මේ වනවිට ශ්‍රී ලංකාවේ පාපන්දු පරිපාලනයේ උද්ගතව තිබෙන අර්බුදකාරී තත්වය අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ හා

ආසියානු පාපන්දු සමුළුවේ දැඩි නිරීක්ෂණයට ලක්ව ඇතැයිද වාර්තාවේ.

මෙම දෙපාර්ශ්වයෙන් ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව පවත්වාගෙන යාම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1.5ක් හෙවත් ශ්‍රී ලංකා අද රුපියලේ වටිනාකමින් කෝටි 55කට වැඩි මුදලක් වාර්ෂිකව ලබාදේ.

බොහෝ විට සිය සාමාජික රටක නිල පාපන්දු පරිපාලන ඒකකයට තෙවැනි පාර්ශ්වයක මැදිහත්වීම් ප්‍රතික්ෂේප කරන අන්තර්ජාතික පාපන්දු සම්මේලනය එවැනි අවස්ථාවලදී එම රටට අන්තර්ජාතික වශයෙන් පාපන්දු තහනමක් පනවයි.



ඉතාම ආසන්න සිදුවීම වන්නේ අසල්වැසි ඉන්දියාවේ ජාතික පාපන්දු සම්මේලනයට පැනවූ වාරණයයි. ඒ ඉන්දීය උසාවි තීරණයක් පදනම් කර ගනිමිනි. කෙසේ වුවත් ඉන්දීය අගමැති මෝඩි විසින් අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ නිර්දේශයන්ට අනුකුලව කටයුතු කිරීමට එකඟත්වය පළකිරීම තුළ ඉන්දියාවට පැනවූ අන්තර් ජාතික පාපන්දු තරග තහනම ඉක්මණින්ම ඉවත් කිරීමට අන්තර් ජාතික පාපන්දු සම්මේලනය කටයුතු කළේය.



දැන් උද්ගතව තිබෙන මෙරට පාපන්දු පරිපාලනයේ අර්බුදය ඉක්මණින් විසඳා නොගතහොත් ශ්‍රී ලංකාව අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ තහනමට ලක්වීමේ අනතුරක් මේ වනවිට නිර්මාණය වෙමින් තිබෙන බවද වාර්තාවේ.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ධුරය දැරූ ජස්වර් උමාර්  ‘ලංකාදීප’ ය කළ විමසුමකදී සඳහන් කර ඇත්තේ, මේ වනවිට කටාරයේ නේවාසික පුහුණුවීම් හදාරමින් සිටින ශ්‍රී ලංකා ජාතික පාපන්දු සංචිතයේ පුහුණු සංචාරයට මෙන්ම ලබන ඔක්තෝබර් 2 වැනිදා උස්බෙකිස්ථානයේදී ආරම්භ කිරීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ ආසියානු කුසලාන වයස 17න් පහළ සුදුසුකම් තරග වටයේ සංචාරයටද වත්මන් තත්වය දැඩි බලපෑමක් කරනු ඇති බවයි.

‘‘පාපන්දු ආයතනයේ වත්මන් නිල කාලය අවුරුද්දකට විතරක් සීමා කරලා තිබෙනවා කියලා අපි පිළිගන්නේ නෑ. අපේ නිල කාලය අවුරුදු දෙකක් විය යුතුයි. හරියටම එය අවසන් විය යුත්තේ ලබන 2023 මැයි 31 වැනිදාටයි.



පසුගිය දිනවල ලංකාවට ඇවිත් මෙරට නිලවරණය ගැන සාකච්ඡා කරලා ගිය අන්තර් ජාතික හා ආසියානු පාපන්දු සමුළු නියෝජිතයන්ට ක්‍රීඩා අමාත්‍යාංශය ලබාදුන් ප්‍රතිඥා බිඳවැටීම ගැන මේ වන විට ඔවුන් දැඩි කණස්සල්ලට පත්ව තිබෙනවා” යයිද ජස්වර් උමාර් වැඩිදුරටත් පවසයි.




