අද ලිපිය ගෙන එන්නේ ඔබේ සුරතලාව පුහුණු කිරීමේ ඇති වැදගත්කම පිළිබඳවයි.
ඔබේ සුරතල් සුනඛයා ඔබව හොඳින් තේරුම් ගන්නා ලෝකයක් පිළිබඳ මොහොතකට සිතන්න - ඔබේ විධානයන්ට සාධනීය ප්‍රතිචාර දැක්වීම, ආතතිමය අවස්ථාවන්වලදී සන්සුන්ව සිටීම සහ ඔබ සමග නොබිඳිය හැකි සබඳතාවයක් ඇති කරගෙන සිටීම යන කාරණා ඔබ මූලික වශයෙන් ඔබේ සුරතලා සම්බන්ධයෙන් බලාපොරොත්තු වන කාරණා විය හැකියි. නිසි වයසේදී ලබා දෙන නිසි පුහුණුව මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීමෙහිලා වැදගත් වන්නේ එබැවිනි. පුහුණුව යනු ඔබේ සුරතලාට වාඩි වීමට හෝ යාම් ඊම් සිදු කිරීම ඉගැන්වීම පමණක් නොවේ. එය සන්නිවේදනය, විශ්වාසය සහ එකට ප්‍රීතිමත් ජීවිතයක් ගොඩනැගීම සමග බැඳී ඇති කරුණකි. ක්‍රියාශීලී කුඩා සුනඛ පැටවකුට වුවද වැඩිහිටි සුනඛයෙකුට වුවද “පුහුණුව” යනු එම සත්වයාගේ සම්පූර්ණ හැකියාවන් පිටතට ගැනීමේ හැකියාව ඇති යතුරයි. මෙය හුදෙක් කාර්යයක් පමණක් නොවේ - මෙය ඔබ ඔබේ ඉදිරි ජීවිතයේ සහකරු සහ විශ්වාසී මිතුරෙකු වන්නට සිටින සුරතල් සුනඛයා සහ ඔබ වෙනුවෙන් සිදුකර ගන්නා ආයෝජනයකි. එබැවින් “පුහුණුව” ඔබට සහ ඔබේ සුනඛයාට වැදගත් වන්නේ කෙසේදැයි පහත කරුණු ඔස්සේ ගවේෂණය කරමු.

එක්සත් ජනපදයේ, යුරෝපයේ මෙන්ම ජපානයේ ද සුනඛයන් ඇති කිරීම සම්බන්ධයෙන් ඇති ප්‍රධාන ගැටලුවක් වන්නේ කල් ගතවන විට සුනඛයන්ගේ චර්යා වල ඇතිවන ගැටලු හේතුවෙන් ඔවුන්ව සුනඛ නේවාසිකාගාරවලට හෝ මහමග අතහැර දැමීමයි. මෙම අතහැර දැමීම හේතුවෙන් බොහෝ සුරතල් සතුන් අනාචාරයට ලක්වෙයි. එබැවින් මෙවැනි ගැටලු මගහරවා ගැනීම සඳහා කුඩා කලදීම සුරතලාට නිසි පුහුණුවක් ලබාදීම සහ නිසි ලෙස සමාජගත කරවීම ඉතා වැදගත් කරුණකි. මෙම පුහුණු කරවීම මූලික විධාන ඉගෙන ගැනීමට, වෙනත් සුනඛයන් සහ මිනිසුන් සමඟ අන්තර් ක්‍රියා කිරීමට මෙන්ම නව තත්ත්වයන්ට හුරු වීමටද උපකාරී වේ.
නිසි වයසේ දී පුහුණුවක් ලබාදීම සුනඛයකු ඇති කිරීමේදී කෙතරම් වැදගත් ද යන්න අධ්‍යනය කිරීම සඳහා ජපානය විසින් විශේෂ පර්යේෂණයක් දියත් කරන ලදි. මෙම පර්යේෂණයට ජපානයේ හ්යෝගෝ, ඔසාකා සහ කියෝතෝ ප්‍රාන්තවල සුනඛයන් 142ක් සහ ඔවුන්ගේ අයිතිකරුවන්ගේ හැසිරීම් සහ පුහුණුව ගවේෂණය කරන ලදි. සහභාගිවන්නන් SIRIUS සුනඛ පුහුණු පාසල හරහා බඳවා ගන්නා ලද අතර පිරිසිදු අභිජනන සහ මිශ්‍ර යන දෙවර්ගයේම විවිධ සුනඛ වර්ග 31ක් මීට ඇතුළත් විය. ඔවුන්ගේ පුහුණු අත්දැකීම් මත පදනම්ව සුනඛයන් කණ්ඩායම් හතරකට බෙදා තිබුණි.

