චීන ජූඩෝ ක්‍රීඩිකාවක වන ටැං ජිං (Tang Jing) ආසියානු ක්‍රීඩා උළෙලෙන් ඉවත් කර තිබෙනවා. මීට හේතු වී තිබෙන්නේ ඇය අර්ධ-අවසන් පූර්ව තරගයේ ඇගේ ප්‍රතිවාදිනිය වූ ජපානයේ රින් මෙයිඩාගේ (Rin Maeda) අත හපාකෑමයි.
කාන්තා කිලෝග්‍රෑම් 70 තරගයේදී ටැංගේ ක්‍රීඩාශීලී නොවන හැසිරීම වෙනුවෙන් ඇය තරගයේ නුසුදුස්සෙකු ලෙස තීරණය කෙරුනු අතර මෙයිඩා තරගාවලියේ ඉදිරියට යමින් අවසානයේදී එම අංශයේ ජයග්‍රාහිකාව වුණා.
තරගයේ මුල් අවස්ථාවේදී එකිනෙකාගේ ග්‍රහණයෙන් ක්‍රීඩිකාවන් දෙදෙනා වෙන් කිරීමෙන් පසුව මෙයිඩා ඇගේ ඇඳුමේ අත අකුළමින් තරග විනිසුරුට ඇගේ වම් යටි බාහුව පෙන්වා ඇති අතර එහිදී මැණික් කටුවට උඩින් හැපීමක ලකුණක් දිස්ව තිබෙනවා.
වීඩියෝ පටයෙන් එම අවස්ථාව නැවත පරීක්ෂා කර බැලූ තරග නිලධාරීන් තෙවතාවක ආසියානු ක්‍රීඩා පදක්කම්ලාභී ටැං තරගයෙන් ඉවත් කළා.
31 හැවිරිදි ටැං එම තීරණයට අභියෝග කිරීමට සැරසුන ද, පසුව මෙයිඩා ට අතට අත දී මාධ්‍ය සාකච්ඡාවක් ලබා නොදෙමින් තරගාවලියෙන් පිටව ගියා.
තරග විනිසුරුට මේ සිද්ධිය ගැන කියා සිටීමෙන් පසුව කුමක් සිදුවේවිදැයි තමා තුළ අදහසක් නොතිබූ බව 21 වැනි වියේ පසුවන මෙයිඩා පැවසුවා.
“එය නිතර සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඒ නිසා මට මෙය පළමු අත්දැකීම වුණා” යනුවෙන් ඇය කසකස්තානයේ අස්හාර් ආස්ක්හට් පරදවා රන් පදක්කම තහවුරු කර ගැනීමෙන් පසුව සඳහන් කළා.
(සටහන | වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු




