සාහිත්‍ය නිර්මාණයක මෙන් ම ඕනෑම: සිනමා නිර්මාණයක, වේදිකා නිර්මාණයක, රූපවාහිනී නිර්මාණයක දී පළමුව නිර්මාණය වන්නේ කිසියම්

පුද්ගලයකුගේ මනසෙහි පහළ වූ කතා සංකල්පයකි (Concept). අනතුරුව එම සංකල්පය මත පිහිටා අදාළ පුද්ගලයා සිය සංකල්පමය සැකිල්ල (Scaffolding) ගොඩනගා ගනී. සංකල්පයට අදාළ සිද්ධි මෙන් ම වටපිටාව පිළිබඳ අවධානය යොමු කරන්නේ ඉන් අනතුරුව ය.

තිර රචනය සහ අධ්‍යක්ෂ භූමිකාව

AdobeStock 112096736


ඒ සියල්ල: සාහිත්‍ය රචනයක්/තිර රචනයක්/පෙළක් බවට සකසා ගැනීමේ දී ඊට අන්තර්ගත කරගත යුත්තේ කුමනාකාරයේ සිද්ධි ද, එම සිදුවීම් සිදුවන්නේ කෙසේ ද, ඊට අදාළ වටපිටාව කුමක් ද යන්න පළමුවෙන් ම තීරණය කරනු ලබන්නේ ද: සාහිත්‍ය රචනය/තිර රචනය හෝ පෙළ රචනය කරන පුද්ගලයා විසිනි. සාහිත්‍යකරණයේ දී නම් මෙහි අවසාන තීරකයා හෝ තීරකාව වන්නේ ලේඛකයා හෝ ලේඛිකාව ය. ඇතැම් විට සංස්කරණය සඳහා අතරමැදියකු සහභාගි විය හැකි ය. 

නමුදු: සිනමා, රුපවාහිනී තිර රචනයක දී හෝ වේදිකා නාට්‍යය පෙළක දී අදාළ සංකල්පය හිමි පුද්ගලයාට අමතරව අධ්‍යක්ෂක නමැති භූමිකාව ද එයට මැදිහත් වේ.
 
අදාළ තිර රචනය හෝ පෙළ නිර්මාණයක් බවට පත් කරන්නේ අධ්‍යක්ෂක නමැති භූමිකාවේ ද රුචිකත්වය මත ය. එබැවින් එබඳු නිර්මාණයක ගුණ දොස් පැවසීමේ දී තිර රචනය හෝ පෙළ රචනය කළ පුද්ගලයා මත පමණක් බර තැබිය නොහැකි ය. මන්ද ඒ සඳහා අනෙකකු ද සම්බන්ධ වී ඇති බැවිනි. ඉදින් සාහිත්‍ය ප්‍රබන්ධයක දී මෙන් නොව: සිනමා, රූපවාහිනී හෝ වේදිකා නිර්මාණයක දී එකී ගුණ දොස් මේ දෙපාර්ශ්වය වෙත ම එල්ල විය යුතු ය; එල්ල කළ යුතු ය. එහි දී කිසිවකු වැරැදි හෝ නිවැරැදි යැයි කිසිවකුට තීරණය කළ නොහැකි ය. නමුදු අදාළ නිර්මාණය විඳීම සහ කියවීම බින්න රුචිකත්වය මත තීරණය කළ හැකි ය. ඒ සඳහා ප්‍රේක්ෂක ප්‍රජාවට අයිතියක් ඇත. අදාළ නිර්මාණය ප්‍රතික්ෂේප කිරීමේ හෝ වැලඳ ගැනීමේ අයිතියක් ද ප්‍රෙක්ෂක ප්‍රජාව සතුව ඇත. එමෙන් ම එය විවේචනය කිරීමේ හෝ විමංසනය කිරීමේ අයිතියක් ද ඇත. නමුදු අදාළ සංකල්පය අනෙකකුගේ බව සියලු දෙනා ම සිහි තබාගත යුතු ය.
Film Set Safety 865x505
 
