1200 x 80 DMirror

 
 

‘‘ම්ම්ම්... දන්නෙ ම නැතුව පීරියඩ් එකත් ඉවර වෙලා නෙ... කමක් නෑ... අපි හෙටත් හම්බ වෙනව නෙ... ඔයාල හෙට එද්දි අමෝද්‍ය සර් සිංහල සාහිත්‍ය

පාඩම ඉවර කරපු තැන ආයෙත් පාඩං කරගෙන එන්නකො... අපි හෙට වැඩි විස්තර කතා කරමු...’’ යැයි පවසන අතර ම එතෙක් මේසය මත තිබූ ඇගේ අත් බෑගය උරිසෙහි රඳවාගත්තා ය. ‘‘ එහෙනං දරුවනේ... අපි හෙට හම්බවෙමු... ආයුබෝවන්...!’’ යැයි පවසනවාත් සමග ම පංතියේ සියලු දෙනා ම නැගී සිට ඇයට ‘‘ආයුබෝවන් මිස්...!’’ යැයි පැවසූහ.



අනතුරුව ආදේශිකා මිස් මේසය මත තිබූ ඇගේ පොත් ගොන්න ගෙන ළැමට තුරුලු කරගත්තා ය.

 

tv

මා ඇයට ‘ආයුබෝවන්’ යැයි පැවසුවා ද නැද්ද යන්න පවා මට අමතක විය. වහා අසුන් ගත් මා හිස ඩෙස්කුව මත හොවාගත්තේ වාන් දොරටුවක සිරවී තිබෙන දිය කඳක් නොසිතූ මොහොතක පිටාර ගලන්නට මෙන් පිටාර ගැලීමට සූදානම්ව තිබෙන මගේ ඉකිබිඳුම වළක්වා ගැනීමේ දැඩි උත්සාහයකිනි. එහෙත් එම උත්සාහය වැළකී ගියහොත් තත්ත්වය තව තවත් උග්‍ර වන බව මට සැණින් වැටහිණ. යළි ක්ෂණයකින් ප්‍රකෘති තත්ත්වය ආරූඪ කරගත් මා එතෙක් ඩෙස්කුව මත හොවා සිටි හිස ඔසවා, උඩු කය ඍජු කර  පංතිය වටා දෙනෙත් විසුරුවා හැරී ය. මගේ මිතුරියක ලෙස පෙනී සිටිමින් හැකි තරම් සතුරුකම් කරන දුලන්ති සහ මගේ හොඳ ම මිතුරිය වන දුලීකා හැර අන් සියලු ම ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඔවුනොවුන්ගේ කටයුතුවල නිරතව සිටියහ. මගේ දෙනෙත් එක පැහැර ම යොමු වූයේ දුලීකාගේ දෙනෙත් වෙත ය. එසැණින් ම දුලීකා ඇසක් ඉඟිමැරුවා ය. ඒ ඉඟියේ සටහන්ව තිබුණේ ‘මෝඩියෙ... පිස්සු කෙළින්නැතුව පාඩුවෙ හිටහං. වෙලා තියෙන්නෙ මොකද්ද කියල අපි හොයල බලමු,’ යන වදන් පෙළ ය. ඒ අතර දුලන්ති ද මා වෙත යොමු කර සිටි ඇගේ දෙනෙත් වෙනතකට යොමු කරන ආකාරය දක්නට ලැබිණ. මම අසීරුවෙන් මනස සන්සුන් කරගත්තෙමි.

