(මෙය 2019 දී ඉස්ලාමීය රාජ්‍යය නමැති ත්‍රස්තවාදී මතවාදයේ ආනුභාවයෙන් මරාගෙන මැරෙන බෝම්බකරුවන්

පිරිසක් විසින් සිදු කරන ලද පාස්කු ප්‍රහාරය පිළිබඳ මේවනවිට විදේශගත සිටින විශේෂ ලියුම්කරුවකු විසින් සැපයු කොටස් තුනකින් යුත් ලිපි මාලාවේ අවසන් කොටසයි. )

(පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විසින් අද (සැප්. 5) රාත්‍රී විශේෂ හෙළිදරව්වක් කිරීමට නියමිතව ඇති අතර ඒ ඔස්සේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යළි පුළුල් සමාජ කතිකාවක් ඇතිකරලීම මෙම ලිපි මාලාවේ අරමුනයි.)



ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලංකික සම්භවයක් ඇති ඉස්ලාම් ධර්මය අදහන මහාචාර්යය වරයෙකුගෙන් මීට දින කිහිපයකට පෙර මෙම ලේඛකයා අසා සිටියේ පාස්කු ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක් කියා ඔබ සිතනාවද යනුවෙනි. ඔහු එහිදී වඩාත් පැහැදිළිව කියා සිටියේ මෙම ප්‍රහාරය පිටුපස කිසිම දේශපාලන කුමන්ත්‍රණයක් නොමැති නමුත් එය දේශපාලනික වශයෙන් විවිධ පාර්ශව අවභාවිතා කළ බවයි. එහිදී සිදු වූයේ කාලාන්තරයක් තිස්සේ මුස්ලිම් සමාජයේ ඇතැම් කොටස් අතර බලෙන් ව්‍යාප්ත කරමින් පැවති අන්තවාදී අදහස් ප්‍රචණ්ඩකාරී පියවරක් බවට පත්කරගත් බවයි. අවාසනාව නම් මෙම බරපතළ සිදුවීම විසින් අපට උගන්වනු ලැබූ සමාජ යථාර්ථයන් තේරුම් ගැනීමට සමාජය පොදුවේ අපොහොසත් වීම බව ඔහු සඳහන් කළේය.

zdfw4r5



නාමික වශයෙන් ඔහු හඳුන්වාදීම මෙහිදී ඔහුගේ ආරක්ෂාවට නොගැළපෙන දෙයක් බව ලේඛකයා කල්පනා කරන නමුත් ඔහුගේ අදහස් සමාජයට ගෙන යෑම ඉතාම වැදගත්වන බව සඳහන් කළ යුතුමය. මන්ද මෙම ප්‍රහාරයේ ඇති සැබෑ ගැඹුර අවබෝධ කරගෙන අනාගතයේ ඇතිවිය හැකි අනතුරු වලින් රාජ්‍යය සහ එහි ජනතාව ආරක්ෂා කරගත හැකිවන්නේ එවිටය.

කතෝලික පල්ලියේ පූජකවරුන් කිහිප දෙනෙකු සහ මානව හිමිකම් ගැන කටයුතු කරන්නේ යැයි කියන කිහිපදෙනෙකු විසින් දිගින් දිගටම පාස්කු ප්‍රහාරය අළලා සිදුකරන කුමන්ත්‍රණ කතාව දේශපාලනික වශයෙන් ඇතැම් දේශපාලනඥයින්ට ඍණාත්මක බලපෑමක් සිදුවන බව සත්‍යයකි. එහෙත් බොහෝ දේශපාලනඥයින්ට ධනාත්මක වුවද ඍණාත්මක වුවද වැදගත් වන්නේ ප්‍රසිද්ධිය සහ සමාජ අවදානය පමණි. එක් දේශපාලනඥයෙකුට පහරදීම වෙනත් දේශපාලනඥයෙකුගේ බලය තහවුරු කරගැනීම සඳහා ක්‍රමෝපායිකව භාවිතා කළ හැකිය. එය මේ කුණු වී ගිය දේශපාලන සංස්කෘතියේ සුපුරුදු ගතිකයන්ය. එහෙත් සමස්තයක් ලෙස මේ රටේ ජනතාවට සහ ඛේදවාචකයකින් විපතට පත්වූවන්ට මේ කිසිදෙයක් වැදගත් නැත. ඔවුන්ට වැදගත් වන්නේ එම සිදුවීමට අදාළ සැබෑ සත්‍යය සහ එවැනි ඛේදවාචක යළිත් මෙවැනි භූමියක සිදු නොවන බවට ලබාදෙන සහතිකය කුමක්ද යන්නය.

