එල් නිනෝ අවදානම සහ හදිසි විදුලි අවශ්‍යතාව හමුවේ තාවකාලික පියවරක් ලෙස ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ පිළිතුර
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) සඳහා ස්ථාවර ගෙවීම් ක්‍රමවේදයක් (Feed-in Tariff - FIT) හඳුන්වා දීමට ගෙන ඇති යෝජනාවත් සමඟ, තරගකාරී විදුලි මිලදී ගැනීමේ පටිපාටිය උල්ලංඝනය වීම සහ පාරිභෝගිකයන් මත අමතර දිගුකාලීන පිරිවැයක් පැටවීම සම්බන්ධයෙන් බලශක්ති ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් නිර්මාණය වී තිබේ.
පුනර්ජනනීය බලශක්තිය ජාතික විදුලි බලපද්ධතියට එකතු කිරීම සඳහා බැටරි තාක්ෂණය අත්‍යවශ්‍ය මෙවලමක් ලෙස පිළිගැනුණද, කොමිෂන් සභාව ඉදිරිපත් කර ඇති අලුත්ම යෝජනාවලිය මගින් සැලසුම්කරණය, පාලනය සහ පිරිවැය යන කරුණු කෙරෙහි බලවත් ප්‍රශ්නාර්ථයන් මතුව ඇති බව ක්ෂේත්‍රයේ විද්වත්හු පෙන්වා දෙති.
2026 ජූලි මස යාවත්කාලීන කරන ලද පුනර්ජනනීය බලශක්ති FIT ගාස්තු සමාලෝචනයට අනුව, බැටරි ගබඩා පද්ධති සහිත වහල මත සවි කරන සූර්ය බලශක්ති පද්ධති සඳහා සන්ධ්‍යා කාලයේ උපරිම විදුලි ඉල්ලුම පවතින අවස්ථාවලදී විදුලි ඒකකයකට රුපියල් 66.53ක් දක්වා ගෙවීමට යෝජනා කර ඇත. එමෙන්ම, ස්වාධීන බැටරි ගබඩා ව්‍යාපෘති සඳහා විදුලි ඒකකයකට රුපියල් 30.83 සිට 50.01 දක්වා වූ අනුපාතයන් යටතේ ගෙවීම් කිරීමට මෙන්ම බැටරි ආරෝපණය සඳහා යන පිරිවැය ද ආවරණය කිරීමට යෝජනා වී තිබේ.
ප්‍රතිපත්තිමය සහ තාක්ෂණික ගැටලු
තරගකාරී ලංසු කැඳවීම් හරහා විදුලිය මිලදී ගැනීමේ ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන ප්‍රතිපත්තියෙන් බැහැරව මෙවැනි අලුත් ගාස්තු ආකෘතියක් හඳුනා ගැනීම පිළිබඳව ජාතික පද්ධති මෙහෙයුම්කරුගේ (NSO) ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන් කිහිපදෙනෙකු සිය අවධානය යොමුකර ඇත. විදුලිබල පනතේ 29(3) වගන්තිය අනුව ගාස්තු තීරණය කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාවට බලතල තිබුණද, බැටරි ගබඩා සඳහා සම්පූර්ණයෙන්ම නව ගාස්තු රාමුවක් සැකසීම හුදෙක් සදොස් ගාස්තු සංශෝධනයකට එහා ගිය බරපතල ප්‍රතිපත්තිමය තීරණයක් බව ඔවුන්ගේ අදහසයි.
තවද, ජාතික පද්ධති මෙහෙයුම්කරු (NSO) විසින් මේ වන විටත් පද්ධතියේ විශ්වාසනීයත්වය වෙනුවෙන් තරගකාරී මිලදී ගැනීමේ පදනම මත මහා පරිමාණ බැටරි ගබඩා ව්‍යාපෘති ආරම්භ කරමින් සිටී. එවැනි පසුබිමක, මෙම නව FIT ක්‍රමය මගින් එකිනෙකට වෙනස් පරිමාණයන්ගෙන් බැටරි පද්ධති ස්ථාපනය කිරීමට පෞද්ගලික ආයෝජකයන් යොමුවීම හරහා පද්ධතියට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි අතිරික්ත ධාරිතාවක් මතුවීමේ අවදානමක් පවතී. නිසි ඒකාබද්ධ සැලසුම්කරණයකින් තොරව සිදුවන මෙවැනි ආයෝජනවල පිරිවැය අවසානයේ අනාගත ගාස්තු සංශෝධන මගින් විදුලි පාරිභෝගිකයන්ගෙන්ම අයකර ගැනීමට සිදුවනු ඇතැයි විචාරකයෝ හෙළි කරති.
NSO සභාපතිවරයාගේ ස්ථාවරය
කෙසේ වෙතත්, මෙම යෝජනාව සම්බන්ධයෙන් නැගෙන විවේචන ප්‍රතික්ෂේප කරන ජාතික පද්ධති මෙහෙයුම්කරුගේ (NSO) සභාපති ආචාර්ය ප්‍රදීප් පෙරේරා සඳහන් කරන්නේ පුනර්ජනනීය බලශක්ති ඉලක්ක කරා යාමට සහ ආනයනික ෆොසිල ඉන්ධන මත රඳා පැවැත්ම අඩුකිරීමට බැටරි ගබඩා පද්ධති අත්‍යවශ්‍ය වන බවයි. එමෙන්ම, සේවයේ නියුතු NSO ඉංජිනේරුවන් මෙයට විරෝධය පළකළ බවට පළවන වාර්තා අසත්‍ය බවත්, එම මතවාදයන් ලංකා විදුලිබල මණ්ඩලයේ විශ්‍රාමික ඉංජිනේරුවන්ගෙන් මතුවූ ඒවා බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
යෝජිත FIT ගාස්තුව ෆර්නස් ඔයිල් මගින් විදුලිය නිපදවීමේ පිරිවැයට ආසන්න මට්ටමකට පහත හෙළීම පිළිබඳව මේ වන විටත් සාකච්ඡා සිදුවන බව පිළිගත් සභාපතිවරයා, පවතින කාල සීමාවන් හමුවේ වෙනත් විකල්ප නොමැති බවද පෙන්වා දුන්නේය. ඉදිරියේදී මතුවිය හැකි එල් නිනෝ (El Niño) කාලගුණික තත්ත්වය හමුවේ මෙරටට අමතර මෙගාවොට් 450ක විදුලි බලයක් අවශ්‍ය විය හැකි බවත්, තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රියාවලියකට දීර්ඝ කාලයක් ගතවන බැවින් තාවකාලික විසඳුමක් ලෙස මෙම FIT ක්‍රමය හඳුන්වා දීම වඩාත් ප්‍රායෝගික පියවර වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව, දීර්ඝකාලීන තරගකාරී මිලදී ගැනීමේ ප්‍රතිපත්තිය තහවුරු කරනවාද නැතහොත් හදිසි විදුලි අවශ්‍යතාව වෙනුවෙන් තාවකාලික සංශෝධන වෙත යොමුවෙනවාද යන්න පිළිබඳව බලශක්ති ක්ෂේත්‍රය තුළ ප්‍රබල සංවාදයක් ගොඩනැගී ඇත.
(සටහන | සම්පත් ධීරසේකර )
මුලාශ්‍රය :
Battery Storage Plan Sparks Procurement, Planning, Consumer Cost Questions