****

jko

තවත් කාල පරිච්ඡේද දෙකක් අප පසුකර යාමෙන් ඉක්බිති එළඹියේ විවේක කාලය යි. පංතියේ බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ මොහොත එළඹෙන තුරු බලා සිටින්නේ අවශ්‍යතා දෙකක් හේතුවෙනි. එක් අවශ්‍යතාවක් වන්නේ මුත්‍රා බර සැහැල්ලු කර ගැනීම ය. අනෙක ආපණ ශාලාවට යාම ය. ඇතැම් ළමයි පළමු අවශ්‍යතාව කෙරෙහි එතරම් උනන්දුවක් නොදක්වන්නේ ලංකාවේ බොහෝ පාසල්වල පිහිටි වැසිකිළි කැසිකිළි යනාදිය අදාළ අවශ්‍යතාව සපුරා ගැනීමට තරම් නොවටිනා බැවිනි. අප පාසල කෙතෙරම් උසස් පාසලක් වුව ද මෙම කටයුත්තේ දී ඒ උසස් භාවය පහත වැටී තිබේ. එබැවින් මමත් දුලීකාත් ඉතා කලාතුරකින් මිස පුරුද්දක් ලෙස පාසලේ වැසිකිළි කැසිකිළි කිසිවක් ම භාවිත නොකරයි. අප දෙදෙනා ම නිවසෙන් රැගෙන එන යම් ආහාරයක් බෙදා හදාගැනීම කාලයක් තිස්සේ පැවති චර්යාවකි. එහෙයින් අපි කලාතුරකින් හැර ආපණ ශාලාවට ද නොයන්නෙමු. පංතියේ ළමයි අවම වූ සැණින් මා ආහාර බඳුන ද රැගෙන කඩිනමින් ම දුලිකා අසලට දිව ගියේ සිත තුළ බුර බුරා නැගෙන වේදනාව සමනය කරගන්නේ කෙසේ ද යන්නට පිළියමක් සෙවීම සඳහා ය. නමුදු එය පුපුරා ගියේ අවශ්‍ය පමණට වඩා සුළං පිරවූ බැලුමක් පුපුරා යන තරම් වේගයෙනි.



මා දිව ගොස් දුලිකා අසල අසුන් ගත් සැණින් ම දුලීකා ඉතා සෙමින් නමුත් දැඩි අවධාරණයෙන් ‘‘මෙතන අනං මනං මොනවත්ම අහන්න එපා හරි ද... මොකද්ද වෙලා තියෙන්නෙ කියල මං හෙමිහිට හොයල බලන්නං,’’ යැයි පැවසුවේ ඇගේ දෙතොල් පවා බිඳකුදු නොසෙල්වන ලෙස මුවගුළු ලාගනෙ ය. ඇය කිසිවක් පැවසුවා ද යන්න මට පවා අවිනිශ්චිත ය. ඒ, ඇය ඒ තරමට ම ප්‍රවේශමෙන් එම වදන් කිහිපය මුදා හල බැවිනි.



මා රැගෙන ආ සැන්විච් සහ ඇය රැගෙන ආ මුං ඇට සමසේ බෙදාගෙන කෑ දෙදෙනා සුපුරුදු පරිදි යළි තම තමන්ට හිමි අසුන්වල අසුන්ගත්තේ අප මෙන් ම නිවසෙන් ආහාර රැගෙන විත් පංතියේ සිට ම ඒවා කන-බොන කිසිදු ළමයෙකුට කිසිදු වෙනසක් නොදැනෙන ලෙසිනි.



මේ මොහොතේ මගේ පිහිටට සිටින්නේ දුලීකා පමණි. එහෙයින් ඇගේ වදන්වලට පිටුපා කිසිදු හිතුවක්කාරී ක්‍රියාවක නොයෙදෙන්නට මම අධිෂ්ටාන කරගත්තෙමි. සියල්ල විසඳාගත හැකි වන්නේ හැකි තරම් ඉවසීමෙන් කටයුතු කළ හොත් පමණක් ය යන්න මසිතට දැඩි ලෙස බලපැම් කළේ ය. එමෙන් ම පාසල තුළ ගතකරන කාලයේ දී මා පාසල් ශිෂ්‍යාවක පමණක් ම විය යුතු ය යන්න ද මම දැඩි ලෙස අවධාරණය කරගත්තෙමි.