රූපවාහිනී නිර්මාණයක් වෙත එල්ල වන අභියෝග
 
Television
සාහිත්‍ය නිර්මාණයක දී නම් කෘතිය මුද්‍රණද්වාරයෙන් නිකුත් කළ පසු නැවත එහි සංශෝධනයක් කරන්නේ නම් ඒ සඳහා දෙවන මුද්‍රණයක් නිකුත් විය යුතු ය. වේදිකා නාට්‍යයක් නම් පළමු හෝ දෙවන දර්ශනයෙන් ඉක්බිති එහි වෙනස්කම් සිදු කළ හැකි ය. රූපවාහිනි නිර්මාණයක දී නම් අදාළ නිර්මාණය විකාශනය වන කාල වකවානුව අනුව එහි යම් යම් වෙනස්කම් සිදු කළ හැකි ය. නමුදු සිනමා නිර්මාණයක දී මෙය ඊට වඩා බෙහෙවින් ම බරපතළ ය. එහි දී අදාළ සංකල්පයේ වෙනස්කම් සිදු කරන්නේ නම් සිනමා නිර්මාණය රූගත කෙරෙන කාල සීමාවේ දී ම කළ යුතු ය. අවැසි නම් සංස්කරණයේ දී යම් අවම මට්ටමේ වෙනසක් කළ හැකි ය. සාහිත්‍ය නිර්මාණයකට හෝ සිනමා නිර්මාණයකට වඩා වේදිකා සහ රූපවාහිනී නිර්මාණ කෙරෙහි ප්‍රේක්ෂක ප්‍රජාව වඩාත් ආසක්ත වන්නේ මෙකී වෙනස අත්විඳීමේ නිදහස අදාළ මාධ්‍ය ද්වයෙහි පවතින බැවිනි.
 
තවත් පසෙකින් ගත් විට වේදිකා නිර්මාණයක මෙබඳු වෙනස්කම් සිදුකෙරෙන්නේ පෙළ රචකයාගේ හෝ රචකාවගේ අභිමතය සහ අධ්‍යක්ෂකවරයාගේ හෝ අධ්‍යක්ෂකවරියගේ අභිමතය මත පමණි. මෙය රුපවාහිනි මාධ්‍ය යේ දී ඊට සපුරා ම වෙනස් මගක් ගනී. ඒ සඳහා නිෂ්පාදකයා පමණක් නොව අදාළ නිර්මාණය විකාශනය කෙරෙන නාලිකාවේ පාලක පාර්ශ්වයේ බලපෑම ද එල්ල විය හැකි ය. එය බොහෝ විට බලපාන්නේ සරල නිර්මාණ කෙරෙහි නොව උසස් රසවින්දනයක් සහිත නිර්මාණ සඳහා ය.
teele
 
සියල්ල මුදල් මත තීරණය කෙරෙන මෙවන් වෙළඳ සමාජයක් තුළ උසස් රසවින්දනයක් සහිත රුපවාහිනී නිර්මාණකරණයේ යෙදෙන ප්‍රජාවට සිය හෘද සාක්ෂියට එකඟ නොවී වුව ද යට කී තත්ත්වට පත්වීම වැළැක්විය නොහැකි ය. නමුදු ප්‍රේක්ෂක ප්‍රජාවට එය වලංගු නොවේ. එක් පසෙකින් එය සාධාරණ යැයි කිසිවකු පැවසුව ද එය අසාධාරණ ය යන්න මගේ පුද්ගලික මතය යි. මන්ද රූපවාහිනී නාට්‍ය නිර්මාණය කිරීමට වඩා සිය දහස් ගුණයක් වෙහෙසිය යුතුව ඇත්තේ අදාළ නිර්මාණය කිසියම් නාලිකාවක් තුළින් විකාශනය කරවා ගැනීම වෙනුවෙනි. එනයින් තම නිර්මාණය විකාශනය කරගැනීම වෙනුවෙන් නිර්මාණයට දායක වු නිළියන් අළෙවි කිරීමේ සිට මුදලින් අල්ලස් ලබාදීම දක්වා වූ විවධ නොපනත් ක්‍රියාවලට නතුවීමට වඩා නිෂ්පාදකයාගේ හෝ අදාළ නාලිකාවේ අදහසක් සමග කිසියම් එකඟතාවකට පැමිණීම (මෙය ද නරක පුර්වාදර්ශයක් බව පිළිගන්නා අතර ම) එක් පසෙකින් කර්මාන්තය රැක ගැනීම උදෙසා යහපත් ය යන්න මගේ පුද්ගලික අදහස ය.

