‘‘කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්‌ඛාපදං සමාදියාමි’’


පංච ශීලයේ ද, අෂ්ට ශීලයේ ද තෙවන සිල් පදය ලෙස සඳහන්ව ඇති මෙම පාලි වැකියෙන් අරුත් ගැන්වෙන සරල සිංහල අරුත නම් ‘‘කාමයෙහි වරදවා හැසිරීමෙන් වළකිමි’’ යන්න ය. එවිට එකපැහැර ම අපේ මනසට නැගෙන්නේ කාමයෙහි වරදවා හැසිරීම යනු අනියම් (සම්මතයට අනුව) ලිංගික සබඳතාවක් පැවැත්වීම යන්න ය. නමදු වචනයේ පරිසමාප්ත අර්ථයෙන් නම් එහි අරුත එය නොවේ. එසේ නම් අප පළමුව ‘‘කාමය’’ යනු කුමක් ද යන්න විමසා බැලිය යුතු ය.

‘‘කාමය’’ යන්නෙහි අරුත්

 74035710 ajanta mural
කාමය - ආශාව; රූප ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන වස්තු කෙරෙහි ඇතිවන ආශාව, දැඩි ඇල්ම, තද ආශාව, රාගය, ආලය

සිරි ලියනගේ: බෞද්ධ ශබ්දකෝෂය (ප්‍රථම භාගය): සිවුවන මුද්‍රණය 2017: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය

කාම - කැමැත්ත; ආශාව; රාගය; රූප-ශබ්දාදි සතුටට හේතුවන දෙය

පොල්වත්තේ බුද්ධත්ත: පාලි - සිංහල අකාරාදිය: 2015 වසරේ මුද්‍රණය: එම්. ඩී. ගුණසේන සහ සමාගම

කාමය - 01. කැමැත්ත, ආශාව, පඤ්ච කාමය, රූප ශබ්දාදි වස්තු කාමය, කාම වස්තු කෙරෙහි ඇල්ම හෙවත් ක්ලේශ කාමය 02. මෛථුන සේවනයෙහි කැමැත්ත 03. සීනි 04. තුවරලා 05. තෝර නමැති පැළෑටිය

හරිශ්චන්ද්‍ර විජේතුංග: ප්‍රායෝගික සිංහල ශබ්ද කෝෂය: 1982: සංස්කෘති. කටයුතු පිළිබඳ අමාත්‍යංශය

කාමය - 01. කැමැත්ත, අභිලාෂය, රුචිය 02. රූප, ශබ්ද, රස, ස්පර්ශ, යනාදිය විෂයෙහි පවත්නා ආශාව; පස්කම් සැප කෙරෙහි වන ලොල් බව 03. දැඩි ආශාව, ආලය, රාගය 04. මෛථුනේච්ඡාව; සංසර්ගය කෙරෙහි පවත්නා දැඩි ඇල්ම

කේ. බී. ඒ. එඩ්මන්ඩ්: මහා සිංහල සාහිත්‍ය ශබ්දකෝෂය (ප්‍රථම භාගය): 2007: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ

කාම - ආසාව, කැමැත්ත, කැමති දේ, ආලය, අනංගයා, අඹ ගස, ආදරය, සම්භෝග රුචිය, පුරුෂාර්ථ හතරෙන් එකක්, කාමාසාව, ප්‍රද්‍යුම්න, අඹ වර්ගයක්, රිසි දේ, ශුක්‍ර, කෘෂ්ණ හා රූමන්ගේ පුතා (අනඟා), ඔහුගේ බිරිඳ රතී

පුවසති අලගියවන්න: සංස්කෘත ශබ්දකෝෂය: 2004: සූරිය ප්‍රකාශකයෝ

Master
කාම - කැමති වන්නා වූ මන වඩන්නා වූ රූප ශබ්දාදිය, වස්තුකාම ක්ලේශ කාමය; වස්තු කාම ක්ලේශ කාමයන් සේවනයෙහි කැමැත්ත; අනංගයා, ශුක්‍රයා, අනුමත කිරීම, සීනි

බොරලැස්ගමුවේ ශ්‍රී රේවත හිමි: ශබ්දාර්ථ රතනාකාරය හෙවත් සිංහල මහා අකාරාදිය: 2001 වසරේ මුද්‍රණය: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ

කාම - අනුදැනීමෙහි, ශුක්‍ර ධාතුව, අත්‍යර්ථය, කැමති විය යුත්ත,  අනුමතිය, කැමැත්ත, මනදොල වරය, මහදෙවියා, විෂ්ණු, බලදෙවයා, අනංගයා, කකාරය, මී අඹ ගස, දමනක වෘක්ෂය

වැලිවිටියේ සොරථ හිමි: සිංහලාර්ථ සහිත සංස්කෘතශබ්දාර්‍ණවය: ද්විථීය මුද්‍රණය 1999: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ

කාම - 01. රිසි කරනු ලබන රූප, ශබ්ද, ගන්ධ, රස ස්ප්‍රෂ්ටව්‍ය යන පස 02. කැමැත්ත, පඤ්චකාම වස්තුන්හි ආශාව

වැලිවිටියේ සෝරත හිමි: ශ්‍රී සුමංගල ශබ්දකෝෂය (ප්‍රථමභාගය): 2009 වසරේ මුද්‍රණය: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ

යට සඳහන් සියල්ල උපුටා දැක්වූයේ ‘‘කාම’’ හෙවත් ‘‘කාමය’’ යන වදනෙන් අරුත් ගැන්වෙන්නේ හුදු ලිංගික රුචිකත්වය පමණක් නොවේ ය යන්න ස්‍ඵුට කිරීම සඳහා ය. එසේ නම්, ‘‘කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්‌ඛාපදං සමාදියාමි’’ යනු හුදෙක් ලිංගික කාර්යයෙහි වරදවා හැසිරෙන්නේ නැත යන්න පමණක් අර්ථ නොගැන්වෙන බව දැන් පැහැදිලි ය.

එසේ නම් ‘‘කාමේසු මිච්ඡාචාරය’’ යනු කුමක් ද යන්න දැන් පැහැදිලි කරගත යුතුව ඇත.

කාමේසුමිච්ඡාචාරය - කාමයෙහි වරදවා හැසිරීමෙහි හෙවත් පස්කම් සැපෙහි වරදවා යෙදීමෙන් වැළකී සිටීම

සිරි ලියනගේ: බෞද්ධ ශබ්දකෝෂය (ප්‍රථම භාගය): සිවුවන මුද්‍රණය 2017: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය

‘‘කාමේසු මිච්ඡාචාරය’’ යනු...

 74018908 big sculpture

මෙහි දී ද ප්‍රත්‍යක්ෂ වන කරුණ වන්නේ ‘‘කාමේසු මිච්ඡාචාරය’’ යනු හුදෙක් ලිංගික කර්තව්‍ය උදෙසා පමණක් ම යෙදෙන පදයක් නොවේ ය යන්න ය. එමෙන් ම බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ‘‘කාමෙසුමිච්ඡාචාර සූත්‍රය’’ හෙවත් ‘‘කාමෙසුමිච්ඡාචාරසුත්ත’’ යෙහි අන්තර්ගත වන පරිදි කාමයෙහි වරදවා හැසිරීමෙන් නොමිදුණ අය බොහෝ ය. උන්වහන්සේ මෙම සුත්‍ර දේශනාව වදාරන්නේ ම මෙකී කරුණ වඩාත් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිසම ය. එහි දී ද කාමය යනු හුදෙක් ලිංගික ක්‍රියාව පමණක්ය යන්න කොතැනක හෝ සඳහන් නොවේ. එහෙත් බෞද්ධයන් වන අප ද ‘‘කාමය’’ යන්න හුදු ලිංගිකත්වය උදෙසා ම පමණක් යෙදෙන වදනක් ලෙස අරුත් ගන්වාගෙන ඇති බව තෙවන සිල් පදයෙන් පැහැදිලි ය.

පංච ශීලයෙහි සහ අෂ්ට ශීලයෙහි යෙදෙන මෙම ශික්ෂා පදය පාදක කරගනිමින් නිර්මිත කෙටි රූපවාහිනි නාටක මාලාවක් පසුගිය දිනවල විකාශනය කෙරිණ. එය නම් කර තිබුණේ ''HUMAN ERRORS'' (සිංහල නාට්‍ය සඳහා ඉංග්‍රීසි නම් යෙදීම මැතක සිට පැවත එන ප්‍රවණතාවකි. ඒ ඇයි ද යන්න අපැහැදිලි ය) යන මැයෙනි. මෙම වදන් යුගලෙහි සරල සිංහල අරුත වන්නේ ‘‘මානව දෝෂ’’ හෙවත් ‘‘මිනිස් වැරැදි’’ යන්න ය.