පසුගිය දින කිහිපය තුළ විශාළ වෙනසක් සිදුවී තිබේ. ඒ සිදුවීම් මොනවා ද යන්න දැනගත හැකි වන්නේ කාගෙන් ද යන්න පවා අවිනිශ්චිත ය. මගේ අමෝද්‍ය සර් පාසලෙන් ඉවත්ව ගොස් ඇති ද, එසේ ඉවත්ව ගියේ නම් ඒ කුමන පදනමක් යටතේ ද, ඔහු එසේ වෙනත් පාසලකට මාරු කර හැරියේ නම් මා ද ඊට වගකිව යුතු නොවන්නේ ද, මා සමග සම්බන්ධ සිද්ධිය හේතුවෙන් සර් වෙනත් පාසලකට මාරු කර හැරියා නම් මගේ පංතියේ අය පමණක් නොව අනෙක් පංතිවල ළමයි ද මා කෙරෙහි වෛරයක් ඇති කර නොගනී ද, යම් හෙයකින් සර් වෙනත් පාසලකට මාරු කර යැව්වේ නම් අවම වශයෙන් මට ඒ පිළිබඳ දැනුම් දෙන්නට සර් උනන්දු නොවූයේ කුමන හේතුවක් නිසා ද..., අවම වශයෙන් මට SMS පණිවිඩයක් හෝ ලබා නොදුන්නේ සර් මා සමග අමනාප වී ඇති නිසා ද...?



පැන රාශියකි; පිළිතුරු කිසිවක් සිතට නොනැගේ...



තරුණියක් ඇගේ සිත් ගත් තරුණයෙකුට ආදරය කිරීම, තරුණයෙක් ඔහුගේ සිත්ගත් තරුණියකට ආදරය කිරීම වරදක් ද..., එහි දී තරුණයා ගුරුවරයකු වී තරුණිය ශිෂ්‍යාවක වීම තවත් දරුණු වරදක් ද..., ආදරය නමැති ක්‍රියාදාමය මැනිය හැකි මිනුම් දණ්ඩක් තිබේ ද..., සත්‍ය වශයෙන් ම මෙය ආදරය කිරීමේ වරදක් ද එසේත් නමැති නම් සදාචාරය නමැති පවුර බිඳ දැමී යැයි උරන වූ සදාචාරවාදීන්ගේ පුද්ගලික පළිගැනීමක් ද..., එසේත් නොවේ නම් පාසල් විනය නමැති හිර ගෙදර පවුර බිඳ දැමී යැයි විනිශ්චය කළ මුග්ධ පිරිසකගේ දුෂ්ටත්වය පිළිබිඹු කිරීමක් ද...?



පාසල නමැති ව්‍යුහය තුළ ගාල් වී සිටින ශිෂ්‍ය ප්‍රජාව නමැති වහල් කණ්ඩායම ප්‍රධාණ ගුරුතුමිය හෝ ගුරුතුමා ප්‍රමුඛ අනෙක් ගුරවර ගුරුවරියන් නමැති වහල් පාලක පිරිසගේ පූර්ණ ග්‍රහණයට නතුවී සිටිය යුතු ද..., මගේ මව ද විදුහල්පතිවරියක් වන බැවින් ඇය සමග සාකච්ඡා කර මගේ අමෝද්‍ය සර් දඬුවමකට යටත් කළා ද..., එසේ නම් එම වරදේ අනෙක් පාර්ශ්වකාරිය වන මට දඬුවම් නොපමුණුවන්නේ මගේ පියාගේ සහ මවගේ සමාජ තත්ත්ව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර නිසා ද...?



‘ඔවු... මේ හැම සිද්ධියක් පිටිපස්සෙ ම මගේ අම්ම ඇති. මම අම්ම ගැන හොඳට ම දන්නව නෙ. අම්ම වැඩ කරන්නෙ එයාගෙ දකුණතින් කරන දේ වමතටවත් නොදැනෙන විදියට. ඒ නිසා තමයි පහුගිය දවස් දෙක තුනේ ම කිසිම වෙනසක් නොපන්වන්න උත්සාහ කරේ... අනේ දෙවියනේ...! මං දැන් මොනවද කරන්නෙ..., මං කොහොමද අමෝද්‍ය සර් මුණගැහෙන්නෙ...?’



