියෙනව. එහෙම නේද.... ඒත්... ඒත් ඇයි ඔයා එහෙම කරන්නෙ...?’
සචේතනී මේ කිසිදු වදනක් ප්‍රතිෂ්ඨගෙන් නොවිමසුවා ය. ඇය එසේ විමසුවේ ඇගෙන් ම ය; ඇගේ ම හදවතෙනි.
‘‘ප්‍රතිෂ්ඨ...’’ යැයි පවසන අතර ම සචේතනී ඔහුගේ උරිසට සිහින් තට්ටුවක් දැම්මා ය. ප්‍රතිෂ්ඨ විදුලි සැරයකට ගොදුරු වූ පුද්ගලයෙකු සේ එක පැහැර ඔහුගේ කය ඍජු කරගත්තේ ය. ඔහුට, ඔහු සිටියේ කොතැන ද, කළේ මොනවා ද යන්න පවා අමතක වූ සේ ‘‘සචේති...!’’ යැයි විමසා සචේතිගේ දෙනෙත් තුළට ඔහුගේ දෙනෙත් බහාලී ය.
සචේති ද ඇගේ දෙනෙත් ප්‍රතිෂ්ඨගේ දෙනෙත් තුළට ප්‍රවේශ කරන අතර ම ‘‘මොකද මේ... හරියට පොඩි ළමයෙක් වගේ... පොඩි ළමයෙක් කියන්නෙ මේ... හරියට අඬන්න ඔන්න මෙන්න ඉන්න පොඩි ළමයෙක් වගේ...’’ යැයි පවසන අතර ම ඇගේ කය මඳක් ඉදිරියට නවා ‘‘හරි... මං කියන්නංකො... ඊට කලිං ඔය පුටුවෙ හරියට වාඩි වෙන්නකො...’’ යැයි පැවසුවේ කුඩා දරුවෙකුට ඔවදන් දෙන වැඩිහිටියෙකු ලෙසිනි.
සැබැවින් ම ප්‍රතිෂ්ඨ යළි පියවි සිහියට එළඹියේ ඉන් අනතුරුව ය. ඔහු ද වැඩිහිටියෙකුගේ ඔවදනට කීකරු වුවකු සේ අසුනේ පිටුපසට තල්ලු වී ගොස් සුවපහසු ලෙස සිය සිරුර සකසා ගත්තේ ය.
‘‘හරි... ඔයා මගෙං එහෙම අහන්නෙ ඇයි කියල මං අහන්නෙ නෑ. හැබැයි මං මෙහෙම නං අහනව...’’ යැයි පවසා, මන්දස්මිතයක් පෑවා ය.
‘‘කොහොම ද... මොනව ද...? අහන්න... ඕන දෙයක් ඕන විදියකට අහන්න...’’
මෙතෙක් උවනේ සිතුවම්ව පැවති බිළාල සිතුවම දිය කර හැරි ප්‍රතිෂ්ඨ මන්දස්මිතයකින් මුව සිතුවම් කරගන්නා අතර ම විමසී ය.
‘‘ඊයෙ හවස ඔයා දැක්ක නං මං කවුරු හරි එක්ක යනව... අද උදේ කවුරු හරි එක්ක එනව... ඇයි ඒ ගැන මෙච්චර වෙලා මගෙං ඇහුවෙ නැත්තෙ... අනික ඔයා හිතන්නෙ ඒ කවුරු කියල ද...?’’
එම වදන් තරමක් රළු යැයි හැඟුණ ද සැබැවින් ම ඇය එම වදන් මුදා හළේ ඉතා සැහැල්ලුවෙනි; ආදරණීය ස්වරයෙනි.
‘‘ඇහුවෙ නැත්තෙ ද...? ඇහුවෙ නැත්තෙ ඔයාගෙ වැඩේ ඊට වැඩිය වටින නිසා. අනික ඒ කවුරු උනත් මට මොකද... මට...’’
ප්‍රතිෂ්ඨ ඔහුගේ සිතට එළඹි සියලු වදන් වේගයෙන් මුදා හැරීම එක්වර ම වළකාලූයේ ය. එහෙත් එය එසේ නොවිය යුතු ය යන්න සචේතනීගේ අදහස විය.
‘‘ඇයි...! ඇයි ‘මට...’ කියල නැවැත්තුවෙ...? ඔයාට දැනෙන දෙයක් කියන්න.’’ යැයි ඇය ද පැවසුවේ තරමක් වේගවත් ස්වරයෙනි.
‘‘නෑ... මේ... මේ... මං කිව්වෙ... මේ... ඇයි ඔයා ඒ ගැන මට කිව්වෙ නැත්තෙ කියල...’’
එවර ප්‍රතිෂ්ඨගේ හඬ ඉතා මෘදු ය; මන්දගාමී ය; ඔහු යම් පමණකට දමනය වුවා සේ ය.