මෙම ලිපි මාලාවේ අවසාන කොටස වන මෙම ලිපියෙන් විමසා බැලීමට බලාපොරොත්තු වන්නේ මෙම මූලික කාරණා සහ සමාජ වගකීම ගැනය.

පාස්කු ඛේදවාචකය සම්බන්ධයෙන් සමාජීය වශයෙන් හටගෙන ඇති උභතෝකෝටිකය හමුවේ ඇසිය මූලික ප්‍රශ්ණයක් තිබේ.



පාස්කු දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරනු ලැබූ මරාගෙන මැරුණු ඉස්ලාම් ආගමික භක්තිකයින් සිදුකළේ දේශපාලන ව්‍යාපෘතියක් නම්, අදාළ බෝම්බ ප්‍රහාරයෙන් දින පහකට පසු සයින්දමරුදු ප්‍රදේශයේ බොලිවෙරියානු ගමේ නිවසක් තුළ සිදුවූයේ කාගේ කුමන්ත්‍රණයක්ද?



එපමණක් නොව, පාස්කු ප්‍රහාරයට මාස කිහිපයකට පෙර මාවනැල්ල ප්‍රදේශයේදී ඉස්ලාමීය මූලධර්මවාදීන්ට විරුද්ධ වූ මොහොමඩ් තස්ලීම්ගේ ඔලුව පලා මිරිස් කුඩු දමා දසවද ලබා දුන්නේ කවුද? ඔහුට අදටත් හරියට ඇවිද ගැනීමට නොහැකිව දහ දුකක් විඳින්නේ මේ කියන කුමන්ත්‍රණය නිසාද? එසේත් නොමැතිනම් ඉස්ලාමීය මූලධර්මවාදීන් විසින් කාලයක් තිස්සේ දියත් කළ ප්‍රචණ්ඩ ක්‍රියා නිසාද?

Ashadමොහොමඩ් හන්සීර් හෙවත් අසාද් මවුලානාට අයත් දෙහිවල පිහිටි නිවසක්.

 


පාස්කු ප්‍රහාරය සිදු වී වසර හතරකට පසුව අවදී වී ඇති ලිප් වෑන් වින්කල් පන්නයේ පුද්ගලයා මෙම සිදුවීම් පාස්කු ප්‍රහාරය ගැන සොයා බලන ඔහුගේ ගවේෂණාත්මක ජනමාධ්‍යය කලාවේ කොටසක් කරගෙන ඇත්තේද? එසේ නොවේ මේ සිදුකොට ඇත්තේ අසාද් මවුලානා විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට අනුබද්ධ විශේෂ විනිශ්චය සභාව ඉදිරියේ තැබූ ප්‍රකාශය පරම සත්‍ය ලෙස පිළිගනිමින් එය හැඩ ගැන්වීම සඳහා රෙදිපිළි ඇන්දවීමද?



සරලව ඇසුවහොත්, මෙය රාජ්‍යයක ප්‍රතිරූපය කඩා බිඳ දමමින් තනි පුද්ගලයෙකුට දේශපාලන රැකවරණය ලබාගැනීම සඳහා සිදුකළ සිල්ලර වෙළඳාමක්ද? මේවා තමන්ගේ හෘදය සාක්ෂියට අනුව පිළිතුරු ලබාදිය යුතු මඟහැරිය නොහැකි මූලික ගැටලුය.

Ben the Pearචැනල් 4 නාලිකාවේ ප්‍රවෘත්ති කතෘවරයෙකු ලෙස 2012 සිට 2022 දක්වා සේවය කිරීමෙන් පසුව 'බේස්මන් ෆිල්ම්ස්' නමින් මාධ්‍යය සහ සන්නිවේදන ආයතනයක් ආරම්භ කළ බෙන් ද පෙයාර් මීට සති දෙකකට පෙර ඔහු නිෂ්පාදනය කළ නවතම වාර්තා චිත්‍රපටය ගැන සඳහන් කොට එහි අන්තර්ගතයට අදාළ ප්‍රශ්න කිහිපයක් ඇතුළත් විද්‍යුත් තැපෑලක් ඔහු හඳුනාගත් මූලාශ්‍ර කිහිපයකට එවමින් ඔවුන්ගේ ප්‍රතිචාර විමසා සිටියේය. ඔහුගේ එම විද්‍යුත් පණිවිඩයේ එක් පිටපතක් රාජ්‍යය බුද්ධි සේවාවේ ප්‍රධානියාටද ලැබුණු බව ඔහුගේ නීතිඥයා විසින් තහවුරු කර ඇත.

