‘‘හරි එහෙනං බලමු... හැබැයි තව වෙලා තියෙයි නේද... එතකං මක්කයි කරන්නෙ...?’’
යසේ කියපු කතාව ඇත්ත. තවම හෝල් එක ඇතුළට යන්න ගේට්ටුවවත් ඇරල නෑ. ටිකට් දෙන්නෙ දහයට වුනාට සාමාන්‍යයෙන් නමය හමාරට විතර ගේට්ටුව අරිනවා. හැබැයි ඒකටත් තව පැය එකහමාරක් විතර ඉන්න ඕනෙ.
‘‘අපි වැල්ල පැත්තෙ රවුමක් දාල එමු.’’
‘‘හරි එහෙනං යං...’’
මම ඒකට එකඟ වුණේ කිසිම පැකිළීමක් නැතුව. හෝල් එක තිබුණ ගොඩනැගිල්ල අයිනෙන් ම තියන පාරෙ ඉස්සරහට ඇවිදගෙන යද්දි ඈතින් මුහුද හරි ලස්සනට පෙනුණා. මට මතක් වුණේ ගාල්ලෙ කොටුවට ගියපු වෙලාවක මුහුද දැකපු විදිය; මුහුදෙ විස්තර ගැන, ගාල්ලෙ කොටුවෙ ඉතිහාසය ගැන ජෙසිකා අක්ක කියල දීපු දේවල්.
‘පවු... කොහොම වුනත් මට තිබුණෙ ජෙසිකක්කට කියල එන්න’

මගේ මනසට අතීත සිතිවිලි ගලාගෙන එද්දි ම ‘‘ලකඩං බකං... ලකඩං බකං...’’ සද්දයක් දාගෙන කෝච්චියක් අපේ ඉස්සරහින් යනකම්ම මම රේල් පාරක සේයාවක්වත් දැක්කෙ නෑ. ඊටත් වඩා පුදුමෙ කියන්නෙ ඒ කෝච්චිය අපේ ඉස්සරහින් යන වේගය. ඒ වගේ ම ආයෙත් මට මුහුද දකින්න ගිය වෙලාව. ඒක මට හිතාගන්නවත් බැරි සිද්ධියක්. ඇත්තට ම ගාල්ලෙ අවුරුදු දෙකක් විතර හිටියත් කෝච්චියක් මෙච්චර වේගෙන් යනව දැකල තිබුණෙ නෑ; ඒ වගේ ම කෝච්චිය මෙච්චර දිගයි කියල දැනගෙන හිටියෙත් නෑ.
කොහොම වුනත් සුසන්තට දැනුණා මම ටිකක් පුදුම වෙලා ඉන්නව කියල; මට ඒක හංගන්න ඕනෙකමක් තිබුණෙත් නෑ.
‘‘මොකෝ මේ...! ඔයැයි මීට කලිං කෝච්චි දැකල නැතෙයි...?’’
මම ඒ වෙලාවෙ හිටියෙ ටිකක් විස්මයට පත්වෙලා වගේ. හැබැයි ඒ එක්ක ම මුහුද ළඟින් ම දකින්න ලැබුණ නිසා වගේ ම මුහුදෙ සද්දෙ නිසා මමත් නොදැනුවත්ව ම ආයෙත් පියවි සිහියට ආවා.
‘‘නෑ සුසා... ස්ටේෂන් එක ළඟ ම අවුරුදු දෙකක් හිටියට මම කවදාවත් ගාලේලෙ ස්ටේෂන් එකට ගිහින් නැහැ නෙ... හැබැයි ඉතිං කොටුව ගැනයි සමනල පාක් එක ගැනයි ඇහුවොත් නං කියතහැකි ඇට්ටි හැළෙන්න.’’
මං හිතන්නෙ මම නොදැනුවත්තවම එහෙම කියවුණේ මම තවමත් ගාල්ලට ආදරේ කරන නිසා වෙන්න ඇති. හැබැයි ඒකට සුසා දුන්න උත්තරේ ටිකක් විතර මාව ලජ්ජාවට පත් කරා.
‘‘ඔවු ඔවු... ඔයැයි ඉතිං අර නෑම්බියො හතර දෙනත් එක්ක රවුං ගැහුවෙ ම ඔය දෙකේ නෙ...’’

මං ඒකට උත්තර දෙන්න ගියේ නෑ. ඒ වෙද්දි අපි රේල් පාර පැනල වැල්ලටත් ඇවිත් ඉවරයි. ඇත්තට ම ඒක මට අලුත් ම අත්දැකීමක්. සමනල පාක් එකේදි කොල්ලො කෙල්ලො තුලුරු වෙලා ඉන්නව ඕන තරම් දැකල තිබුණ. දැන් වැල්ල පුරා ම කොල්ලො කෙල්ලො අත් අල්ලගෙන ඇවිදිනව; කොල්ලො කෙල්ලො විතරක් නෙවයි: මැදිවියේ ගෑනු පිරිමි, ඒ සමහර ගැනු පිරිමි එක්ක පොඩි ළමයි එහෙ මෙහෙ ඇවිදිනවා. ඒ සමහර වැඩිහිටි අය පවා ඇඳගෙන හිටියෙ කොට කලිසම්; ටි ෂර්ට්. ඒ ඇඳුම් ඇදගෙන තරුණ කොල්ලො කෙල්ලො කිහිප දෙනෙකුත් එහෙට මෙහෙට ඇවිද්දා.
‘‘සුසා.. ඇයි මෙයාල මේ කොට කලිසං ගහගෙන, තොප්පි දාගෙන එහෙ මෙහෙ ඇවිදින්නෙ...?
මම සුසන්තගෙන් ඇහුවෙ මට ඒ දර්ශන අලුත් නිසා.
‘‘ඔය හුඟක් එවුං කාල තෙලේ වැඩි වෙච්ච එවු. ඒ තෙල් බස්ස ගන්න තමයි ඔය විදිහට වැල්ලෙ ඇවිදින්නෙ. ඕකට කියන්නෙ ජොගිං යනව කියල. නැත්තං බං අර තරං එරෙන වැල්ලෙ සපත්තු දාගෙන ඇවිදින්න පිස්සුයැ. හරිනං වැල්ලෙ ඇවිදින ඕන සෙරෙප්පුවක්කත් නොදා.’’
සුසන්ත එහෙම කිව්වෙ ටිකක් අපහාසයෙන් වගේ; ඒක අපහාසයත් නෙවෙයි... උපහාසයෙන් කියලත් කියන්න පුළුවන්. හැබැයි අන්තිම වචන කීපය කිව්වෙ නම් ටිකක් දැනමුත්තෙක් වගේ. මොකද මමත් අහල තියනවා මුහුදු වැලි පෑගෙන එක ඇඟට හොඳයි කියල. ඒ එක්කම මට මතක් වුණේ එහෙම නම් ඉතිං මූදුකරේ ඉන්න මිනිස්සු කොච්චර නම් වැල්ලෙ සෙරෙප්පු නැතුව ඇවිදිනව ද කියල. මට මතක් වුණේ අපි වැලිගම හිටපු කාලෙ. ඒ මිනිස්සු සෙරෙප්පු දෙකක් දාගෙන වැල්ලෙ ඇවිදිනව මම කවදාවත් දැකල තිබුණෙ නෑ. මම ඉඳල හිටල වැල්ලට ගියත් ගියේ සෙරෙප්පු නැතුව. හැබැයි මට ඒ මිනිස්සුන්ගෙයි මේ මිනිස්සුන්ගෙයි කියල වෙනසක් දැනුණෙ නෑ. ඒ සමහර විට මෙහේ ඇවිදින අය සපත්තු දාගෙන ඇවිදින නිසා වෙන්න ඇති. එහෙම වුනාම ඔය වැල්ලෙ තියනවා කියන ගුණය ඇඟට දැනෙන්නෙ නැහැ නෙ.
මුහුද දිහා ටික වෙලාවක් බලා ගෙන ඉද්දි ආයෙත් වැල්ලට එන්න කලින් ඇහුණ‘‘ලකඩං බකං... ලකඩං බකං...’’ සද්දෙ ඇහුණ. හැබැයි ඉස්සර වෙලා ඇහුණට වඩා ටිකක් අඩුවෙන්. ඒ එක්ක ම මම සද්දෙ ආපු දිහාට හැරිල බැලුවම තමයි දැක්කෙ ඒ කෝච්චිය ගියේ ඉස්සර වෙලා කෝච්චිය ගිය පැත්තට විරුද්ධ පැත්තට කියල.
‘‘සුසා... අර කෝච්චිය ගියේ මේ පැත්තට; මේ කෝච්චිය ගියේ මේ පැත්තට. දැං මේ කෝච්චි දෙක යන්නෙ කොයිබට ද...?’’
මම සුසන්තගෙන් එහෙම ඇහුවට එයා ඒ ගැන දන්නව ද දන්නෙත් නෑ. හැබැයි මට වෙන අහන්න කෙනෙක් හිටියෙත් නැහැ නෙ. නමුත් සුසන්තගෙන් ලැබුණෙ මම හිතුවට වඩා සාර්ථක උත්තරයක්.
