වධ හිංසාවලට ලක් වූ, උමතු වූ, අසනීප වූ... ඔවුන් අනාගත පරම්පරාවන්ට බලපෑම් කළ කලා නිර්මාණ පමණක් ඉතිරි කරලා මේ ලෝකයෙන් අකාලයේ මිලින වෙලා ගිහිපු විශිෂ්ඨ හැකියාවන් තිබුණු මිනිස්සු.
නොහැකියාව සහ ප‍්‍රතිභාව, නොදැනුවත්කම සහ පිළිගැනීම අතර සීමාවන් බොඳ කරමින්, මෙම කලාකරුවන් ඔවුන්ගේම මනසේ යක්ෂයින්ගේ ආධිපත්‍යයට එරෙහිව තමන්ගේම විදිහකට සටන් කරපු අය.

මත්පැන්, මත්ද්‍රව්‍ය, රෝග, දරිද්‍රතාවය, විෂ සහිත සබඳතා, ශෝකය සහ කලකිරීම් යන මේ සියල්ල එක්ක ඔවුන් සටන් කරලා තියෙනවා, උමතුබාවයට පත් වෙලා තියෙනවා. ඒ නිසාම කලා ඉතිහාසය දුක් වේදනා හෝ බලාපොරොත්තු සුන්වීමෙන් ජීවිතයෙන් පැරදුනු කලාකරුවන්ගෙන් පිරිලා.
ජැක්සන් පොලොක්: ඔහුගේ නිර්මාණාත්මක බවෙහි ඉන්ධන වූයේ මත්පැන්
වියුක්ත ප‍්‍රකාශනවාදයේ කුඩා කුමාරයා ලෙස හැඳින්වෙන මෙම ඇමරිකානු කලාකරුවා, ඔහුගේ ඇවන්ගාඞ්වාදය සහ ඔහුගේ විශේෂිත අරුමැසි සිතුවම් කලාව සමගින් ලෝකය තුළ ඔහුගේ සලකුණ තියන්න සමත් වුණු කෙනෙක්. ඔහුගේ තිබුණේ action paint කියන ශෛලිය. මේක ඔහුගේ ශෛලිය වෙන්නේ වරක් කෝපයෙන් තීන්ත බඳුනක් දමා ගැසීමේදී එය කැන්වසය මතට ඉහිරී ගිය ආකාරයේ තිබු භාවය නිසා බව පැවසෙනවා. බිමට සවි කර ඇති කැන්වසයක් වටා සහ ඉහළින් සිටගෙන පින්තාරු කිරීම සහ තීන්ත බඳුනේ තීන්ත ගලා යාමට සැලැස්වීමෙන් ද්‍රව්‍යය සහ වර්ණ කෙලින්ම එකවිට කැන්වසය මත බෙදා හැරීම, එයින් ඇතිවන වර්ණ පදාස වල ඝණකම වැඩි කිරීම හෝ අඩු කිරීම ඔහුගේ ක‍්‍රමවේදයට ඇතුළත් වුණා. ඔහුගේ සිතුවම් වලට වැඩිම බලපෑමක් කලේ මෙක්සිකානු බිතුසිතුවම් ශිල්පී ජෝස් ක්ලෙමන්ට් ඔරොස්කෝ බව පැවසෙනවා.
නමුත් මේ දක්ෂ මනුස්සයගේ පිටුපසත් අඳුරු හෙවනැල්ලක් තිබුණා. ඒ තමයි ඔහුගේ අධික මත්පැන් ලෝලය. කුඩා කල දරුවන් රැසකගෙන් යුත් දුප්පත් පවුලක හැදී වැඩුණු පොලොක්ට මේ පුරුද්ද ඇති වුණේ එයාගේ තාත්තාගෙන් කියලා තමයි කියන්නේ. අවුරුදු 15 වන විට බීමත්කමට ඇබ්බැහි වීම නිසා පාසල් ගණනාවකින් ඔහුව නෙරපා හරිනවා. ඔහු ප‍්‍රසිද්ධ සිත්තරෙකු නොවුණු කාලේ ඔහුගේ මත්පැන් ලෝලය සපිරෙන්නේ නැතිව සිතුවම් අඳිම ඔහුට අපහසු නිසා ඔහුගේ බිරිඳ ලී ක‍්‍රස්නර් මත්පැන් සඳහා ඔහුට කෙසේ හෝ මුදල් සොයා දුන් බව පැවසෙනවා.
ඔහු කෙතරම් තදින් මත්පැන් වලට ඇබ්බැහි වී සිටියාද කිවහොත් වරක් මත්පැන් රැගෙන ගෙදර පැමිණෙමින් සිටියදී, ගෙදර පැමිණෙනතුරු ඉවසා සිටීමට නොහැකිව පාපැදිය පදවන අතරම මත්පැන් කෑනය විවෘත කිරීමට ගොස් පාපැදියේ සමබරතාවය ගිලිහී ඔහු අසල වූ අගලකට ඇද වැටුණු බවද සඳහන්. පසු කලෙක ඔහුගේ සිතුවම් කලාවට ඉතා තදින් බලපෑ මෙම ඇබ්බැහිය ඔහු යම් තරමකින් හෝ වළකා ගනු ලැබුවේ සිතුවම් නිර්මාණය අතර තුර ජෑස් සංගීතයට සවන් දීමෙන් බව පැවසෙනවා.