සිතුවිලි නමැති පඹ ගොල්ලේ පැටලී සිටි මා යළි පියවි සිහියට එළඹියේ විවේක කාලය අවසන් බවත්, ඊළඟට එළඹෙන විෂය සඳහා සුදානම් වන්නැයි හැඟවෙන ඉලෙක්ට්‍රොනික නළා හඬ දෙසවන් තුළට රිංගන මොහොතේ ය. එතෙක් දුලීකා ද මා අසලට නොපැමිණියේ මට කැමති පරිදි කල්පනා ලොවක තනිවන්නට ඉඩ දීම සුදුසු යැයි හැඟුණ බැවින් විය හැකි ය.



****

jsksඅසීරුවෙන් ගත කළ හය හෝරාවක් ගෙවී ගිය ද මනසට සුවදායී වාතාවරණයක් නොලැබ ම දවසේ ඉතිරි අඩ ඇරඹිණ. පුද්ගලික පංතියකට සහභාගී වීමට තිබුණ ද එයට සහභාගි නොවන්නට තීරණය කළ මා පාසලෙන් පිටතට පැමිණි සැණින් දුලීකා හමු වූයේ සිතට සහනයක් ලද හැකි අදහසක්, පණිවිඩයක් ඇය සතුව ඇතැයි යන බලාපොරොත්තුවෙනි. පංති පැවැත්වෙන කාලය අතරතුර විදුහල්පතිතුමිය ඇය කැඳවා තිබුණේ කුමන හෝ විශේෂ හේතුවක් මත වන්නට ඇතැයි මම අනුමාන කළෙමි.



‘‘දුලී... මොනවද වෙලා තියෙන්නෙ කියල ආරංචි උණා ද දුලී...?’’



මගේ පැනයට පිළිතුරු දෙනවා වෙනුවට දුලීකා මගේ උරිසට අත තබා ‘‘උඹ කලබල වෙන්න එපා... මෙතන ඩෙඬා නටන්න හදන්නත් එපා. දැන් ඉක්මනට ගිහින් වෑන් එකට නැගපං. අපි දෙන්න මෙහෙම කතා කර කර ඉන්න එක ගැනත් මැඩම්ට ආරංචි වෙන්න පුළුවං. මං ගෙදර ගිය ගමන් ම උඹට කෝල් කරන්නං. හැබැයි ප්‍රවේසමෙං. මොකද දැං නැන්දත් අපි දෙන්න ගැනම ඇහැ ගහගෙන ඇත්තෙ. ආ... අනිත් එක මේ... ගෙදර ගිහිං සයිකො ගහල  වගේ ඉන්නෙපා. සාමාන්‍ය විදියට ඉන්න උත්සාහ කරපං,’’ යැයි පවසා ඇය ගමන් කරන වාහනය වෙත දිව ගියා ය. ඇගේ පිළිතුර එක් පසෙකින් මගේ සිතට සැනසුමක් ලබා දුන් අතර තවත් පසෙකින් වේදනා ගෙන දෙන්නක් ද විය. ඒ, මා සැක කළ පරිදි ම විදුහල්පතිවරිය ඇය කැඳවා ඇත්තේ මා පිළිබඳ යමක් පවසන්නට විය හැකි ය යන්න තව දුරටත් තහවුරු වූ බැවිනි.



******

මා නිවසට ගොස් දිවා ආහාරය ගෙන මිනිත්තු දහයක් ඉක්ම යන්නට මත්තෙන් දුලීකා මගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගත්තා ය.

‘‘දුලී... කියපං මචං කියපං...’’

එම ඇමතුම පිළිබඳ ඉමහත් බලාපොරොත්තුවෙන් සිටි මා දුරකතනය විවෘත කළ සැණින් පැවසී ය.

‘‘ඉස්සෙල්ල මේක අහපංකො... මං දැං උඹට SMS එකක් එවනව. උඹ ඒ නම්බර් එක සේව් කරගනිං. ඊට පස්සෙ මං ඒකෙං කෝල් කරන්නං. කෝල් එක ඉවර උනාම මගේ නම්බර් එකෙං ආපු කෝල් එකයි ඒ නම්බර් එකෙං ආපු SMS එකයි කොල් එකයි ඔක්කොම ඩිලිට් කරපං හරිද...’’