එසේම ඔහුගේ එම විද්‍යුත් පණිවිඩයට රාජ්‍යය බුද්ධි සේවාවේ ප්‍රධානියා මෙන්ම ඔහුගේ නීතිඥයා විසින්ද සාරභූත පිළිතුරු ලිඛිතව ලබාදෙනු ලැබීය. බෙන් ද පෙයාර් එම විද්‍යුත් තැපෑලේ ප්‍රධාන කාරණා හතරක් අසා ඇත. එහි නොනිල සිංහල පරිවර්තනය මෙසේය;

  1. ඔබ, 2018 පෙබරවාරි මාසයේදී, මොහොමඩ් හෂීම් මොහොමඩ් සහරාන් සහ ශයිනී හෂිනි සමග ජාතික තව්හීද් ජමාත් (මෙතැන් සිට NTJ) සාමාජිකයන් එනම් 2019 අප්‍රේල් 21 වැනි දින උදෑසන ශ්‍රී ලංකාව පුරා එකවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර 6ක් සිදුකළ පුද්ගලයින් සමඟ පුත්තලම කරඩිපුවල් හි පොල් ගොවිපළකදී පැය දෙකකට වඩා වැඩි කාලයක් මුණගැසුණු බව පැවසේ.
  2. ඉහත විස්තර කර ඇති රැස්වීමෙන් පසු ඔබ වහාම ප්‍රකාශ කළේ ඊළඟ මැතිවරණයේදී රාජපක්ෂ කෙනෙකු නැවත බලයට නොපැමිණියේ නම්, ඔබ මෙන්ම අනෙක් අයද සිරගත වන බවයි. එපමණක් නොව, එම මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා රාජපක්ෂවරුන්ට ශ්‍රී ලංකාව තුළ අනාරක්ෂිත තත්ත්වයක් අවශ්‍ය බව ඔබ ප්‍රකාශ කර ඇත.
  3. එනම් 2019 අප්‍රේල් 21 වන දින උදෑසන, ඔබ TMVP ක්‍රියාකාරිකයෙකුට ඇමතුමක් ලබා දී ඔහුට හැකි ඉක්මනින් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයට ගොස් පිටත සිටින අයෙකු රැගෙන ඔවුන්ගෙන් ඔවුන්ගේ දුරකථනය ලබා ගන්නා ලෙස ඉල්ලා සිට ඇත.
  4. පාස්කු බෝම්බ ප්‍රහාරයේ ඔබ විශාල කාර්යභාරයක් ඉටු කර ඇත. ඒ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ සැලසුම් ගැන ඔබ කලින් දැනගෙන සිටියා පමණක් නොව ඔවුන්ගේ ක්‍රියාවන්ට පහසුකම් සලසා ඇත.

රාජ්‍යය බුද්ධි සේවාවේ ප්‍රධානියා ඊට වහාම ප්‍රතිචාර ලබාදෙනු ඇතැයි බෙන් ද පෙයාර් බලාපොරොත්තු වූ දෙයක් නොවුණු බව පෙණේ. එසේම ඒවන විට ඔහු තම "ගවේෂණාත්මක වාර්තා චිත්‍රපටය" සම්පූර්ණයෙන්ම පහේ අවසන් කර තිබුනු අතර චැනල් 4 නාලිකාව එය විකාශනය කිරීම සඳහා දිනය සහ වේලාවද වෙන්කරගෙන තිබුණි. දින ගණනක් තිස්සේ ශ්‍රී ලංකාවේ සිදුකළ පටිගත කිරීම් රාශියක් ඇතුලත් මෙම වාර්තා චිත්‍රපටයට විශාල මුදලක්ද වැයකොට තිබෙන බව පැහැදිළි වේ.

නමුත් බෙන් ද පෙයාර් මෙම වාර්තා චිත්‍රපටයෙන් චෝදනා කරන රාජ්‍යය බුද්ධි සේවාවේ ප්‍රධානියා ඇතුළු පුද්ගලයින්ගෙන් අදහස් විමසීම පැසසිය යුතු කාරණයකි. නමුත් මෙරට අසරණ ජනතාවගෙන් මූල්‍ය වංචා සිදු කළ පුද්ගලයෙකු යුක්තියෙන් බේරා වෙනත් රටක "දේශපාලන රැකවරණය" ලබා ගැනීම සඳහා ඉතාම ප්‍රවේශමෙන් නිර්මාණය කරනු ලැබූ බොරුවක් සත්‍යය යැයි අනුමාන කරමින් කාලය සහ මුදල් නාස්ති කිරීම ජනමාධ්‍යය කලාවේ සදාචාරාත්මක භාවිතය හාස්‍යයට ලක් කිරීමකි. මන්ද අනෙකුත් සියලුම ක්ෂේත්‍ර මෙන්ම ජනමාධ්‍යය කලාවේද ඕනෑම නිෂ්පාදනයක හරය රඳා පවතින්නේ විශ්වසනීයත්වය මතය. විශ්වසනීයත්වය රඳා පවතින්නේ සිදුවීමකදී අදහස් ඉදිරිපත් කරන පුද්ගලයින් මත පමණක් නොව එම සිදුවීමට අදාළ දත්ත මතය. සිදුවීම් නිවැරදිව ඔප්පු කළ හැක්කේ එවිටය.