ප්‍රේක්ෂක ප්‍රජාවගේ සාධාරණ අසාධාරණ භාවය
 
346270161 651828686762120 49744651739542799 n
මේ පූර්විකාව සැපවූයේ මේ වන විට විකාශනය අවසන් කර තිබෙන ‘‘කොඩි ගහ යට’’ රුපවාහිනී නිර්මාණය පිළිබඳ යම් අදහසක් ලිවීමේ පූර්ව සටහනක් ලෙසිනි. මන්ද මෙම රුපවාහිනී නිර්මාණය අතර මැද දී කිසියම් වෙනසකට ලක් කර ඇති බවට දැඩි විවේචන එල්ල විය. එනම් ස්වාධීන රුපවාහිනී බලධාරීන්ගේ වුවමනාව පරිදි නිර්මාණය දිගුකර ඇති බවට චෝදනා එල්ල විය. පූර්විකාවේ සඳහන් කළ පරිදි ප්‍රේක්ෂක පාර්ශ්වයෙන් එබඳු චෝදනා හෝ විවේචන එල්ල කිරීම සාධාරණ ය. මගේ කියවීමට අනුව ද අතර මැද දී (කොටස් 55ක් පමණ විකාශනය වීමෙන් අනතුරුව) එබදු වෙනසක් දක්නට ලැබිණ. නමුදු නිර්මාණය පිළිබඳ මගේ මුඛ්‍ය අවධානය ඒ ඉතා සුළු දිගු කිරීම පිළිබඳව නොවේ. තිර රචකයා සහ අධ්‍යක්ෂකවරයා ඉදිරිපත් කරන දිගු යටි පෙළයි; විවධ සමාජ විෂමතා පිළිබඳ යටි පෙළයි. විශේෂයෙන් ම මෙ වන විට බොහෝ නිර්මාණ තුළ අන්තර් ගත නොවූ යටි පෙළයි.
 
බල්සාක් කැෆේ : මනුවර්ණ කඳුළු - (මංජුල වෙඩිවර්ධන)
 
සමස්ත නිර්මාණයේ උසස් බව වියුක්ත කර කොටස් කිහිපයක දුටු දුර්වලතා පමණක් ඉස්මතු කිරීම තරම් නොවේ ය යන්න මගේ පුද්ගලික අදහස ය. ඇතැම් විට මෙය බරපතළ දුර්වලතාවක් බවට චෝදනා එල්ල කෙරෙන්නේ මෙහි අධ්‍යක්ෂකවරයා ජගත් මනුවර්ණ වීම ම විය හැකි ය; ඔහු නියෝජනය කරන දේශපාලන මතවාදය විය හැකි ය. මන්ද ඔහුගේ නිර්මාණයක් තුළ අබැ’ටක තරම් හෝ අඩුපාඩුවක්, වරදක් නොතිබිය යුතු යැයි ප්‍රේක්ෂක ප්‍රජාව අදහස් කරන බැවිනි.
 
සියලු ප්‍රේක්ෂක ප්‍රජාව 100%ක් සන්තෘප්ත කළ හැකි ද...?
 
