තමාට ඉවත් වෙන්න කියන්නේ හිරේ යන්න ඉන්න අය යැයි ඇමති හර්ෂණ නානායක්කාර කියයි.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර ට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 116කින් පරාජයට පත් කිරීමට පාර්ලිමේන්තුව ජූලි 24 වනදා පියවර ගත්තේය.
පසුගියදා මීගමුව බන්ධනාගාරයේ සිදුවූ සිදුවීම මුල්කරගනිමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් කථානායකවරයා වෙත භාරදෙන ලද මෙම විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද පෙ.ව. 11.30 සිට ප.ව. 6.00 දක්වා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
අනතුරුව පැවැති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 36ක් ලැබුණු අතර, ඊට විපක්ෂව ඡන්ද 152ක් හිමි විය.
විවාදයේදී අමාත්‍යවරයා දැක්වූ අදහස්
ඡන්ද විමසීමට පෙර විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කළේ විපක්ෂය විසින් ඉදිරිපත් කළ චෝදනාවල කිසිදු සාධනීය කරුණක් අන්තර්ගත නොවූ බවයි.
"මට ඉවත් වෙන්න කියන්නේ මහජනතාව හෝ මගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් නෙවෙයි. මට ඉවත් වෙන්න කියන්නේ ඉදිරියේදී හිරේ යන්න ඉන්න අය සහ දැනට ඇප මත ඉන්න අයයි. මේක රහස් ඡන්දයක් වුණා නම් 159කටත් වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලැබෙන්න ඉඩ තිබුණා. විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් පවා මට කතා කරලා කිව්වා මේ යෝජනාවට අත්සන් කළාට මම නිවැරදිව කටයුතු කරන බව පිළිගන්නවා කියලා."
බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා ව්‍යාපෘති නවයක් ක්‍රියාත්මක කර ඇති බවත්, රස පරීක්ෂක වාර්තා 7,500ක් කඩිනමින් ලබාගැනීමට කටයුතු යොදා ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. එසේම සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත්කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමේ නව නීතිමය ක්‍රමවේදයක් සකස් කරමින් පවතින බවද හෙතෙම කියා සිටියේය.
බන්ධනාගාර සහ අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ
මීගමුව බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත්, යම් නිලධාරියෙකු අනීතිකව කටයුතු කර ඇත්නම් නීතිය ක්‍රියාත්මක කරන බවත් සඳහන් කළ අමාත්‍යවරයා, මියගිය නිලධාරීන් වෙනුවෙන් වන්දි ලබාදී ඉදිරි සහන සැලසීමට අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත්කර ඇති බවද පැවසීය.
නඩු කටයුතු වේගවත් කිරීම රජයේ ජනවරම බව පෙන්වා දුන් හර්ෂණ නානායක්කාර, නව රජය බලයට පත්වීමෙන් පසු වාණිජ මහාධිකරණ දෙකක්, අල්ලස් නඩු විමර්ශනයට අධිකරණ තුනක්, සුළු හිමිකම් අධිකරණයක්, ත්‍රිපුද්ගල මහාධිකරණ දෙකක් ඇතුළු නව අධිකරණ සංකීර්ණ කිහිපයක්ම ස්ථාපිත කර ඇති බව වැඩිදුරටත් අවධාරණය කළේය.




