BREAKING
Top Ad
ආලින්දයෙන් ඔබ්බට

‘‘තණමල්විල කොල්ලෙක්’’ අමුතු ජීවියෙක් ද...? -ජයසිරි අලවත්ත

T

The Leader

March 12, 2021 • 10:17 PM

‘‘තණමල්විල කොල්ලෙක්’’ අමුතු ජීවියෙක් ද...? -ජයසිරි අලවත්ත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරටේ ඇතැම් ගමක හෝ නගරයක නමක් (මෙය ලංකාවට පමණක් නොව ලොව වෙනත් රටවල පිහිටි නගර සහ ගම්වලට ද සාපේක්ෂ වන්නට පිළිවන) පැවසූ සැණින් එම ගමට හෝ නගරයට අදාළ චිත්ත රූපයක් ගමේ නම අසන පුද්ගලයාගේ මනසේ සිතුවම් වනු නොඅනුමාන ය.
  •   උදාහරණයක් ලෙස ගතහොත් පුත්තලම යන නම ඇසූ සැණින් ම ලුණු සිහිපත් වේ.
  •   මේ සියලු නම් අතර ‘‘තණමල්විල’’ යන නම ඇසූ සැණින් රට-තොට පිළිබඳ අවබෝධයක් ඇති ඕනෑ ම පුද්ගලයකුගේ මනසට නැගෙන සිතුවිල්ල කෙබඳු ද යන්න වෙසෙසින් සඳහන් කළ යුතු නොවේ.
  •   මේ මොහොත වන විට  මෙම ලිපිය කියවන පාඨක ප්‍රජාව මෙවන් අදහසක් මතු කරන බව නිසැක ය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
ඒ ඇතැම් ගමක් හෝ නගරයක් පිළිබඳ චිත්ත රූපය ධනාත්මක වන අතර ඇතැම් ගමක් හෝ නගරයක් පිළිබඳ චිත්ත රූපය ඍණාත්මක ය.
 
උදාහරණයක් ලෙස ගතහොත් පුත්තලම යන නම ඇසූ සැණින් ම ලුණු සිහිපත් වේ. අඹේවෙල යන නම ඇසූ සැණින් කිරි පිටි සිහිපත්වේ. මේ නම් ධනාත්මක වන අතර හලාවත හෝ නාත්තණ්ඩිය යන නම් ඇසු පමණින් හෝ මහියංගනය හෝ බින්තැන්න යන නම් ඇසූ පමණින් මනසට නැගෙන්නේ ඍණාත්මක සිතුවිල්ලකි. 
 
තවත් පසෙකින් මුල්කිරිගල හෝ දඹුල්ල යන නම් ඇසූ පමණින් මනසට නැගෙන්නේ වෙනත් ම සිතුවිල්ලකි. එමෙන් ම කොස්ගොඩ, බලපිටිය යනාදි ගම්වල නම් ඇසු සැණින් මනසට නැගෙන්නේ යට කී ගම්වල නම් ඇසුවාට වඩා බෙහෙවින් ම වෙනස් සිතුවිල්ලකි. 
 
ඇතැම් විට ඒ ඒ අදාළ ප්‍රදේශවල නම්වලට අනුව ඒ ඒ ප්‍රදේශවල වෙසෙන මිනිසුන්ගේ: රැකියාව, ගති සිරිත්, උගත් නූගත්භාවය පිළිබඳ විවිධාකාරයේ සංකල්ප රූප ගොන්නක් ලාංකීය ප්‍රජාවගේ මනසේ තැන්පත්ව තිබේ. 
 
ඒ අනුව කිසියම් පුද්ගලයකුට අපහාසයක් කිරීමට, උපහාසයට ලක් කිරීමට, සමාජ පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට ද ගමේ හෝ නගරයේ නම භාවිත කෙරේ.
 
මේ සියලු නම් අතර ‘‘තණමල්විල’’ යන නම ඇසූ සැණින් රට-තොට පිළිබඳ අවබෝධයක් ඇති ඕනෑ ම පුද්ගලයකුගේ මනසට නැගෙන සිතුවිල්ල කෙබඳු ද යන්න වෙසෙසින් සඳහන් කළ යුතු නොවේ. එනම් එකී නම් ලාංකීය මිනිස් සන්තාන තුළ තැන්පත්ව පවතින්නේ ඍණාත්මක මෙන් ම යම් පමණකට සමස්ත සමාජයෙන් වියුක්ත කෙරෙන ග්‍රාම නාමයක් ලෙසිනි. 
 