01 68
මගේ කියවීමට අනුව නම් එදා මෙදා තුළ ලෝකයේ බිහිවූ කිසිදු සාහිත්‍ය කලා නිර්මාණයක් තුළින් එය: කියවන, නරඹන, අසන ප්‍රජාව සියයට සියයක් සන්තෘප්ත වී නොමැත; සන්තෘප්ත කිරීමට ද නොහැකි ය. ඒ, එක් එක් පුද්ගලයා අදාළ නිර්මාණ කියවන්නේ, නරඹන්නේ, සවන් දෙන්නේ තමන්ගේ ම වූ මතයක් ප්‍රමුඛ කරගෙන බැවිනි. එහි දී නොබෙල් ත්‍යාගලාභි සාහිත්‍ය නිර්මාණයක වුව ද, ඔස්කාර් සම්මාන ලාභි සිනමා නිර්මාණයක වුව ද, වෙනත් ජාත්‍යන්තර සම්මානයකට හිමිකම් කී වේදිකා නිර්මාණයක වුව ද, ටෙලි නිර්මාණයක වුව ද සුළු සුළු අඩුපාඩු තිබිය හැකි ය. මන්ද ඕනැම විනිශ්චය මණ්ඩලයක විවිධ අදහස් දරන පුද්ගලයන් සිටිය ද අවසන් නිගමනය තීන්දු කෙරෙන්නේ බහුතරයකගේ කැමැත්තට අනුව වන බැවිනි. එලෙස සිදුවන්නේ ම අදාළ විනිශ්චය මණඩලය නියෝජනය කරන අය අතර ද විවිධ අදහස්, ආකල්ප දරන අය සිටින බැවිනි. මෙය සරලව ම පවසන්නේ නම් සාපේක්ෂතාව යි. ඉදින් කොඩි ගහ යට නිර්මාණය පිළිබදව එක් පුද්ගලයා හෝ එක් එක් කණ්ඩායම් විවිධ අදහස් දැරීම අරුමයක් නොවේ. නමුදු සමස්තයක් ලෙස ගත් විට අදාළ නිර්මාණය තුළ පිළිබිඹු කෙරෙන සුවිශේෂතා බහුල ය.

කොඩි ගහ යට කියවාගතයුත්තේ කෙසේ ද?
 
21මෙහි අන්තර්ගත චරිත සියල්ලෝ ම මෙම ධනේශ්වර ආර්ථික ක්‍රමය තුළ කුමන හෝ අසාධාරණයකට, අවමානයකට, පීඩනයකට ලක්වුවෝ වෙති. තවත් පසෙකින් බැලු විට ඇතැමෙක් පර පෝෂිතයෝ බවට පත්ව ඇත. විශේෂයෙන් ම ශ්‍රියානි (දිල්හානි ඒකනායක) නමැති චරිතය දෙස අවධානය යොමු කරන්නේ නම් එය ඉතා පැහැදිලිව දැකිය හැකි ය. ඇය සිය දියණිය මෙන් ම පුතා වෙනුවෙන් විවාහ කටයුතු සුදානම් කරන්නේ සැබැවින් ම ඔවුන් විවාහ දිවියට ඇතුළත් කිරිමේ පරමාර්ථයෙන් නොවේ. ඇගේ මූලික අවශ්‍යතාව වන්නේ ‘‘පවුල ගොඩ දමාගැනීම’’ ය.
 
1 3
 
මහේෂ්ගේ (ජගත් මනුවර්ණ) චරිතයේ අතීතය එතරම් විකාශනය නොවුණ ද ඔහු මිනිස් ඝාතනයක් සඳහා යොමු වන්නේ පවතින ආර්ථික ද්‍රරිද්‍රතාව මගහරවා ගැනීම පිණිස ය. ඔහු බාරගත් කර්තව්‍ය අවසන් කළ ද ඝාතනයේ මහ මොළකරුවන්ගේ ඊළග සැලසුම ඝාතකයාව ද ඝාතනය කිරීම ය. මහේෂ් ඝාතකයකු වීම කෙතරම් දුරට සාධාරණ ද නැද්ද යන්න වෙනම ම සාකච්ඡා කළ යුතු මාතෘකාවකි. මෙය ලියන මා ද, කියවන ඔබ ද, රූපවහිනී නිර්මාණය නැරඹූ ප්‍රේක්ෂක ප්‍රජාව අතුරින් කිසිවකු වුව ද කිසියම් හේතුවක් මත අවිනිශ්චිත නිමේෂයක ඝාතකයකු විය හැකි ය. පවතින ක්‍රමය තුළ එය එසේ නොවේ යැයි කිසිවකුට සපථ කළ නොහැකි ය. නමුදු ඔහු කිසිවකුගේ ගොදුරක් බවට පත්වන්නේ ඔහු ද නොදැනුවත්ව ය.
 
