Golden retriever යනු ලොව පුරා මහත් ආදරයටත් ජනප්‍රියත්වයටත් පාත්‍ර වූ සුනඛ විශේෂයක්. ඔවුන්ගේ ආදරණීය හැසිරීම, බුද්ධිය සහ විනෝදකාමී චර්යාවන් ඔවුන්ට මෙම ආදරය ලබාදීමට හේතු සාධක වී තිබෙනවා.
ඔබ විශ්වාසවන්ත සහකරුවෙකු, හෝ පවුලට හිතවත් සුරතලෙකු, එසේත් නැතිනම් හොඳින් පුහුණු කළ හැකි සුනඛයෙකු සොයන්නේ නම් Golden Retriever එයට පරිපූර්ණ තෝරාගැනීමක් විය හැකියි. ඔවුන්ගේ නිරන්තර වැනෙන වල්ගය, නිමක් නැති උද්යෝගය, විශාල ආදරණීය ඇස් ඔබේ සෑම දවසක්ම අනිවාර්‍යයෙන්ම දීප්තිමත් කරන්නට සමත්. සරලවම ඔවුන් සැබෑ ප්‍රීතියේ නිර්වචනයක් ! ඉතින් ඔබ මෙම සුනඛයන් ඔබේ ජීවිතයේ ආදරණීය සහකරුවන් කරගත යුත්තේ ඇයි වගේම මොවුන් ගැන ඔබ දැනගත යුතු විශේෂ තොරතුරුත් අප මෙම ලිපිය ඔස්සේ කතා කරමු.
පෞර්ෂය සහ ස්වභාවය -
Golden Retriever ස්වභාවයෙන්ම ඉතා ප්‍රීතිමත්, ආදරණීය සහ ඇදහිය නොහැකි තරමේ සමාජශීලී සුනඛයන් වනවා. මිනිසුන් සමග ඇති කරගන්නා සම්බන්ධතාවය ඔවුන්ගේ හැසිරීම් තීරණය කරන අතරම එම පවුල් සමග ඉතා ශක්තිමත් බැඳීම් ද ඇතිකර ගන්නවා. ඔවුන්ගේ මෙම ලක්ෂණය පවුලේ අය, දරුවන්, වෙනත් සුරතලුන් සහ ආගන්තුකයන් සමග පවා ඔවුන්ව මිත්‍රශීලී කරවනවා.
![]()
ගෝල්ඩන් රෙට්‍රීවර් ස්වභාවික මුර බල්ලන් නොවෙයි. ගැටලුකාරී අවස්ථාවලදී අනතුරු ඇඟවීම සඳහා ඔවුන් තම අයිතිකරුවන්ට බිරුවද බොහෝ විට ඔවුන් නොදන්නා ආගන්තුකයෙක්ට බිරීමට වඩා සාදරයෙන් පිළිගැනීමේ අවස්ථාවක් පවතිනවා. නමුත් ඔවුන් සතුව පවතින බුද්ධිය ඔවුන්ව හොඳින් පුහුණු කළ හැකි සුනඛයන් බවට පත්කරන අතරම උනන්දුව සහ කීකරුකමත් මොවුන්ව මානසික චිකිත්සාවන් සදහා, ගලවා ගැනීමේ මෙහෙයුම් සදහා මෙන්ම සේවා සුනඛ භූමිකාවන්හිදීද ඉහළින් තැබීමට සමත් වනවා.
කෙසේ වෙතත්, ඔවුන් නිතිපතා ශාරීරික හා මානසික උත්තේජනයක් අවශ්‍ය වන අධික ශක්තියක් ඇති සුනඛයන් වනවා. ප්‍රමාණවත් ක්‍රියාකාරකමක් නොමැතිව, කම්මැලි වන ගෝල්ඩන් රෙට්‍රීවර් සුනඛයන් ගෘහ භාණ්ඩ සැපීම, කසල ඇදීම වැනි විනාශකාරී හැසිරීම් වල යෙදිය හැකියි.
හැසිරීම සහ පුහුණුව -
Golden Retriever සතුව පවතින බුද්ධිය සහ කීකරුකම ඔවුන්ව පුහුණු කිරීමට පහසුම සුනඛ විශේෂයක් බවට පත්කොට තිබෙනවා. මූලික පුහුණු මූලධර්ම කිහිපයක් අප පහත ආකාරයෙන් විමසා බලමු.
ධනාත්මක ඇගයීම් භාවිතය -

ප්‍රශංසා කිරීම, සංග්‍රහ කිරීම, ආදරය පෙන්වීම වැනි ඇගයීම් සඳහා Golden Retriever සුනඛයන් වැඩි ප්‍රතිචාර දක්වයි. සැර පරුශ වීම තුලින් දැඩි විනයකට ලක් කිරීමට උත්සහ කරන්නේනම් එය ඔවුන්ගේ කනස්සල්ලට සහ මුරණ්ඩු වීමට හේතු විය හැක.
කුඩා කල සිට සමාජශීලී කරවීම -
කුඩා කල සිටම මොවුන්ව වෙනස් පරිසරයන්ට, සතුන්ට, මිනිසුන්ට නිරාවරණය කොට සමාජගත කරවීම ඔවුන්ගේ විශ්වාසය ගොඩනැගීමට සහ බිය පදනම් වූ හැසිරීම් මගහරවා ගැනීමට උපකාරී වේ.
මූලික විධාන ඉගැන්වීම -