''HUMAN ERRORS'' යනු...
 
HR 1
 
මෙහි දී අප පළමුවෙන් ම විමසා බැලිය යුත්තේ ‘‘මානව දෝෂ’’ හෙවත් ‘‘මිනිස් වැරැදි’’ යැයි අප විසින් හඳුන්වනු ලබන සිදුවීම් සැබැවින් ම වැරැදි ද, එසේ වැරැදි නම් ඒ කුමන අරුතකින් ද යන්න ය.
 
යට සඳහන් කළ පරිදි ‘‘කාමය’’ යනු රුචිකත්වය යි. ඒ රුචිකත්වය කුමකට ද යන්න එහි අරුත් ගන්වා නැති බැවින් කුමන දේකට හෝ දැඩි රුචිකත්වයක් හෝ ලොල් බවක් දක්වන්නේ නම් එය වැරැදි රුචිකත්වයකි; කාමේසුමිච්ඡාචාරයකි. එනම්: එක් ජංගම දුරකතනයක් තිබිය දී තවත් ජංගම දුරකතනයකට රුචිකත්වයක් දැක්වීම, නිවසේ පොත් රාක්කවල කොතරම් පොත් පුරවා තිබුණ ද තව තවත් පොත් මිලදී ගැනීමට රුචිකත්වයක් ඇති වීම, අවශ්‍ය තරමට ඇඳුම් පැලඳුම් තිබිය දී වුව තව තවත් ඇඳුම් පැලඳුම් මිලදී ගැනීම, එක් දරුවකු හෝ දෙදෙනකු සිටිය දී තව තවත් දරුවන් කෙරෙහි ආසක්ත වීම, එක් පාවහන් යුවළක් තිබිය දී තව තවත් පාවහන් මිලදී ගැනීම, ඇතැම් ධන කුවේරයෝ එක් වාහනයක්, දෙකක් හෝ තුනක් පවා තිබිය දී තව තවත් වාහන මිලදී ගැනීම, පරම්පරා ගණනාවකට ජීවත්වීම සඳහා චංචල සහ නිශ්චල දේපළ සහ මුදල් තිබිය දී තව තවත් මුදල් සරි කිරීම සහ චංචල නිශ්චල දේපළ මිලදී ගැනීම යනාදිය අයත් වන්නේ දැඩි කාම ලෝලි නමැති තත්ත්වයට ය.
 
ඒ සියල්ල එසේ තිබිය දී: ආදර සබඳතා, පෙම් සබඳතා හෙවත් ලිංගික සබඳතා පමණක් පැවැත්විය යුත්තේ හෝ පැවතිය යුත්තේ එක් කාන්තාවක් සමග ය, එසේත් නැතිනම් එක් පුරුෂයකු සමග පමණ ය යන්න කෙතරම් දුරට සාධාරණ ද යන්න මිනිස් ජීවියකුට නොවැටහෙන්නේ ඇයි ද යන්න ගැටලුවකි.

අනියම් (යැයි සම්මත) සබඳතා සහ ජීවිත විනාශ
 
HR 2

අනියම් සබඳතා හේතුවෙන් ජීවිත එකක්, දෙකක්, තුනක් හෝ ඊටත් වැඩි ප්‍රමාණයක් විනාශ මුඛයට යන්නේ යැයි මෙහි දී කිසිවකු තර්කයක් මතු කළ හැකි ය. ඔවු... එසේ විය හැකි නොව බොහෝ දුරට සිදුවන්නේ එය යි. ඒ අන් කිසිවක් නිසා නොව තෘෂ්ණාව නිසාම නොවේ ද යන්න මම පෙරළා ප්‍රශ්න කරමි. යට සඳහන් කළ භාණ්ඩ සියල්ල අප මිලදී ගන්නේ හෝ පරිහරණය කරන්නේ ඒ කෙරෙහි ඇති තෘෂ්ණාව හේතුවෙනි. එබඳු මිනිස් ජීවින් හට ලිංගික තෘෂ්ණාව ද පැවතීම සහ අවශ්‍ය වීම අරුමයක් නොවේ. ගැටලුව වන්නේ එම ක්‍රියාවේ දී පමණක් ඔවුන් හුදු ආත්මාර්ථකාමී වීම නොවේ ද...? එම ආත්මාර්ථකාමිත්වය සමස්ත සමාජය පුරා ම හලා හල විසක් සේ සියලු මිනිස් ජීවින්ගේ මනස ආක්‍රමණය කර ඇති නිසා නොවේ ද...? 
 
