මහා සංඝරත්නය අප්‍රසාදයට පත්කිරීමේ විදේශීය සහ දේශීය කුමන්ත්‍රණ පිළිබඳව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන්ගෙන් සැර කතාවක්
ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර පෝෂණය කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත වගකීම ප්‍රායෝගිකව පවත්වාගෙන යන ලෙස පාලකයන්ට අවධාරණය කරමින්, ශාසනාරක්ෂක සංඝ සභාව සංවිධානය කළ "සුඛා සංඝස්ස සාමග්ගී" මහා සංඝ සමුළුව අද (ජූලි 27) පස්වරුවේ කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
මහා සංඝරත්නය විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සමුළුවේදී සම්බුද්ධ ශාසනයේ චිරස්ථීතිය, බෞද්ධ උරුමය සහ ජාතික අනන්‍යතාව සුරැකීම උදෙසා වන විශේෂ "මහා සංඝ ප්‍රතිඥාව" ප්‍රකාශයට පත්කරන ලදී.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව සහ ප්‍රායෝගික වගකීම
සමුළුවේදී සම්මත කරගත් මහා සංඝ ප්‍රතිඥාව මගින් පෙන්වා දෙන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ II වන පරිච්ඡේදයේ 9 වන ව්‍යවස්ථාව මගින් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමා ඇති අතර, ශාසනය ආරක්ෂා කිරීම සහ පෝෂණය කිරීම රජයේ අනිවාර්ය ව්‍යවස්ථාමය යුතුකමක් බවයි. එලෙස බුද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදීම යනු අනෙකුත් ආගම්වලට අගතියක් කිරීමක් නොවන බවත්, ව්‍යවස්ථාවේ 10 වන සහ 14(1)(ඉ) වගන්තිවලින් සහතික කර ඇති සසුන් අයිතීන් හා ආගමික නිදහස සුරක්ෂිත කරමින් එම වගකීම ඉටුකළ යුතු බවත් එහි දැක්වේ.
එමෙන්ම 105(4) අනු ව්‍යවස්ථාවට අනුව භික්ෂු විනය, ශාසනික ආරවුල් සහ විහාරස්ථාන ආශ්‍රිත ගැටලූ නිරාකරණය සඳහා විශේෂ අධිකරණ හෝ විනිශ්චය මණ්ඩල පිහිටුවීමට ඇති ඉඩකඩ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ලෙසද, ව්‍යවස්ථා විරෝධී නිර්ආගමික ප්‍රතිපත්ති සහ විබෞද්ධකරණ වැඩපිළිවෙලවලට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදීව හා අවිහිංසාවාදීව නැගී සිටින බවද සංඝ රත්නය මෙහිදී ප්‍රතිඥා දුන්හ. මෙම පියවර කිසිසේත්ම ආණ්ඩු විරෝධී හෝ දේශපාලනික එකක් නොවන බවත්, ව්‍යවස්ථාව සුරක්ෂිත කිරීම උදෙසා කෙරෙන ජාතික ආයාචනයක් බවත් ප්‍රතිඥාවේ වැඩිදුරටත් සටහන් වේ.
මඩ බලකායන්ගේ තර්ජන ගැන අගලකඩ හිමියන්ගෙන් අනතුරු ඇඟවීමක්
සමුළුව ඇමතූ ශාසනාරක්ෂක සංඝ සභාවේ සභාපති මණ්ඩල සාමාජික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන් සඳහන් කළේ, මහා සංඝරත්නය එකමුතු වන විට ඊට එරෙහිව මඩ ප්‍රහාර එල්ල කරන පිරිසක් සමාජයේ ක්‍රියාත්මක වන බවයි.
"අද අපේ රටේ ක්‍රියාත්මක වන ඇතැම් දේශපාලන හා රාජ්‍ය බලයන් මෙහෙයවන්නේ විදේශගතව සිටින ජාතිද්‍රෝහී සංවිධානවල මුදලින් සහ චින්තනයෙන් යැපෙන පාලකයන්. ඔවුන්ට මේ කසාවත පෙන්නන්න බෑ. සිවුර තුළ ගොඩනැගී තිබෙන ජාතික බලය සහ සංස්කෘතික සම්බන්ධතා විනාශ කරන්න අද සෘජුවම පහර දෙනවා. තව අවුරුදු දෙක තුනක් යනකොට හාමුදුරුවරුන්ට පාරට බහින්න බැරි තත්ත්වයක් නිර්මාණය කරන්න උත්සාහ කරනවා. අපි මෙතැනට එකතු වුණේ ආණ්ඩු පෙරළන්නවත් පාලකයෝ ගෙදර යවන්නවත් නෙමෙයි; අපිට එල්ල වන අභියෝග හමුවේ නොසැළී සිට අපේ ශක්තිය ලෝකයට පෙන්වා දෙන්නයි," යනුවෙන් අගලකඩ සිරිසුමන හිමියන් වැඩිදුරටත් අවධාරණය කළහ.





