දුරකථන සහ බැංකු වාර්තා ඔස්සේ විමර්ශන පුළුල් කෙරෙද්දී, සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන්ගෙන් පොලිස් වාර්තාවලට අභියෝග
කොල්ලුපිටිය ප්‍රදේශයේදී චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකක මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර ගේ පුත්‍රයෙකු වන අනුජ දිනුජිත් බණ්ඩාර (අනුද ජනාදිත් බණ්ඩාර) ඇතුළු සැකකරුවන් පස්දෙනා දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (ජූලි 27) නියෝග කළේය.
ඒ අනුව එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂ 200 බැගින් වූ ශරීර ඇප දෙකක් බැගින් (සමස්ත ශරීර ඇප වටිනාකම රුපියල් ලක්ෂ 2000ක්) නියම කළ මහේස්ත්‍රාත්වරයා, සැකකරුවන් පස්දෙනාටම විදේශ ගමන් තහනම් පනවා ඒ බව ආගමන විගමන පාලකජනරාල්වරයා වෙත දැනුම් දෙන ලෙසද අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියෝග කළේය.
මෙලෙස ඇප මත මුදාහරින ලද්දේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයාට අමතරව කන්දෙපොල අජිත් ප්‍රියන්ත, ප්‍රමිල් කෝසල ගුණදාස, දුෂාන් ශ්‍යාමල්/චාමර සිල්වා සහ චීන ජාතිකයෙකු වන වැන් කුයින් (වෑන් චින්) යන අයයි.
සිද්ධියේ පසුබිම සහ පොලිස් විමර්ශන
ජූලි 13 වනදා කොල්ලුපිටිය, ග්ලේන් ආබර් මාවතේදී පෞද්ගලික සමාගමක කළමනාකරුවෙකු වන චීන ජාතිකයෙකු සිය මෝටර් රථය නවතා සිටියදී, තමන් පොලිසියෙන් බව පවසා පැමිණි පුද්ගලයෙකු ගුවන් බලපත්‍රය පරීක්ෂා කරන මුවාවෙන් රථයේ තිබූ රුපියල් කෝටි දෙකක මුදල් බෑගය කොල්ලකා පලාගොස් තිබිණි. පසුව චීන ජාතිකයා ඇතුළු පිරිසක් හඹාගොස් ත්‍රිරෝද රථයකින් පලායාමට තැත්කළ අදාළ සැකකරු අල්ලාගෙන ප්‍රදේශයේ රාජකාරියේ නිරත පොලිස් කණ්ඩායමක් වෙත භාරදී ඇත.
සිද්ධිය වූ ස්ථානයේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා එකෙණෙහිම නොසිටියද, විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු මත කොල්ලුපිටිය පොලිසියට භාරවීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගැනිණි.
අද දින අධිකරණයට කරුණු දැක්වූ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සඳහන් කළේ, සැකකරුවන්ගේ ජංගම දුරකථන සහ බැංකු ගිණුම් වාර්තා කැඳවා ඇති අතර, මොවුන් ක්‍රිප්ටෝ මුදල් හරහා මීට පෙර ගනුදෙනු කර ඇත්දැයි පරීක්ෂා කරන බවයි. එමෙන්ම සිද්ධියට අදාළ CCTV දර්ශන පරික්ෂා කිරීමේදී සැකකරුවන්ගේ චලනයන් තහවුරු වී ඇති බවත්, අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවෙකු සහ මෝටර් රථයක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවත් පොලිසිය ප්‍රකාශ කළේය.
නීතිඥ පාර්ශ්වයන්ගේ කරුණු දැක්වීම
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්මාල් රත්නායක, නාමල් රාජපක්ෂ, තිවංක ඒකරත්න සහ රජිත සමරරත්න ඇතුළු නීතිඥ මණ්ඩලය අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ, පොලිසිය ඉදිරිපත් කරන කරුණු පරස්පර සහ දෝෂසහගත බවයි.
පස්වන සැකකාර අනුජ බණ්ඩාර සිද්ධිය වූ ස්ථාන කිසිවක නොසිටි බවත්, පොලිසිය විවිධ අවස්ථාවලදී ඔහුගේ රැඳී සිටීම් පිළිබඳ ලබාදෙන වාර්තා වෙනස් කරමින් සිටින බවත් නීතිඥ පාර්ශ්වය සඳහන් කළේය. එමෙන්ම සිද්ධියට තම සේවාදායකයන්ගේ සෘජු සක්‍රීය දායකත්වයක් නොමැති බවත්, කොල්ලකන ලද බව කියන මුදල් මේ වන විටත් පොලිස් භාරයේ පවතින බවත් පෙන්වා දුන් නීතිඥවරු, ඕනෑම කොන්දේසියක් යටතේ ඇප නියම කරන ලෙස ඉල්ලා සිටියහ.
දෙපාර්ශ්වයේම කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා, ඇපකරුවන්ගේ පදිංචි සහතික ඉදිරිපත් කිරීම සහ විදේශ ගමන් තහනම ඇතුළු කොන්දේසි මත සැකකරුවන් මුදාහැරීමට නියෝග කළ අතර, විමර්ශනවල ඉදිරි ප්‍රගතිය ඉදිරි දිනයේදී අධිකරණයට වාර්තා කරන ලෙස මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළේය.