1) Puppy Class (PC): සති 10-18 වයස්වල පසුවන බලු පැටවුන් සති හයක් සඳහා සතිපතා පැය 1ක සැසිවලට සහභාගි වූහ. මෙම පුහුණුව මූලික වශයෙන්ම අරමුණු කරගත්තේ සුනඛයාගේ කීකරු වීමේ පුහුණුව වර්ධනය කිරීම කෙරෙහි විය. (Obedience Training - ඉදගැනීම, පැමිණීම, නැවත යාම,රැදී සිටීම,) තවද ගෘහ පුහුණුව, සපා කෑම පාලනය සහ දම්වැල් යොදාගැනීමෙන් තොර පාලනය වැනි අංග කෙරෙහිද අවධානය යොමු කල අතර මිනිසුන් සහ අනිත් සුනඛයන් සමඟ සමාජගත කිරීම ද මූලිකව අරමුණු කරගැනුණි.
2) Puppy Party (PP): සති 10-18 වයස්වල බලු පැටවුන් සඳහා පැය 1ක තනි සැසියක් ලෙස ක්‍රියාත්මක විය. එය Puppy Class හි පළමු සතිය තුල තිබූ මාතෘකාම ආවරණය කරමින් මූලික කීකරුකම සහ සමාජගත කිරීම හඳුන්වා දෙන ලදී.
3) Adult Class (AC): මාස 5 සිට අවුරුදු 2 දක්වා වයසැති සුනඛයන් සති හයක් සඳහා සතිපතා පැය 1ක සැසි සඳහා සහභාගී කරගන්නා ලදි. මෙම පුහුණුව ධනාත්මක ලෙස (කිසිදු ශාරීරික දඬුවමක් ලබාදීමකින් තොරව) සිදු කෙරුණු අතර මූලික කීකරුකම පුහුණු කරන ලදි.
4) No Class (NC): මෙම කණ්ඩායමට විධිමත් පුහුණු අත්දැකීම් නොමැති සුනඛයන් ඇතුළත් විය.

මෙම අධ්‍යයනය මගින් සුනඛයෙකු නිවසෙහි හැසිරෙන ආකාරය විශ්ලේෂණය කර ඇත. මෙහිදී පර්යේෂකයන් විසින් සුනඛයන් තම අයිතිකරුවන්ට, ආගන්තුකයන්ට, විධානයන්ට සහ නව අත්දැකීම් වලට ප්‍රතිචාර දැක්වූ ආකාරය වෙන වෙනම අධ්‍යයනය කරන කරන ලදි. සෑම සුනඛයෙකුම පරීක්‍ෂකයෙකු සහ ආගන්තුකයෙකු විසින් නිවසට පැමිණි අතර, සුනඛයාගේ අන්තර්ක්‍රියා විශ්ලේෂණය සඳහා වීඩියෝ ගත කිරීම්ද සිදු කරන කළහ. සුනඛයාගේ හැසිරීම බාධාවක් නොවෙන ආකාරයට ග්‍රහණය කර ගැනීම සඳහා ට්‍රයිපොඩ් කැමරාවක් මාර්ගයෙන් මෙම වීඩියෝ ගත කිරීම් සිදු කරන ලදි. මෙහිදී පර්යේෂකයා විසින් සුනඛයාගේ හිමිකරු වෙත පරීක්ෂණය සිදුවිය යුතු ආකාරය විස්තර කළ අතර මුලින් ක්‍රියාවන් පටිගත කොට පසුව තොරතුරු පිටපත් කරගන්නා ලදි.
මේ එක් එක් කණ්ඩායම් සංසන්දනය කරමින් පරීක්ෂකයින් මූලික වශයෙන් අරමුණු කරන ලද්දේ මාස හතරක් තරම් පමණ වයසැති බලු පැටවුන්ට ලබා දෙන පුහුණුව කෙතරම් වැදගත්ද යන්නයි. මෙම අධ්‍යයනය සුනඛයන් තුළ ප්‍රධාන ලක්ෂණ හතක් හඳුනාගෙන ඇත.

