ළමා වින්දිතයන්ට අධිකරණයට නොපැමිණ සාක්ෂි දීමට පළාත් 9ම ආවරණය වන පරිදි වීඩියෝ සාක්ෂි සටහන් කිරීමේ ඒකක පිහිටුවීමට පියවර
පසුගිය වසර 10ක කාලය (2015-2025) තුළ මෙරට ජාතික ළමාරක්ෂක අධිකාරිය (NCPA) වෙත ළමා අපචාර සම්බන්ධ පැමිණිලි 108,000කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ස්ථාවර නියෝග 27/2 යටතේ යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරිය සඳහන් කළේ, මෙලෙස ලැබුණු පැමිණිලි අතුරින් චෝදනා පත්‍ර ගොනු කර අවසන් කරන ලද ළමා අපචාර නඩු 4,421ක් මේ වසරේ (2026) අප්‍රේල් 30 වන විටත් දිවයින පුරා පිහිටි මහාධිකරණ හමුවේ විභාග වෙමින් පවතින බවයි.
නඩු විභාග කඩිනම් කිරීමේ උපායමාර්ග
අදාළ නඩු විභාග කිරීම සහ අවසන් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ දිසාව යටතේ ක්‍රියාත්මක වන පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ 47ක් සමඟ ජාතික ළමාරක්ෂක අධිකාරිය සමීපව කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරිය මෙහිදී පැහැදිලි කළාය.
එමෙන්ම, අධිකරණමය ක්‍රියාමාර්ගයන්හිදී සිදුවන අනවශ්‍ය ප්‍රමාදයන් වළක්වා ගැනීමට මෙන්ම ළමා වින්දිතයන් නැවත නැවතත් මානසික පීඩාවන්ට ලක්වීම වැළැක්වීම සඳහා නීතිමය සහ තාක්ෂණික ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට පියවර ගනිමින් සිටින බවද ඇය සඳහන් කළාය.
ළමා මිතුරු වීඩියෝ සාක්ෂි ඒකක
ළමා වින්දිතයන්ට අධිකරණ සංකීර්ණ වෙත සෘජුව පැමිණීමට ඇති අවශ්‍යතාව අවම කරමින්, ආරක්ෂිත සහ ළමා මිතුරු පරිසරයක සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාදීමේ පද්ධතියක් සක්‍රීය කිරීමට පියවර ගෙන ඇත.
මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය ඇතුළු අදාළ රාජ්‍ය ආයතන සමඟ සාකච්ඡා පවත්වමින් දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි ප්‍රාදේශීය වීඩියෝ සාක්ෂි සටහන් කිරීමේ ඒකක 9ක් (Provincial Video Evidence Recording Units) ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටින බව අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් වැඩිදුරටත් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නාය.
මෙරට ළමා අපචාර නඩු විසඳීමේදී සිදුවන ව්‍යුහාත්මක ප්‍රමාදයන් වැළැක්වීම සඳහා විශේෂිත අධිකරණ පද්ධතියක් සහ ආරක්ෂිත සාක්ෂි ලබාදීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව සිවිල් සංවිධාන සහ ළමා අයිතිවාසිකම් ක්‍රියාකාරීන් විසින් දීර්ඝ කාලයක සිට පෙන්වා දෙනු ලබන කරුණකි.