බෙන් ද පෙයාර් අසනු ලැබූ කරණු වලට රාජ්‍යය බුද්ධි සේවාවේ ප්‍රධානියා සහ ඔහුගේ නීතිඥවරයා වහාම පිළිතුරු ලබාදෙනු ලැබීය. එසේම අදාළ ප්‍රතිචාර ලැබුණු බවට බෙන් ද පෙයාර්ද තහවුරු කර ඇතිබව පැවසේ. ඔහු එම ප්‍රතිචාර වලින් කෙතරම් ප්‍රමාණයක් මෙම වාර්තා චිත්‍රපටය භාවිතා කළේද යන්න අදාළ වාර්තා චිත්‍රපටය සම්පූර්ණයෙන් බැලීමකින් තොරව නිගමනයකට පැමිණිය නොහැකිය.



එහෙත් එක් ප්‍රධාන් කාරණයක් මෙහිදී නිරීක්ෂණය කළ හැකිවිය. එනම්, අදාළ වාර්තා චිත්‍රපටයේ නම සියුම්ව වෙනස් කිරීමට බෙන් ද පෙයාර් ඇතුළු කාර්ය මණ්ඩලය පසුව කටයුතු කිරීමයි. එම වාර්තා චිත්‍රපටය අගෝස්තු 15 වැනි දින විකාශණය කිරීමට සැලසුම් කරතිබූ අතර එහිදී ඊට ලබාදී තිබු මාතෘකාව "Special Documentary Investigating one of the biggest atrocities of recent years, featuring exclusive testimony of three while blowers and what they say about who was behind the huge attack” විය. නමුත් ඉන් සති දෙකකට පසු යළිත් එය වෙනස් කරමින්, "Sri Lanka’s Easter… Bombings – Dispatches: Shocking new revelations about Sri Lanka’s deadly Easter bombings of 2019, as high-placed whistle blowers allege complicity by officials inside the government” ලෙස සඳහන් වී තිබුණි. ඒ අනුව මෙම වාර්තා චිත්‍රපටයේ හිමිකරුට තම මූලාශ්‍ර ගැන පසුව පහළ වී ඇති සැකය මින් මනාව පැහැදිළි වේ.



අනෙක් අතින් ජාතික බුද්ධි සේවාවේ ප්‍රධානියාගෙන් ඇසූ ප්‍රශ්ණ වලට ඍජුව පිළිතුරු ලබාදීම ඉතාම වැදගත් කාරණයක් ලෙස පෙනේ. ඔහුගේ ප්‍රතිචාරය සාරාංශයක් ලෙස මෙහිදී සඳහන් කිරීම ඉතාම වැදගත් වන්නේ ඒ නිසාය. එහි සරල මෙන්ම නොනිල සිංහල පරිවර්තනය පහත පරිදිය.

dfgewt


"ප්‍රථමයෙන් සහ ප්‍රධාන වශයෙන්, ඔබගේ වැරදි තොරතුරු මූලාශ්‍ර මගින් සපයන ලද යැයි කියන අසත්‍ය චෝදනා විකාශනය හෝ ප්‍රකාශනය කිරීමට පෙර මා දැනුවත් කිරීම පිළිබඳව මම ඔබට මාගේ කෘතඥතාවය පුද කරමි. හානියට පත් විය හැකි තොරතුරු බෙදා හැරීමට පෙර චූදිතයන්ට ඔවුන්ගේ ප්‍රතිචාරය ඉදිරිපත් කිරීමට ඉඩ දීම ඇත්තෙන්ම යුක්තියේ මූලික මූලධර්මයකි."