දුලිකා එසේ පවසත් ම මගේ සිරුර පුරා ම සිහින් විදුලි සැරයක් කාන්දු වුවා සේ දැනිණ.

‘‘ඇ... ඇයි මචං එහෙම...?’’

මා එසේ විමසුවේ ද සැලෙන දෙතොල් එකිනෙකට තෙරපන අතර ය.

‘‘උඹට ඒ පංඩිතකංවලිං වැඩක් නෑ නෙ... මං කියන දේ කරපංකො...’’

ඇගේ වදන් නියෝගයක් බඳු විය. කුමන තත්ත්වයක් මත වුව ද මා දැන් කටයුතු කළ යුතු වන්නේ දුලිකාගේ අදහසට අනුව ය.

‘‘හරි හරි... උඹ නම්බර් එක එවපංකො...’’

 

Smartphone in female hands

තත්ත්පර දහයක් පහළොවක් අතර කාලයක දී ‘Hi’ යනුවෙන් කෙටි පණිවිඩයක් මගේ දුරකතනය වෙත ලැබිණ. ඒ අන් කිසිවකු නොව දුලිකා බව මම සැක හැර දැනගතිමි. එසැණින් මා එම අංකය මගේ දුරකතනයේ සටහන් කරගත්තේ ය.

තවත් මිනිත්තුවක් හෝ ගෙවී යාමට මත්තෙන් එම අංකයෙන් මගේ දුරකතනය වෙත ඇමතුමක් ලැබිණ.

‘‘හෙලෝ...’’

‘‘ මචං... මං දුලී...’’

අනෙක් පසින් දුලීකාගේ හඬ මගේ සවන තුළට රිංගී ය.

‘‘හරි මචං කියපං... මොකද උණේ...?’’

නොඉවසිලිමත්ව සිටි මා විමසී ය.

‘‘ මචං... මේක හොඳට අහගනිං... මං දැං මේ කියන දේවල් ගැන උඹ අතුරු ප්‍රශ්න මොනවත් අහන්න එපා. මං කියන දේ අහගෙන හිටපං. ඊට පස්සෙ කලබල නොවී හොඳ සිහි බුද්ධියෙං වැඩ කරපං හරි ද...’’

තත්ත්වය කෙතරම් සරල වුව ද, බරපතළ වුව ද මා මේ මොහොතේ දුලීකාට අවනත විය යුතු ය. මට පිහිටට සිටින්නේ ඇය පමණි.

‘‘හරි හරි බං... මං අහගෙන ඉන්නං... උඹ කියහංකො...’’

දුලිකාට අවනත වූ මා සැලෙන හදවතින් යුතුව දුරකතනය සවනට තෙරපා ගත්තේ ය.

‘‘මං මැඩම්ගෙ ඔෆිස් එකට යද්දි: මාලනී ටීචරුයි, Disciplinary Committee එකේ  අමන්ද ටීචරුයි දෙන්නත් හිටිය. ඒ දෙන්න දැක්ක ගමං මං ගැස්සිලා ගියා. මොකද අමන්ද ටිචර් ඉන්නව කියන්නෙ ම ලෙඩක් නෙ බං. මං ඇතුළට නොගිහිං එළියෙ ඉද්දි ‘ආ... දුලීක ආව ද... එන්න දුව ඇතුළට,’ කියල මාලනී මිස් කතා කරා. අමන්ද මිස් ගැන උඹ දන්නව නෙ ඉතිං. එයා හිතාගෙන ඉන්නෙ එයා ඉස්කෝලෙ පොලිස් ලොක්ක කියල නෙ...’’

දුලිකා එක දිගට ම කියවාගෙන ගියේ මට කිසිවක් අසන්නට කිසිදු ඉඩක් නොතබමිනි.

‘‘හරි හරි බං... වැල්වටාරං නැතුව උණේ මොකද්ද කියපංකො...’’

අමෝද්‍ය සර් පිළිබඳ තොරතුරක් දැනගන්නා තුරු නොඉවසිල්ලෙන් පසුවන මා දුලීකාට එසේ පැවසීම කෙතරම් නුසුදුසු ද යන්න සිහිපත් වූයේ එම වදන් මගේ මුවෙන් ගිලිහී යාමෙන් අනතුරුව ය.