පාපන්දු සම්මේලනය නිසි බලධාරියකු යටතට

කෙසේවුවද ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ මීළඟ නිලවරණය කැඳවනතුරු එහි පරිපාලන කටයුතු මෙහෙයවීම නිසි බලධාරියෙකු යටතට පත් කිරීමට අද  (26) ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී තීරණය වී ඇතැයි වාර්තාවේ.

එහිදී නිසි බලධාරියා ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය යෝජනා වනු ඇතැයිද වාර්තාවේ.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ පසුගිය 2021 ජුනි (30) වැනිදා සිට ඇරඹූ වත්මන් නිල කාලය පසුගිය සැප්තැම්බර් 15 වැනිදා සිට අවසන් වූ බව ක්‍රීඩා අමාත්‍යාංශය මේ වන විට නිල වශයෙන් දැනුම්දී තිබේ.

ඒ අනුව,  කොළඹ රීඩ් මාවත පාපන්දු ආයතන මූලස්ථානය පසුගිය සිකුරාදා (23) සිට වසා දමා තිබේ.

මේ හේතුවෙන් මාසයේ 25 වැනිදාට පෙර ගෙවිය යුතු එහි සේවක සේවිකාවන්ගේ මෙම සැප්තැම්බර් මාසයට හිමි වැටුප් අද වන විටත් ගෙවා නොතිබූ බවද පාපන්දු ආරංචි මාර්ග සඳහන් කරයි.



කණ්ඩායම් දෙකක බල පොරයක් !

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ මෙවැනි අර්බුදයක් මතුව ඇත්තේ ඉදිරි නිලවරණයට තරඟකිරීමට නියමිත කණ්ඩායම් දෙකට ම දේශපාලන කණ්ඩායම්වල සහය පලව තිබීම හේතුවෙනි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ධුරය දැරූ ජස්වර් උමාර් ගේ කණ්ඩායම හා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපතිවරයෙකු වන මනිලාල් ප්‍රනාන්දුගේ පුත් විශේෂඥ වෛද්‍ය මනිල් ප්‍රනාන්දු ගේ කණ්ඩායම අතර ගැටුම මේවනවිට බරපතල ලෙස උත්සන්න වී ඇත.

විශේෂඥ වෛද්‍ය මනිල් ප්‍රනාන්දු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික වෛද්‍යවරයා වේ. පසුගියදා මහින්ද රාජපක්ෂ ගේ දණහිසේ අබාධයට සැත්කමක් කරනු ලැබුවේ ද විශේෂඥ වෛද්‍ය මනිල් ප්‍රනාන්දු විසිනි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ධුරය දැරූ ජස්වර් උමාර්, හිටපු ක්‍රීඩා ඇමතිවරයකු වූ නාමල් රාජපක්ෂගේ හිතවතකු ලෙස ප්‍රකාශවී ඇති තත්වයක් තුල
වත්මන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ උදහසට ලක්ව ක්‍රීඩා අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.

එවැනි තත්ත්වයක් තුළ ජස්වර් උමාර් පසුගියදා අමාත්‍ය හරින් ප්‍රනාන්දු සමග සංචාරක අමාත්‍යංශයට අදාල රාජකාරියක් සඳහා කටාර් රාජ්‍යයේ ඉහලම නිලධාරීන් පිරිසක් හමුවීමට යාම ද  ක්‍රීඩා අමාත්‍යවරයාගේ අමනාපයට හේතුවී ඇතැයි පැවසේ.


සබැඳි පුවත් :

පාපන්දු සම්මේලනය වසා දමයි! - වැටුප් ගෙවීමත් ප්‍රශ්නයක්

පාපන්දු සම්මේලනයේ නව ව්‍යවස්ථාව සම්මතයි -නිලවරණය ඔක් 23

පාපන්දු ව්‍යවස්ථාව සංශෝධනය අධීක්ෂණයට විදෙස් නියෝජිතයෝ එති

පාපන්දු නිලවරණය ගැන විශේෂ ගැසට් නිවේදනයක් !

පාපන්දු ප්‍රශ්නය විසඳන්න FIFA ලොක්කෝ එති - නිලවරණය මාස දෙකකින්

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

W

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්