"ඔබ සඳහන් කර ඇති සිදුවීම්වලට මා කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, ඔබේ පණිවිඩයේ සඳහන් කර ඇති පුද්ගලයන් සමඟ මට කිසිදු සම්බන්ධයක් නොතිබූ බවත් නිශ්චිතවම ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මෙම කාරණය පැහැදිලි කිරීම නිරවද්‍යතාවය සහ සාධාරණත්වය සඳහා වැදගත් වේ."

"ඔබගේ ලිපියේ සඳහන් කර ඇති පළමු සහ දෙවන කරුණු සම්පූර්ණ අසත්‍ය බව මා තරයේ කියා සිටිමි. ඔබ සඳහන් කරන කාලය තුළ මා ශ්‍රී ලංකාවේ නොසිටි බව අවධාරණය කළ යුතුය. නිශ්චිතවම කිවහොත්, එම කාල රාමුව තුළ මැලේසියාවේ ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලයේ අමාත්‍ය-උපදේශක තනතුර මා වෙත පැවරිණි. මෙය මැලේසියානු බලධාරීන් සමඟ පහසුවෙන් තහවුරු කර ගත හැකිය."

"ඔබගේ ලිපියේ සඳහන් තුන්වන කාරණයද සම්පූර්ණ අසත්‍ය බව මම නැවත අවධාරණය කළ යුතුය. එසේම එය සඳහන් කළ කාල සීමාව තුළද මා ශ්‍රී ලංකාවේ සිටියේ නැත. ඔබගේ ලිපියේ සඳහන් කර ඇති සිව්වන කරුණ ද සම්පූර්ණ අසත්‍ය බවත්, පාස්කු ප්‍රහාරයට මගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් මම නැවත අවධාරණය කළ යුතුය."

අදාළ වාර්තා චිත්‍රපටය නිර්මාණය කළ බෙන් ද පෙයාර් වෙත ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධි සේවාවේ ප්‍රධානියා ලිඛිතව ප්‍රතිචාර දක්වා ඇත්තේ එලෙසය. එම ප්‍රතිචාරයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

"වෙනත් පාර්ශව කිහිපයක් විසින් මට එල්ල කරන ලද මේ හා සමාන පදනම් විරහිත චෝදනා වලට එරෙහිව මගේ නීතීඥයන් විසින් ශ්‍රී ලංකාවේ උසාවියේ ගොනු කර ඇති නඩුවක් දැනටමත් විභාග වෙමින් පවතින බව ඔබගේ කාරුණික අවධානයට යොමු කිරීමට කැමැත්තෙමි."

"ගවේෂණාත්මක පුවත්පත් කලාවේ වැදගත්කම සහ පාස්කු බෝම්බ ප්‍රහාරයේ සැබෑ ඓතිහාසික හා දේශපාලන සන්දර්භය සහ ශ්‍රී ලංකාවට ඉන් ඇති වූ ප්‍රතිවිපාක පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේදී ජනමාධ්‍ය භූමිකාවේ වැදගත්කම මා පිළිගන්නා අතරම, ඔබ මගේ නෛතික අයිතිවාසිකම් වලට ගරු කරනු ඇතැයි මම ඉතා ඕනෑකමින් බලාපොරොත්තු වෙමි. ගවේෂණාත්මක පුවත්පත් කලාවේ අවශ්‍යතාවය මත පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ ඕනෑම කාරණයක් විකාශනය හෝ ප්‍රකාශනය කිරීමේදී සැලකිය යුතු සාක්ෂි නොමැතිව හිතාමතා හෝ නොදැනුවත්වම මගේ කීර්ති නාමයට කැළලක් ඇති කිරීමට එරෙහිව ඕනෑම අධිකරණ බල ප්‍රදේශයකදී නීතිමය පිළිසරණ පැතීමේ මගේ අභිප්‍රාය ගැන කණගාටුවෙන් යුතුව ඔබට දැනුම් දිය යුතුය."

එසේම, "සාධාරණත්වය, නිරවද්‍යතාවය සහ යුක්තිය පිළිබඳ මූලධර්ම මෙම කාරණය සම්බන්ධයෙන් ඔබේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට මඟ පෙන්වනු ඇතැයි මම විශ්වාස කරමි. විනිවිද පෙනෙන සාධාරණ සමාජයක වැදගත්කම ගැන මම විශ්වාස කරන අතර ඕනෑම වගකිවයුතු ජනමාධ්‍ය ආයතනයක් මෙම වටිනාකම් ආරක්ෂා කරන බව මට විශ්වාසයි, " යැයි ජෙනරාල් සුරේෂ් සලේ තම ප්‍රතිචාරයේ සටහන් කර ඇති බව ඔහුගේ නීතිඥයා විසින් තහවුරු කළේය. එසේම ඔහුගේ නීතිඥයාද මෙම චෝදනා සම්බන්ධයෙන් ලිඛිතව ප්‍රතිචාර දක්වා ඇත.



