ගාසා තීරයට බෝම්බ හෙලීම වහා නතර කරන ලෙස එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කළ දැනුම්දීම් නොතකා ඊශ්‍රායල හමුදා ඊයේද ඒ වෙත දැඩි ප්‍රහාර එල්ල කළහ.
එම බෝම්බ ප්‍රහාර වලින් ගාසා වැසියන් රැසක් ජීවිතක්ෂයට පත් වූ බව රොයිටර්ස් පුවත් සේවය පවසයි.
ජනපති ට්‍රම්ප්ගේ සාම සැලැස්ම කොන්දේසි සහිතව පිළිගැනීමට සහ ඒ අනුව සිය භාරයේ පසුවන ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමට සූදානම් බව හමාස් සංවිධානය ප්‍රකාශ කළේය. සටන් විරාම සාකච්ඡා ඉදිරි සතියේ ඊජිප්තුවේදී ආරම්භ වීමට නියමිතය.
ඊශ්‍රායලය, ගාසා තීරයේ මූලික ඉවත්වීමේ රේඛාවක පිහිටා කටයුතු කිරීමට එකඟත්වය පළ කර ඇති බවත්, හමාස් සංවිධානය ඊට අනුගත බවට සහතික වූ වහා සටන් විරාමය ක්‍රියාත්මක බව ජනපති ට්‍රම්ප් ඊයේ (04) සිය ටෘත් (Truth) අවකාශයේ සටහනක් තබමින් දන්වා සිටියේය.
ගාසා තීරය වෙත ප්‍රහාර නවතන ලෙස ජනපති ට්‍රම්ප් විසින් ඉකුත් සිකුරාදා (03) අපර භාගයේ සිදු කළ දැනුම්දීම් නොතකා එල්ල කළ ඊශ්‍රායල භූමි සහ ගුවන් ප්‍රහාර හේතුවෙන් පලස්තීන වැසියන් 36 දෙනෙක් මරුමුවට පත් වූහ.
හමාස් ත්‍රස්තවාදීන් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාර හේතු කොට සිවිල් වැසියන්ට සිදු වූ අපහසුතා පිලිබඳ කණගාටුව පළ කරන බව ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කළහ.
ගාසා තීරයට බෝම්බ හෙළීම තාවකාලිකව නතර කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය වෙත සිය කෘතඥතාව පළ කළ ජනපති ට්‍රම්ප්, වහා සිය සැලැස්මට එක්වන ලෙස හමාස් සංවිධානයට ඊයේ අනතුරු අඟවා සිටියේය. නොඑසේව, හමාස් සංවිධානය 'ඔට්ටුව' පරාජය වන බව ඔහු කියා සිටියේය.
"පොදු මතය නම් මෙය තවත් ප්‍රමාද වන බවයි. එය මට කිසිසේත් දරා ගත නොහැකියි. ගාසා තීරය තව දුරටත් තර්ජනයක් නොවිය යුතුයි. ඉතින්, මේක ඉක්මනින් විසඳගමු, ඉතා ඉක්මනින්...! සෑම කෙනකුටම සාධාරණය ඉෂ්ට වේවි," ට්‍රම්ප් ටෘත් (Truth) අවකාශයේ එසේ සටහන් කළේය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/5/2025
Dozens killed in Gaza despite Trump's call for Israel to halt bombing