“Come”, “Sit”, “Stay”, “Hands” වැනි විධානයන් ඔවුන්ගේ යහපත් චර්යාවන් ස්ථාපිත කිරීමට මූලික වන විධානයන් වේ.
නිරන්තර ක්‍රියාශීලීත්වය පවත්වාගැනීම -
ගෝල්ඩන් රෙට්‍රීවර් සුනඛයන් යනු කම්මැලි වූ විට දේවල් හැපීමට යොමු වන සුරතලුන් කොට්ඨාශයකි. එබැවින් මෙම හැසිරීම් වළක්වා ගැනීමටත්, ඔවුන්ව නීරෝගීව තබා ගැනීමටත් පුහුණු සැසි, අන්තර්ක්‍රියාකාරී ක්‍රීඩා, විධාන ලබාදීම වැනි ක්‍රියාකාරකම් සිදුකිරීම වඩාත් යෝග්‍ය වේ.
ලෙඩ රෝග සහ නීරෝගී සෞඛ්‍ය තත්වයක් පවත්වා ගැනීම -
Golden Retriever සාමාන්‍යයෙන් සෞඛ්‍ය සම්පන්න නමුත් සමහර ජානමය සෞඛ්‍ය ආබාධ තත්වයන්ට ගොදුරු වේ. නිතිපතා පශු වෛද්‍ය පරීක්ෂාවන් සහ රෝග වැළැක්වීමේ සත්කාර අත්‍යවශ්‍ය වේ. පොදු සෞඛ්‍ය ගැටළු වලට ඇතුළත් වන රෝග අතර,
කුකුල් සහ වැලිමිට ඩිස්ප්ලේෂියාව (Hip and Elbow Dysplasia)-

මෙය සන්ධි ක්‍රියාකාරිත්වයට බලපාන ජානමය තත්වයකි. නිතිපතා ව්‍යායාම කිරීම සහ නිරෝගී බරක් පවත්වා ගැනීම අවදානම අවම කර ගැනීමට උපකාරී වේ.
පිළිකා-
අවාසනාවකට මෙන්, ගෝල්ඩන් රෙට්‍රීවර් බොහෝ සුනඛ වර්ගයන්ට වඩා පිළිකා ඇතිවීමේ අවදානම වැඩි වර්ගයකි. නිතිපතා පශු වෛද්‍යවරුන් හමුවීමෙන් සෞඛ්‍ය තත්වයන් කලින් හඳුනා ගැනීම ඉතා වැදගත් වේ.
හෘද තත්ත්‍වයන් -
subaortic stenosis (SAS) වැනි තත්ව ඇති විය හැක, එබැවින් සාමාන්‍ය හෘද පරීක්ෂාවන් නිර්දේශ කෙරේ.
කන් ආසාදන -

ඔවුන්ගේ වැටී ආවරණය වී ඇති කන් තෙතමනය රඳවා තබා ගත හැකි අතර, එමගින් ආසාදනවලට ගොදුරු විය හැක. ඔවුන්ගේ කන් නිතිපතා පිරිසිදු කිරීම අත්‍යවශ්‍ය වේ.
තරබාරුකම:
Golden retriever යනු කෑමට ඉතාමත් ඇළුම් කරන සුනඛ කොට්ඨාසයක්! ඔවුන්ගේ ආහාර වේල නිරීක්ෂණය කර ඔවුන් නිරෝගී බරකින් තබා ගැනීම සහ ප්‍රමාණවත් ව්‍යායාම ලබා දීම ඉතා වැදගත්.
ගෝල්ඩන් රිට්‍රීවර්ස් කොපමණ විශාල වේද?
පිරිමි සතුන්ගේ බර රාත්තල් 65-75 ක් වන අතර ගැහැණු සතුන් රාත්තල් 55-65 ක් වේ. ඔවුන් අඟල් 21.5-24 අතර උසකින් ද යුක්ත වේ.
මොවුන්ගේ ආයු කාලය කොපමණක්ද?

ගෝල්ඩන් රෙට්‍රීවර් සුනඛයන්ගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 10-12 ක් පමණ වනවා . නමුත් සමබර ආහාර වේලක්, ව්‍යායාම සහ සාමාන්‍ය පශු වෛද්‍ය ප්‍රතිකාර සමග, මීටත් වඩා වැඩි කාලයක් නිරෝගීව ජීවත් වීමේ හැකියාවක් ඔවුන්ට පවතිනවා.
Golden Retriever වර්ග කීයද? ඒ මොනවාද?
මූලිකවම වර්ග තුනකින් Golden Retriver සුරතලුන් දැකගත හැකියි. මොවුන් සියල්ලන්ටම එක සමාන පෞරුෂයක් තිබුණද පෙනුමෙන් මදක් වෙනස් වේ. මෙම වර්ග නම්,
1. British (English) Golden Retriever - මොවුන්ගේ සම්භවය සිදුවන්නේ එක්සත් රාජධානියේ. තරමින් විශාල හිසක් සහ වටකුරු අඳුරු ඇස්, ඝන රැලි සහිත ලොම් මොවුන්ට හිමිවේ.ඇමරිකානු ගෝල්ඩන් රෙට්‍රීවර් හා සසඳන විට පිළිකා ඇතිවීමේ අවදානම අඩුය.