සිග්මන් ෆ්‍රොයිඩ් නිවැරැදිව කියවාගන්නට සමත් වන්නේ නම් අනෙක් භාණ්ඩ සඳහා දක්වන රුචිකත්වය ගැහැනිය සහ පුරුෂයා කෙරෙහි ද වලංගු වන බව කිසිදු අසීරුවකින් තොරව වටහා ගත හැකි ය. නමුදු බොහෝ මිනිස් ජීවීන් මෙකී යථාර්ථය මගහැර යන්නට යත්න දරයි. මෙහි දී වඩාත් අසීරුතාවට පත්වන්නේ ගැහැනිය යි. ඒ කෙසේ ද යන්න වෙනම ම සාකච්ඡා කළ යුතු ය.

විශ්මය ම විශ්මය වූ කල...
 
hr 3
''HUMAN ERRORS'' ටෙලිනාටක මාලාව විකාශනය වන සමයේ ද, එය විකාශනය නිමාවීමෙන් අනතුරුව ද බොහෝ දෙනාගේ සාකච්ඡාවට බඳුන් වූයේ එබඳු නිර්මාණයක් විකාශනය කිරීම අගය කළ යුතු ය යන්න ය. සමස්ත නාටක මාලාව ම නරඹා අවසන් වීමෙන් ඉක්බිති මට හැඟී ගියේ එබඳු නාටක මාලාවක් විකාශනය වීම සම්බන්ධයෙන් අප විශ්මයට පත්විය යුත්තේ ඇයි ද යන්න ය. මගේ කියවීමට අනුව නම් එම නාටක මාලාවෙන් අපට කියාදුන් අපූරු යමක් නොමැත. අවසන එහි අර්ථය වන්නේ ස්ත්‍රි පුරුෂ අනියම් සබඳතා යනු මහා විනාශකාරී ක්‍රියාවකි ය යන්න ය.
 
නිර්මාණයට දායක වූ සියලු රංගන ශිල්පින් තමන්ගේ වගකීම නිසි ලෙස ඉටු කර ඇති බව සැබැවි. නමුදු එහි තිර රචකයා සහ අධ්‍යක්ෂකවරයා ප්‍රේක්ෂක සමාජයට ලබා දුන් නවමු අත්දැකීම කුමක් ද...? එය මා යට සඳහන් කළ පරිදි යළිත් පවසන්නේ නම් ස්ත්‍රී පුරුෂ අනියම් සබඳතා යනු මහා විනාශකාරි ක්‍රියාවකි. නමුදු සැබැවින් ම නිර්මාණකරණයේ දී අප පිවිසිය යුත්තේ දැනට පවතින නිරර්ථක ආකල්ප වර්ධනය කිරීම උදෙසා නොව එකි ආකල්පවලින් බැහැරව සිතීමට මිනිස් සිත පෙලඹවීම සඳහා ය. නමුදු ''HUMAN ERRORS'' නිර්මාණය තුළින් එබන්දක් සිදුවුවා යැයි මට නම් කිසි සේත් ම නොහැඟිණ. එම නිර්මාණය විසින් කරනු ලැබූයේ පවතින ආකල්පය ම තව දුරටත් වර්ධනය කිරීම ය.
ඉදින් පවතින නිරර්ථක ආකල්ප වර්ධනය කරන්නට ස්වාධීන රුපවාහිනිය දායක විය යුතු ද...? නවමු මාර්ගයකට පිවිසෙන්නේ නම් අදාළ ආයතන විසින් කළ යුත්තේ නිරර්ථක ආකල්ප සංවර්ධනය කිරීම නොව එහි නිර්ථක භාවය ඔප්නැංවෙන ආකාරයේ නිර්මාණ සඳහා අවකාශ සැලසී ම ය; අර්ථවත්, නවමු නිෂ්පාදන ප්‍රේක්ෂක ප්‍රජාව වෙත සම්මුඛ කරවීම ය. ''HUMAN ERRORS'' නාටක මාලාව තුළින් එවැන්නක් සිදුවූවා යැයි මට නොහැ‍ඟේ. එතුළින් සිදු වූයේ අනියම් යැයි සම්මත ස්ත්‍රි පුරුෂ සබඳතා පිළිබද පවතින සමාජ ආකල්ප තව දුරටත් වර්ධනය කීරිම පමණි.
 
