ගාසා තීරයෙන් හමාස් සංවිධානය පලවා හැරිය යුතු බව, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු ඊයේ (18) ප්‍රකාශ කළේය.
එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ගාසා සාම සැලැස්මට එක්සත් ජාතීන්ගේ (UN) ආරක්ෂක මණ්ඩල අනුමැතිය ලැබීමෙන් දිනකට පසු, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා එසේ පැවසීය. ගාසා යුද්ධය අවසන් කිරීමේ ජනපති ට්‍රම්ප්ගේ සාම සැලැස්ම අනුමත වීම, හමාස් සංවිධානයට ජාත්‍යන්තර සමාව හිමිවීමකි.
ඉකුත් සැප්තැම්බරයේ ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා, ධවල මදිරය වෙත සිදු කළ සංචාරයකදී එම සාම සැලැස්මට ප්‍රසිද්ධියේ ප්‍රසාදය පල කළේය. එහෙත්, වත්මන් එක්සත් ජනපද සාම මාවත ඊට ඉඳුරා වෙනස් බව ඊශ්‍රායල මතයයි. පසුගියදා එක්සත් ජාතීන්ගේ අනුමැතිය ලද, ජනපති ට්‍රම්ප්ගේ සාම සැලැස්ම හමාස් සංවිධානය විසින් ද ප්‍රතික්ෂේප කර තිබේ.
එම සැලැස්ම පරිදි, ඊශ්‍රායලයට සහ හමාස් සංවිධානයට වෙන් වශයෙන් පැවරී ඇති කාර්ය භාරය අනුව, තව දුරටත්, ඊට අනුගතව ඉදිරියට යා නොහැකි බව රාජතාන්ත්‍රිකයෝ රැසක් පෙන්වාදෙති. එම සැලැස්මේ, එක් එක් වගවීම් සඳහා නිශ්චිත කාල වකවානු හා එකී පාර්ශ්ව සතු බලගැන්වීමේ ක්‍රමවේද සඳහන් නොවේ. එසේ තිබියද, ඊට තවදුරටත් ජාත්‍යන්තර සහාය හිමිව තිබේ.
ගාසා සාම සැලැස්මට එක්සත් ජාතීන්ගේ අනුමැතිය හිමි වීම පිළිබඳව, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ඊයේ එක්ස් (X) පණිවුඩ රැසක් නිකුත් කළේය. ඉන් එක් පණිවුඩයක, ගාසා සාම සැලැස්ම ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප් වෙත ඔහුගේ ප්‍රසාදය පල කර තිබේ. එම සාම සැලැස්ම මගින් ගාසා තීරය යුද මුක්ත කලාපයක් බවට පත් කිරීම, හමාස් සංවිධානය නිරායුධකරණය සහ විප්ලවීය භාවයෙන් විනිර්මුක්ත කිරීම, සාමයට සහ සෞභාග්‍යයට මග පෙන්වීමක් බව, ඊශ්‍රායලයේ විශ්වාසය යැයි, ඔහුගේ තවත් පණිවුඩයක දැක්වේ.
"අපගේ අසල්වාසීන් සියල්ලන් වෙත සාමය සහ සෞභාග්‍යය පෙරදැරිව, ඊශ්‍රායලය සිය දෑත දිගු කර සිටී. එමෙන්ම, හමාස් සංවිධානය සහ ඊට සහාය දක්වන්නන් සමස්ත කලාපයෙන්ම නෙරපා හැරීමට අප හා එක්වන ලෙස ඊශ්‍රායලය, සියලු අසල්වැසි රටවලින් ඉල්ලා සිටී," යනුවෙන් අග්‍රාමාත්‍ය නෙතන්යාහු පවසයි.
හමාස් සංවිධානය "නෙරපා හැරීම" යන්නෙන් අග්‍රාමාත්‍යවරයා අදහස් කරන්නේ, කරුණු 20කින් යුත්, ජනපති ට්‍රම්ප්ගේ සාම සැලැස්ම ප්‍රකාරව, ගාසා තීරයේ කිසිසේත් හමාස් නියෝජනයක් නොපැවතීම සහ එහි පලස්තීන ජනතාව පාලනයට මින් මතු කිසිදු අයිතියක් හමාස් සංවිධානය සතු නොවීම බව, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි.
අවි බිම තබා සාමකාමී සහජීවනයට අනුගත වන හමාස් සාමාජිකයින්ට සමාව දෙන බව, එක්සත් ජනපද ජනපතිගේ ගාසා සාම සැලැස්මේ සඳහන්ය. එමෙන්ම, ගාසා තීරය හැර යාමට කැමැත්ත පලකරන එම සාමාජිකයින්ට තෙවන රටකට ආරක්ෂාකාරීව පලා යාමට පහසුකම් සලසන බවද එහි දැක්වේ.
ගාසා තීරය පාලනය කිරීමට කිසිදු අයුරකින් සහභාගී නොවන බවට හමාස් සංවිධානය එකඟ විය යුතු බවට වන වගන්තියක්ද ඊට ඇතුළත්ය. එහෙත්, හමාස් සංවිධානය අනිවාර්යයෙන් විසුරුවා හැරිය යුතු බවට හෝ ගාසා තීරයෙන් ඉවත් විය යුතු බවට එහි කිසිදු සඳහනක් නැත.
එම සාම සැලැස්මට අනුව, බටහිර ඉවුරේ පලස්තීන අධිකාරිය ට සමාන පාලන ආකෘතියක්, අවසානයේ ගාසා තීරයේ ද ස්ථාපිත කෙරේ. පලස්තීන රාජ්‍යයකට මාවත එම ක්‍රමවේදය බවට අනුදත යුතු යැයි, එහි වැඩි දුරටත් දක්වා තිබේ.
එහෙත්, සන්ධාන රජයේ අන්ත දක්ෂිණාංශිකයින්ගේ දැඩි විරෝධය හමුවේ, පලස්තීන රාජ්‍ය සංකල්පය ප්‍රතික්ෂේප කරන බව, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ඉරිදා (16) කියා සිටියේය. ගාසා තීරයේ පලස්තීන අධිකාරියක් ස්ථාප්ත කිරීම ද ඊශ්‍රායල අග්‍රාමාත්‍ය වරයා එකහෙළා ප්‍රතික්ෂේප කර සිටී.
පසුගියදා පැවති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී ජනපති ට්‍රම්ප්ගේ සාම සැලසුම පරිදි, ගාසා තීරයේ පාලනයට තාවකාලික පදනමින් බහු ජාතික හමුදාවක් පිටත් කර හැරීමේ යෝජනාව ද සම්මත විය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
11/19/2025
මුලාශ්‍රය :
After UN vote, Netanyahu calls for Hamas' expulsion from the region