ප්‍රතිෂ්ඨගේ වදන් ඉතා සාවධානව අසා සිටි සචේතනී මන්දස්මිතයක් පාන අතර ම ‘‘අයියෝ ප්‍රතිෂ්ඨ... මං හිතුවෙ නෑ ඒක ඔයා ඔච්චරට ම සීරියස් ගනිවි කියල. අනික මේ... ඔයා ඔය තරමට ම මං ගැන අවධානෙං ඉන්නව කියල මං හිතුවෙ නෑ... හරි... මං කියන්නං ඒ කවු ද කියල... ඊට කළිං මට කියන්න ඔයා හිතන්නෙ ඒ කවුරු කියල ද...?’’
සචේතනීට අවශ්‍යව ඇත්තේ ප්‍රතිෂ්ඨගේ සිත හඳුනාගැනීම ය; ඔහු තමා ගැන දරන අදහස කුමක් ද යන්න ඔහුගේ මුවෙන් ම මුදා හැරවීම ය.
මේ වන විට ප්‍රතිෂ්ඨ ඍජුව ම සචේතනීගේ උවන මත ඔහුගේ දෙනෙත් නොතවරන තත්ත්වයට පැමිණ ඇත. ඔහු එයට බියක් දක්වන බවක් දක්නට තිබේ. කෙමෙන් කෙමෙන් හිස එසවූ ප්‍රතිෂ්ඨ තත්පර තිහක පමණ කාලයක් නෙත් නොපියා ම ඔහුගේ දෙනෙත් සචේතනිගේ උවනෙහි අලවාගෙන සිටියේ ය. සචේතනීට ද ඇගේ දෙනෙත් ප්‍රතිෂ්ඨගේ නෙත් මානයෙන් ඉවත් කරන්නට සිත් නොදෙන තරමට ඔහුගේ දෙනෙත්වල පැටලී ඇති බව ඇයට හැඟිණ. දෙදෙනා ම දෙදෙනාගේ දෙනෙත්වල සටහන් වී ඇත්තේ මොනවා දැයි කියවා ගන්නට යත්න දරමින් සිටියහ.
‘‘නෑ නෑ... ඒ කවුද කියල මට අයිඩියා එකක් නෑ. අනික ඒ කවුරු උනත් මට ප්‍රශ්නෙකුත් නෑ. මං කල්පනා කරේ ඔයා ඇයි ඒ වගක් මට නොකිව්වෙ කියන එක. එක අතකට මං එහෙම හිතන එක වැරදිත් ඇති,’’ යැයි පැවසූ ප්‍රතිෂ්ඨ යළි හිස පහළට නැඹුරු කරගත්තේ ය.
‘ච්චහ්... මං මහ මෝඩ වැඩක් කරගත්තෙ... මං මොකට ද මේකි ආවෙ කවුරු එක්ක ද කියල මේකිගෙං අහන්නෙ... අනික මට එහෙම අහන්න තියෙන අයිතිය මොකද්ද... මේ මං දන්නැති, අහම්බෙන් හම්බ වෙච්ච ගෑනියෙක්. අහම්බෙන් හම්බ වෙච්ච ලස්සන ගෑනියෙක්... මගේ හිතේ තියෙන අදහස ගැන ඒකිට පොඩ්ඩක්කත් සැක නැතුව ඇති. සමහර විට ඒක දැනගෙන නොදන්නව විදියට ඉන්නව වෙන්නත් බැරි නෑ. මොකද වෙන වෙන අවුල් දාගන්න ගියොත් ඒකිගෙ වැඩේට කෙළවෙනව නෙ...’
ප්‍රතිෂ්ඨ සිය ව්‍යාකූල මනස ඒකාග්‍රතාවකට පත්කර ගැනීමේ අටියෙන් විවිධ සිතුවිලි ගොන්නක පැටලෙමින් කල්පනා කළේ ය.
සාපේක්ෂ වශයෙන් ගත් කල ප්‍රශ්නයක් පවතින්නේ ප්‍රතිෂ්ඨගේ සිත තුළ නොවේ දැයි සචේතනී අදහස් කළ ද එබඳු ප්‍රශ්නයක් ප්‍රතිෂ්ඨගේ සිතට ඇතුළු වූයේ තමාගේ අතපසුවීමකින් නොවේ ද යන සිත් තැවුල ඇගේ මනසෙහි සක්මන් කරමින් තිබිණ.
