ජර්මානු රජය විසින් ඊශ්‍රායල අවි ඇණවුමකට පනවා තිබූ තහනමක් එළැඹෙන සතියේ සිට ඉවත් කෙරේ.
ඊශ්‍රායලය විසින් මීට පෙර ඇණවුම් කර තිබූ අවි තොගයක්, ගාසා යුද්ධය හේතුවෙන් අත්හිටුවීමට ජර්මානු රජය පියවර ගත්තේය. එහෙත්, ඉකුත් මස එළැඹි සටන් විරාමය සමග එම තහනම ඉවත් කර ගන්නා බව, රජය කියා සිටී.
එරට සාමාන්‍ය නීති ප්‍රකාරව, අවි අපනයනයන්ට සම්බන්ධ එකී තීරණ ක්‍රියාත්මක කිරීමේදී, සිද්ධියෙන් - සිද්ධිය විමර්ශනය කෙරෙමින්, විටින් විට උද්ගත තත්ත්වයන් මත, අදාළ ප්‍රතිචාර දක්වන බව, ජර්මානු රජයේ ප්‍රකාශක උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය පවසයි.
ඒ අනුව, පසුගිය අගෝස්තු මස තාවකාලිකව අත්හිටුවන ලද ජර්මානු අවි ඇණවුම මෙම මස 24 දා, යළි සක්‍රීය කරන බව දන්වා තිබේ.
එක්සත් ජනපදයට පසුව, ඊශ්‍රායලයේ දෙවන විශාලතම අවි සැපයුම්කරුවා ජර්මනියයි.
අගෝස්තු මස එළැඹි රාජ්‍ය තීරණයකට අනුව, ඊශ්‍රායලය විසින් ඉල්ලා සිටි, පිටස්තර ආක්‍රමණයන්ට එරෙහි ස්වාරක්ෂක අවි ඇණවුමෙන් පරිබාහිර වෙනත් අවි සහ පද්ධති කිහිපයක් එරටට අපනයනය කිරීම තාවකාලිකව අත්හිටුවන බව, ජර්මානු රජය දැනුම් දුන්නේය.
ද්වී රාජ්‍ය විසඳුමක් උදෙසා, ඊශ්‍රායලය සහ පලස්තීනය අතර තිරසර සාමය පිණිස, ජර්මනිය සහාය දක්වන බවත්, ගාසා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අඛණ්ඩ දායකත්වයක් ලබා දෙන බවත්, රාජ්‍ය ප්‍රකාශක නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
11/17/2025
මුලාශ්‍රය :
Germany to resume arms exports to Israel from Nov. 24







