ඉරානයේ උද්ගතව ඇති ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් එරට උත්තරීතර නායක, අලි ඛමෙනි රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ජාතිය ඇමතීමට නියමිතය.
මහජනතාවට මුහුණපෑමට සිදු වී ඇති ආර්ථික දුෂ්කරතා මුල් කර ගෙන මේ වන විටත්, රට පුරා දැවැන්ත ජන උද්ඝෝෂණ හට ගෙන තිබේ.
ඊයේ (8) රට පුරා අන්තර්ජාල බිඳ වැටීම් වාර්තා විය. එම තත්ත්වය අද (9) වන විට ද නොවෙනස්ව පවතී. 1979 ඉස්ලාමීය විප්ලවයෙන් පෙරලා දැමුණු අවසන් ඉරාන අධිරාජයා වූ, මොහම්මද් රෙසා පහ්ලවී ගේ පිටුවහල් කෙරුණු පුත් රෙසා පහ්ලවී විසින් රජයට එරෙහි මහජන උද්ඝෝෂණ කැඳවා ඇත.
එරට භාවිත රියාල් මුදල් ඒකකය දින දින කඩා වැටීමත් සමග වෙළඳ ප්‍රජාව ඉමහත් කෝපයට පත්ව රජයට එරෙහි උද්ඝෝෂණයට පිවිසියහ. වත්මන, ඊට තවත් පිරිස් ද එක්ව සිටිති. තරුණ කොටස් ඒ අතර ප්‍රමුඛ වේ. 2022 - 23 වකවානුවේ ජන අරගල වලදී මෙන් නොව, මෙවර කාන්තා සහභාගිත්වයේ අඩුවක් ඇතැයි, රොයිටර්ස් පුවත් සේවය පවසයි.
මෙවර උද්ඝෝෂණ හමුවේ විරෝධතාකරුවන් 34ක් සහ ආරක්ෂක නිලධාරීන් සිව් දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි, එක්සත් ජනපදයේ සිට ක්‍රියාත්මක මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි. රජය විසින් පුද්ගලයින් 2,200ක් අත්අඩංගුවට ගෙන තිබේ.
පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් උද්ගත ජන අරගල සාධාරණීකරණය කර, විරෝධතාකරුවන් සාකච්ඡා මේසයට කැඳවන මුවාවෙන් රජය ඔවුන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන බව උද්ඝෝෂකයෝ චෝදනා කරති.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
1/9/2026
(
මුලාශ්‍රය :
Iran's Supreme Leader to give speech about protests shortly, state TV says