අසේල (ක්සේවියර් කනිෂ්ක) ගමෙන් නගරයට සංක්‍රමණය වන්නේ ද ආර්ථික අපහසුතා හේතුවෙනි; ඔහු ද ඔහු නොදැනුවත්ව ම තවකකුගේ ගොදුරක් බවට පත්වූ පසුව ය. එහෙත් ඔහු යළිත් එබඳුම ගොදුරක් බවට පත්වන්නේ ය. ඒ, මෙම ක්‍රමය තුළ සිය ජීවිතය පවත්වාගෙන යන්නට මූල්‍ය වංචාවක යෙදෙන ඇඟලුම් කර්මාන්තයේ පරිපාලකවරයකුගේ ය. ඔහු ද මෙම ක්‍රමයේ ම ගොදුරකි. ඔහු අසේල මත වරදක් පටවන්නේ සිය රාජකාරිමය වරද වසාගැනීම සඳහා ය; පැවැත් ම උදෙසා ය.
 
maxresdefault
මහේෂ්ට මෙන් ම අසේලට ද රිමාන්ඩ් බන්ධනාගාරයේ දී සම්මුඛ වන පුද්ගලයා ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වන්නේ ද ඔවුන් දෙදෙනා බළල් අත් මෙන් භාවිත කිරීමේ බලාපොරොත්තුවෙනි. ඔහු ද ‘බල්ලො මරා හෝ මුදල් ඉපයිය යුතුය’යන සංකල්පය රජයන සමාජය නියේජනය කරන එක් පාර්ශ්වයක් පමණි. ඔහුට සාපේක්ෂව ඔහු වැරැදි යැයි අනෙකාට පැවසිය හැකි ද...?
 
maxresdefaultgfhft
 
තවත් පසෙකින් ගත් විට මෙරට පොලිසිය සහ නීති ක්ෂේත්‍රයේ නියැළි පුද්ගයන්ගේ නිරුවත හෙළි කිරීම ද තිර රචකයාගේ අභිප්‍රායකි. එය බොහෝ නිර්මාණකරුවන් මගහැර යන කලාපයකි. මන්ද මේ කොදෙව්වේ කලා නිර්මාණයක් තුළින් හෝ එබඳු ක්ෂේත්‍රවල නිරුවත හෙළි කරන්නට නිර්මාණකරණයේ යෙදෙන බහුතරයක් දෙනා බියක් දක්වන බැවිනි. නමුදු එබඳු සිදුවිම් සැබැවින් ම සිදුවන බව රහසක් නොවේ. අවංක නීතිඥයන් දහයක් අතර අනුවක් ම සිටින්නේ පාතාලය, මත් ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් හෝ තවත් එබඳු සමාජ විරෝධීන් රකින පාර්ශ්වයේ ය. වර්තමාන මහජන ආරක්ෂක අමාත්‍යවරයා ද මේ සම්බන්ධයෙන් කළ ප්‍රකාශය අත්‍යයක් නොවේ. ඒ පිළිබද ඇතැම් නීතිඥයෝ විරෝධතාව දක්වා තිබුණ ද යථාර්ථය එය බව ඔවුන් ද නොදන්නවා යැයි විශ්වාස කළ නොහැකි ය. එය හුදෙක් තාවකාලික දේශපාලන උප්පරවැට්ටියක් පමණි.
Kalu Kodi Gaha Yata
 
මෙහි මා දුටු තවත් සුවිශේෂී මානයක් වූයේ ලිංගික අනන්‍යතා හේතුවෙන් ම සමාජයෙන් වියුක්ත කර තබන්නට උත්සාහ කරන ප්‍රජාව වෙනුවෙන් කළ මැදිහත්වීම ය. මගේ මතකය නිවැරැදි නම් එම ආකල්පය පුපුරුවා හරින්නට උත්සාහ කළ  නිර්මාණයක් මීට පෙර සමාජගත නොවුණි. එබඳු පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම කලකරුවකුගේ වගකීමක් ය යන්න මගේ අදහස ය. ඉදින් එම වගකීම ඉටු කළ තිර රචකයාට සහ අධ්‍යක්ෂකවරයාට සාධාරණ සමාජයක් බලාපොරොත්තු වන ඕනෑම පුද්ගලයෙක් සිය ආචාරය පුද කළ යුතු ම ය.

