දෙහිවල සහ රත්මලාන ඉඩම් පහක් සම්බන්ධයෙන් නීතිපති ගොනුකළ නඩුව අගෝස්තු 20ට.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ පුත් යෝෂිත රාජපක්ෂ ට එරෙහිව ගොනු කර තිබෙන නඩුව වැඩිදුර විභාගය සඳහා අගෝස්තු මස 20 වනදා නැවත කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේය.
මෙම නඩුකරය ජූලි 24 වනදා කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග ඉදිරියේ කැඳවනු ලැබීය.
එම අවස්ථාවේදී විත්තිකාර යෝෂිත රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් නඩු විභාගය සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.
නාවික හමුදා සාක්ෂිකරුවන්ට අවවාද
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා නඩුව වැඩිදුර විභාගයට අගෝස්තු මස 20 වනදා කැඳවීමට තීරණය කළේය.
එදින සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටි නාවික හමුදා නිලධාරීන් ඇතුළු සාක්ෂිකරුවන්ට, ඊළඟ නඩු දිනයේදී ද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහාධිකරණ විනිසුරුවරයා විසින් අවවාද කරනු ලැබීය.
නඩුවට අදාළ චෝදනා
දෙහිවල සහ රත්මලාන ප්‍රදේශයන්හි පිහිටි රුපියල් ලක්ෂ 730 කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කට්ටි පහක් අයථා ලෙස අත්පත් කරගැනීම තුළින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.