ඒවා අතර:
● විධාන වලට ප්‍රතිචාර දැක්වීම
● වෙන්වීමට ප්‍රතිචාරය
● නාඳුනන අය සමඟ සුහදශීලී බව
● අයිතිකරුවන් විසින් නැවත කැඳවීම
● නව තත්වයන් කෙරෙහි බිය හෝ
● ආක්‍රමණශීලීත්වය
යන ලක්ෂණ අන්තර්ගත විය.
මෙම අධ්‍යයනයන්ට අනුව රැස්කර ගත් තොරතුරු මගින් පෙනී ගියේ Puppy Class වලට සම්බන්ධ වූ සුනඛයන් අනෙක් කණ්ඩායම්වල සුනඛයන්ට වඩා ආගන්තුකයන් සමග වඩාත් මිත්‍රශීලී වූ අතර විධාන වලට වැඩි වශයෙන් ප්‍රතිචාර දැක්වූ බවයි. මෙලෙස නිවස තුළ හොඳ සමාජගත වීමක් සහ පුහුණුවක් පෙන්නුම් කළ සුනඛයන්ම හැසිරීම් පරීක්ෂාවෙන්ද ඉදිරියෙන් සිටි බව කරුණු අධ්‍යයනය කරන ලදි. මෙම කණ්ඩායම් අතරින් විධානයකට කිසිදු සාධනීය ප්‍රතිචාරයක් නොදැක් වූ කණ්ඩායම ලෙස No class කණ්ඩායමෙහි හැසිරීම අධ්‍යනය කරන ලදි. මෙය නිවසේ නිතිපතා පුහුණුව සහ පිළිගත් ප්‍රමිතියකට අනුව සිදුකරන පුහුණුවකද වැදගත්කම අවධාරණය කරයි.

කුඩා කල සිටම ඔබේ සුරතලා පුහුණු කිරීම වැදගත් අංගයක් වුවද එය ඕනෑම වයසක සිට ආරම්භ කල හැක. එබැවින් ඔබ තවමත් ඔබේ සුරතලා පුහුණු කිරීම ආරම්භ කර නැතිනම් ඊට තවමත් ප්‍රමාද නැත. එබැවින් සුනඛයාගේ වයස කුමක් වුවත් ලබාදෙන පුහුණුව ඔවුන්ට ඉගෙනීමට සහ අනුවර්තනය වීමට උපකාර කරයි, කාංසාව අඩු කිරීම සහ සන්නිවේදනය වැඩිදියුණු කිරීම වැනි ප්‍රතිලාභ ලබා දෙයි. තවද මෙය මානසික පුහුණුවක් ලෙසද ක්‍රියා කරන අතර සුනඛයාගේ සමස්ත යහපැවැත්ම සඳහා ද හේතු සාධක වෙයි. ඇතැම් විට තුවාල හෝ වෙනත් සාධක හේතුවෙන් දෛනික එළිමහන් ක්‍රියාකාරකම්වල නිරත විය නොහැකි අවස්ථාවලදී පවා පුහුණුවෙන් ලබන මානසික උත්තේජනය සුනඛයාව නිතරම ක්‍රියාශීලී මනසකින් තැබීමට උපකාරී වෙයි.