යමෙකුට සැඟවීමට දෙයක් තිබේ නම් මෙවැනි පැහැදිලි ප්‍රතිචාරයක් ලිඛිතව ලබාදීමට කටයුතු කරන්නේද යන්න සාමාන්‍යය දැනුමක් ඇති පුද්ගලයෙකුට පවා අවබෝධ වන කාරණයකි. එහෙත් පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක් යැයි කියමින් දිගින් දිගටම කරගෙන යන ප්‍රචාර නිසා සත්‍යය යටපත් කිරීම පමණක් නොව මෙම ප්‍රහාරය පිටුපස සිටින සැබෑ බලවේග වලට සැඟවීමට අවශ්‍යය කදිම පරිසරයක් නිර්මාණය වී තිබේ.



කදිම නිදසුන නම් සහරාන්ගේ බිරිඳ හාදියා විසින් සඳහන් කරන කොළඹ ප්‍රදේශයේ ජීවත් වන නීතිඥයකු හමුවීමට සහරාන් හදිසියේ පුත්තලම ප්‍රදේශයට යෑම සහ ඉන් දින කිහිපයකට පසු එම ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීමය. මෙම සිදුවීම වඩාත් උපායසීලිව විකෘති කර තමන්ගේ වාසිය වෙනුවෙන් එය පාවිච්චි කිරීමට අසාද් මවුලානා සමත් වී ඇත. ඔහු එහිදී සඟවන සිද්ධියක් තිබේ. එනම් ඊට දින කිහිපයකට පෙර අදාළ ඉඩමේදී පුපුරණ ද්‍රව්‍යය පරික්ෂා කිරීමට ගොස් අතක් තුවාල වූ සහරාන්ගේ සහෝදරයා වූ රිල්වාන්ට ප්‍රතිකාර ලබාදීමේදී ඊට සහභාගී වූ පිරිස් ගැනය. එම සිදුවීම ඔහු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය හමුවේ සිදුකරන ප්‍රකාශයට ඇතුළත් කර නැත. මන්ද ඔහු ඔහුගේ ප්‍රකාශය නිර්මාණය කරන්නේ ඉතාම ප්‍රවේශමෙන් තම පෞද්ගලික ඉලක්කය සපුරා ගැනීමට මිස සත්‍යය හෙළිකිරීමට නොවේ.

cgrs5twe4



මෙහිදී අතිඋතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමි සහ මෙම ප්‍රහාරයට යුක්තිය සෙවීමේ අරමුණින් දෙස් විදෙස් සංචාර රාශියක නිරත වූ පිරිස් වලට මෙම ප්‍රහාරයෙන් විපතට පත් සැබෑ අසරණයින්ට යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් පැවරෙන සමාජ වගකීම කුමක්ද? ප්‍රහාරය සිදු වී වසර හතරකට පසු තනි පුද්ගලයෙක් හදිසියේ අවදි වී ජනමාධ්‍යය ඉදිරියට පැමිණ ඔහු විසින් තිරපිටපත සකසාගත් කතාවක් කියන්නේය. ගෙවුණු වසර හතරක කාලය පුරා ඔහුට එවැනි පියවරක් ගැනීමට නොහැකි විය. එසේම ඔහු ඔහුගේ ආඛ්‍යානය ඔහුට ගැලපෙන සේ වහරන විට ඉදිරිපත් කරන පිළිගත හැකි සාක්ෂි කිසිවක් නැත.



නමුත් ගැටලුව නම්, මොහු පිල්ලයන්ගේ ලේකම්වරයා ලෙස සේවය කරමින් පිල්ලයාන්ටත් නොදන්වා ඉස්ලාමීය මූලධර්මවාදීන් සමග ගනුදෙනු කරමින් ඔවුන්ට ලැබුණු මුදල් කළමනාකරණය කරනවා යැයි පොරොන්දු වෙමින් ඒවා අවභාවිතා කළේද, යන්නය. එය එසේ නොවේ නම්, ඔහුගේ එක් පෞද්ගලික ගිණුමක පමණක් රුපියල් කෝටි හතකට අසන්න මුදලක් තැම්පතු ලෙස තිබී ඇත්තේ කෙසේද? පළමුව කුලී පදනම යටතේ ගත නිවසක ජීවත් වූ පුද්ගලයෙකු ඉතා කෙටිකාලයක් තුළදී කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් නිවාස තුනක හිමිකරුවකු වන්නේ කෙසේද?