ඒ අනුව අදාළ ප්‍රදේශයේ වෙසෙන මිනිස්සු පිළිබඳව ද වෙනස් ම වූ චිත්ත රූපයක් අනෙක් මිනිසුන්ගේ මනසේ තැන්පත්වීම වැළැක්විය නොහැකි ය. 
 
එබඳු සමාජ වියුක්තභාවයකට ලක්වූ ග්‍රාම නාමයක් රූපවාහිනී මාලා නාටකයක් සඳහා යෙදාගැනීම තුළින් අදාළ නාට්‍යයේ තිර රචකයාගේ සිට අධ්‍යක්ෂවරයා දක්වා වූ සියලු දෙනා බලාපොරොත්තු වන්නේ කුමක් ද...? එබඳු ග්‍රාම නාමයක් සහිත රූපවාහිනී මාලා නාටකයක් නරඹන ප්‍රේක්ෂක ප්‍රජාව බලාපොරොත්තු වන්නේ කුමක් ද...?
 
මගේ අදහසට අනුව නම්, තිර රචකයාගේ සිට අධ්‍යක්ෂකවරයා දක්වා වූ නාට්‍ය කණ්ඩායම බලාපොරොත්තු වන්නේ අදාළ ගමෙන් බැහැරව වෙසෙන ප්‍රේක්ෂක ප්‍රජාව ‘‘තණමල්විල’’ ප්‍රජාව යනු කෙබඳු ප්‍රජාවක් ද යන්න පිළිබඳ සමස්තයක් වශයෙන් පවතින සංකල්පය යථාවාදි ලෙස ම දකින්නට අදාළ රුපවාහිනී නාට්‍ය නරඹාවි යන්න ය. 
 
තණමල්විල ග්‍රාමයෙන් බාහිර ප්‍රේක්ෂක ප්‍රජාව පමණක් නොව එකී ග්‍රාමයේ ප්‍රේක්ෂක ප්‍රජාව පවා බලාපොරොත්තු වන්නේ ‘‘තණමල්විල’’ නමැති ග්‍රාම නාමයට සාපේක්ෂව එ’ගම වෙසෙනා ප්‍රජාවගේ යථා තත්ත්වය තථාභූතාකාරයෙන් ම නැරඹිය හැකි ය යන්න ය. 
 
එය හුදෙක් සාමාන්‍ය ගමක වෙසෙන ප්‍රජාව පිළිබඳ විත්ති නරඹනවාට වඩා සුවිශේෂ ය. මන්ද අදාළ ග්‍රාම නාමය සමග ම එ’ගම කෙරෙහි සමාජයේ පවතින සංකල්පය සුවිසෙස් බැවිනි. නමුදු එ’ගම වෙසෙන ප්‍රජාවගේ තත්ත්වය මෙරට පවත්නා අනෙකුත් ගම්වල වෙසෙන ප්‍රජාවගේ තත්ත්වයට වඩා සුවිශේෂ ද? නැත... කිසි සේත් ම නැත. එ’ගම වැසියෝ ද පීඩා විඳින්නේ මෙරට පවත්නා බහුතරයක් වූ ග්‍රාමීය ප්‍රජාව විඳිනා අනේක විධ සමාජ සහ ආර්ථික පීඩාවලින් ම ය.
 

  
එසේ නම් රුපවාහිනී නාට්‍ය තිර රචකයකු තම තිර රචනය ‘‘තණමල්විල කොල්ලෙක්’’ යනුවෙන් නාමකරණය කරන්නේ ඇයි...? දක්ෂ මෙන් ම ජනප්‍රිය නළුවකු සිය කුලුඳුල් රුපවාහිනී නාට්‍ය අධ්‍යක්ෂණය ලෙස ‘‘තණමල්විල කොල්ලෙක්’’ නමැති තිර රචනය තෝරාගන්නේ ඇයි? 
 
එසේත් නොවේ නම් අදාළ තිර රචනය ‘‘තණමල්විල කොල්ලෙක්’’ යනුවෙන් නාමකරණය කර සමාජ ගතකරන්නේ ඇයි...? 
 