සපාකෑම, සීරීම වැනි “නරක හැසිරීම්” ලෙස අප සලකන හැසිරීම් ස්වභාවයෙන්ම සුනඛයෙකු තුළ දැකගත හැකි සාමාන්‍ය ලක්ෂණ වේ. නමුත් පුහුණුව මගින් මෙම හැසිරීම් පාලනයටත් ධනාත්මක හැසිරීම් වර්ධනයටත් උපකාරී වෙයි. උදාහරණයක් ලෙස පුහුණුවේදී අප සුනඛයාට ලබාදෙන ත්‍යාගයන්ද මෙහිදී විශේෂ කාර්යභාරයක් සිදු කරයි. දඬුවම් කිරීම මත පදනම් වූ ක්‍රම යොදාගනිමින් සිදු කරන පුහුණුව තුළින් සුනඛයා තවත් ආක්‍රමණශීලී විය හැකි අතර හැසිරීම වඩාත් නරක අතට පත්විය හැක. නමුත් සංග්‍රහ කිරීම්, සෙල්ලම් බඩු, ප්‍රශංසා කිරීම් වැනි ඵලදායී ක්‍රම යොදාගැනීම මගින් වඩාත් සාධනීය පැතිකඩකට පුහුණුව ගෙනයාමේ හැකියාව ඇති අතර මිනිසා සහ සුනඛයා අතර ඇති සම්බන්ධතාවය වැඩිදියුණු කරගැනීමටද මෙමගින් හැකියාව ලැබේ. විශේෂයෙන්ම බලු පැටවෙකුගේ සංවර්ධන අවධියේදී (සති 6-16) කලින් පුහුණුව ආරම්භ කිරීම, ඔවුන් නව පරිසරයන්, මිනිසුන් සහ සතුන් වෙත සමාජගත කිරීම සඳහා වඩාත් සුදුසු වේ. කෙසේ වෙතත්, පුහුණුව ඕනෑම වයසක දී, වැඩිහිටි සුනඛයන් සඳහා පවා වැදගත් වේ. කීකරුකම, කඩිසරකම හෝ නව උපක්‍රම ඉගෙන ගත්තද, අඛණ්ඩ පුහුණුව සුනඛයාගේ සතුට වැඩි කරන අතර මිනිස්-සත්ව සබඳතාව ශක්තිමත් කරයි.

පුහුණුව යනු ඔබට ඔබේ සුරතලා වෙනුවෙන් ලබා දිය හැකි ජීවිත කාලයට වැදගත් වන විශේෂ ත්‍යාගයකි.
පුහුණුව පාඩම් මාලාවකට එහා ගිය කර්තව්‍යකි-එය ඔබ ඔබේ සුරතල් මිතුරා සමග ඇතිකරගන්නා මිත්‍රත්වය, සුහදශීලීත්වය, වර්ධනය, විශ්වාසය යන සෑම අංගයක් සමගම බැඳී පවතින්නකි. පුහුණුව වෙනුවෙන් ඔබ කැප කරන කාලය වැදගත් වන්නේ සුනඛයාගේ හැසිරීම පාලනය කිරීමෙහි පමණක් නොව එය ඔබ විසින් සුනඛයාට ලබාදෙන මානසික උත්තේජනය, ප්‍රීතිය හා අරමුණු වලටද දැඩි බලපෑම් එක්කරන සාධකයකි. එය සරල විධානයක් හෝ නව උපක්‍රමයක් වේවා, පුහුණුවීම් සමග ගත කරන සෑම මොහොතක්ම ඔබ සුනඛයා සමග බෙදාගන්නා බැඳීම් ශක්තිමත් කරයි. හොඳින් මතක තබා ගත යුතු කරුණ වන්නේ හොඳින් පුහුණු වූ සුනඛයා ප්‍රීතිමත් සුනඛයෙකු වන අතර ප්‍රීතිමත් සුනඛයෙක් ඔබ පරිපූර්ණ හිමිකරුවෙක් බවට පත් කරන බවයි. ඉතින් ඔබත් අරඹන්න, ඔබේ ලොම් සහිත මිතුරාට ජීවිත කාලයටම පවතින මග පෙන්වීම ආදරය සහ විශ්වාසය ලබාදෙන්න.

Paw Paradise Sri Lanka
මූලාශ්‍රය -
(Arford, K. (n.d.). 10 Science-Based Benefits of Having a Dog.
සබැඳි ලිපි :