මෙම කරුණු ප්‍රකාරව, අසාද් මවුලානා ඉදිරිපත් කර ඇති තොරතුරු සැලකිල්ලට ගනිමින් ඔහුව වහාම අත්අඩංගුවට ගැනීම සඳහා ඉල්ලා සිටීම ශ්‍රී ලංකා රාජ්‍යයේ හෝ ඊට අයත් විදේශගත ශ්‍රී ලංකා තානාපති කාර්යාල වල සේවය කරන උදවියගේ වගකීම පමණක් නොව අතිඋතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිගේ සහ කතෝලික පල්ලියේද වගකීම වේ. පාස්කු ප්‍රහාරය එල්ල කරනු ලැබූ මරාගෙන මැරුණු බෝම්බ කරුවන් සමග ඉතාම කිට්ටු ගනුදෙනුවක් පවත්වා ඇතිබව නිල වශයෙන් අසාද් මවුලානා පිළිගෙන ඇත. එය මොහුව නීතිය ඉදිරියට පැමිණවීම සඳහා ඇති හොඳම සාක්ෂිය වේ. අපරාධකරුවෙකු විස්ල්බ්ලොවර් කියා හැඳින්වු පළියට ඔහු විසින් සිදුකර ඇති අපරාධය ශුන්‍යය වන්නේ නැත.



ඒ සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාවේම ඉතාම වැදගත් නීතිමය සටහනක් තිබේ. එනම්, "වැඩසටහන් සම්පාදකයින් අපරාධකරුවන් සමඟ රූගත කිරීමේදී හෝ සාමාන්‍යයෙන් අපරාධ ක්‍රියාකාරකම් රූගත කිරීමේදී ප්‍රවේශමෙන් ඉදිරියට යා යුතු අතර, හැකි නම් රූගත කිරීම් සිදු කිරීමට පෙර නීති උපදෙස් ලබා ගත යුතුය." එසේම එහි මෙසේද සඳහන් කර ඇත. "සාපරාධී හැසිරීමක් පිළිගන්නා පුද්ගලයාට අයත් වැඩසටහන් විකාශය කිරීමෙන් පසු නඩු පැවරිය හැකි අතර චිත්‍රපටය සහ ඊට ලබාගත් මුල් පිටපත්, අධිකරණ නියෝගයක් මගින් පොලිසියට ලබාගෙන සාක්ෂියක් ලෙස භාවිතා කළ හැකිය. "



ශ්‍රී ලංකා රජයට පමණක් නොව කතෝලික පල්ලිය, මානව හිමිකම් ක්‍රියාධරයින්, මෙන්ම සදාචාරාත්මක ජනමාධ්‍යය ආයතන වලට බෝම්බ ප්‍රහාර නිසා විපතට පත් වූ වින්ධිත්යින්ගේ නාමයෙන් පැවරෙන වගකීම වාහාම ඉටුකළ යුතුය. එමඟින් මෙම සමස්ත නාට්‍යයේ තිරපත රචනා වූයේ කුමන අරමුණකින්ද; එහිදී අසාද් මවුලානාගේ කාර්යය වූයේ කුමක්ද; යන්න පැහැදිළි කර ගැනීමට හැකිවනු ඇත.

අවසානයේදී මෙය තවත් එක් ගානියා බැස්ටියන් පන්නයේ කතාවක් නොවුණොත් පුදුමය. එවිට බෙන් ද පෙයාර් මහතාට ඔහුගේ සගයින් වන පොල් මැක්නමුරා, ගයි බස්නෙට් ඇතුළු සැබෑ ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගෙන් බොහෝ පාඩම් ඉගෙන ගැනීමට ඇති බව අවබෝධ වනු ඇත. එසේම අසාද් මවුලානා යනු විලියම් තොම්සන්, චාල්ස් පොන්සි, වික්ටර් ලුස්ටිග්, සිල්වියා බ්‍රවුන්, ෆ්‍රෑන්ක් ඇබග්නේල් වනි ලොව සුපතළ වංචාකාරයින්ගේ දාමයට අයත් තවත් එක් කුඩා චරිතයක් බව අවබෝධ වනු ඇත.