‘ඇත්ත... මං ආවෙ කවුරු එක්ක ද කියන එක ප්‍රතිෂ්ඨට වැඩක් නෑ තමයි. හැබැයි මට ඒ ගැන කියන්න තිබුණ. ඇත්තට ම ඇයි මං මේ වගක් එයාට නොකිව්වෙ...? අඩුගානෙ කියන්න ඕන කියලවත් හිතුවෙ නැත්තෙ... ෂිහ්... ඒකෙං මේකෙං වෙන්නෙ මගේ වැඩේ ගැන මේ මනුස්සයට තියෙන උනන්දුව නැති වෙන එක විතරයි. අනික මං කවදාවත් හිතුවෙ නෑ මේ මනුස්සය ඔච්චරට ම මං ගැන හෙවිල්ලෙං ඉන්නව කියල... දැං ඉතිං වෙච්ච අතපසුවීම හදාගන්න තියෙන හොඳ ම ක්‍රමේ ඇත්ත කියන එක... ‘ඇත්ත කියන එක...?’ ඇයි මං එහෙම හිතන්නෙ... මං මේ මනුස්සයට බොරු කියල නෑ නෙ... බොරු කියල නෑ තමයි... හැබැයි නොකියපු දෙයක් ගැන නෙ ඒ මනුස්සය අහන්නෙ... ඔවු... මං මොකට ද ඒක කියන්න බය වෙන්නෙ...’
ප්‍රතිෂ්ඨ මෙන් ම සචේතනී ද තමාගෙන් ම විවිධ ප්‍රශ්න විමසමින්, එම ප්‍රශ්නවලට පිළිතුරු තමා වෙත ම සපයමින් ඇගේ මනස ඒකාග්‍රතාවකට පත්කරගන්න යත්න දැරුවා ය.
මේ වන විට දෙදෙනා ම පත්ව සිටින්නේ එක ම ව්‍යාකුලභාවයකට ය. දෙදෙනාගෙන් කිසිවකු වැරැදි ද... කිසිවකු නිවැරැදි ද... ඒසේ නොවේ නම් දෙදෙනා ම වැරැදි ද... දෙදෙනා ම නිවැරැදි ද...? ඔවුන් වෙනුවෙන් තෙවන පාර්ශ්වයක් ඉදිරිපත් නොවනවා සේම මෙවන් ගැටලුවක් තෙවන පාර්ශ්වයක් වෙත ඉදිරිපත් කරන්නට දෙදෙනාට ම නොහැකි ය. පිටස්තර පුද්ගලයෙකු මෙම ගැටලුව දෙස බලන්නේ වෙනස් ම ආකාරයකට විය හැකි ය. එය කිසි සේත් ම දෙදෙනාගේ යථා තත්ත්වය පිළිබඳ නිසි අවබෝධයකින් යුතුව ගන්නා තීරණයක් නොවිය හැකි ය.
තව දුරටත් නිහඬතාව තුළ ගිලී සිටීමෙන් පලක් නොවන බව වටහාගත් ප්‍රතිෂ්ඨ ‘ම්ම්ම්... තව දුරටත් මේ ප්‍රශ්නෙ එල්ලිල ඉන්නෙකේ තේරුමක් නෑ. සමහර විට ඇත්ත මං හිතනවට වඩා වෙනස් ම දෙයක් වෙන්නත් පුළුවං. මට කරන්න තියෙන්නෙ පුළුවං නම් මේකිව අල්ලගන්න එක. නැත්නං අත්ඇරල දාන එක. ඒත් දැන් පොරොන්දු වෙච්ච වැඩේ අතාරින්න බැහැ නෙ...’ යැයි සිතමින් ම ඉඳ සිටි අසුනෙන් නැගී සිටියේ ය.
එසැණින් සිදු වූයේ ප්‍රතිෂ්ඨ කිසි සේත් ම නොසිතු සිදුවීමකි.
‘‘ප්‍රතිෂ්ඨ...’’
සිටගත් ප්‍රතිෂ්ඨගේ වමත තරමක් තදින් ග්‍රහණය කරගත් සචේතනී හිස ඔසවාගෙන ඇගේ දෙනෙතින් විහිදෙන වේදනාවේ කිරණ ප්‍රතිෂ්ඨගේ මනසට මතු නොව හදවත තුළට ම විහිදුවාලූවා ය. එහි වේගවත් භාවය සහ වේදනාත්මක භාවය කෙකරම් ද යත් එය ප්‍රතිෂ්ඨට දැනුණේ ඉත්තෑවකු සිය ජීවිතාරක්ෂාව සඳහා උගේ සිරුරේ පිහිටි කූරු සතුරා වෙතට එල්ල කළ පසු සතුරාට දැනෙන වේදනාව බඳු වේදනාවකි.
ඇය තවමත් ප්‍රතිෂ්ඨගේ අත තදින් ග්‍රහණය කරගෙන දෙනෙතින් වේදනාත්මක කිරණ විහිදුවමින් සිටින්නී ය.
‘‘අපි දැන් යමු නේද සචේති...’’