‘‘මෙහෙමයි... ඉස්සෙල්ල අර පැත්තට ගිය කෝච්චිය මයි හිතේ මාතරට ම හරි ගාල්ලට හරි ගිය එකක්...’’
අනිත් කෝච්චිය ගියේ කොහාට ද කියල සුසන්ත කියන්න කලින් ම මම එයාගෙන් තවත් ප්‍රශ්නයක් ඇහුවා.
‘‘ඔයැයි කොහොමෙයි එහෙම කියන්නෙ...’’
සුසන්ත එකපාරට ම උත්තරයක් නොදී මගේ අතින් අල්ලගෙන ගිහින් වැටකේ පඳුරු කිට්ටුව තිබුණ පොල් කොටයක් උඩ වාඩි වුණා; මමත් සුසන්තත් එක්ක ම වාඩි වුණා.‘‘මෙහෙමයි... ඔය පැත්තට යන කෝච්චි: පානදුර, කළුතර, අම්බලංගොඩ දිහාටත් යනව. හැබැයි ඒ කෝච්චි යන්නෙ හෙමිහිට. එව්වා හැම ස්ටේෂමක ම නවත්තනවා. ඔය හය්යෙන් පිඹගෙන යන්නෙ ගාල්ල මාතර යන එව්ව තමයි. එව්වට කියන්නෙ එක්ස්ප්‍රස් කෝච්චි කියල. දැක්ක නෙ... ඉස්සෙල්ල ගිය එක ගියේ කොහොමෙයි කියල. ඒ ගියපු විදිහට නං ඒක අනිවාරයෙන් ගාල්ලට හරි මාතරට හරි...’’
සුසන්ත මට කරුණු පැහැදිලි කරේ වැඩිහිටියෙක් වගේ.
‘‘එතකොට දැං මේ පැත්තට ගිය එක...?’’
‘‘ආ... ඒක කොටුවට... කොටුවට කිව්වට ස්ටේෂන් එක තියෙන්නෙ පිට කොටුවෙ... එතනිං තමයි කෝච්චි පටං ගන්නෙ. අන්තිමට නවත්තන්නෙත් එතන.’’
‘‘එතෙන්ට මෙහෙ ඉඳං ගොඩක් දුරෙයි...?’’
මම එහෙම ඇහුවෙ එතනට යන්න ආසාවෙන් කියන එක සුසන්තට තේරුණා.
‘‘නෑ... පොඩ්ඩ දුරයි. අපි පිචර් එක බලල යං; මං පෙන්නන්නං.’’
අපි දහයට දහයක් විතර තියෙද්දි හෝල් එක ගාවට ආවා. ඒ එද්දිත් එළියෙ පෝලිම. දහයට පහක් විතර තියෙද්දි ගේට්ටුව ඇරපු ගමන් එතන හිටපු එවුන් ගාල කඩාගලත්තු හරක් වගේ ඇතුළට දුවන්න ගත්තා. ඒ ඔක්කොම වගේ අවුරුදු දහඅටේ, විස්සෙ, තිහේ වගේ කොල්ලො. වයසක අයත් හිටියා. එයාල කලබලයක් නැතුව හෙමිහිට එනව කියල මම දැක්කෙ දුවල ගිහින් පෝලිමට එකතු වුණාටත් පස්සෙ. කොල්ලො කෙල්ලො ජෝඩු කිහිපයකුත් හිටියා. අපි ගියේ ගැලරි පෝලිමට; අපි විතරක් නෙවෙයි... හුඟක් අය ගියේ ගැලරි පෝලිමට. අර ජෝඩු නම් යන්න ඇත්තෙ බැල්කනි වෙන්න ඇති. මට ඒ වෙලාවෙත් මතක් වුනේ ගාල්ලෙ පිචර් හෝල්. කාලයක් යද්දි ඒ හෝල්වල වැඩ කරන කොල්ලො මට ගැලරි හරි සකන්ඩ් ක්ලාස් හරි ටිකට් අරන් තියපු විදිය මතක් වුණා. විශේෂයෙන් ම ක්වින්ස් එකේ හිටපු දෙමළ යාළුවා. එයා, හෙට පිචර් එකක් එනවා නම් මට අද කියනවා. මට එන්න පුළුවන් කීයට ද කියල අහල සෙනඟ ගොඩක් හිටියොත් මට ගැලරි ටිකට් එකක් අරන් තියනවා. අනිත් හෝල් දෙකේ ම මට යාළුවො හිටිය. හුඟක් සෙනඟ හිටියොත් අපි දෙන්න නමයයි තිහ බලන්න එනව කියල කලින් කියල තිබුණ ම අපිට ටිකට් අරන් තියනවා. කොළඹ නම් කවදාවත් එහෙම කරන්න බැරි වේවි.