මේ ප්‍රශ්න ද්විත්වයට ම පොදු පිළිතුර යට සඳහන් කර ඇති බැවින් එය යළි යළිත් නොලියමි. 
 
එහෙත් තිර රචකයාගේ සිට අධ්‍යක්ෂවරයා දක්වා වූ පිරිස ප්‍රේක්ෂක ප්‍රජාව රැවටූ ආකාරයත්, ප්‍රේක්ෂක ප්‍රජාව ද රැවටුණු ආකාරයත් පිළිබඳව ලිවිය යුතු ය. 
 
ඒ අන් කිසිවක් නිසා නොව ‘‘තණමල්විල’’ නමැති ග්‍රාම නාමය ගණිකා වෘත්තියේ යෙදවූ බැවිනි. 
 
එකී ගණිකාවගේ පහස පතන්නට මෙරට වෙසෙන කෑදර ප්‍රේක්ෂක ප්‍රජාව ද සැදී පැහැදි සිටි බැවිනි. සැබැවින් ම මේ සියල්ල ම අදාළ ග්‍රාමයේ වෙසෙන පීඩිත ප්‍රජාව තව තවත් පීඩනයට පත්කිරීමකි; ඔවුන් කෙරෙහි සමාජයේ පවත්නා ඍණාත්මක සංකල්පය වඩ වඩාත් වර්ධනය කිරිමකි.
 
මේ මොහොත වන විට  මෙම ලිපිය කියවන පාඨක ප්‍රජාව මෙවන් අදහසක් මතු කරන බව නිසැක ය. එනම් ‘‘කලක සිට විකාශනය වූ සහ එවකට ද විකාශනය වෙමින් පැවති (බොහෝ රුපවාහිනි නාට්‍ය ප්‍රමාණයකට සාපේක්ෂව) අවර ගණයේ නාට්‍යට වඩා ‘තණමල්විල කොල්ලෙක්’ හොඳයි’’ යන්න ය. එය අසත්‍යයක් නොවේ. 
 
නමුදු එසේ වූ පමණින් ම ‘‘තණමල්විල කොල්ලෙක්’’ විශිෂ්ට ගණයේ රූපවාහිනී නාට්‍යයක් ලෙස අර්ථ ගැන්විය හැකි ද? 
 
 එම නාට්‍ය තුළින් ප්‍රේක්ෂක ප්‍රජාව වෙත ලබා දුන් නවමු අත්දැකීම් කවරේ ද? ‘‘කඩුල්ල’’, ‘‘දණ්ඩේළූ ගිනි’’, ‘‘වනස්පති’’, ‘‘නාඳුනන පුත්තු’’, ‘‘කම්පිත විල්’’, ‘‘බෝගල සවුන්දිරිස්’’, ‘‘ඇල්ල ළඟ වලව්ව’’ යනාදි රුපවාහිනී නාට්‍ය තුළින් ලබාදුන් වින්දනය අසලකට හෝ ළඟා වීමට ‘‘තණමල්විල කොල්ලෙක්’’ සමත්වී ද? 
 
මගේ අදහසට අනුව යට කී ටෙලිනාට්‍ය කිහිපය මතු නොව තවත් එබඳු බොහෝ රුපවාහිනී නාට්‍ය සමග සසඳන විට ‘‘තණමල්විල කොල්ලෙක්’’ යනු පෙර සඳහන් කළ පරිදි හුදෙක් ‘‘තණමල්විල’’ නමැති ග්‍රාම නාමය ගණිකා වෘත්තියේ යෙදවීම සහ එකී ග්‍රාම නාමය වෙළෙඳපළකරණයට ලක් කිරීමක් පමණි.
 thanamalvila kollek 2
 දීප්ත යනු ‘‘මාර පොරක්’’ ලෙස නාමකරණය කිරීම ද ව්‍යාජයක් පමණි.
 
 
 
තවත් පසෙකින් ගත් විට දීප්ත යනු ‘‘මාර පොරක්’’ ලෙස නාමකරණය කිරීම ද ව්‍යාජයක් පමණි. 
 
