අසාද් මවුලානාගෙන් ප්‍රංශයේදී ප්‍රකාශ සටහන් කරගැනීමේ නීත්‍යානුකූලභාවය තහවුරු කෙරේ; පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලීමක්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තැබීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ ඉදිරිපත් කළ රිට් පෙත්සම අද (ජූලි 27) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බලන ලදී.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය පැවැත්විණි.
විමර්ශනවලට බාධා කිරීම් සහ විදේශ ගමන් බලපත්‍ර තොරතුරු
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් කරුණු දක්වමින්, 2019 සයින්දමර්දු පිපිරීමෙන් "සාරා ජස්මින්" නමැත්තිය මියනොගිය බවට වූ මතය ප්‍රචාරය කරමින් සුරේෂ් සලේ එවකට පැවැති විමර්ශනවලට බාධා කළ ආකාරය එවකට නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ ලබාදුන් කටඋත්තරය සහ 2026 මාර්තු 11 වනදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාව ඇසුරින් පෙන්වා දුන්නාය.
එමෙන්ම 2019 වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ ඉන්දියාවේ ආරක්ෂක පාඨමාලාවකට සහභාගී වූ බවත් එරටින් බැහැර නොවූ බවත් පෙත්සම්කරු ප්‍රකාශ කළද, ඔහුගේ රාජකාරී විදේශ ගමන් බලපත්‍රයේ 56 වන පිටුවේ 2019 මැයි සහ ජූනි මාසවලට අදාළව ඉන්දීය ආගමන විගමන මුද්‍රා ("Departure" සහ "Entered") සටහන් වී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළාය. පාස්කු ප්‍රහාරයට ආසන්න වකවානුවේ සුරේෂ් සලේ ශ්‍රී ලංකාවේ සිටි බවට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අසාද් මවුලානා ලබාදුන් ප්‍රකාශ හරහා ද තහවුරු වන බවත්, පෙත්සම්කරු මෙම තොරතුරු අධිකරණයෙන් වසන් කර ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.
විමර්ශන පටිපාටිය සහ ජාත්‍යන්තර සහයෝගීතාව
ශානි අබේසේකර ද්වේෂසහගතව කටයුතු කරන බවට පෙත්සම්කාර පාර්ශ්වය කරන චෝදනා ප්‍රතික්ෂේප කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය, අදාළ විමර්ශනය ආරම්භ වූයේ රොහාන් සිල්වා පියතුමා මහජන ආරක්ෂක අමාත්‍යාංශයට කළ පැමිණිල්ලකට අනුව බව පැහැදිලි කළාය. 2024 නොවැම්බර් 11 වනදා ප්‍රථම බී වාර්තාව ඉදිරිපත් වන අවස්ථාවේදී හෝ නොවැම්බර් 15 වනදා විදේශ ගමන් තහනම ලබාගන්නා අවස්ථාවේදී ශානි අබේසේකර පොලිස් සේවයේ පවා නොසිටි බවත්, මංගල දෙහිදෙනිය සහ හිමේෂා මුතුමාලී යන අධ්‍යක්ෂවරුන් යටතේ ද මෙම විමර්ශන සිදුවූ බවත් ඇය පෙන්වා දුන්නාය.
ප්‍රංශයට ගොස් අසාද් මවුලානාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම 2018 අංක 24 දරන අපරාධ කාරණාවලදී අනෝන්‍ය සහයෝගය ලබාගැනීමේ පනත සහ අපරාධ නඩු විධාන සංග්‍රහයේ සංශෝධනවලට අනුව පූර්ණ නීත්‍යානුකූලව සිදුවූවක් බවද ප්‍රකාශ විය. පෙත්සම්කරු අත්අඩංගුවට ගනු ලැබුවේ ප්‍රමාණවත් සාක්ෂි මත පදනම්ව බැවින් මෙම පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
එමෙන්ම වගඋත්තරකාර රොහාන් සිල්වා පියතුමා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ඩී. පෙරේරා කරුණු දක්වමින්, ප්‍රසිද්ධියට පත්නොකළ ජයකී ද අල්විස් කමිටු වාර්තාවේ ඡායා පිටපතක් පෙත්සම සමඟ ඉදිරිපත් කිරීම අභියාචනාධිකරණ රීතීන්ට පටහැනි බව පෙන්වා දුන්නේය.
කරුණු සලකා බැලීමෙන් අනතුරුව, පෙත්සම වැඩිදුර සලකා බලන දිනය නියම කිරීම සඳහා නඩුව හෙට (ජූලි 28) දිනට කැඳවීමට අධිකරණය නියෝග කළේය.




