- ආචාර්ය නන්දලාල් වීරසිංහ
නීති විරෝධී වගා ආයෝජන දැන්වීම් පළකිරීමෙන් වළකින්නැයි මාධ්‍ය ආයතනවලින් දැඩි ඉල්ලීමක්
මෑත කාලීනව වගා ව්‍යාපෘති මුවාවෙන් ජනතාවගෙන් මුදල් තැන්පත් ලබාගැනීමේ ව්‍යාපාර ව්‍යාප්ත වී ඇති බවත්, ඒවා බොහොමයක් නීතිවිරෝධී තැන්පත් ලබාගැනීම් බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ පවසයි.
මේ සම්බන්ධයෙන් මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ අංශය මගින් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ඔහු අවධාරණය කළේය.
යම් ආයතනයක් හෝ පුද්ගලයෙක් වගා ව්‍යාපෘතියක් පෙන්වා ජනතාවගෙන් මුදල් ඉල්ලා සිටින්නේ නම් සහ ඒ සඳහා මාසිකව යම් මුදලක් හෝ ව්‍යාපෘතිය අවසානයේ විශාල ලාභයක් ලබාදෙන බව පවසන්නේ නම්, එය නීතිවිරෝධී ලෙස තැන්පත් ලබාගැනීමක් ලෙස සැලකිය හැකිය,. යම් පුද්ගලයෙකුට තමන්ගේම මුදලින් වගා ව්‍යාපෘතියක් කර දියුණු වීමට කිසිදු බාධාවක් නොමැති වුවත්, මහජනතාවගෙන් මුදල් ලබාගෙන මෙවැනි ව්‍යාපාර සිදුකිරීම ගැටලු සහගත බව අධිපතිවරයා පෙන්වා දෙයි.
මෙවැනි ව්‍යාපෘති බොහොමයක් පිරමිඩ ජාවාරම්වල ස්වරූපය ගන්නා අතර, එහිදී සිදුවන්නේ අලුතින් එක්වන අයගෙන් මුදල් ලබාගෙන පැරණි අයට ගෙවීම් සිදු කිරීමයි. මෙවැනි වංචනික ක්‍රියාවලට හසු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අධිපතිවරයා, දැනටමත් එවැනි ස්ථානවල මුදල් ආයෝජනය කර ඇත්නම් ඒවා වහාම ආපසු ඉල්ලා සිටින ලෙස උපදෙස් දෙයි. යම් හෙයකින් එම ආයතන මුදල් ආපසු ලබාදීමට අදිමදි කරන්නේ නම්, එය වහාම මහ බැංකුවට පැමිණිලි කරන ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙවැනි පැමිණිලි විමර්ශනය කර ඉදිරි නීතිමය පියවර ගැනීමට මහ බැංකුව සූදානම්ව සිටී.
මෙම නීතිවිරෝධී ව්‍යාපාර ප්‍රචාරණය කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය ආයතනවලට ද විශාල වගකීමක් පැවරෙන බව අධිපතිවරයා සඳහන් කළේය. ඇතැම් රූපවාහිනී නාලිකාවල සහ පුවත්පත්වල පළවන දැන්වීම් හරහා ජනතාව නොමග යන බවත්, වෙළඳ දැන්වීම් භාරගැනීමේදී එම ආයතනවලට මහ බැංකු අනුමැතිය තිබේදැයි පරීක්ෂා කිරීම සදාචාරාත්මක මෙන්ම නීතිමය වගකීමක් බවත් ඔහු පැවසීය.
මූල්‍ය ව්‍යාපාර පනතේ ප්‍රතිපාදන අනුව, මහ බැංකු අවසරයකින් තොරව තැන්පත් ලබාගැනීමට අදාළ දැන්වීම් පළ කිරීම වරදක් විය හැකි බවද ඔහු මතක් කර දුන්නේය.
ඇතැම් වෙළඳ දැන්වීම් මතුපිටින් වගා ව්‍යාපෘතියක් ගැන පමණක් සඳහන් කළද, එහි ඇති දුරකථන අංක හරහා සම්බන්ධ වූ විට ජනතාව පොළඹවන්නේ මුදල් තැන්පත් කිරීමටයි.
මේ නිසා එවැනි දැන්වීම් පළ කිරීමේදී වඩාත් පරිස්සම් වන ලෙසත්, ඒවායේ සැබෑ අරමුණ පිළිබඳව විමසිලිමත් වන ලෙසත් අධිපතිවරයා සියලුම මාධ්‍ය ආයතනවලින් කාරුණිකව ඉල්ලා සිටියි.
අහිංසක ජනතාවගේ මුදල් මෙවැනි වංචනික ව්‍යාපාරවලට හසුවී විනාශ වීම වැළැක්වීම සඳහා ජනතාව මෙන්ම මාධ්‍යය ද වඩාත් අවධානයෙන් කටයුතු කළ යුතු බව මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය.
(ජේ. මුණසිංහ )