අවසාන වශයෙන් සඳහන් කළ යුතු මූලික කාරණයක් තිබේ. පාස්කු ප්‍රහාරයට කුමන්ත්‍රණ න්‍යායයන් පැටලීමෙන් සමාජයට සිදු වී ඇති අහිතකර බලපෑම ගිනිය නොහැකිය. මෙය රැඩිකල්කරණයට එරෙහිව රාජ්‍යය විසින් හඳුන්වා දීමට සැලසුම් කළ නීතිමය පියවර කඩාකප්පල් කර ඇත. ඒ නිසා මෙම ප්‍රහාරයට උල්පන්දම් දුන් සැබෑ අන්තවාදීන් ඔවුන්ට ඇති සමාජ සම්බන්ධතා පාවිච්චි කරමින් නීතියේ රැහැනින් ගැලවී සිටිති.

කෙසේ නමුත් වාසනාවට මෙන් වෙනත් ඕනෑම අපරාධයක මෙන් මෙම සහාසික අපරාධය ගැනද නිවැරදි අවබෝධයක් ලබා ගැනීම සඳහා ඉතුරු වී ඇති පිළිගත හැකි සාක්ෂි තිබේ. ඒ අතරින් ප්‍රධානම සාක්ෂිය සහරාන්ගේ බිරිඳ වන හාදියාය. එසේම මොහොමඩ් තස්ලීම් වැනි පුද්ගලයින් මෙම සහාසික බිහිශුනු සමාජ යථාර්තයේ ඇති ගැඹුර තේරුම් ගැනීමට අපට ඇති අව්‍යාජ මූලාශ්‍ර වේ.



මෙවැනි සන්දර්භයක චැනල් 4 නාලිකාව ගවේෂණාත්මක ජනමාධ්‍ය කලාව නමැති වෙස්මුහුණ පැළඳගෙන සිදුකොට ඇත්තේ අපට සත්‍යය තේරුම් ගැනීමට ඇති අවකාශය ඇහිරීම පමණි. එනම් ඒ අනුව පැහැදිළි වන්නේ චැනල් 4 නාලිකාව තම ආයතනයේ වසර දහයක් සේවය කළ පුද්ගලයෙකුට අසීමිත නිදහසක් ලබාදෙමින් ඉඩ දී ඇත්තේ බරපතළ අපරාධයක සත්‍යය වසා දැමීමට උත්සහ කිරීම පමණක් නොව එම අපරාධය තමන්ගේ වාසියට හරවා ගත් ලෝකෝත්තර කපටියෙකුගේ පෞද්ගලික අපේක්‍ෂාවක් මුදුන් පමුණුවා ගැනීමට ඉඩදීමය. හැකි නම් මේ කරුණු වැරදියි කියලා ඔප්පු කරන්න.

ගවේෂණාත්මක ජනමාධ්‍යය කලාව යනු මීට හාත්පසින්ම විරුද්ධ දෙයකි. අනෙක් පසින් ශ්‍රී ලංකා රාජ්‍යයට සහ ජනතාවට ඇති සාමූහික වගකීම සටහන් වී ඇත්තේද මෙම ව්‍යාජදෑ වලට සාධනීයව ප්‍රතිචාර ලබාදීම මත මිස විදෙස් රටක විකාශනය කරන ඕනෑම කුණුගොඩක් එකම සත්‍යය ලෙස පිළිගැනීම මත නොවේ.

අවසානයි.

(විශේෂ ලියුම්කරුවෙකු විසිනි)


සබැඳි ලිපි දෙක :

පාස්කු ප්‍රහාරයේ සැඟවූ රහස්: කවුද මේ හිටිහැටියේ පහළ වූ අසාද් මවුලානා ? - (දෙවන කොටස)

පාස්කු බෝම්බයේ සැඟවූ රහස් : කවුද මේ අබුහින්ද්, පොඩි සහරාන්, සහ ජමීල් - (පළමු කොටස)

 

  • මෙම ලිපි තුනෙන් කිසිවකුට හෝ කිසිඳු පාර්ශවයකට කිසියම් හෝ අගතියක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිලිගනිමු.- සංස්කාරිකා




අදාල වෙනත් පුවත්

චැනල් ෆෝ වීඩියෝවට පසු ආණ්ඩුව කරන්න යන වැඩේ

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට රාජපක්ෂ පවුල සම්බන්ධයි ! - චැනල් ෆෝ වීඩියෝව අද එලියට 

ආයේ ආයෙත් මුණගැසෙන රහස්....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

'තමන්ටත් දරුවන්ටත් විශාල තර්ජනයක්' - බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ

රාජපක්ෂගේ නිලධාරීන් ‘පාස්කු ඉරිදා බෝම්බවලට සම්බන්ධයි’ - එංගලන්තයේ 'ද ටයිම්ස්'

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය: චැනල් 4 ආන්දෝලනාත්මක වීඩියෝව සැප්. 5 එලියට !

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්