‘‘හරි... එහෙනං මං කෙටියෙං කියන්නංකො... දැං වැඩේ හොඳට ම පත්තු වෙලා ඉවරයි.’’

දුලීකා පවසන්නේ කුමක් ද යන්න වටහාගත නොවුණු මා ‘‘හොඳට ම පත්තු වෙලා කියන්නෙ...! ඇයි මොකද්ද වෙලා තියෙන්නෙ...?’’ යැයි විමසී ය.

‘‘වෙලා තියෙන්නෙ ද... එදා... බ්‍රහස්පතින්ද උඹ කෙළපු පිස්සුවෙන් තමයි වැඩේ පත්තුවෙලා තියෙන්නෙ...’’

දුලිකා පැවසුවේ මඳ ආවේගශීලි ස්වරයකිනි.

‘‘ඉතිං බං එදා මොකද්ද උණේ කියල මං දන්නවයැ... අනික උඹල කවුරුවත් මට එදා උණේ මොකද්ද කියල කිව්ව ද... ඔක්කොම හරියට කෂාය බීපු ගොළුවො වගේ නෙ හිටියෙ. හිටියෙ විතරක් නෙවෙයි අදත් ඉන්නෙ එහෙම නෙ...’’

මා ද තරමක් ආවේගශිලි ලෙස පැවසී ය.

‘‘හරි... මං එහෙනං ඉස්සෙල්ලම උඹට කියන්නං එදා බ්‍රහස්පතින්ද මොකද උණේ කියල. හොඳට අහගනිං ආ...’’

ඉවර නෑ...


ආලින්දයෙන් ඔබ්බට 10 : 'නිරාවරණ' - ජයසිරි අලවත්ත(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2022/06/10


වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස්

 

වජ්ජා’වජ්ජ 21 - ඔයා දන්නව ද ඒ කවුද කියල...? - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 20 - 'ඇගේ සැබෑ නම මාලිනී ය' - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 19 : මං මොකටද ඔයාට බොරු කියන්නෙ...? -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 18 : මේක හරියට අයිස් බර්ග් එකක් වගේ -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 16 : මං මේ වයසට ඇවිත් තියෙන්නෙ ඔයාලගෙ වයස පහු කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 15 : ‘‘ෂ්ෂ්ෂ්... මෙතන තව අය පොත් කියවනව...’’ - (ජයසිරිගේ නවකතාවක් )

වජ්ජා’වජ්ජ 14 : හංගපු දේවල් මොනවද කියල උඹ දන්නව නෙ...(ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 13 - 'මේ වැඩේ සල්ලිවලින් විතරක් කරන්න බෑ සචේති' : කොටස් වශයෙන් පළවන ප්‍රබන්ධ කතාව


වජ්ජා’වජ්ජ 12 : අම්මට පරචිත්ත විජානන ඥානය ලැබිල ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 11 : දැං මට බය නෑ... මට ඔයාව විශ්වාසයි (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 10:  දුවෙකුට අම්මට කියන්න බැරි දෙයක් නෑ දුව.. (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 09 : ඔයාට හැම එකක් ම විහිළු නේ ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 08 : වාන් දොර විවර කළ යුතු මොහොත ය මේ...

වජ්ජා’වජ්ජ 07 - වචන විදියට පිට වෙන්නෙ හිතේ තියෙන අදහස් 

වජ්ජා’වජ්ජ 06 : අහිංසකට වෙච්ච දේ මටත් වෙයි ද ? ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 05 : ඔය ‘මිස්’ කෑල්ලට මං ආස ම නෑ... - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 04 :පොත් බලනවයි කියවනවයි කියන්නෙ වැඩ දෙකක් - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 03 - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය..

වජ්ජා’වජ්ජ 02 - ජයසිරි අලවත්ත ලියයි

මලට රිදෙව්වොත් දෙවියොත් අමනාප වේවි - වජ්ජා’වජ්ජ අද සිට...

 

Leader Whats app

 

 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58