එහි දී යශෝධරා හරහා දීප්තට ‘‘ගම්පෙරළිය’’ නවකතාව කියවීමට සැලැස්වීම ද ගතානුගතික ස්වභාවයකි. මන්ද ‘‘ගම්පෙරළිය’’ යනු කාලයට සාපේක්ෂව යම් ධනාත්මක ලකුණු පළ කළ ‘කතාවක්’ වුව ද නූතන නවකතාවට සාපේක්ෂව ගත් විට එය ‘‘නවකතාවක්’’ ලෙස හැඳින්විය නොහැකි ය. 
 
මගේ කියවීමට අනුව නම් ‘‘ගම්පෙරළිය’’ යනු එක්තරා ආකාරයකට මෙරට ඓතිහාසික යුග පෙරළිය සනිටුහන් කෙරෙන ඓතිහාසික කතන්දරයකි. එය ඩබ්ලියු. ඒ. සිල්වාගේ ඓතිහාසික කතාන්දර කලාවෙන් වෙනස් වන්නේ රාජාණ්ඩු සමයෙන් ඉක්බිති පැවති යුගය නියෝජනය කිරීමෙන් පමණි. 
 
එවන් කතාවක් ‘‘තණමල්විල කොල්ලාට’’ කියවීමට දීම තුළින් විදහා දැක්වෙන්නේ තිර රචකයාගේ අපරණිතභාවය යි; ඔහුට ද ගම්පෙරළියෙන් ඔබ්බට ගමන් කිරීමේ ඇති නොහැකියාව යි; නුතන නවකතාව පිළිබඳ තිර රචකයා සතුව පවත්නා නොදැනුවත්භාවය යි.
 
‘‘මේ කතාව අපි හැම කෙනෙකුගේම හදවතට තට්ටු කර අපේ ජීවිත වල අප්‍රකාශිත පරිච්ඡේද බොහොමයක් විවර කර ඇත... එයට හේතුව එම නිර්මාණයේ ඇති යථාර්ථමය ස්වරූපයයි...ලංකාවේ දේශපාලන හා සමාජ ක්‍රමයේ ගොදුරු බවට පත්ව, තුරුණු හීන හඹා යනු බැරිව අතරමං වන අහිංසක තාරුණ්‍ය, ඔබත් මමත් නියෝජනය කරමින් දීප්තලා, පතෝලයලා, කිතුලලා, කූරලා, ජගාල, දම්මිලා, සුලෝලා මානව නිරුපනය කලෝය... එය ඔබ අප කාගේත් ජීවිතවල යම් යම් අවධි අපටම පෙන්වා දෙන අපුර්ව කැඩපතකි.’’
 
යට උපුටා දැක්වූයේ ‘කැනඩාවේ කොළඹ කෙල්ලෙක්......’ හෙවත් ‘kalhari bandara gunawardana’ නමැති පාඨකාව ‘‘තණමල්විල කොල්ලෙක්’’ රුපවාහිනී නාට්‍ය පිළිබඳ ලියා තිබූ සටහනක කොටසකි.
 
 එහි දී ඇය සඳහන් කරන ‘‘මේ කතාව අපි හැම කෙනෙකුගේම හදවතට තට්ටු කර අපේ ජීවිත වල අප්‍රකාශිත පරිච්ඡේද බොහොමයක් විවර කර ඇත... ’’ යන්න ම පවා කෙතෙරම් නම් සාවද්‍යය ද? ‘දීප්තලා, පතෝලයලා, කිතුලලා, කූරලා, ජගාල, දම්මිලා, සුලෝලා’ අපට හමුවන්නේ ‘තණමල්විල’ දී පමණ ද? මෙම රුපවාහිනී නාට්‍යයට අමතර වෙනත් රුපවාහිනි නාට්‍ය තුළින් ද මෙකී සමාජ පසුබිම පිළිබඳව මෙන් ම මෙවන් චරිත පිළිබඳව සාකච්ඡාවට බඳුන් කර ඇත. 
 
වෙනසක් පවතින්නේ නම් මෙහි දී එකී සිදුවීම් සියල්ල ම ‘‘තණමල්විලට’’ පමණක් සීමා කිරීම ය. ඒ හැර ග්‍රාමීය ප්‍රජාවගේ මතු නොව රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත අභ්‍යන්තරයට රිංගා ඒවායේ සැඟව පවත්නා දුක්ඛිත තත්ත්වය මතුපිටට රැගෙන එන්නට තිර රචකයා අසමත්ව ඇත.
 