තාක්ෂණය පාර්ශ්වයෙන් ලෝකය කෙතරම් දියුණු වුව ද මිථ්‍යා සංකල්ප තුළ එල්බ සිටින පිරිස් බහුල ය. ඔවුන් දැඩි ලෙස රැවටීමට ලක් කරන ව්‍යාජ කපුවෝ ද අනන්ත ය; අප්‍රමාණ ය. තිර රචකයා මේ දෙපාර්ශ්වය පිළිබඳව ම පවතින යථා තත්ත්වය අවබෝධ කර දෙන්නට පෙළඹී ඇත. එය ද කලාකරුවකුගේ වගකිමකී. ඒ පිළිබද කෙරතරම් අවබෝධ කර දුන්න ද මිථ්‍යා සංකල්පවල එල්බ සිටින පිරිස් එයින් මුදවා ගැනිම පහසු කාර්යයක් නොවන බව සැබැවි. නමුදු එම ක්ෂේත්‍රයේ පවත්නා වංචාකාරි ස්වභාවය සහ එබදු වංචාකරුවන්ට හසුවන ප්‍රජාවගේ යථා ස්වභාවය සමාජ ගත කළ යුතු ම ය.
 
Kodi Gaha Yata Cast 0002 Layer 12
 
ලෝකයේ කොතැනක සිදු කළ ද, සිදු වුව ද යුද්ධය යනු විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් සහ විශාල දේපළ ප්‍රමාණයක් විනාශයට පත්වන ක්‍රියාදාමයකි. නමුදු එකී විනාශකාරි ක්‍රියාදාමය පවා මුදල් ඉපැයිය හැකි මාර්ග ලෙස භාවිත කරන්නට ලොව තවත් පාර්ශ්වයක් සැදි පැහැදී සිටිති. යුද්ධය අවසන් වූවා යැයි පාලකයෝ කෙතරම් උදම් ඇනුව ද එහි ගිනි පුපුරු තවමත් අළු යට සැඟව තිබෙන බව නොරහසකි. තිර රචකයා එම මානය ද ස්පර්ශ කර ඇත. ස්පර්ශ කර පමණක් නොව එවන් අවස්ථාවල දී පාතාලය, පොලිසිය සහ ආරක්ෂක අංශ ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පවා අනාවරණය කර ඇත. එමෙන් ම රාජ්‍ය පාලකයන්ගේ අවශ්‍යතාව අනුව මිනිස් ජීවිත බිල්ගන්නා පොලිසිය ප්‍රමුඛ ආරක්ෂක අංශවල නිරුවත ද හෙළි කර ඇත.
උපුල් කුමරප්පෙරුම කොඩි ගහ යටදි සසුන්ගත වෙයි! 
ටෙලි නිර්මාණය අවසන මෙරට වෙසෙන සිංහල බෞද්ධ ස්වෝත්මවාදිහු සිය දේශපාලන වාසි තකා ක්‍රියාත්මක වන ආකාරය ඉතා සියුම් අන්දමට විග්‍රහ කර ඇත. එය නිර්මාණය නැරඹිමෙන් ඔබ්බට ගොස් කියවාගත යුතු පාර්ශ්ව ය.

මේ සියලු සමාජ ව්‍යසන එක් නිර්මාණයක් තුළට කැටි කිරීම පහසු කාර්යයක් නොවේ. නමුදු තිර රචකයා ද අධ්‍යක්ෂකවරයා ද ඒ සියල්ල ඉතා සුක්ෂ්ම ලෙස සිය නිර්මාණය තුළින් සමාජය වෙත මුදා හැර ඇත. එය ඉතා විශිෂ්ට කර්තව්‍යකි.
 
