පාර්ලිමේන්තුව තුළ සහ පිටත ආණ්ඩුවට එරෙහිව දැවැන්ත ව්‍යාපාරයක් ඇරඹීමට පක්ෂ නායකයින්ගෙන් තීරණයක්
උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය ගෙන ඇති යෝජනාව සහ අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වී ඇති බව කියන තර්ජන පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සංවිධානය කළ විශේෂ පක්ෂ නායක හමුව අද (23) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි.
විපක්ෂ නායකවරයාගේ විශේෂ ආරාධනයකට අනුව කැඳවා තිබූ මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු විපක්ෂය නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයින් රැසක් සහභාගී වී සිටීම විශේෂත්වයකි.
විපක්ෂයේ ප්‍රධානීන්ගේ නියෝජනය
"නීතියේ ආධිපත්‍ය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම" යන තේමාව යටතේ පැවැති මෙම සාකච්ඡාවට හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, සර්වජන බලය නායක දිලිත් ජයවීර, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, එක්සත් ජනරජ පෙරමුණේ නායක පාටලී චම්පික රණවක, ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, දෙමළ ජාතික ජනප්‍රිය පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ජීවන් තොණ්ඩමන්, එක්සත් මහජන පක්ෂයේ නායක ටිරාන් අලස්, පී. දිගම්බරන්, දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, කබීර් හෂීම් සහ සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පක්ෂ නායකයෝ සහ නියෝජිතයෝ රැසක් එක්ව සිටියහ.
පක්ෂ නායකයින්ගේ අදහස් දැක්වීම්
මෙහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ, ආණ්ඩුවේ පත්තියම් නොවන ක්‍රියාකලාපයන්ට එරෙහිව මෙරට සියලුම විපක්ෂ දේශපාලන බලවේග එකම අරමුණකට ඒකරාශී වී ඇති බවයි. අධිකරණ ක්ෂේත්‍රයේ පවතින ගැටලු සහ නඩු ප්‍රමාදයන් සම්බන්ධයෙන් සොයා බලා නඩු ලක්ෂ 11ක් කඩිනමින් විසඳීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කරන ලෙස හෙතෙම විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම ඉදිරි දිනවලදී මහා සංඝරත්නය සහ නීතිඥ ප්‍රජාව එකතු කරගනිමින් සමුළු පැවැත්වීමට කටයුතු කරන බව ද හිටපු ජනාධිපතිවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කළේ, අතීතයේදී ද අධිකරණයේ ස්වාධීනත්වය හකුළුවාලීමට උත්සාහ කළ සෑම අවස්ථාවකදීම එය අවසන් වූයේ ආණ්ඩු පෙරළියකින් බවයි. ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතා පරමාධිපත්‍යය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සියලු දේශපාලන භේදයන්ගෙන් තොරව ඒකාබද්ධව සටන් කළ යුතු බව හෙතෙම යෝජනා කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පෙන්වා දුන්නේ, පුද්ගලයන් ඉලක්ක කරගනිමින් ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමේ ක්‍රියාමාර්ග අතීතයේදී ද ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ බවත්, තනතුරුවල කාලසීමා දීර්ඝ කිරීමෙන් පමණක් නඩු ඇසීමේ ප්‍රමාදයන්ට විසඳුම් නොලැබෙන බවත්ය.
අධිකරණයේ ස්වාධීනත්වයට එරෙහිව සිදුවන බව කියන මැදිහත්වීම්වලට එරෙහිව පාර්ලිමේන්තුව තුළ මෙන්ම පාර්ලිමේන්තුවෙන් පිටත ද බහුජන ව්‍යාපාරයක් ලෙස සංවිධානය වී කටයුතු කිරීමට රැස්වීමට එක්වූ විපක්ෂයේ සියලුම පක්ෂ නායකයන් මෙහිදී එකඟතාවකට පැමිණ තිබේ.





