සාධාරණත්වය ඉටුකිරීම සහ දේශපාලන පලිගැනීම දෙකක්: නීතියේ ආධිපත්‍යය වෙනුවට වෛරය රජවීමට ඉඩ නොදිය යුතු බවට අවධාරණයක්
ආයුධ සන්නද්ධ ගැටුම් නිමාව සහ වත්මන් සමාජ අර්බුදය
එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය හමුදාමය වශයෙන් පරාජය කර වසර 16ක් සපිරෙන මොහොතේ, ශ්‍රී ලංකාව නැවතත් තීරණාත්මක සමාජ සහ දේශපාලනික සන්ධිස්ථානයකට පැමිණ ඇති බව හිටපු අමාත්‍ය සහ පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිළින්ද මොරගොඩ පෙන්වා දෙයි. දශක තුනකට ආසන්න කාලයක් පැවැති සන්නද්ධ ගැටුම නිමාවීමෙන් පසු රට හමුවේ ඇති ප්‍රධානතම අභියෝගය වන්නේ තවදුරටත් ආයුධ සන්නද්ධ කැරැල්ලක් නොව, දේශපාලන ධ්‍රැවීකරණය සහ සමාජීය බෙදීම් හේතුවෙන් සමාජය අභ්‍යන්තරයෙන් බිඳ වැටීම බව ඔහු සඳහන් කරයි.
2009 මැයි මාසයේදී යුද්ධය නිමාවීමෙන් පසු රට තුළ සාමය ස්ථාපිත වූ බව ඇතැමෙකු විශ්වාස කළද, තවත් පිරිසකට එය බරපතළ ශෝකයක් සහ විසඳෙ නැති ගැටලු රැසකගේ මතකයක් බවත්, මෙම යථාර්ථයන් ද්විත්වයම එකසේ පවතින බවත් හෙතෙම පෙන්වා දෙයි. එබැවින් අතීතයේ පැවැති ගැටුම් මත පිහිටා තවදුරටත් අනාගතය තීරණය කරනවාද, නැතහොත් සමස්ත ජාතියටම හිමිවිය යුතු ජාතික සංහිඳියාව වෙනුවෙන් අලුත් ගමනක් ආරම්භ කරනවාද යන්න පිළිබඳව නැවත සිතා බැලිය යුතු බව ඔහු අවධාරණය කරයි.
එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීත්වය සහ දෙමළ ජනතාවගේ සාධාරණ ගැටලු
එල්.ටී.ටී.ඊ. සංවිධානය යනු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර, ළමා සෙබළුන් බලහත්කාරයෙන් බඳවා ගැනීම් සහ ප්‍රජාතන්ත්‍රවාදී මතයන් නිරායුධ කිරීම මගින් ලොව පැවැති දරුණුතම ත්‍රස්තවාදී සංවිධානයක් වූ බව පෙන්වා දෙන මිළින්ද මොරගොඩ, එමගින් විනාශයට පත් වූයේ සෙසු ප්‍රජාවන් පමණක් නොව මධ්‍යස්ථ දෙමළ දේශපාලන නායකත්වය ද බව මතක් කර දෙයි. ත්‍රස්තවාදයේ බෲරත්වය පිළිගන්නා අතරම, දෙමළ ප්‍රජාව මුහුණ දුන් සාධාරණ දේශපාලන, භාෂාමය සහ සමානාත්මතාවය පිළිබඳ ගැටලුවලට නිසි කාලයේදී දේශපාලන ප්‍රතිසංස්කරණ ලබාදීමට අනුගාමික ආණ්ඩුවලට නොහැකි වූ බව ද ඔහු පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, අතීතයේ සිදුවූ අසාධාරණයන්ට සහ වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සහ සාධාරණත්වය ඉටුකිරීම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක වගකීමක් වුවද, එය දේශපාලන පලිගැනීම් හෝ වෛරය පිරිමසා ගැනීමේ මෙවලමක් බවට පත්නොවිය යුතු බව හෙතෙම පෙන්වා දෙයි. සාධාරණත්වය ඉටුකිරීම මගින් රාජ්‍ය ආයතන ශක්තිමත් වන අතර, පලිගැනීම මගින් දේශපාලනය නොනිමෙන වෛරයේ චක්‍රයක් බවට පත්කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
දේශපාලන නායකත්වයේ වගකීම සහ තරුණ පරපුරේ අනාගතය
වත්මන් සමාජය තුළ පවතින උග්‍ර ආර්ථික දුෂ්කරතා සහ සමාජ මාධ්‍ය හරහා පැතිර යන වෛරී ප්‍රකාශ මගින් ජාතික එකමුතුකම තවදුරටත් පළුදු කර ඇති බව පෙන්වා දෙන හිටපු අමාත්‍යවරයා, මෙරටට දැනට අවශ්‍යව ඇත්තේ ඊළඟ මැතිවරණය ගැන පමණක් නොසිතා දීර්ඝකාලීන ජාතික අභිවෘද්ධිය උදෙසා කටයුතු කළ හැකි රාජ්‍ය තාන්ත්‍රික නායකත්වයක් බව පවසයි. මෙම වගකීම දේශපාලනඥයන්ට පමණක් නොව සිවිල් සංවිධාන, ව්‍යාපාරික නායකයන්, ශාස්ත්‍රඥයන් මෙන්ම ආගමික නායකයන්ට ද එකසේ පැවරෙන බව ඔහු අවධාරණය කරයි.
යුද්ධය නිමවීමෙන් පසු ගතවූ කාලය තුළ රටට සිදුවූ දැවැන්තම හානිය වන්නේ රටේ තරුණ පරපුරට අනාගතය පිළිබඳ පැවැති බලාපොරොත්තු අහිමි වී යාමයි. ආර්ථික ප්‍රශ්නවලට අමතරව රට තුළ පවතින බෙදීම් සහ අස්ථාවරත්වය හේතුවෙන් උගත් තරුණ පරපුර රට හැරයාමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති අතර, තරුණයන්ගේ විශ්වාසය සහ බලාපොරොත්තුව නැවත ගොඩනැගීමට අපොහොසත් වන කිසිදු ජාතියකට ආර්ථික හෝ සමාජීය වශයෙන් ඉදිරියට යා නොහැකි බවද මිළින්ද මොරගොඩ වැඩිදුරටත් පෙන්වා දෙයි.
මුලාශ්‍රය :