1938 සිට 1941 දක්වා ඔහු වෛද්‍ය ජෝසප් එල්. හෙන්ඩර්සන් සමඟ ජුන්ගියානු මනෝචිකිත්සාවට භාජනය වෙන්නේ මේ මත්පැන් ඇබ්බැහියෙන් සහ එයින් ඔහුගේ මනසට වෙන බලපෑමෙන් මිදෙන්න. ඒ ඔස්සේ වෛද්‍ය හෙන්ඩර්සන්, පොලොක්ගේ සිතුවම් නිර්මාණ වැඩිදියුණු කරගන්න ඔහුගේ මනස සුවපත් කරන්න දරපු උත්සාහය, පොලොක්ව චිත‍්‍ර ඇඳීමට දිරිගන්නනවා. එහි ප‍්‍රතිඵලයක් විදිහට කලක් පොලොක්ගේ සිතුවම් වල ජුන්ගියානු සංකල්ප දකින්න ලැබෙනවා. යම් සුවයක් ලැබූ පොලොක් 1943 ජූලි මාසයේදී පෙගී ගුගන්හයිම් සමඟ ගැලරි ගිවිසුමක් අත්සන් කරනවා.

කොහොමවුණත් පොලොක්ට බයිපෝල අක‍්‍රමිකතාවත් තිබෙන්නට ඇති බවටත් සමහර මනෝචිකිත්සකයින් උපකල්පනය කරනවා.
ඔහුගේ ආදරණිය බිරිඳ , ඔහුගේ මිතුරා ක්ලෙමන්ට් ග‍්‍රීන්බර්ග් සහ ඔහුගේ මනෝ විශ්ලේෂකයා ඔහුගේ හැඟීම් ඔහුගේ කාර්යයට යොමු කිරීමට විතරක් නෙමෙයි, ඔහුගේ පුහුණුවීම් සහ ශිල්පීය ක‍්‍රම උත්තේජනය කිරීමේදීත් ඔහුට වටිනා සහයෝගයක් ලබා දුන්නත් පොලොක්ව ඔහුගේ මරණය කරාම රැගෙන ගිය මත්පැන් ඇබ්බැහියෙන් ඔහු ගැලවුණේ නැහැ.

වැඩිපුර මුදල් ගලා එනකොට ඔහු වෙනත් කාන්තාවන් සමඟ සම්බන්ධකම් හදාගනිම වැනි දෙයට යොමු වීම... එය ඔහුගේ පවුල් ජීවිතයටත් බලපානවා. එතෙක් කල් ඔහුගේ ළඟ රැඳුණු බිරිඳ ඔහුගෙන් ඈත් වෙනවා. වඩාත් දරුණු වුනු මේ ඇබ්බැහිය අවසානයේ මේ දක්ෂ සිත්තරා දවසක් බීමත්වල තවත් කාන්තාවන් දෙදෙනෙක් සමඟ අධික වේගයෙන් රිය පදවමින් සිටියදී එය ගසක ගැටී සිදුවූ අනතුරෙන් මිය යනවා. එයින් එක් කාන්තාවක් ද අනතුරින් මිය යන අතර ඒ වන විට පොලොක් විසින් සම්බන්ධයක් පවත්වාගෙන ගිය බව කියන අනෙක් කාන්තාව අනතුරින් දිවි ගලවා ගන්නවා.

ඇමරිකාවේ විශිෂ්ඨතම සිත්තරා අවුරුදු 44 දී එලෙස සිය නිර්මාණ ගමන අවසන් කරනවා. නමුත් අදටත් ජැක්සන් පොලොක් සිතුවම් ආරය ඔහුගේ පසු පරම්පාරවන් විසින් ජීවමාන කරමින් සිටිනවා.
සටහන : Yesha Fernando






