මැලේසියාවේ හිටපු අගමැති නජිබ් රසාක් තවත් වසර 15කට සිර ගත කෙරේ. එරට අධිකරණයක් විසින් ඊයේ (26) එම තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර බලය අවභාවිතා කිරීම සහ මුදල් විශුද්ධිකරණ චෝදනාවනට හිටපු අග්‍රාමාත්‍යවරයාට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8ක දඩයක් ද නියම කළේය.
සිය ධුර සමයේ සිදු කරන ලදැයි පැවසෙන ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක මුදල් වංචාවක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරදකරු වූ රසාක් හට 2022 දී වසර 12 ක සිර දඬුවම් නියම විය. හිටපු රජු ගේ සභාපතිත්වයෙන් යුත් සමා මණ්ඩලයක දී, පසු ගිය වසරේ එම දඬුවම වසර හයකට ලිහිල් කෙරිණි.
රජු විසින් එම දඬුවම, "නිවාස අඩස්සියට පත් කරන ලෙස" දන්වා අතුරු නියෝගයක් ද නිකුත් කළ බව රසාක් උදක්ම කියා සිටියේය. එම ලිඛිත නියෝගය රජය සතුව පවතින බවට සහතික කර, එහි අන්තගතය බලාත්මක කරන ලෙස නියෝග කරන මෙන්, ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම අතුරු නියෝගය සම්බන්ධයෙන් පවතින නීතිමය ගැටළු හේතුවෙන් එය නෛතිකව බලාත්මක කළ නොහැකි බව, රසාක් ගේ ඉල්ලීම සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශ කරමින් ක්වාලා ලම්පූර් මහාධිකරණය මීට පෙර කියා සිටියේය.
ඊට එරෙහිව හිටපු අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් අභියාචනා ගොනු කරන බව ඔහුගේ නීතිඥයෝ ප්‍රකාශ කළහ. ඒ සම්බන්ධ නව තීන්දුව ප්‍රකාශ කෙරුනේ ඉන් අනතුරුවය.

රසාක් විසින් සිය ධුර කාලයේ, මැලේසියාවේ උපාය මාර්ගික සංවර්ධන අරමුදල වූ 1MDB රාජ්‍ය ගිණුමෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5කට අධික මුදලක් අවභාවිත කළ බවට, එක්සත් ජනපද විමර්ශනයකදී අනාවරණය විය. ඒ යටතේ ඔහුගේ නමට ඇමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අයථා ලෙස ගිණුම් ගතව ඇතැයි ද හෙළි විය.
අධිකරණයකින් වරදකරුව සිර දඬුවම් නියම වූ මැලේසියාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ඔහු ය. මේ වන විට විට ඔහු ගේ වයස අවුරුදු 72කි.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Malaysia ex-PM Najib Razak jailed for 15 more years in 1MDB saga's biggest trial







