අපරාධයේ සුලමුල සොයන්න විශේෂඥ නීතිඥ කමිටුවක්; මහාචාර්ය රාජ් සෝමදේවගේ පාරිහාරික වාර්තාව ලබාගැනීමට තීරණයක්
ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුවූ විශාලතම සමූහ සුසානය ලෙස සැලකෙන චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් ගොඩගන්නා ලද සිය ගණනක් වූ මිනිස් අස්ථිවලට අදාළ කාල නිර්ණයන් තමන් වෙත ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.
මෙම අමානුෂික ඝාතන වැලට අත්වූ ඉරණම සහ අපරාධය සිදු වූ ආකාරය තවදුරටත් පුළුල්ව විමර්ශනය කිරීම සඳහා මෙම කාල නිර්ණ වාර්තා අත්‍යවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත.
මෙම නඩු විභාගය ජූලි 23 වැනිදා යාපනය මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර් ඉදිරියේ විවෘත අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කෙරිණි. උතුරේ බලහත්කාරයෙන් අතුරුදන් කරන ලද්දවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී.එස්. නිරංජන් මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, අනාගතයේදී මෙම විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යා යුතු ආකාරය පිළිබඳව තීරණය කිරීම සඳහා විශේෂඥයන්ගෙන් සහ නීතිඥවරුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කිරීමටද පියවර ගෙන ඇති බවයි.
දින 95ක කැනීම් සහ ඛේදවාචකයේ තරම
2025 වසරේ මැයි 15 වැනිදා සිට වසරකට අධික කාලයක් මුළුල්ලේ අදියර තුනක් යටතේ දින 95ක් පුරා සිදුකළ කැනීම්වලදී චෙම්මනි සුසානයෙන් දරුවන්ගේ ද ඇතුළුව මිනිස් ඇටසැකිලි 478ක් මතුකරගෙන ඇති අතර, ඉන් ඇටසැකිලි 464ක් මේ වන විටත් සම්පූර්ණයෙන්ම ගොඩගෙන අවසන්ය.
යාපනය මහේස්ත්‍රාත්වරයාගේ සෘජු අධීක්ෂණය යටතේ, ප්‍රවීණ වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා ප්‍රනවන් ගේ මූලිකත්වයෙන් මෙම සංකීර්ණ කැනීම් කටයුතු සිදු කෙරේ. මෙහිදී එක ගොඩේ අපිළිවෙළට වලදමා තිබූ මිනිස් ඇටකටු පොදි 29ක් ද විශේෂයෙන් සොයාගෙන තිබීම, මෙම සමූහ ඝාතනයේ කෲරත්වය මනාව පිළිඹිබු කරයි.
පසුගිය ජූනි 26 වැනිදා සිදුකළ කැනීම්වලදී ගොඩගත් සිරුරු හත අතර, වැහි කබායක් සේ දිස්වන රෝස පැහැති ඇඳුමකින් කොටසක් වැසී ගිය ඇටසැකිල්ලක් ද මතු කරගැනීමට කැනීම් කණ්ඩායම සමත් විය.
සෙල්ලම් බඩු සහ පාරිහාරික වස්තු
මෙම අපරාධයේ ඛේදනීයම සාක්ෂි බවට පත්ව ඇත්තේ සුසානයෙන් මතුවන පාරිහාරික වස්තූන්ය. මේ වන විට එවැනි වස්තූන් 130ක් පමණ ගොඩගෙන ඇති අතර, ඒ අතර ළදරු කිරි බෝතල්, බෝනික්කන් ඇතුළු සෙල්ලම් බඩු, ළමා පාවහන්, පාසල් බෑග් මෙන්ම කාසි කිහිපයක් ද වේ. මෙම සාක්ෂි මගින් කුඩා දරුවන් ද මෙම ම්ලේච්ඡ ඝාතනයන්ට ගොදුරු වී ඇති බවට තහවුරු වෙමින් පවතී.
මේ සම්බන්ධයෙන් වන පාරිහාරික ද්‍රව්‍ය වාර්තාව මහාචාර්ය රාජ් සෝමදේව ගෙන් ලබාගැනීමට අධිකරණය තීරණය කර ඇති අතර, නඩුව වැඩිදුර විභාගය සඳහා ලබන අගෝස්තු 05 වැනිදා යළි කැඳවීමට නියමිතය.
අධිකරණ අමාත්‍යවරයා මෑතකදී කළ හෙළිදරව්වකට අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් මෙවැනි සමූහ මිනීවළවල් 17ක් සොයාගෙන ඇති අතර, දිවයින පුරා තවත් මෙවැනි සමූහ සුසාන විශාල සංඛ්‍යාවක් විසිරී පවතින බවට මානව හිමිකම් ක්‍රියාකාරීහු අඛණ්ඩව කරුණු අවධාරණය කරති. චෙම්මනි සුසානයේ විමර්ශන, මෙරට යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ තීරණාත්මක කඩඉමක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.