* * *

සුසන්ත
පිචර් එක බලල අපි එළියට එද්දි දොළහයි කාලට විතර ඇති.
‘‘කොහොමෙයි යසේ පිචර් එක... මරු නෙහ්...’’
මම යසේගෙන් එහෙම ඇහුවෙ නිකමට වගේ.
‘‘මරු කියන්නෙ සුසා... මරේ මරු. මෙහ්... ඔයැයි ඒ නළුවගෙ වෙන පිචර් බලල තියනවයි...?’’
‘‘ම්ම්ම්... ඔවු... දෙක තුනක් බලල තියෙනව. හැබැයි යසේ එව්වයි නම් නං මතක නෑ... මේහ්... ඒක නෙවෙයි... අපි යංද මොනාහරි කන්න?’’
‘‘උදේ ගිහපු තැනට ම ද?’’
‘‘ඇයි... එතන හරි නැතෙයි...?’’
‘‘නෑ නෑ... එතන බත් තියෙය් ද දන්නෑ...?’’
මම එහෙම ඇහුවෙ බත් කන්න තිබුණ ආසාවකට ම නෙවෙයි... හැබැයි කොළඹ හෝටලේකින් බත් කන්න ආසාවක් තිබුණා. මගේ ප්‍රශ්නයට සුසන්ත දුන්න උත්තරේ ඒ ආසාව තවත් වැඩි කරා.
‘‘බත්... මක්කයි යසේ මේ කියන්නෙ... එතන බත් එක මාරයි. හැබැයි සිංහල කඩවලට වඩා ඩිංගක් ගණං. ඒ උනාට දෙන්නට ම එක බත්තෙකක් ඇති. හෙණ පත බත් එකක් දෙන්නෙ...’’
සුසන්ත එහෙම කිව්ව ම ඒ බත් එක නොකා ඉන්න එක අපරාදෙ කියල හිතුණ.
* * *

මේ වෙලාවෙ නම් හෝටලේ ඇතුළෙ උදේටත් වැඩිය කලබලේ. උදේ වගේ ම එහෙට මෙහෙට දුවන වේටර් කෙනකුගෙ අතින් අල්ල ගත්ත සුසන්ත ‘‘අපිට කෑම එකක් ගේනව ද?’’ කියල ඇහුව ම වේටර් අපේ දිහා බැලුවෙ පුදුමෙන් වගේ. ඒ විතරක් නෙවෙයි... ‘‘එකක්..?’’කියල ඇහුවෙත් ටිකක් පුදුමෙන් වගේ. සුසන්ත ඒකට උත්තරයක් දුන්නෙ නෑ; එයා කරේ වේටර් එක්ක හිනාවෙන එක විතරයි.
උදේ වගේ ම දෙමළෙන් මොනවද කියල හයියෙන් කෑ ගහපු වේටර් කෑම පැන්ට්‍රිය පැත්තට ගියා. මට භාෂාව නොතේරුනාට උදේ සිද්ධිය නිසා හිතුණ අනිවාර්යයෙන් ඒ ඕඩර් කරන්න ඇත්තෙ අපේ කැම එක කියල. ඒ එක්කම ලොකු කෙහෙල් කොළයකුයි, වතුර කෝප්ප දෙකකුයි, අතහෝදන කෝප්පෙකුයි ගෙන් තියපු වේටර් ආ සැණින් ම ආපහු ගියා. ඊළඟට ආවෙ ලොකු බත් බේසමක් අරගෙන. අපි අත හෝදගන්නත් කලින් කෙහෙල් කොළේට බත් බෙදුව වේටර් ආයෙත් ගිනිකසය වගේ ගියා. ඒ බත් එක දැක්කම මට මතක් වුණේ පුංචි කාලෙ කුඹුවල වැඩ කරන ගොවියන්ට වෑදම් බෙදපු විදිය. මේ බත් ප්‍රමාණය ඒ වෑදම් බත් දෙකක් විතර ඇති. ඒ නිසාම තමයි මම සුසන්තගෙන් ‘‘මේ එක කෑම එකක්ය?’’ කියල ඇහුවෙ.
‘‘ඔවු ඔවු... ඒකනෙ මං කිව්වෙ... මෙහෙ දෙන්නෙ පත බත් එකක් කියල.’’
සතියකින් හමුවෙමු...
(ජයසිරි අලවත්ත)නිදහස් ලේඛක
2024/12/14







