අයදුම්පත් ආකෘතියේ සංකීර්ණත්වය නිසා ස්වාධීන කොමිෂන් සභාවලට සුදුස්සන් සොයාගැනීම අර්බුදයක
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙතින් කෙරෙන ඉල්ලීම
ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයන් පත්කිරීමේදී දැනට අනුගමනය කරනු ලබන ස්වයං අයදුම්පත් කැඳවීමේ ක්‍රමවේදය අසාර්ථක එකක් බව පෙන්වා දෙමින්, එම පටිපාටිය වහා වෙනස් කරන ලෙස 'මාර්තු 12 ව්‍යාපාරය' ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ඉල්ලීමක් කර තිබේ. එම ව්‍යාපාරයේ කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි ගේ අත්සනින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති, කථානායක ජගත් වික්‍රමරත්න වෙත ලිපියක් යොමු කරමින් මෙම තොරතුරු අනාවරණය කර ඇත.
ස්වාධීන කොමිෂන් සභා කිහිපයකට සාමාජිකයන් පත්කිරීමට ප්‍රමාණවත් පරිදි සුදුසු අයදුම්පත් නොලැබීම හේතුවෙන් නැවත අයදුම්පත් කැඳවීමට ව්‍යවස්ථා සභාවට සිදුවී ඇති අතර, මෙය සමස්ත ක්‍රියාවලියේ පවතින දුර්වලතාවයක් බව විචාරකයෝ පෙන්වා දෙති.
ස්වයං අයදුම්පත් ක්‍රමයේ පවතින ගැටලු
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ආරම්භක අවධියේදී අනුගමනය කළේ අදාළ තනතුරු සඳහා සුදුසු පුද්ගලයන් වෙනත් පිළිගත් සංවිධානයක් හෝ ආයතනයක් මගින් නම් කර යැවීමේ පටිපාටියකි. එහෙත් වර්තමානය වන විට අදාළ තැනැත්තා විසින්ම ස්වයංව අයදුම් කළ යුතු වන පරිදි ක්‍රමවේදය වෙනස් කර තිබේ.
කැපීපෙනෙන සමාජ මෙහෙවරක් කළ නිරහංකාර වෘත්තිකයන්, ශාස්ත්‍රාලිකයන් සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන් මෙලෙස තමන් විසින්ම තනතුරු සඳහා අයදුම් කිරීමට මැලිකමක් දක්වන බව 'මාර්තු 12 ව්‍යාපාරය' පෙන්වා දෙයි. බාහිර පාර්ශ්වයකට සුදුස්සන් යෝජනා කිරීමට අවස්ථාව දීම තුළින් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ සැබෑ සමාජ මෙහෙවරක් කළ පුද්ගලයන් රාජ්‍යකරණ ක්‍රියාවලියට දායක කරගැනීමේ හැකියාව ලැබෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
අයදුම්පත් ආකෘතියේ සංකීර්ණත්වය සහ විකල්ප යෝජනා
දැනට පවතින අයදුම්පත් ආකෘතිය අනවශ්‍ය ලෙස සංකීර්ණ සහ දීර්ඝ එකක් බවත්, ප්‍රථම අදියරේදී කෙටි ලැයිස්තුගත කිරීම් (Shortlisting) සිදුකිරීමට පහසුවන පරිදි වඩාත් සරල සහ භාවිතයට පහසු 'සුහුරු' (Smart) අයදුම්පතක් හඳුන්වා දිය යුතු බවත් අදාළ ලිපිය මගින් යෝජනා කර ඇත.
විශේෂයෙන්ම, අදාළ පුද්ගලයා විසින් සමාජය තුළ සිදුකර ඇති ප්‍රායෝගික හා වෘත්තීමය දායකත්වය සපයා ඇත්දැයි මැන බැලෙන කරුණු කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමුකළ යුතු බව පෙන්වා දී තිබේ. ස්වාධීන කොමිෂන් සභා පද්ධතිය යනු මෙරට පුරවැසියන් ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයක් බැවින්, එහි විශ්වාසනීයත්වය සහ විනිවිදභාවය ආරක්ෂා වන පරිදි පත්කිරීම් ක්‍රියාවලිය වහා යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව එම ලිපිය මගින් අවධාරණය කෙරේ.