 
ඇතැම් ස්ථානවල විශ්වාස කළ නොහැකි අභව්‍ය අවස්ථා ද නොතිබුණා පමණක් නොව එය හේතුවෙන් ප්‍රේක්ෂක විශ්වාසය පළුදු වු අවස්ථා එකක් දෙකක් නොතිබුණා ද නොවේ. ලිපිය ආරම්භයේ පැවසූ පරිදි එබඳු අවස්ථා නොමැති නිර්මාණ ප්‍රමාණය ඉතා අවම ය. තිර රචකයා සහ අධ්‍යක්ෂවරයා තව තවත් සුක්ෂ්ම වූවා නම්, කල්පනාකාරි වූවා නම් එබදු අවස්ථා මගහරවාගන්නට ඉඩ තිබිණ. නමුදු ඒ දුර්වලතා යනු සමස්ත නිර්මාණයෙන් සියයට දෙකක් පමණ ය යන්න මගේ කියැවීම ය. ඒ නයින් සලකා බලන විට අනෙක් සියයට අනූ අට ම එම සියයට දෙක මත තබා අවතක්සේරු කිරීම තරම් නොවන බව මගේ අදහස ය. මන්ද ‘‘කොඩි ගහ යට’’ යනු පවතින සමාජ යථාර්ථය ඉතා තියුණු මෙන්ම දැඩි විවේචනයට ලක් කළ නිර්මාණයක් ය යන්න මගේ කියැවීම ය.  

(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
2023/12/31

ආලින්දයෙන් ඔබ්බට පසුගිය ලිපි :

ආලින්දයෙන් ඔබ්බට 17 - තෙවන සිල් පදයේ ම දිගුවක් වූ 'HUMAN ERRORS' - (ජයසිරි අලවත්ත)

ආලින්දයෙන් ඔබ්බට (16) : කාන්තා ශක්තිය උරගා බලන 'චන්දෝලි'- (ජයසිරි අලවත්ත)

ආලින්දයෙන් ඔබ්බට (15) : දේශපාලන භූමියේ නරුමත්වය පිළිබිඹු කෙරෙන 'ගගන පියවර' - (ජයසිරි අලවත්ත)

ආලින්දයෙන් ඔබ්බට (14) : 'එයා දැන් බැඳලා' නාය ගියා ද...? - (ජයසිරි අලවත්ත)

ආලින්දයෙන් ඔබ්බට (13) : සබුද්ධික ඡන්ද දායක ප්‍රජාව වෙත තිළිණ කළ 'වීදුරු මල්'   

ආලින්දයෙන් ඔබ්බට (12) : දශක ද්වයක දේශපාලන ඛේදවාචක ත්‍රිත්වයක් රැගෙන එන ‘‘අඳුන්ගිර’’

ආලින්දයෙන් ඔබ්බට (11) : පිතු සෙනෙහේ ගැඹුර පිළිබිඹු කෙරෙන 'පීතෘ'

ආලින්දයෙන් ඔබ්බට (10) : 'නිරාවරණ' - ජයසිරි අලවත්ත

ආලින්දයෙන් ඔබ්බට (09)-' මහපොළොව' -ටෙලි නාට්‍ය නාමයෙන් සාහිත්‍ය කෘති සහ ඒවායේ චරිත ඝාතනය කිරීම

ආලින්දයෙන් ඔබ්බට (08) - මායාකරුවෝ රජයන ලොවක පිස්සකුගේ විනිශ්චය - 'දූවිලි අහස'

ආලින්දයෙන් ඔබ්බට (07) - 'හේලංකඩ'ට ගොඩවීමෙන් ඉක්බිති...- ජයසිරි අලවත්ත

ආලින්දයෙන් ඔබ්බට (06) -ආදරයට ආදරය කළ තරුණයකුගේ - ‘‘ඉලන්දාරි හැන්දෑව’’

ආලින්දයෙන් ඔබ්බට (05) : දැකිය යුතු ම 'දැකපු නැති හීන'- ජයසිරි අලවත්ත

ආලින්දයෙන් ඔබ්බට (04)-‘‘තණමල්විල කොල්ලෙක්’’ අමුතු ජීවියෙක් ද...?

ආලින්දයෙන් ඔබ්බට (03)- ‘‘ත්‍රෛලෝකා’’ තුළින් ජාතිවාදියෝ හඳුනාගනිමු

ආලින්දයෙන් ඔබ්බට (02)- 'වීරයා ගෙදර ඇවිත්' හෙළිදරව් කළේ මොනවා ද?

ආලින්දයෙන් ඔබ්බට (01) : ගිනිඅවි සහ ගිනිකෙළි - ජයසිරි අලවත්ත

Follow Us

Image
Image
Image
Image
Image
Image