ප්‍රතිෂ්ඨ ඉතා මෘදු හඬින් තෙපලී ය. ඔහුගේ දෙනෙතින් විදාරණය වූයේ සිහිල් දිය බිඳක් බඳු කිරණ දහරකි. ඒ සිහිල් දිය බිඳු බඳු කිරණ දහරින් සචේතනිගේ මනස, හදවත පමණක් නොව සමස්ත සිරුර ම නැහැවිණි. ඇය
ප්‍රතිෂ්ඨගේ අත පහළට අදිමින් ‘කොහේ යන්න ද ප්‍රතිෂ්ඨ... විකාර නැතුව මෙන්න මෙහෙන් වාඩිවෙන්න,’ යැයි ඉඟි කළා ය. ප්‍රතිෂ්ඨ යළි අසුනේ අසුන් ගැනුණේ ඔහු ද නොදැනුවත්ව ය.
‘‘ප්‍රතිෂ්ඨ... ඔයා දන්නව ද ඒ කවුද කියල...?’’
ඇගේ හඬ ළයාන්විත ය; මන්දගාමි ය; ආයාචනාත්මක ය.
ප්‍රතිෂ්ඨ නිහඬව ම ඇගේ පියකරු උවන මත ඔහුගේ දෙනෙත් සිසාරන අතර ඇය යමක් පැවසී ය. ඇගේ ඒ මෘදු වදන් ප්‍රතිෂ්ඨගේ දෙසවන් කරා ඇතුළු වන විට ඔහුට දැනුණේ වේදනාවක් ද මිහිරක් ද යන්න පවා නිශ්චය කරගැනීමට ඔහුඨ අසමත් විය. ඇය යළිත් එම වදන් පෙළ ම තෙපළුවා ය.
‘‘ඔවු ප්‍රතිෂ්ඨ... ඒ මගේ ලොකු පුතා...’’
ඉවර නෑ...
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2022/06/03
වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස්
වජ්ජා’වජ්ජ 20 - 'ඇගේ සැබෑ නම මාලිනී ය' - ( ජයසිරිගේ නවකතාවක්)
වජ්ජා’වජ්ජ 19 : මං මොකටද ඔයාට බොරු කියන්නෙ...? -(ජයසිරිගේ නවකතාවක්)
වජ්ජා’වජ්ජ 18 : මේක හරියට අයිස් බර්ග් එකක් වගේ -(ජයසිරිගේ නවකතාවක්)
වජ්ජා’වජ්ජ 16 : මං මේ වයසට ඇවිත් තියෙන්නෙ ඔයාලගෙ වයස පහු කරල - (ජයසිරිගේ නවකතාවක්)
වජ්ජා’වජ්ජ 15 : ‘‘ෂ්ෂ්ෂ්... මෙතන තව අය පොත් කියවනව...’’ - (ජයසිරිගේ නවකතාවක් )
වජ්ජා’වජ්ජ 14 : හංගපු දේවල් මොනවද කියල උඹ දන්නව නෙ...(ජයසිරි අලවත්ත)
වජ්ජා’වජ්ජ 13 - 'මේ වැඩේ සල්ලිවලින් විතරක් කරන්න බෑ සචේති' : කොටස් වශයෙන් පළවන ප්‍රබන්ධ කතාව
වජ්ජා’වජ්ජ 12 : අම්මට පරචිත්ත විජානන ඥානය ලැබිල ද...? (ජයසිරි අලවත්ත)
වජ්ජා’වජ්ජ 11 : දැං මට බය නෑ... මට ඔයාව විශ්වාසයි (ජයසිරි අලවත්ත)
වජ්ජා’වජ්ජ 10: දුවෙකුට අම්මට කියන්න බැරි දෙයක් නෑ දුව.. (ජයසිරි අලවත්ත)
වජ්ජා’වජ්ජ 09 : ඔයාට හැම එකක් ම විහිළු නේ ද...? (ජයසිරි අලවත්ත)
වජ්ජා’වජ්ජ 08 : වාන් දොර විවර කළ යුතු මොහොත ය මේ...
වජ්ජා’වජ්ජ 07 - වචන විදියට පිට වෙන්නෙ හිතේ තියෙන අදහස්
වජ්ජා’වජ්ජ 06 : අහිංසකට වෙච්ච දේ මටත් වෙයි ද ? ජයසිරි අලවත්ත ලියයි
වජ්ජා’වජ්ජ 05 : ඔය ‘මිස්’ කෑල්ලට මං ආස ම නෑ... - ජයසිරි අලවත්ත ලියයි
වජ්ජා’වජ්ජ 04 :පොත් බලනවයි කියවනවයි කියන්නෙ වැඩ දෙකක් - ජයසිරි අලවත්ත ලියයි
වජ්ජා’වජ්ජ 03 - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය..
වජ්ජා’වජ්ජ 02 - ජයසිරි අලවත්ත ලියයි