බලපත්‍ර නොමැති මූල්‍ය ආයතනවල දැන්වීම් පළකිරීමට පෙර තහවුරු කරගැනීමේ වගකීම මාධ්‍ය සතුව ඇති බව නියෝජ්‍ය අධිපති කියයි
නීති විරෝධී සහ අනුමැතිය නොලැබූ මූල්‍ය හෝ ආයෝජන යෝජනා ක්‍රම ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මෙරට රූපවාහිනී නාලිකා, පුවත්පත් සහ ඩිජිටල් මාධ්‍ය ආයතන වෙත දැඩි නීතිමය වගකීමක් පැවරෙන බවත්, එවැනි ප්‍රචාරණයන් හේතුවෙන් අදාළ මාධ්‍ය ආයතන බරපතල නීතිමය ගැටලුවලට මුහුණ දීමේ අවදානමක් පවතින බවත් ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) නිල වශයෙන් අවධානය යොමු කර තිබේ.
වගා සහ වගා බිම් ව්‍යාපෘති ලෙස පෙනී සිටිමින් මහජනතාවගෙන් නීති විරෝධී ලෙස තැන්පතු මුදල් ලබාගන්නා වැවිලි සමාගම් සම්බන්ධයෙන් මහ බැංකුව විසින් ආරම්භ කර ඇති විශේෂ විමර්ශන මාලාවත් සමඟ මෙම තත්ත්වය හටගෙන ඇත.
වගා ව්‍යාපෘති මුවාවෙන් කෙරෙන ජාවාරම
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පෙන්වා දෙන්නේ, යම් යම් වැවිලි සමාගම් විසින් "තැන්පතු" හෝ "ආයෝජන" යන වචන සෘජුව භාවිතා නොකර, වගා ව්‍යාපෘති සඳහා සහභාගී වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින ප්‍රචාරණ ව්‍යාපාර රූපවාහිනී සහ පුවත්පත් හරහා සිදුකරන බවයි.
ඉහළ මාසික ආදායමක් සහ වගා කාලය අවසානයේ විශාල ප්‍රතිලාභ ලබාදෙන බවට මෙම දැන්වීම් මඟින් පොරොන්දු වන අතර, එහි පහළින් සඳහන් කෙරෙන දුරකථන අංක මඟින් ජනතාව සම්බන්ධ කරගනිමින් පසුව නීති විරෝධී ලෙස මුදල් තැන්පත් කරවා ගැනීමට කටයුතු කරන බව අධිපතිවරයා පවසයි. ශ්‍රී ලංකාවේ බැංකු පනත යටතේ නිසි බලපත්‍රයක් නොමැතිව, ස්ථාවර ප්‍රතිලාභ පොරොන්දු වෙමින් මහජනතාවගෙන් මුදල් රැස්කිරීම නීති විරෝධී මූල්‍ය ව්‍යාපාරයක් ලෙස සැලකේ.
ජනමාධ්‍ය ආයතනවල වගකීම
මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති කේ.ජී.පී. සිරිකුමාර මාධ්‍ය ආයතන වෙත දැඩි ලෙස මතක් කර සිටියේ, යම් ආයතනයක මූල්‍ය හෝ ආයෝජන ප්‍රචාරණ කටයුතු භාර ගැනීමට පෙර එම ආයතනයට මහ බැංකුවේ වලංගු බලපත්‍රයක් හෝ අනුමැතියක් තිබේද යන්න තහවුරු කරගැනීමේ ව්‍යවස්ථාපිත වගකීමක් මාධ්‍ය වෙත පැවරී ඇති බවයි.
මෙමඟින් මහජනතාව නොමඟ යවන සුළු නීති විරෝධී මූල්‍ය ප්‍රචාරණයන් සඳහා නාලිකා හෝ පුවත්පත් ඉඩකඩ ලබාදීම වැළැක්වීමේ නීතිමය පදනම තහවුරු කර ඇත.
කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් සිදුවීම
'කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන්' (Kasagala Green Plantation) සමාගම සම්බන්ධයෙන් මෑතකදී ඇතිවූ අර්බුදය ද මෙහිදී නැවතත් අවධානයට ලක්විය. 2026 ජූනි 08 වන දින රූපවාහිනී නාලිකාවක පැවැති වැඩසටහනකට එක්වෙමින් එම සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ප්‍රකාශ කර තිබුණේ තමන් මහ බැංකුවේ නියාමනයට යටත්ව කටයුතු කරන බවත්, මාස හයෙන් හයට වාර්තා ලබාදෙන බවත්ය.
නමුත් ඊට දින හතරකට පසුව නිවේදනයක් නිකුත් කළ මහ බැංකුව, එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ නොමඟ යවන සුළු එකක් බවත්, එකී සමාගම සම්බන්ධයෙන් මුදල් පනත යටතේ විමර්ශන ආරම්භ කර ඇති බවත් නිල වශයෙන් දැනුම් දුන්නේය. එවැනි නීති විරෝධී ආයෝජන යෝජනා ක්‍රමවල මුදල් තැන්පත් කර ඇති පිරිස් වෙත උපදෙස් දෙමින් මහ බැංකු අධිපතිවරයා පවසා සිටියේ, තමන්ගේ මුදල් වහාම ආපසු ඉල්ලා සිටින ලෙසත්, එම මුදල් නැවත ලබාදීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඒ පිළිබඳව වහාම මහ බැංකුවට හෝ පොලිසියට පැමිණිලි කරන ලෙසත්ය.
ග්‍රාමීය සංවර්ධනය සහ කෘෂිකාර්මික පුනරුදය යන සංකල්ප ඉදිරියට දමමින් මහජනතාවගේ තැන්පතු ලබාගන්නා ජාවාරම්කරුවන් වැළැක්වීම සඳහා මහ බැංකුව දැඩි නීතිමය පියවර ගනිමින් සිටින අතර, මීට අනුබල දෙන ආකාරයෙන් ප්‍රචාරණ කටයුතු සිදුකරන මාධ්‍ය ආයතන කෙරෙහි ද නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
(සටහන | සම්පත් ධීරසේකර )
මුලාශ්‍රය :
Media Faces Legal Heat Over Illegal Investment Scheme Advertisements




