leader s

අරගලයට දෙමළු එන්නැත්තේ ඇයි ? ඒක සෘජු පිලිතුරක් දෙන්න පුළුවන් ලේසි පහසු ප්‍රශ්නයක් නෙවෙයි.



එකක් අමතක කරන්න එපා. ඒ තමයි අරගල භූමියට එන දෙමළු, මුස්ලිම් සහෝදර සහෝදරියන් වාගේ තමන්ටම අනන්‍ය ඇදුමින් සැරසිලා එන්නේ නැති නිසා, එක එල්ලේ අඳුනාගන්න අමාරැයි.

දෙවැනි කාරණේ තමයි කසිකබල් යුද්දේ නිසා අවුරුදු තිහක් විඳපු දුක් කරදර මතක් වෙනකොට බැරියර් පහුකරන්න පුංචි චකිතයක් තියෙනවා.

ඒ කාලේ අපි පොට්ටුවක් තියන්න බය වුනා. වේට්ටියක් අඳින්න බය වුනා. කොටින්ම පාරට බහින්න බය වුනා.

ඒ දවස්වල චෙක් පොයින්ට් ළඟදි, සුගන්ධි, මීණාක්ෂි, වාසුදේවන් සහ විෂ්ණු විතරක් නෙවෙයි, රාසපුත්‍ර, චන්ද්රවංශ, වීරමුණ්ඩි, ක්‍රිෂ්ණරත්න වාගේ දමිළ නම් අහලින් ගිය මහා ජාතියට නෑකම් කියූ අයවළුන්වත් ප්‍රශ්න කිරීම්වලට ලක්වුනා.

යුද්ධය උත්සන්න කාලේ මං කොළඹ විජේරාම පාරේ කන්තෝරුවක සේවය කළා. දවසක් මං බෞද්ධාලෝක මාවතෙන් බස් එකෙන් බැහැලා විජේරාම පාර දිගේ පහලට ඇවිදිනවා. හරියටම සම්බෝධි විහාර හන්දියේ රැකවල්ලා සිටි හමුදා සොල්දාදුවෝ මහා හයියෙන් කෑගහලා මට නතර වෙන්න කිව්වා. මං හිටි තැනම ගල් වුනා. දැං සොල්ලාදු උන්නැහේලත් මමත් අතර පරතරය මීටර් දහයක් විතර ඇති.

මං ඇඳලා හිටියේ කළුපාට ටී ෂර්ට් එකක්. මා දෙසට දිගුකළ ටී 56 ආයුධ සහිත ඔවුන් මට මගේ උඩුකය නිරැවත් කරන ලෙස ගෝරනාඩු කළා. මං හොඳටම බය වුනා. මගේ අතේ තිබුනු කෑම පෙට්ටිය සහිත ඔෆිස් මල්ල බිමින් තියලා දෙනෝදහක් ගමන් කරන ප්‍රධාන හන්දියක මං මගේ ටී ෂර්ට් එක ගැලෙව්වා. එක අතකින් ටී ෂර්ට් එක ගුලි කරගෙන මගේ නිර්දෝශී බව පෙන්වන්න මං අත්දෙකම ඉස්සුවා.

එතකොටයි ඒ තරුණ සොල්දාදුවන් මා අසලට ආවේ. ඒත් බයෙන් සැකෙන් මං දෙසට තුවක්කු අමෝරාගෙන. ඔවුන් මගේ අයිඩෙන්ටිය පරීක්ෂා කරන අතරේ මං ඇහුවා "ඇයි පුතා මොකක්ද ප්‍රශ්නේ" කියලා. එතකොටයි කිව්වේ බඩේ බෝම්බ බැඳගත්තු කළු කොටි කොළඹට ඇවිත් ඉන්නවා කියලා ආරංචියක් තියෙනවා කියලා. මා කළ වරද : කළු ටී ෂර්ට් එකක් ඇඳ සිටීම.

යාපනේ මිනිස්සුන්ගේ හිත්වලින් නම් කොහොමටවත් කටුක යුද්ධයේ භ්‍රාන්තිය නික්ම ගොස් නැහැ.