අනෙක් පසින් මෙහි දී තිර රචකයාගේ ඒකපාර්ශ්වියභාවය ද මැනවින් කැපී පෙනේ. උදාහරණයක් ලෙස ගතහොත් යුද්ධය සහ එමගින් පීඩාවට පත්වන පාර්ශ්වය ලෙස තිර රචකයා හඳුනාගන්නේ සහ හඳුන්වා දෙන්නේ: ග්‍රාමීය, පීඩිත, සිංහල, බෞද්ධ ජනතාව පමණක් ය යන්න ය. 
 
යුද්ධයෙන් අවතැන් වූ සියලු පුද්ගලයෝ ලාංකිකයෝ ය. එහෙත් තිර රචකයා එකී සාධකය කෙරෙහි අවධානය යොමු නොකරන්නට වගබලා ගනී. එය ඔහු හිතාමතාම කළා ද, එසේත් නොවේ නම් හුදෙක් සිංහල බෞද්ධයාගේ අවධානය සහ ‘‘රණ විරුවන්’’ ලෙස නාමකරණයට ලක්වූවන්ගේ අවධානය ලබාගැනීම පිණිස කළා ද යන්න අපැහැදිලි ය.
 
ඒ කෙසේ වුව ද ‘‘යුද්ධය’’ නමැති සාධකයේ දී තිර රචකයා ඵලය පෙන්වන අතර හේතුව සඟවයි. මන්ද ඵලය මෙන් ම හේතුව ද නීරස බව ඔහු වටහා නොගෙන ඇත. එසේත් නොවේ නම් වටහා ගත්ත ද නොවැටහුණු ලෙස සිටින්නේ ය. එය අහම්බයක් යැයි ද සිතිය නොහැකි ය. 
 
මන් ද ඔහු ඇතැම් අවස්ථාවල දී, ඇතැම් සිද්ධි සඳහා දේපාලකයන්ගේ සබඳතා ඉදිරිපත් කරයි. ඇතැම් සිද්ධි සඳහා ප්‍රාදේශීය දේශපාලනයේ මැදිහත්වීම කෙතරම් ද යන්න ඉදිරිපත් කරයි. ඒ දේශපාලනය වෙනුවෙන් ‘‘බිලි බෝයිලා’’ බවට පත්වෙන ප්‍රජාව කෙරෙහි අවධානය යොමු කරයි. 
 
නමුදු ප්‍රධාන ම ගැටලුව වූ යුද්ධය පිළිබඳ කාරණයේ දී ඒ වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරන්නේ යැයි බහුතර සිංහල බෞද්ධ ප්‍රජාව විශ්වාස කරන මතය ම වඩ වඩාත් තහවුරු කරන්නට වෙර දරයි. 
 
ඔහු එය වුවමනාවෙන් ම මගහරින බව සක් සුදක්සේ ම පැහැදිලි වන්නේ 87-89 භීෂණ යුගයේ සිය පුතුගේ අතුරුදන්වීම හේතුවෙන් මානසික ව්‍යාකුලත්වයට පත්වන පියාගේ චරිතය තුළින් එකල පැවති කෘරත්වය සහ එහි යටිපෙළ මැනවින් ප්‍රකට කරන්නට සමත්වීමෙනි. එහි දී ඔහු දැක්වු සමත්කම තිස් වසරක් පුරා පැවති යුද්ධය පිළිබිඹු කිරීමේ දී ඒකපාර්ශ්වීය බවක් උසුලන්නේ මන්ද?
 
දීප්තගේ පියා කෙතරම් දැහැමි ජීවිතයක් ගත කළ ද, හෙතෙම ටෙලිනාට්‍ය ආරම්භයේ සිට අවසානය දක්වා සිය සිතුවම් තුළින් ජීවිතයේ අනිත්‍යභාව ඉදිරිපත් කළ ද, සිය ලොකු පුතා මතු නොව කිතුලා ද මිනිස් ඝාතකයකු ලෙස හඳනා නොගන්නේ ය. 
 
