බටහිර ඉවුරේ මාර්ගයක් අසල පෙරේදා (25) යාඥාවේ නිරත වෙමින් සිටි පලස්තීනුවකු මතට මෝටර් රථයක් ධාවනය කර අනතුරක් සිදු කිරීමට තැත් කළ ඊශ්‍රායල හමුදා භටයකු අත්අඩංගුවට ගෙන තිබේ. හමුදා භටයා සේවයෙන් ඉවත් කර ඇතැයි, ඊශ්‍රායලය කියයි.
හමුදා භටයා සිය බලය දරුණු ලෙස අවභාවිතා කර ඇතැයි ද, ඔහුගේ ගිනි අවිය අත්අඩංගුවට ගෙන ඇතැයි ද ඊශ්‍රායල හමුදා පැවසූහ. මේ වන විට ඔහු නිවාස අඩස්සියට පත් කර තිබේ.
ප්‍රහාරයට ලක් වූ පලස්තීනුවා ප්‍රතිකාර පිණිස රෝහල වෙත පිටත්ව ගොස් ඇත. ඔහු නිරුප්‍රදිත බව රෝහල් ආරංචිමාර්ග පැවසීය.
මෙම වසරේ ඊශ්‍රායල පදිංචිකරුවන් විසින් බටහිර ඉවුරේ පලස්තීනුවන් ඉලක්ක කළ ප්‍රහාර රැසක් වාර්තා විය. ඉන් පුද්ගලයින් 750කට අධික සංඛ්‍යාවක් තුවාළ ලබා ඇතැයි, එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාවක දැක්වේ.
2023 ඔක්තෝබර 7 සිට මෙම වසරේ ඔක්තෝබර 17 දක්වා කාලයේ බටහිර ඉවුරේ පලස්තීනුවන් දහසකට අධික සංඛ්‍යාවක් ඝාතනය විය. ඉන් බහුතර පුද්ගල මරණ ඊශ්‍රායල හමුදා මෙහෙයුම් හේතුවෙන් වූ අතර ඉතිරිය, ඊශ්‍රායල පදිංචිකරුවන් විසින් සිදු කළ හිංසනයන් සහ භීෂණකාරී ක්‍රියා හේතුවෙනි.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
12/27/2025
මුලාශ්‍රය :
Israeli reservist rams vehicle into Palestinian man praying in West Bank