2. American Golden Retriever- සම්භවය සිදුවන්නේ එක්සත් ජනපදයේ. දිගු මුහුණක් සහ තරමක් බරවූ ඇස, මෘදු සහ රන්වන් පැහැයෙන් යුත් ලොම් හිමිවේ. අනෙකුත් වර්ගවලට වඩා පිළිකාවලට ගොදුරු වීමේ ප්‍රවණතාව වැඩිය.
3. Canadian Golden Retriever- සම්භවය සිදුවන්නේ කැනඩාවේදී. බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු වර්ග දෙකටම වඩා උස සහ කෙට්ටු වන අතර තද රන්වන් පැහැයෙන් යුත් කෙටි ලොම් ඇත. උකුල් ආබාධ සහ හෘදයාබාධවලට ලක් වීමේ ඉඩකඩ ඇත.
ගෝල්ඩන් රෙට්‍රීවර්ස් ඔබට සුදුසුද?
ගෝල්ඩන් රෙට්‍රීවර් යනු අපූරු සුරතල් සතුන් වන නමුත් ඔවුන්ට කාලය, කැපවීම සහ ක්‍රියාශීලී ජීවන රටාවක් අවශ්‍ය වේ. ඉතින් මේ සුරතලෙකු ඔබේ නිවසට ගෙන ඒමට පෙර සලකා බැලිය යුතු දේ මෙන්න:

ඔබට දිනපතා ව්‍යායාම කිරීමට සහ ක්‍රීඩා කිරීමට කාලය තිබේද? Retrievr සුරතලුන්ට සෑම දිනකම අවම වශයෙන් පැය 1-2 ක කාලයක්වත් ශාරීරික ක්‍රියාකාරකම් අවශ්‍ය වේ .
ඔබට පශු වෛද්‍ය වියදම් දැරිය හැකිද? සෞඛ්‍ය ගැටළු වලට ඇති නැඹුරුව හේතුවෙන් Golden Retriever සුරතලුන් හට නිතර පශු වෛද්‍යවරුන් හමුවීමට අවශ්‍ය විය හැකිය.
ඔබට මධ්‍යම ප්‍රමාණයේ සුනඛයෙකු ඇති කිරීම සඳහා ප්‍රමාණවත් ඉඩක් තිබේද? මෙම සුරතලුන් මිදුලක් සහිත නිවාසවල වර්ධනය වන නමුත් නිතිපතා ව්‍යායාම කළහොත් මහල් නිවාසවලට ද අනුවර්තනය විය හැකිය.
පුහුණුව සඳහා කැපවීමට ඔබ කැමතිද? මොවුන්ව පුහුණු කිරීමට පහසු වුවද, නිරන්තර සමාජගත කරවීම සහ පුහුණුව ලබාදීම ඔවුන්ගේ හැසිරීම් තීරණයෙහි ඉතා වැදගත් වෙයි.

අවසාන වශයෙන්, ගෝල්ඩන් රිට්‍රීවර්ස් යනු සමූහ පවුල්වලට, තනිව ජීවත් වන ක්‍රියාශීලී පුද්ගලයින්ට සහ විශ්වාසවන්ත සහකරුවෙකු සොයන අය සඳහා හොඳම සුනඛ අභිජනනයකි. ඔවුන් ඉතාමත් ආදරණීය, බුද්ධිමත එමෙන්ම හොදින් පුහුණු කළ හැකි සුනඛ කොට්ඨාසයක් වන අතර පළමු වරට සුනඛ හිමිකරුවන් වන පුද්ගලයන් සඳහා හොඳම තෝරා ගැනීමකි. කෙසේ වෙතත්, ඔවුන්ට වර්ධනය වීමට කාලය, ව්‍යායාම, නඩත්තුව සහ නිසි සැලකිල්ල අවශ්‍ය වේ.
ඔවුන්ට අවශ්‍ය ආදරය සහ කැපවීම ලබා දීමට ඔබ සූදානම් නම්, ගෝල්ඩන් රිට්‍රීවර් ඔබේ නිවසට ප්‍රීතිය, පක්ෂපාතිත්වය අපූරු අත්දැකීම් සහ මතකයන් ගෙන එන ජීවිත කාලය පුරාවටම ඔබට හමුවන හොඳම මිතුරෙකු වනු ඇත!

Paw Paradise Sri Lanka
මූලාශ්‍රය -
(Arford, K. (n.d.). 10 Science-Based Benefits of Having a Dog.
සබැඳි ලිපි :
සුරතලයට සුනඛයෙක් ඇති කළ යුත්තේ ඇයි ?