එය කෙතරම් පරස්පර ද? එක් පසෙකින් බුදුන් වහන්සේගේ දහම තුළ පිහිටා සිටිමින්, උන්වහන්සේගේ උපතේ සිට පරිනිර්වානය දක්වා සියලු සිද්ධි සද්භාවයෙන් ම සිතුවමට නගමින් අනෙක් පසින් යුද්ධයට ආශිර්වාද කරන්නේ කෙසේ ද? 
 
කිතුලා යුද හමුදාවට බැඳීම සඳහා පිටත්ව යන මොහොතේ ලොක්කෙ අයියා කිතුලාට මුදලක් දී පවසන්නේ ‘‘ඔය සල්ලිවල කුණු ගැවිලා නෑ’’ යනුවෙනි. සැබැවි. ඒ සල්ලිවල කුණු ගෑවී නොතිබුණ ද ඇති තරම් මිනිස් ලේ ගැවී නොතිබේ ද? තිර රචකයා මේ සියල්ල මගහැර යන්නේ කුමන හේතුවක් මත ද?
 
කෙතරම් ජනප්‍රියතාවට පත් වුව ද සමස්ත නාට්‍ය දෙස අවධානය යොමු කිරීමේ දී මගේ නෙත සිත ගැටුණු ප්‍රශ්නකාරී අවස්ථා අතුරෙන් බරපතළ ලෙස ම මතුකළ යුතු පාර්ශව පිළිබද මෙවන් අදහස් ගොන්නක් ඉදිරිපත් කරන්නේ රොෂාන් රවින්ද්‍රගේ කුලුඳුල් රුපවාහිනි අධ්‍යක්ෂණය හෙළා දැකීමට නොවේ. 
 
 roshan ravindra
‘‘තණමල්විල කොල්ලෙක්’’ - අධ්‍යක්ෂ රොෂාන් රවින්ද්‍ර
 
 
මන් ද සමස්ත රූපවාහිනී නාට්‍ය පුරා ම නළු නිළියෝ සියලු දෙනා ම තම තමන්ගේ වගකීම මැනවින් ඉටු කර ඇත. අධ්‍යක්ෂවරයා පිටපත පිළිබඳ නැවත නැවතත් අවධාරණය යොමු නොකළ ද තමා අත පත් පිටපතට අසාධාරණයක් නොවන ආකාරයෙන් තමන්ගේ වගකීම ඉටු කර ඇත. 
 
එමෙන් ම කලකට පසු රුපවාහිනී නාට්‍යයක අන්තර්ගතවිය යුතු මනරම් සහ සුවිශේෂ සංගීත සංකලනයක් ශ්‍රවණය කිරීමට හැකිවීම පිළිබඳව දේශක සම්පත් සංගීත වේදියාට ප්‍රණාමය පුද කළ යුතු ය. 
 
එහෙත් සාම්ප්‍රදායික ලෙස ග්‍රාම නාමයක් අවතක්සේරු කිරීම සහ සමාජ දේශපාලන සන්දර්භයක් පිළිබද කෙරෙන රුපවාහිනි නාට්‍යයක දී පවතින සමාජ වටපිටාවේ එක් ගැටලුවක එක් පාර්ශ්වයක් පමණක් සාකච්ඡා කිරීම කෙතරම් දුරට සාධාරණ ද සහ සාර්ථක ද යන්න අපි විමසා බැලිය යුතු ය;
 
 මතුපිට රූප රාමු සහ දෙබස් ඛණ්ඩ දෙස පමණක් අවධානය යොමු කරමින් ‘‘තණමල්විල කොල්ලෙක්’’ ඔසවාගෙන යාම කෙතරම් දුරට සුදුසු ද යන්න ප්‍රේක්ෂක ප්‍රජාව නැවත නැවතත් අවධානය යොමු කළ යුතු ය.
 
 
Jayasiri Alawaththa(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක 
 
2021/03/12  
  
 
 
ජයසිරිගේ කලා විචාර කිහිපයක් පහතින් :
 
 
 
 
 
 

 

 

 


 

 

 

 

චන්ද්‍රිකාට-මහින්දට ඇති - ගෝඨට-සජිත්ට නැති එකක් ගැන චින්තන කියයි

 

සමාජ මතවාදය තේරුම් නොගන්නා කිසිම ආණ්ඩුවකට ගමනක් නැත. - සුරේන් රාඝවන්

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...