hr 4
 
තවත් සරලව පවසන්නේ නම් තෙවන සිල්පදය තව දුරටත් තහවුරු කිරිම පමණි. නමුදු සිදුවිය යුත්තේ ලිංගික තෘෂ්ණාව ද අනෙකුත් බහු භාණ්ඩික තෘෂ්ණාව හා සමගාමි තෘෂ්ණාවක් ම වන හෙයින් එකී තෘෂ්ණාව මැඩපවත්වාගන්නැයි බල කිරීම නොව හැකි නම් ඒ සඳහා ඉඩ-කඩ විවර වන ආකාරයේ ආකල්ප සමාජ ගතකිරීම ය. එසේ නොවන තාක් අනෙකාගේ ආසාව හෝ කැමැත්ත යනු අසම්මත ක්‍රියාවක් ය යන මතය තව දුරටත් සමාජය තුළ පවතී. එහෙත් එකි ආසාව ප්‍රහීණ නොවන බව අප අවබෝධ කරගත යුතු ය; ඒ සඳහා මුහුණ දීමට හැකි මානසික තත්ත්වයකට මිනිසා පත් කළ යුතු ය.
 


jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2023/07/23

ආලින්දයෙන් ඔබ්බට පසුගිය ලිපි :

ආලින්දයෙන් ඔබ්බට (16) : කාන්තා ශක්තිය උරගා බලන 'චන්දෝලි'- (ජයසිරි අලවත්ත)

ආලින්දයෙන් ඔබ්බට (15) : දේශපාලන භූමියේ නරුමත්වය පිළිබිඹු කෙරෙන 'ගගන පියවර' - (ජයසිරි අලවත්ත)

ආලින්දයෙන් ඔබ්බට (14) : 'එයා දැන් බැඳලා' නාය ගියා ද...? - (ජයසිරි අලවත්ත)

ආලින්දයෙන් ඔබ්බට (13) : සබුද්ධික ඡන්ද දායක ප්‍රජාව වෙත තිළිණ කළ 'වීදුරු මල්'

ආලින්දයෙන් ඔබ්බට (12) : දශක ද්වයක දේශපාලන ඛේදවාචක ත්‍රිත්වයක් රැගෙන එන ‘‘අඳුන්ගිර’’

ආලින්දයෙන් ඔබ්බට (11) : පිතු සෙනෙහේ ගැඹුර පිළිබිඹු කෙරෙන 'පීතෘ'

ආලින්දයෙන් ඔබ්බට (10) : 'නිරාවරණ' - ජයසිරි අලවත්ත

ආලින්දයෙන් ඔබ්බට (09)-' මහපොළොව' -ටෙලි නාට්‍ය නාමයෙන් සාහිත්‍ය කෘති සහ ඒවායේ චරිත ඝාතනය කිරීම

ආලින්දයෙන් ඔබ්බට (08) - මායාකරුවෝ රජයන ලොවක පිස්සකුගේ විනිශ්චය - 'දූවිලි අහස'

ආලින්දයෙන් ඔබ්බට (07) - 'හේලංකඩ'ට ගොඩවීමෙන් ඉක්බිති...- ජයසිරි අලවත්ත

ආලින්දයෙන් ඔබ්බට (06) -ආදරයට ආදරය කළ තරුණයකුගේ - ‘‘ඉලන්දාරි හැන්දෑව’’

ආලින්දයෙන් ඔබ්බට (05) : දැකිය යුතු ම 'දැකපු නැති හීන'- ජයසිරි අලවත්ත

ආලින්දයෙන් ඔබ්බට (04)-‘‘තණමල්විල කොල්ලෙක්’’ අමුතු ජීවියෙක් ද...?

ආලින්දයෙන් ඔබ්බට (03)- ‘‘ත්‍රෛලෝකා’’ තුළින් ජාතිවාදියෝ හඳුනාගනිමු

ආලින්දයෙන් ඔබ්බට (02)- 'වීරයා ගෙදර ඇවිත්' හෙළිදරව් කළේ මොනවා ද?

ආලින්දයෙන් ඔබ්බට (01) : ගිනිඅවි සහ ගිනිකෙළි - ජයසිරි අලවත්ත


JW

Follow Us

Image
Image
Image
Image
Image
Image