මගේ සමහර යාපනේ මිතුරන් මගෙන් අහනවා "උතුරු  නැගෙනහිර අපි අවුරුදු තිහක්ම ලයිට්, ගෑස්, කිරිපිටි, වියලි ආහාර විතරක් නෙවෙයි ඩීසල් පැට්රල් තියා ලාම්පු තෙල් ටිකක්, බැටරි කෑල්ලක්, පැනඩෝල් පෙත්තක්වත් නැතිව හිටියා. ඉඳින් මේක මොන කජ්ජක්ද" කියා.

 

සමහරු මගේ කන් දෙක පසාරු වෙන ප්‍රශ්න අහනවා. "අදටත් අපි මොන තරම් මර්ධනයක් යටතේද ජීවත් වෙන්නේ. පොලීසිය හමුදාව දෙගොල්ලම අපි කියන දේ තුට්ටුවකට මායිමි කරන්නෑ. කොල්ල කාපු අපේ ඉඩකඩම් තාම පවරලා නැහැ. අපේ තරුණ ළමයි මොන තරම් අසාධාරණ විදියට අත්අඩංගුවට ගන්නවාද? අපේ ළමයි කී දෙනෙක් නං අතුරුදහන් වෙලා තියෙනවාද? මේ ඉතා මෑත, අපේ මැරිච්ච දරුවන් වෙනුවෙන් පහන් පත්තු කළා කියලා අපි මොන තරම් අඩන්තේට්ටම් වලට මුහුණ දුන්නාද"

 

මේ ප්‍රශ්න ඉදිරියේ මම නිරුත්තරයි. කාට හරි පුළුවන්නං උත්තර දෙන්න.

ඔවුන් තවමත් හිතාගෙන ඉන්නේ සිංහල මිනිස්සු එළියට බැහැලා උද්ඝෝෂනය කරලා අහුවුනාට, දෙමළ මිනිහෙක් අහුවුනොත් බේරිලා යන්න ලේසි නැහැ කියලා. අනෙක් ප්‍රධානම හේතුව තමයි ද්‍රවිඩ පක්ෂවල හැසිරීම. ඒකත් ඒ අයට හරි හරියට බලපාලා තියෙනවා.

මගේ කොළඹ මිතුරන්ගේ ප්‍රශ්නය සරළයි. ඇයි දෙමළු එළියට එන්නේ නැත්තේ කියලා. ඒ වුනත් ඒ ප්‍රශ්නයට උත්තරය සංකීර්ණයි. ක්ෂණිව අඳුනාගන්න බැරිකම මිසක් අරගල භූමියට සිය ගනනින් දෙමළ සහෝදර සහෝදරියන් එනවා. සමහරු කෑම බීමත් හදාගෙන ඇවිත් බෙදනවා. මං දන්නා නඩරාජලා, වීරසිංම්ලා, පරමේෂ්වරීලා නුවර, නුවරඑළිය, මඩකලපුවේ ඉඳලා ආවා. දවස් දෙක තුන අරගල භූමියේ ගතකළා. දැන් ටික ටික හැව ඇරෙනවා.

පුළුවන්නම් ගෝටා ගෝ ගමක් යාපනෙත් හදලා දෙන්න. ඔවුන් ඔබව කරඬුවක් ඇතුලේ තැන්පත් කළ ධාතූන්වහන්සේලා වාගේ රැකගන්නවා ස්ථිරයි. ඔබේ දෑත් උතුරු නැගෙනහිරට දිගු කළොත් ඔවුන් මේ මහා ප්‍රවාහයට එක්වෙන දවස ළඟ ළඟම එයි.


අරගලයට ජය #GoHomeGota2022

 
Vishnu Vasu

(විෂ්ණු වාසු)
2022 අප්‍රේල් 26 වෙනිදා


සබැඳි පුවත් :


බඩු මිළ අඩු උනත් 'දෙමළ ජනතා සටන නිම වන්නේ නෑ'

ආක්‍රමණික කොඩියක් යට ‘දෙමළ ජනතාවට සටනට එන්න බෑ’

'දෙමළ විරෝධී යුද්ධයට රටින් ගත් ණය නිසා' අද රට අර්බුදයේ

දේශපාලන අර්බුදය විසඳීමට දෙමළ පක්ෂ 06කින් යෝජනා
 
 

නිර්පාක්ෂික ජන අරගලයට සහය පලකිරීමේ අරමුණින් යුතුව සංවිධානය කළ සත්‍යක්‍රියාවේ ප්‍රකාශිත සම්මුතියේ යෝජනා 15
 
.

 

Leader Whats app

 

 

 



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්