- මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට
රුපියල් ලක්ෂ 26කට අධික හිඟ විදුලි බිලක් නොගෙවා තිබියදී සාමාන්‍ය පාරිභෝගිකයන්ගේ විදුලිය කැපීම නීතිය ඉදිරියේ අසමාන සැලකීමක් බවට චෝදනා; ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්.
2019 වසරේ වීරකැටියේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ නිවසේ පැවැති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගේ විවාහ උත්සවය වෙනුවෙන් භාවිත කළ විදුලිය සඳහා හිඟ මුදල් නොගෙවීම තුළින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම ලබන දෙසැම්බර් මස 04 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූලි 24) දින නියම කළේය.
ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සම්පත් අබේකෝන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.
එහිදී ලංකා විදුලිබල මණ්ඩලය වර්තමානය වන විට ප්‍රතිව්‍යුහගතකරණයට ලක්ව ඇති බැවින්, ඊට අදාළ අනුප්‍රාප්තික සමාගම මෙම පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කිරීමට විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශ්වයට අවසර ලබා දුන්නේය. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ තිෂ්‍ය වේරගොඩ පෙනී සිටියේය.
පෙත්සමින් මතු කර ඇති ප්‍රධාන කරුණු
නීතිඥ විජිත කුමාර විසින් ගොනු කර ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන් වන්නේ 2019 සැප්තැම්බර් 12 වනදා සිට 15 වනදා දක්වා කාලය තුළ වීරකැටිය නිවසේ පැවැති මංගලෝත්සවය වෙනුවෙන් ලබාගත් විදුලිය සඳහා අයවිය යුතු මුදල රුපියල් 2,682,246.57ක් (රුපියල් ලක්ෂ 26කට අධික) වන බවයි.
එම දිනවල අදාළ නිවස සහ අවට ප්‍රදේශයට ආරක්ෂිත විදුලි ලාම්පු ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක එවකට විදුලිබල ඇමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබූ අතර, ඊට අදාළ පිරිවැය රාජපක්ෂ පවුලේ සාමාජිකයන් විසින් ගෙවීමට සූදානම් බව ප්‍රකාශ කර තිබූ බවද පෙත්සමේ දක්වා ඇත. එහෙත් එම මුදල මෙතෙක් ගෙවා නැති බව පෙත්සම්කරු පෙන්වා දෙයි.
"මහින්ද රාජපක්ෂ ගේ නිවසේ රුපියල් ලක්ෂ 26කට අධික හිඟ විදුලි බිලක් පවතිද්දී විදුලිය විසන්ධි නොකර, මගේ නිවසේ රුපියල් 7,390ක මාසික විදුලි බිල නොගෙවීම මුල්කරගෙන විදුලිය විසන්ධි කිරීමට බලධාරීන් කටයුතු කළා. මෙය නීතිය ඉදිරියේ සැමට එකලෙස සැලකීම උල්ලංඝනය කිරීමක්."
මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම
මේ අතර, අදාළ නොගෙවූ විදුලි බිල සම්බන්ධයෙන් පෙර අවස්ථාවක අදහස් දක්වමින් අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, නාමල් රාජපක්ෂ ගේ විවාහ උත්සවය වෙනුවෙන් වැයවූ අදාළ විදුලි බිල තමා විසින් පියවීමට කටයුතු කළ බවයි.




