*නීතිඥ සංගමය, අධිකරණ සේවා සංගමය සහ ජනාධිපති නීතිඥවරුන්ගෙන් නීතිමය අභියෝග - ජනමත විචාරණයකට යෑමේ ඉඩකඩක්?
උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර තහවුරු කළේ, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස පිළිවෙළින් අවුරුදු 65 සිට 67 දක්වා සහ අවුරුදු 63 සිට 65 දක්වා වසර දෙක බැගින් දීර්ඝ කිරීමට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා මෙලෙස අනුමැතිය හිමිවූ බවයි.
අධිකරණ පද්ධතියේ පවතින නඩු ගොඩගැසීමට විසඳුමක් ලෙස සහ පළපුරුදු විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් ලබාගැනීමේ අරමුණින් මෙම තීරණය ගත් බව රජයේ පාර්ශ්වයන් සඳහන් කළද, මෙම පියවරත් සමඟ මෙරට නීති ක්ෂේත්‍රය, විනිශ්චයාසනය සහ දේශපාලන අධිකාරිය අතර ප්‍රබල සංවාදයක් මෙන්ම දැඩි විරෝධයක් ද මතුව ඇත.
අධිකරණ සේවා සංගමය සහ නීතිඥ සංගමයේ විරෝධය
දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) අධිකරණ අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දෙන්නේ, මෙම සංශෝධනය හේතුවෙන් ඉදිරි වසර දෙකක කාලය තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට මහේස්ත්‍රාත් අධිකරණය දක්වා වූ සමස්ත උසස්වීම් ක්‍රියාවලියම සම්පූර්ණයෙන්ම ඇණහිටින බවයි.
දැනටමත් මහේස්ත්‍රාත් හෝ දිසා විනිසුරුවරයෙකුට මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස උසස්වීම් ලැබීමට වසර 17ක් පමණ ගතවන පසුබිමක, මෙම සංශෝධනය නිසා එම කාලය එකවරම වසර 19ක් දක්වා දීර්ඝ වන බව එම සංගමය සඳහන් කරයි. මේ හේතුවෙන් වෘත්තීය විනිසුරුවරුන්ගේ උසස්වීම් ප්‍රමාද වී, අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වීමට ඇති සීමිත අවස්ථාවන් පවා අහෝසි වී යා හැකි බවට ඔවුහු අනතුරු අඟවති.
එමෙන්ම, ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ද ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දෙමින් මෙම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවට සිය විරෝධය පළකර තිබිණි.
ජනාධිපති නීතිඥවරුන්ගෙන් අධිකරණ ක්‍රියාමාර්ග සහ ජනමත විචාරණ තර්කය
කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ප්‍රකාශ කළේ, රජය මෙම සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නීතිමය අභියෝග එල්ල කරන බවයි. අධිකරණයේ ස්වාධීනත්වය යනු ජනතා පරමාධිපත්‍යයේ කොටසක් බැවින්, මෙවැනි සංශෝධනයක් සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකට අමතරව ජනමත විචාරණයක් ද අවශ්‍ය වන්නේද යන්න ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කළ යුතු බව හෙතෙම සඳහන් කළේය. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය ද පෙන්වා දෙන්නේ මේ සඳහා ජනමත විචාරණයකට යාමට සිදුවීමේ ඉඩකඩක් පවතින බවයි.
එම මාධ්‍ය හමුවට එක්වූ ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් සඳහන් කළේ, නීතිඥ සංගමය (Bar) සහ විනිශ්චයාසනය (Bench) යන දෙපාර්ශ්වයම එකහෙළා මෙම යෝජනාවට විරුද්ධ වන බැවින් රජය ඊට සෙවන දිය යුතු බවයි.
නීති විශාරදයන්ගේ වෙනස් මත සහ ස්වාධීනත්වය පිළිබඳ තර්කය
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ආරම්භක විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු පෙන්වා දෙන්නේ, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සාකච්ඡාවට බඳුන් කළ හැකි කරුණක් වුවද, දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්ට අදාළ වන පරිදි එය සිදුකිරීම අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි මහජනතාව තුළ පවතින විශ්වාසයට අහිතකර ලෙස බලපාන බවයි. යම් සංශෝධනයක් කරන්නේ නම් එය ඉදිරියේදී පත්වන විනිසුරුවරුන් සඳහා පමණක් අදාළ කළ යුතු බව ඔහුගේ මතයයි.
කෙසේ වෙතත්, මෙම තීරණයට පක්ෂපාතීව අදහස් දක්වන ගම්පහ දිසා අධිකරණයේ නීතිඥ වරුණ ගුණරත්න සඳහන් කරන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 70 දක්වා දීර්ඝ කිරීම සුදුසු බවයි. සංවේදී සහ සංකීර්ණ නඩු විභාග වෙමින් පවතින අතරතුර විනිසුරුවරුන් විශ්‍රාම යාම නිසා නඩු කටයුතු ප්‍රමාද වන බවත්, ඊට සමගාමීව පහළ අධිකරණ විනිසුරුවරුන්ගේ සහ සෙසු රාජ්‍ය සේවකයන්ගේ ද විශ්‍රාම වයස ඉහළ නැංවීම ප්‍රායෝගික විසඳුමක් වන බවත් හෙතෙම පෙන්වා දෙයි.




